Home » ණයකරුවන් සූරා කන ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්

ණයකරුවන් සූරා කන ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්

by Mahesh Lakehouse
May 11, 2024 12:30 am 0 comment

ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන් පිළිබඳ ගැටලුව නැවතත් කරළියට පැමිණ තිබේ. ඒ ක්ෂුද්‍ර මූල්‍ය ණය අධිකාරි කෙටුම්පත පනතක් ලෙස සම්මත කිරීමට කටයුතු කරමින් ඇති පසුබිමක් තුළය. මෑත ඉතිහාසය තුළ ග්‍රාමීය ජන ජීවිතයට වැඩිම බලපෑමක් එල්ල කළ උපද්‍රවයක් ලෙස ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය පෙන්වා දිය හැකිය. ඒ ලක්ෂ තිහකට ආසන්න ජන ප්‍රජාවක් මෙම ණය අර්බුදයේ ගොදුරක් බවට පත්ව ඇති පසුබිමක් ඇති වී තිබේ. එහෙත් අදටත් මේ ගැටලුව වත්මන් ආර්ථික අර්බුදය හමුවේ තව තවත් උත්සන්න වී ඇත. එළඹෙන ජුනි පළමු වැනිදා සිට ‘ගෙවන්න බෑ…. ගෙවන්නෙ නෑ’, ‘ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරනු’ යන සටන් පාඨ පෙරදැරිව ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන්ගේ ජාතික ව්‍යාපාරය විසින් ජනතාව දැනුම්වත් කිරීමේ ව්‍යාපාරය ආරම්භ කිරීමට කටයුතු කරමින් ඇත්තේ මෙම පසුබිම තුළය. එහි ප්‍රථම සමුළුව මැයි 11 වැනිදා ත්‍රිකුණාමල පදවි ශ්‍රී පුරදී ආරම්භ වේ.

ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන්ගේ ජාතික ව්‍යාපාරයේ නීතිමය කටයුතුවලට දාකත්වය ලබා දෙන නීතිඥ දිනූෂා තිරාණගම මේ ක්‍රියාවලිය ගැන මෙලෙස පැහැදිලි කළාය. “ ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය පිළිබඳ සංකල්පය ඇති වන්නේ තුන්වන ලෝකයේ රටවල්වල දුප්පත් ජනතාව විශේෂයෙන්ම කාන්තාවන් ඉලක්ක කරගෙනයි. මේ මුදල ලබාදෙන්නේ ස්වයං රැකියාවක් කරන්නයි. මෙම සංකල්පය බිහි වූ අවස්ථාවේ ලක්ෂ පහට අඩු මුදලක් මේ සඳහා ලබාදිය යුතු බව තීරණය කෙරුණේ ඒ මුදල මේ ජනතාවට ගෙවිය හැකියි කියන පදනමින්. එලෙස ලබාදෙන ණය මුදල සුළු පොලී අනුපාතයක් යටතේ පවත්වා ගෙන යාමත්; කිසිදු ඇපයකින් තොරව මෙම මුදල ලබාදීමත් එහිදී තීරණය කෙරුණා.

නමුත් ආසියානු අප්‍රිකානු හා තුන්වන ලෝකයේ රටවල මෙය ව්‍යාප්තවීමේදී විශාල වශයෙන් මහා පරිමාණ සමාගම් මේ සඳහා මැදිහත් වී මෙම අරමුණ පසෙක ලා ඔවුන්ට විශාල වශයෙන් ලාබ උපයා ගත හැකි අරමුණු සඳහා කටයුතු කළා.

මේ ණය දෙන සමාගම් අනුරාධපුර, පොලොන්නරුව, කන්තලේ ආදී ප්‍රදේශවල ජනතාවට රජය විසින් ලබාදුන් බලපත්‍ර ඉඩම් බලහත්කාරයෙන් ඇපයක් ලෙස තබා ගෙන ණය ලබා දෙන තත්ත්වයකට ගමන් කර තියෙනවා.

එසේම ණය වාරික එකතු කරගෙන යාමට අදාළව කිසිදු නියාමනයක් නොතිබීම හා ඒ සම්බන්ධයෙන් විධිමත් වාර්තාවක් පවත්වා ගෙන නොයාම හේතුවෙන් මාසිකව ණය මුදල් එකතු කරනවා වෙනුවට සති දෙකකට සැරයක් පැමිණ ණය වාරික එකතු කිරීම සිදු කරයි. එය ලබාදීමට හැකියාවක් නොමැති නම්, දෛනික ජීවිතය ගෙනයාමට ඔවුන් සතුව ඇති මුදල් බලෙන් පැහැර ගැනීම වැනි ක්‍රියාවන්ට මේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් නියෝජිතයන් කටයුතු කර තිබුණා. ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදෙන සංකල්පයේ මුල්කාලීන අරමුණ වූ ඇප කොන්දේසි රහිතව ස්වයං රැකියාවක් සඳහා සහනදායී පොලී අනුපාතයක් යටතේ ණය මුදල් ලබා දීම වාරික වශයෙන් අය කරගනු ලබන්නේ අදාළ ණය මුදල ලබාගෙන ස්වයං රැකියාවේ නිරත වන තැනැත්තිය ඉන් ඉපැයීම් ආරම්භ කළ පසුවයි. නමුත් මේ මහා පරිමාණ සමාගම් ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා දෙන අවස්ථාවේදීම රක්ෂණ මුදල ලෙස එක් වාරිකයක් අය කරගන්නවා. ඒවගේම ඊළඟ මාසයේ සිටම අදාළ වාරිකය අය කර ගැනීමට කටයුතු කරනවා.

ණය මුදලක් ලබාදී ස්වයං රැකියාවක් ආරම්භ කරන්නත් කලින් වාරික එකතු කිරීමට පටන් ගත් විට එකී ණය ලබාගත් අයට සිදු වන්නේ එම ණය මුදල පොලිය සමඟ ණය වාරික වශයෙන් නැවත ඔවුන් අතට පත් කිරීමටයි. එය මෙම ණය මුදල ලබා දීමේ පරමාර්ථයට පටහැනියි. අනෙක් අතට මෙම ණය වාරික එකතු කර ගැනීමට පැමිණෙන පිරිස් අතින් මෙම කාන්තාවන් ලිංගිකව හා මානසික හිංසනයට ලක් කරනවා. ණය වාරික ගෙවූ බවට වන වාර්තා නිසිපරිදි පවත්වා ගෙන නොයාම හා ගෙවූ බවට ලබාදෙන රිසිට් පත සතියකින් දෙකකින් මැකී යන තත්ත්වයේ බාල කඩදාසියක් වීමත්, 2016 ක්ෂුද්‍ර මූල්‍ය පනත අනුව කිසිදු ආරක්ෂණ ක්‍රමවේදයක් වින්ඳිතයන් සඳහා නොතිබීම යන කරුණු සලකා බැලීමේදී ණය ලබාගත් අති බහුතරයක් වූ කාන්තාවන් විශාල ව්‍යසනයකට ගොදුරු වී තිබෙන බවත් නීතිඥ දිනූෂා තිරාණගම පෙන්වා දුන්නාය.

එය නීතිමය ලෙස වැරදි සහගත වන අතර, ලංකාවේ සිවිල් නීති සංග්‍රහය ප්‍රකාරව ද එය වරදකි. මේ සම්බන්ධයෙන් නඩු පැවරීමට කටයුතු කළ විට, ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදෙන සමාගම් ණය ලබාගත් තැනැත්තා එකඟ වූ බවට ඔවුන් කිසිදා කියවා හෝ දැක නොමැති ඉංග්‍රිසියෙන් සඳහන් වන කුමක් හෝ ගිවිසුමක් පෙන්වා මෙයින් බේරීමට කටයුතු කරයි. මෙම ගිවිසුම් සඳහා කාන්තාවන් එකඟ කර ගැනීමේදී ඒ අදාළ ගිවිසුම පිළිබඳව විධිමත් පැහැදිලි කිරීමක් නොකර හිස් කොළවලට අත්සන් ලබාගෙන ණය මුදල් ලබාදීම සිදු කර තිබීම පැහැදිලිවම වංචනික ක්‍රියාවක්.

ඒ වගේම මේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් බොහොමයක ප්‍රධාන කාර්යාල පිහිටා ඇත්තේ කොළඹ නිසා නඩු පැවරීම් කටයුතු බොහෝවිට සිදුවන්නේ කොළඹදී. නමුත් මේ ණය ලබාගත් අති බහුතරයක් සිටින්නේ කොළඹට බොහෝ දුර බැහැර දුෂ්කර ප්‍රදේශවල. ඔවුන්ට නඩු වාරයකට බස් ගාස්තු වියදම් කරගෙන කොළඹට එන්න යන්න හා නීතීඥ ගාස්තු ගෙවීමට විශාල මුදලක් වැය වෙනවා. එය ණය වාරිකයක් ගෙවීමට ඇති මුදල ද ඉක්මවා යන මුදලක්. මේ නිසා මේ මුදල වියදම් කිරීමට හැකියාවක් ණය ලබාගත් අයට නැහැ. මේ නිසා ඇතිවන ඛේදනීය තත්ත්වය වන්නේ ඒකපාර්ශ්විකව නඩු තීන්දු අරගෙන ණය වින්දිතයන්ගේ නිවෙස් වෙත පැමිණීමයි. දිවි නසා ගැනීම්, ලිගික හිංසාවන්, මානසික බිඳවැටීම්, අත්අඩංගුවට පත්වීම් හා පවුල් ආරවුල් වැඩි වශයෙන් වාර්තා වන්නේ මෙම තත්ත්වය තුළයි.

ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රියාවලිය නියාමනයකට ලක් විය යුතුයි වගේම මහ බැංකුවේ අධීක්ෂණයට ලක්විය යුතුයි සහ තවත් අවශේෂ කාරණා පිළිබඳව අවධානය යොමු කළ යුතුයි කියන නිගමනයට අප පැමිණියා. ගෙන ඒමට නියමිත 2024 ක්ෂුද්‍ර මූල්‍ය නියාමන අධිකාරිය විසින් ඉදිරිපත් කර ඇති පනත මේ කියන ප්‍රශ්න ආමන්ත්‍රණය කරනවද? මේ ප්‍රශ්නවලට උත්තරයක් ගේනව ද? කියන කාරණය සලකා බලන්න ඕන. මොකද මේ පනත හැදෙන්නම ණය ගත්තු වින්දිතයන් කරන විශේෂ ඉල්ලීම නිසයි.

මේ පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරමින් මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමඟ ගැටෙනවා කියන පදනමින් ශ්‍රේෂ්ඨාධිකරණය තුළ නඩු හතක් ගොනු කර තිබුණා. මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණයට අවධානය යොමු කරන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ගැටීමට ලක්වන වගන්ති සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම පමණයි. ඒ හැරුණු කොට ඉහත සඳහන් කළ කරුණු ආවරණය වන අන්දමේ පනතක් හදන්න කියා යෝජනා කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නැහැ. ඒ වගේම මෙම තීන්දුව ලබාදෙන අතරවාරයේදී ‘ආර්ථිකයේ බලපෑම සමනය කිරීම’ යන තේමාව යටතේ පාර්ලිමේන්තුවේ පැවති රැස්වීමකදී ආංශික අධීක්ෂණ කමිටු සාකච්ඡාවක් පැවැත්වුණා. මේ සාකච්ඡාව සඳහා මහ බැංකුව, වින්දිතයන් හා රාජ්‍ය නොවන සංවිධාන, ප්‍රජා මූල සංවිධාන, සමූපකාර සංවිධාන, මුදල් අමාත්‍යංශ්‍ය ආදී මේ විෂය සම්බන්ධයෙන් තාක්ෂණික අවබෝධයක් සහිත උදවිය සමඟ සාකච්ඡාවක් පැවැතුණා. ඒ සාකච්ඡාවේදී පොදුවේ ආපු අදහස වුණේ මේ පනත මේ ප්‍රශ්නය අමාන්ත්‍රණය කිරීමට අසමත් වී ඇති බවයි.

ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන්ගේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු නිරෝෂා ගුරුගේ මේ සම්බන්ධයෙන් අප හා මෙලෙස පවසා සිටියාය.

ක්ෂුද්‍ර මුල්‍ය ආයතන නියාමනය කිරීමට අදාළ නීති හඳුන්වාදී තිබුණත්, සියයට 35ක් හෝ ඊට වැඩි පොලී මුදලක් අය කර ගනිමින් ණය ලබා දෙමින් තිබෙනවා. රුපියල් 20000ක ණයක් ලබා ගන්නා සමහර කාන්තාවන්ට ණය ගෙවා අවසන් කරන විට රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් ගෙවීමට සිදුව තිබෙනවා. මේ නිසා ග්‍රාමීය ජනතාවට සහන පොලියකට ණය ලබා දෙන වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කිරීමට රජය පියවර ගත යුතුයි.

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division