– වාත රක්ත රෝගයට හොඳම පලා වර්ගය නීරමුල්ලිය
– බොහෝ විට කුෂ්ඨ රෝගී තත්ත්වයක් යැයි සලකා මුළාවිය හැකියි
ආයුර්වේද රෝග විනිශ්චය විෂයෙහි වාත රක්ත නමින් රෝග අවස්ථාවක් විස්තර වේ. එම රෝගයට පදනම් වන්නේ යම් කෙනෙක් තම ජීවිත කාලය තුළ වාතය වැඩෙන අයුරින් හා රක්තය දූෂණය වන අයුරින් ගන්නා ආහාර පාන ඇවැතුම් පැවැතුම් නිසාය. එසේ දූෂිත වූ රක්තයෙන් වැඩුණු වාතයේ ගමන් මාර්ග අවහිර කෙරෙන අතර එලෙස අවහිර වීමෙන් වාතය කෝපයට පත් කරයි. කෝප වූ වාතය නැවත රක්තය දුෂණය කරයි. මෙලෙස වාතයත් රක්තයත් එකිනෙකා දූෂණය වීමේ ප්‍රථිඵලයක් ලෙස වාත රක්තය සෑදෙන්නේය.
මෙම රෝගයේ අවස්ථා දෙකක් පිළිබඳ ආයුර්වේදයේ සඳහන් වෙයි. බැලූ බැල්මට කුෂ්ඨයක් වැනි ස්වරූපයකින් සම ආශ්‍රිතව ඇති වන නිසා බොහෝ විට මෙම රෝග තත්ත්වය කුෂ්ඨ රෝගී තත්ත්වයක් යැයි සලකා මුලා විය හැකිය. මෙම අවස්ථාව උත්ථාන වාත රක්තය ලෙස හැඳින්වේ. බොහෝ සන්ධිස්ථාන ආශ්‍රිතව ඇති වන රෝගී ස්වභාවය ගම්භීර වාත රක්තය ලෙස හඳුනා ගනී. මෙම රෝගී අවස්ථා දෙකටම අයිති අනන්‍ය ලක්ෂණ ද වන්නේ ය. මෙම රෝග අවස්ථා දෙකම ඇරැඹෙන්නේ පාදවලිනි. නමුත් රෝග ලක්ෂණ පහළ වීම, එයින් ඇති වන පීඩාකාරී ස්වභාව පුද්ගලයාගෙන් පුද්ලගයාට වෙනස් වෙයි.
ගම්භීර වාත රක්තය
ගම්භීර වාත රක්තය, විලුඹ පතුල, දෑත්, ඇඟිලි පුරුක්වල වැනි කුඩා සන්ධිස්ථානවලින් ඇරඹේ. මූලික ප්‍රතිකාර නොකළහොත් ප්‍රධාන සන්ධිවලටත් ක්‍රමයෙන් පැතිර ගොස් උත්සන්න වෙයි. සමහර අය තුළ ගම්භිර වාත රක්ත රෝගය ඉතා තීව්‍රව හට ගනී. එහිදී තද වේදනාව සහ ස්පර්ශ අසහත්වය (අත තබන විට පවා දැනෙන තද වේදනාව) එම ස්ථානය උණුසුම් වීම, රතු වීම, හන්දිය කිසිලෙසක හෝ සෙලවීමට නොහැකි වීම වැනි බරපතළ තත්ත්වවලට මුහුණ පෑමට සිදු වෙයි. වෙනත් සන්ධි රෝග හා බැලූ විට ගම්භීර වාත රක්තය යනු සන්ධිස්ථාන, පටකවල, අස්ථි කොන්වල ප්‍රබල ආබාධිත තත්ත්ව ඇති කිරීමේ විශාල ප්‍රවණතාවක් තිබෙන රෝගයකි.
මේ රෝගයේ අවදි හතරකි.
1. පළමු අවදියේ දී ඉදිමුමක් සහ තරමක වේදනාවක් ඇති වුවත් සාමාන්‍ය ක්‍රියාකාරකම්වල යෙදීමට හැකිය. මේ මුල් අවධිය එක්ස්රේ පරීක්ෂණයකින් වුවත් දැක ගැනීමට අපහසුය.
2. දෙවැනි අවධියේදී අස්ථි සන්ධිවල තිබෙන තරුණ අස්ථි කොටස් සුළු වශයෙන් දිරාපත් වීම ඇරඹේ. හන්දි අවට තිබෙන මාංශ පේෂීන්, පටකවල යම් තද ගතියක් ඇති වෙයි. පටකවල විකෘතිතා මතු වීමට පටන් ගනියි. එදිනෙදා සාමාන්‍ය ක්‍රියාකාරකම්වල නිරත වීම තරමක් අපහසුය.
3. තුන් වැනි අවධියේදී තරුණ අස්ථි දිරා පත් වීම වැඩි වෙයි. අස්ථි කොන් තුනී වේ. සන්ධි අවට තිබෙන සන්ධි දිග හැරීමේ මාංශ පේෂි තද ගතිය වර්ධනය වෙයි. සන්ධි අවට තිබෙන මෘදු පටක තව තවත් විකෘති වෙයි. මේ නිසා එදිනෙදා සාමාන්‍ය බාහිර ක්‍රියාකාරකම් සීමා වෙයි.
4. හතරවැනි අවදිය වන විට, තරුණ අස්ථි සහ අස්ථි කොන් බොහෝ දිරා පත් වී ඒ සන්ධිස්ථාන ස්ථීර වශයෙන්ම තද වීම නිසා දිගහැරීම ඉතා අපහසුය. මෘඳු පටක දිරාපත් වී විකෘති වෙයි. මේ තත්ත්වයට පත් වූ පසු තමන්ගේ පෞද්ගලික දෙයක්වත් කරගත නොහැකිව එක් තැන් වීමට සිදු වේ.
සන්ධිස්ථාන ආශ්‍රිතව ඇතිවන රෝග ලක්ෂණ පහළ වීමට පෙර මතු වෙන වෙනත් පොදු ශාරීරික ලක්ෂණ කිහිපයකි. අහේතුක විඩාබර ගතිය, බර අඩු වීම, කුසගින්න අඩු වීම, ඉක්මනින් වෙහෙසට පත් වීම, තදින් දහදිය දැමීම, නැතහොත් කිසිසේත්ම දහදිය නොගැලීම, ඇඟේ තැන් තැන්වල කලු පැහැ වීම, වරින් වර ඇති වී නැති වී යන අත් පා හිරි ගතිය, පුංචි තුවාලයකින් පවා ලොකු වේදනාවක් මතු වීම ඒ අතර ප්‍රධානය. මෙම පුර්ව ලක්ෂණ පිළිබඳ අවබෝධ කර ගනිමින් සැලකිළිමත්ව කටයුතු කළොත් පෙර සඳහන් කළ අවධි වලින් වැළකීමට පුළුවන.
ගම්භීර වාත රක්ත රෝගයට බහුලව ගොදුරු වන්නේ මැදි වයසේ කාන්තාවන්ය. කාන්තාවන් 4කට පිරිමි එකක් යන අනුපාතයටය. විශේෂයෙන්ම කාන්තාවන්ගේ ආර්තවහරණයෙන් පසු මේ රෝගයට ගොදුරු විමේ අවදානම වැඩි බව හඳුනා ගෙන තිබේ. මෙය මැදි වයසේ හටගන්නා රෝගයක් හැටියට විස්තර කළද වත්මන් සමාජයේ ආහාර විවරණ, පැවතුම් නිසා තරුණ පිරිස පවා මේ රෝගයෙන් පෙළෙනු දක්නට ලැබේ.
ගම්භීර වාත රක්ත රෝගයෙන් පෙළෙන පුද්ගලයන්ගෙන් පිරිසකට වේදනාවක් නොමැතිවම සන්ධි ඉදිමුම වැනි රෝග ලක්ෂණ පවා මතු වී පැතිරෙන්නේ ඉතා මන්ද ගාමිවය. නමුත් මේ පිළිබඳ නොසලකා හැරිමෙන් කල් යත්ම රෝග උත්සන්න වී සුව කරගැනීමට හෝ නැවත් සකස් කර ගැනීමට අපහසු තත්ත්වයකට වෙයි.
තවත් පිරිසකට ගම්භීර වාත රක්තය නිසා ඇති වන පීඩාකාරී තත්ත්ව සුළු වශයෙන් ඇති වී ඉබේම සුව වී යයි. ඒ අතරම ගම්භීර වාත රක්ත රෝග ලක්ෂණ වරින් වර මතු වී නැති වී යන අවස්ථාද තිබේ. එවැනි රෝගීන් ද නිසි ප්‍රතිකාර නොකළොත් පසු කාලීනව පටක, අස්ථි කොන් දිරාපත්ව සංකුලතා ඇති විය හැකිය.
ප්‍රතිකර්ම
රක්ත ශෝධනය කිරීමේ ප්‍රතිකර්ම සහ වාතය සමනය කිරීමේ ප්‍රතිකර්ම ශරීර අභ්‍යන්තරයෙන්ද බාහිරින්ද කළ යුතු වෙයි. එහිදි ඒ ඒ රෝගියාගේ ස්වභාවය අනුව කසාය, ගුලි වර්ග, චූර්ණ වර්ග යොදා ගනිමින් ප්‍රතිකාර කළ යුතු වෙයි.
බෙහෙතක්
නීරමුල්ලිය දඬු, එඬරු මුල්, රසකිඳ, වියළි ඉඟුරු කලං එකහමාර බැඟින් ගෙන වතුර කෝප්ප හතරක් දමා එක කොප්පයකට හිඳුවා පාන්දර පහට පමණ හිස් බඩ චන්ද්‍රප්‍රභා වටී ගූලි දෙකක් සපා කෝප්ප භාගයක් ද නැවත සවස පහට පෙර සේම චන්ද්‍රප්‍රභා වටී ගූලි දෙකක් සපා කෝප්ප භාගයක් ද පානය කරන්න.
වාතය සමනය කිරීමට තෙල් සහිත විරේචන දී උදරය විරේක කළ යුතුය.
රක්ථ මෝක්ෂණය සඳහා දිය කූඩැල්ලන් භාවිත කර වරින් වර රුධිරය ඉවත් කිරීම, බාහිර වශයෙන් ඉදිමුම, හන්දි තද බව, වේදනාව නැති කිරීමට පත්තු මැල්ලුම් බැඳීම, තෙල් වර්ග ගැල්වීම, බෙහෙත් තැම්බූ වතුරෙන් අවයව ගිල්වා තැබීම වැනි බාහිර ප්‍රතිකාර කළ යුතුය.
ගතයුතු – නොගත යුතු ආහාර
වාත රක්ත රෝගයට හොඳම පලා වර්ගය නීරමුල්ලිය ලෙස ආයුර්වේදයේ සඳහන් වෙයි. එයට අමතරව සාරණ, ගොටුකොළ, කිරි අඟුණ, රණවරා කොළ ඉතා ගුණය. එළවළු වර්ග ලෙස කරවිර, පතෝල, වැටකොලු, තිබ්බටු, එළ බටු, කැකිරි, පිපිඤ්ඤා, දිය ලබු, අළු කෙසෙල්, අලු පුහුල් සේම ඉන්නල, කිරි අල ගුණය. නෙල්ලි, රසකිඳ තම්බා බීම, පැහුණු නෙල්ලි (රස බිලිං ලෙස හඳුන්වන නෙල්ලි නොව සමාන්‍ය වහරේ බෙහෙත් නෙල්ලි ලෙස හැඳින්වෙන නෙල්ලි) මුද්දරස් පලම් ද ගුණය.
සත්ව මාංශමය ආහාර අගුණය. මත් පැන්, අච්චාරු, විනාකිරි යෙදු ආහාර අගුණය, උෂ්ණාධික ආහාර තක්කාලි අන්නාසි, ඇඹුල් කෙසෙල් අගුණය.