වෛදික ජ්‍යොතිෂ පැහැදිලි කිරීම් සඳහා යම් ජන්මියකු උපන් අවස්ථාවේ පිහිටන ග්‍රහ රටා ඉතා වැදගත් වේ. ජීවිතය ද ග්‍රහයන් මෙන්ම එක තැන රඳා නොපවතී. ජීවිතය මෙන්ම ග්‍රහයන් ද තම තම කක්ෂවල තම තමාට උරුම වේගයන්ගෙන් යුතුව ඉදිරියට ගමන් කරයි. වෛදික ජ්‍යොතිෂ පැහැදිලි කිරීම්, අනාවැකි ආදිය සිදුකරනු ලබන්නේ උපතේදී පවතින ග්‍රහ රටා හා ඉන්පසු සිදුවන ග්‍රහ ගෝචරය පදනම් කොට ගෙනය. මෙම ගෝචරය අධ්‍යයනය කිරීම තුළින් අපගේ ජීවිතයට මෙම ග්‍රහ ගමන බලපාන අයුරු වටහා ගත හැකිවේ.
පෘථිවිය සේම අන් ග්‍රහයින් ද විශ්වය තුළ විවිධ වේගයන්ගෙන් යුතුව සූර්යා වටා පරිභ්‍රමණය වේ. ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ සලකන පරිදි පෘථිවියේ සිට බලන කළ සූර්යා ඇතුළු සියලුම ග්‍රහයින් ක්ෂීර පථය තුළ ගමන් කරන බව පෙනේ. මෙය මනඃකල්පිත මතයක් වන අතර ක්ෂීරපථය අංශක 360ක පරාසයක් තුළ විසිර ඇති බැවින් එය තරු වළල්ලක් සේ ද දිස්වේ. මෙම තාරකා වළල්ල තරු පන්ති 88කට තාරකා විද්‍යාඥයින් විසින් බෙදනු ලැබුව ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුළ පුරාණ ඍෂිවරු එය ප්‍රධාන තාරකා පන්ති 12කට සමාන අයුරින් බෙදා දක්වා ඇත. ගෝචරයේදී ග්‍රහ වස්තූන් මෙම ප්‍රධාන රාශි 12 පසු කරමින් ගමන් කරයි. මෙම රාශි 12 මේෂ රාශියේ සිට මීන රාශියට දක්වා නම් කොට ඇත.
යම් ග්‍රහයකු එක් රාශියක් අවසන් කොට ඊළඟ රාශියට ඇතුළුවීම ග්‍රහ මාරුවක් සේ සලකයි.
මෙය මෙසේ සැලකුවද සැබැවින්ම සිදුවන්නේ කුමක් ද? සැබැවින්ම සිදුවන්නේ ග්‍රහයින් රාශි තුළට ඇතුළුවීම නොවේ. පෘථිවිය ද අන් ග්‍රහයින් ද සූර්යා වටා පරිභ්‍රමණය වන බැවින් අප පෘථිවියේ මධ්‍ය ලක්ෂයේ සිට නිරීක්ෂණය කළහොත් පෘථිවි වාසීන්ට මෙම ග්‍රහයින්ගේ පිහිටීම පසුපස අවකාශයේ හෙවත් ක්ෂීරපථයේ පිහිටි තාරකා රාශිවලට සාපේක්ෂව පෙනීමේ වෙනසක් සිදුවීමයි.
මෙම ග්‍රහ පිහිටීම් කේන්ද්‍ර සටහනක් තුළ පිහිටුවා එම පිහිටීම් පදනම් කොටගෙන ජ්‍යොතිෂමය අනාවැකි පල කිරීමත් විශ්වයේ සිදුවන මෙම ග්‍රහ තරු පිහිටීම් පොළොව මත සිටින ජීවීන්ගේ ජීවිත සමඟ කෙබඳු සබඳතාවයක් දක්වනවාද යන්න වෛදික ජ්‍යොතිෂ විග්‍රහය තුළින් සිදුකරයි. මෙම කල්පිත ගොඩනැඟීමේ ක්‍රියාවලිය ජ්‍යොතිෂ ශාස්ත්‍රය ලෙස ද ඉංග්‍රීසි භාෂාවෙන් ඇස්ට්‍රොලොජි (Astrology) ලෙස හඳුන්වයි. මෙම ග්‍රහ ගමන් තුළ ඇතිවන පිහිටීම් වටහාගෙන ඉන් නිරූපණය වන සුභ සහ අසුභ පල කෙසේ ජන්මියාට ලැබෙනවා ද යන්න විග්‍රහ කොට සුබපල දියුණු කිරීමට ද අසුභ පල අවම කිරීමට ද අදාළ ක්‍රමවේදයක් සැපයීම ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුළින් සිදුකරයි. මෙම පල හෝ අපල රඳා පවතින්නේ ග්‍රහයින් කුමන රාශිව සහ භාවවල ගමන් කරනවාද එම රාශි, භාව සහ ග්‍රහයින් අතර පවතින්නේ කෙබඳු සබඳතාවක් ද යන්න මතයි.
ග්‍රහ ගෝචරයේ පල ජීවිතයේ විවිධ අවස්ථාවල දැකිය හැකි වන්නේ යම් යම් ග්‍රහ වස්තූන් මෙම රාශි මාරු කිරීම වඩා වේගයෙන් සිදු කරද්දි තවත් ග්‍රහයින් ඉතා සෙමෙන් රාශි මාරු කිරීමක් නිසාය. උදාහරණයක් ලෙස චන්ද්‍රයා දින දෙකහමාරක් තුළදී රාශියක් මාරු කළද සෙනසුරු හෙවත් ශනි රාශි මාරුව සඳහා වසර දෙකහමාරක් ගත කරයි.
ග්‍රහ මාරුව සිදුවන්නේ සුභ භාවයකට සහ රාශියකට නම් පාපී බලපෑම් නොවේ නම් ජන්මියාට සුබ පල ලැබෙනු ඇත. එසේම ගෝචරය අසුභ භාවයකට සහ රාශියකට නම් අසුබ පලද ගෙන දෙනු ඇත. මේ සියල්ල සලකා පල, අපල තක්සේරු කළ යුතුය.
නවග්‍රහයින් අතුරින් සෙනසුරු, ගුරු, රාහු සහ කේතු අන් ග්‍රහයින්ට වඩා වැඩි කාලයක් එක් රාශියක ගත කරන බැවින් ජ්‍යෝතිෂයට අනුව ඔවුන්ගේ මාරුවීම් ඉතා වැදගත් සේ සැලකේ. අන් ග්‍රහ මාරු ද වැදගත් වේ. එහෙත් පොදු ලග්න පලාපල සඳහා විශාල දායකත්වයක් නොදක්වන අතර තනි පුද්ගලයාගේ කේන්ද්‍ර අධ්‍යයනය සඳහා සියලුම ග්‍රහ මාරු සලකා බැලීම ඉතාම අත්‍යවශ්‍ය වේ.
ග්‍රහ මාරුව පදනම් කොටගෙන පලාපල කීමේදී, ලග්නය පමණක් පදනම ලෙස සිදුකරන පලාපල එතරම් සාර්ථක නොවිය හැකි අතර එහි නිරවද්‍ය භාවය තීව්‍ර කිරීම සඳහා චන්ද්‍ර ලග්නය ද සලකා පලාපල පැවසීම ජ්‍යොතිර් විද්‍යානුකූල වේ.
එසේම ග්‍රහ මාරුව සිදුවන රාශිය, එම රාශියට අදාළ නැකැත් ද සලකා තවත් සීහුම් කිරීම තුළින් පලාපලවල නිරවද්‍යතාව සහ විශ්වසනීය බව වැඩි කළ හැකිය. මෙලෙස පුරාණාචාර්යවරුන් දක්වා ඇති ආකාරයට ද අපගේ අත්දැකීම් තුළින් ද සපථ වී ඇත.
එබැවින් නිවැරදි පලාපල කථනය සඳහා ජ්‍යොතිෂ් ශාස්ත්‍රඥයා වඩා කල් ගත යුතු අතර තීක්ෂණ විශ්ලේෂණ ක්‍රම උපායන් භාවිත කිරීම ප්‍රශස්ත වේ.
ජ්‍යොතිර්වේදී සම්පත් බමුණුආරච්චි