මිනීමැරුම්, කොල්ලකෑම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, පාතාල ක්‍රියාකාරකම් සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ සැලකිය යුතු පිරිසක් මේ වන විට බන්ධනාගාරගතව සිටින බව රහසක් නොවේ. මේ අතරින් සෑහෙන පිරිසක් සිර දඬුවම් විඳින අතර ඇතැම් අය සිටින්නේ වසර ගණන් රක්ෂිත බන්ධනාගාරගතවය. මේ ඇතැම් පුද්ගලයෝ මත්ද්‍රව්‍ය ජාවාරම්, සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් මහාධිකරණවල විභාග වන නඩු ගණනාවක චුදිතයෝය.
මෙසේ බන්ධනාගාර ඇතුළේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් සහ පාතාල කල්ලි නායකයන්ට ඇතුළේද එළියේද කියා වෙනසක් නැතිවීම ද සුවිශේෂි කාරණයකි. ඔවුන්ගෙන් ඇතැමෙකුට බන්ධනාගාර තමන්ගේ ගෙදර වැනිය. ඇතැමෙකු තමන්ගේ ජීවිත කාලයෙන් වැඩි හරියක් ගතකර ඇත්තේ හිර ගෙවල්වලය. තවත් සමහරෙකුට ඇතුළට යනවා එනවා යනු ගෙදර දොර ඇරගෙන එළියට ගොස් නැවතත් ගෙදරට එනවා වැනි සංසිද්ධියකි. මේ කතාවෙන්ම ඇතැම් අපරාධකරුවන්ට හිර ගෙවල් මොනතරම් හුරුපුරුදු ද යන්න වටහා ගැනීමට ඕනෑ කෙනෙකුට පහසුවෙන්ම හැකිය.
පොලිසිය, බන්ධනාගාර නිලධාරීන් සහ සෙසු ආරක්ෂක අංශ කාලයක් මුහුණපා සිටි ප්‍රධාන ප්‍රශ්නය බන්ධනාගාර ඇතුළට මත්ද්‍රව්‍ය ඇතුළු සිරකරුවන්ට තහනම් දේ පැමිණීම වළක්වා ගැනීමය. බන්ධනාගාර බුද්ධි අංශය ද ස්ථාපිත කරන්නේ ඒ අභියෝගය ජය ගැනීම සඳහාය.
රැඳවූවන් බැලීමට එන අය කෑම පාර්සල් ඇතුළු විවිධ දේ රැඳවූවන්ට දෙන මුවාවෙන් ඒවා අතර සඟවා මත්ද්‍රව්‍ය, දුම්කොළ, ජංගම දුරකතන ඇතුළු සිරකරුවන්ට තහනම් භාණ්ඩ සිරකරුවන් අතට පත්කිරීම සිදු කෙරුණ ද ඒවාටද දැන් බොහෝදුරට වැට බැඳී තිබෙන්නේ බන්ධනාගාර බුද්ධි අංශය, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ ක්‍රියාකාරකම් හේතුවෙනි.
අධිකරණවල විභාග වන නඩු කටයුතු සඳහා බන්ධනාගාර නිලධරයන්ගේ ආරක්ෂාව සහිතව ගෙන යන රැඳවූවන්ට අධිකරණ පරිශ්‍රවලදී මත්ද්‍රව්‍ය ඇතුළු වෙනත් තහනම් භාණ්ඩ ලබාදීම සිදු කෙරුණත් ඊටත් දැන් වැට බැඳී ඇත්තේ බන්ධනාගාරවලින් නඩු කටයුතු සඳහා පිටත ගෙන යන රැඳවූවන් නැවත බන්ධනාගාරවලට ගෙන එන අවස්ථාවලදී ඔවුන් දැඩි ලෙස පරීක්ෂා කිරීම බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන්ගේද පරීක්ෂාව යටතේ සිදුවන බැවිනි.
බන්ධනාගාරවල පිටත සිට බන්ධනාගාර ඇතුළට විසිකරන මත්ද්‍රව්‍ය සහිත ටෙනිස් බෝල සෙල්ලමද මේ වන විට බොහෝ දුරට අවසන් වී ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය බන්ධනාගාර අවට නිරන්තර සෝදිසි මෙහෙයුම්වල නිරතව සිටින බැවිනි.
බන්ධනාගාර ඇතුළට මෙසේ මත්ද්‍රව්‍ය සහ තහනම් භාණ්ඩ ගෙන ඒම මේ වනවිට ඉතාම සැලකිය යුතු මට්ටමකට පාලනය කර තිබුණ ද බන්ධනාගාර නිලධාරීන්, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, බරපතළ ලෙස මුහුණපා සිටින ප්‍රශ්නයක් වනුයේ බන්ධනාගාර ඇතුළත සිටින පාතාල ක්‍රියාකාරීන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, සංවිධානාත්මක අපරාධකරුවන් සූක්ෂමව සඟවාගෙන සිටින ජංගම දුරකතන මඟින් එළියේ සිටින සිය ගෝලබාලයන් ලවා අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරවීමයි. පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය මේ බව හෙළිකර ගන්නේ පසුගියදා අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පාතාල ක්‍රියාකාරීන් සහ සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් ප්‍රශ්නකර ලබා ගන්නා ලද තොරතුරුවලට අනුවය. පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ ඉන් අනතුරුව සොයා බලන්නේ බන්ධනාගාර ඇතුළේ සිටින ජාවාරම්කරුවන්, අපරාධ කල්ලි නායකයන් ඇතුළේ සිට එළියේ සිටින ගෝලබාලයන් ලවා සිදු කරන මත්ද්‍රව්‍ය ජාවාරම් නතර කරන්නේ කෙසේදැයි කියාය.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ අදහසකට අනුව වැඩපිළිවෙළක් ආරම්භ කරන්නේ ඒ අනුවය.
විවිධ අපරාධ මත්ද්‍රව්‍ය ජාවාරම් සංවිධානාත්මක අපරාධ ජාවාරම් මිනීමැරුම්වලට චෝදනා ලබා දැනට රටේ බන්ධනාගාර රැසක සිර දඬුවම් විඳින සහ රක්ෂිත බන්ධනාගාරගතව සිටින සුවිශේෂි අපරාධකරුවන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය සඳහා බුද්ධි නිලධාරීන්ගෙන්ද සමන්විත පොලිස් කණ්ඩායම් 15ක් පත් කරන්නේ මේ අනුවය.
පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ගෙන්ද සමන්විත මේ පොලිස් කණ්ඩායම් පහළොවක නිලධාරීන් මේ වනවිට බන්ධනාගාරගතව සිටින මහා පරිමාණ අපරාධ කරුවන් 220ගේ ක්‍රියා කලාපය නිරීක්ෂණය කිරීමට නියමිතය. මේ අපරාධකරුවන් 220 බැලීම සඳහා බන්ධනාගාරවලට එන පුද්ගලයන් සම්බන්ධයෙන්ද මේ විශේෂ පොලිස් කණ්ඩායම් ආවේක්ෂණ රාජකාරි සිදු කරනු ඇත.
මෙලෙස බන්ධනාගාරගතව සිටින මහා පරිමාණ අපරාධකරුවන් 220 දෙනා ඉතා සූක්ෂමව සඟවාගෙන සිටින බවට සැක කරන ජංගම දුරකතනවලින් ගන්නා ඇමතුම් ගැනද මේ පොලිස් කණ්ඩායම් විසින් විමර්ශනය කිරීමට නියමිතය. අදාළ පොලිස් කණ්ඩායම් 15ට උප පරීක්ෂකවරු 15 දෙනෙකු විසින් නායකත්වය ලබා දෙනු ඇත.
අඟුණකොළපැලැස්ස, කොළඹ රිමාන්ඩ්, කොළඹ මැගසින්, මහර, කුරුවිට, තංගල්ල, මීගමුව, යාපනය, මාතර, ගාල්ල බන්ධනාගාර ඇතුළු බන්ධනාගාර රැසකට මේ නිලධාරීන් අනුයුක්ත කිරීමට නියමිතය.
බන්ධනාගාර ඇතුළත සිට එළියේ සිටින ගෝලබාලයන් ලවා අපරාධ සිදු කරවන මහා පරිමාණ අපරාධකරුවන් 220 දෙනාගෙන් 77ක් පිළිබඳව මේ පොලිස් කණ්ඩායම් විශේෂයෙන් සොයා බැලීමට නියමිතය. අදාළ සංවිධානාත්මක අපරාධකරුවන් එළියේ සිටින ඔවුන්ගේ ගෝලබාලයන් වෙත පණිවුඩ සම්ප්‍රේෂණය කිරීමේ ජාලය අඩපණ කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
මේ පොලිස් කණ්ඩායම් විසින් දෛනිකව රැස් කරනු ලබන තොරතුරු සූම් තාක්ෂණය ඔස්සේ පොලිස්පතිවරයාට ලබා දෙනු ඇත.