– බ්‍රෝකර් කෙනෙක් ආවොත් මිනිහටත් සලකන්න ඕනේ
– වර්ල්ඩ් මාර්කට් එකට භූමිය වෙන්කොට ඇත්තේ සිරිමාවෝ බණ්ඩාරනායක යුගයේ.
– මුල්කාලයේ මේ වෙළෙඳ පොළ ආරම්භ වී ඇත්තේ පරණ ටයිම්ස් ගොඩනැඟිල්ල අසල…
ඇඳුම් ගැනීමට සුපිරි නමක් ඇති තැනකට යාම අපේ සිරිතය. එහෙත් එහිදී අපට සිදුවන්නේ එම ආයතනයේ ඇති ඇඳුම්වලින් එකක් තෝරා ගැනීමය. එහෙත් ඔබට එකම වර්ගයේ ඇඳුම් කඩ සියයකින් විවිධ වර්ණයන්ගෙන් තෝරාගත හැකි කොළඹ නගරයේ තැනක් ඇත. ඒ වෙන කොහේවත් නොව කොළඹ කොටුවේ ‘වර්ල්ඩ් මාර්කට්’ එකය. සුපිරි රෙදිපිළි සලක ඔබට අවශ්‍ය ජීන්ස් වර්ග ඇත්තේ දහයක් පහළොවක් නම් ඔබ ලෝක වෙළෙඳපොළට පිවිසියේ නම් ඔබට ඩෙනිම් වර්ග දහසකට වඩා තෝරාගත හැකිය.
කොළඹ ආපු ඇත්තකු ‘වර්ල්ඩ් මාර්කට්’ එක ඇති තැන නොදන්නේ නම් පුදුමයකි. මේ වර්ල්ඩ් මාර්කට් භූමිය මෙරට පාලනය කරන්නට නොහොත් නව පාර්ලිමේන්තුවක් තනන්නට භූමියක් වෙන්කොට තබා ඇත්තේ සිරිමාවෝ බණ්ඩාරනායක යුගයේය. 1977 වනතුරු එහි මුල්ගලක් පවා තිබී ඇති අතර මැතිනියගේ පාර්ලිමේන්තු සිහිනය සැබෑ වූයේ නැත.
අපට මුලින්ම ප්‍රශ්නය වූයේ මේ මාකට් එකට ‘වර්ල්ඩ් මාර්කට්’ නමැති නම ලැබුණු අන්දම සොයා යාමය. එම නාමයේ ඉතිහාසය කියන්නට කෙනෙකු සිටියේ නැත. අන්තිමට අපට පුස්තකාලයෙන් පරණ ටයිම්ස් කාර්යාලය ගැන ලිපියක් සොයාගත හැකිවිය. මුල්කාලයේ මේ වෙළෙඳපොළ ආරම්භ වී ඇත්තේ පරණ ටයිම්ස් ගොඩනැඟිල්ල අසලය. එය ආරම්භ වී ඇත්තේ අල, ලූනූ වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවියටය. ලෝකයටම පේන්න කොඩිගහ පවා තිබී ඇත්තේ ටයිම්ස් මන්දිරය ඉදිරිපිටය. අල, ලූනූ බිස්නස් එක විවෘත ආර්ථිකයත් සමඟ වරායෙන් පිට කෙරෙන ආනයනික රෙදිපිළි කෙමෙන් ආක්‍රමණය කරන්නට පටන් ගෙන ඇත. අන්තිමේදි ටයිම්ස් මන්දිරයේ ලංකාදීපයේ ඇත්තෝ මෙයට තබා ඇත්තේ ‘වර්ල්ඩ් මාර්කට්’ යන නමය. ඒත් පසුකාලීනව ටයිම්ස් මන්දිරය ඉදිරිපිට මාර්ගය පුළුල් කිරීමේදී ‘කොඩිගහ’ සාන්ත බස්තියමට ගෙන ගිය අතර, ලෝක වෙළෙඳ පොළ ඊට පසු තැන් කීපයකට ගෙන ගොස් ඇත.
ලෝක වෙළෙඳ පොළ මෙතැනට ගෙන එන්නට පෙර එවක අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මෙතැන මුලින්ම ආරම්භ කොට ඇත්තේ නයිට් බසාර් එකකි. පාරෙන් අනෙක් පැත්තේ එවකට ගාල්ල, මාතර, බොරැල්ල, කතරගම බස් නැවැත්වූ නිසා ලෝක වෙළෙඳ පොළ මෙතැන ආරම්භ කරන කාලයේ එහි බලය පැවතියේ ‘දකුණේ’ ඇත්තන් අතේය. මේ ලෝක වෙළෙඳ පොළ ආරම්භ වූ දිනයේ ප්‍රවෘත්තියක ඇත්තේ එහි 5 x 5 කඩ කාමර 337කින් සමන්විත වන බවය.
අප මුලින්ම කළේ ලෝක වෙළෙඳපොළට පිවිස එහි එහා මෙහා ගමන් කොට බැලීමය. එහි ඇතුළත කුඩා කඩ ප්‍රමාණයක් වසා දමා තිබූ අතර සමහර ඒවායේ නාගරික සංවර්ධන අධිකාරියේ පවරා ගැනීමේ නිවේදන අලවා තිබුනි. අප එම කඩ දෙස බලනවිට එහි හිඳගෙන හිටි පුද්ගලයකු අප සමඟ කතාවට එක්විය.
“ඔය පොඩි කඩ අඩි 5 x 5 කුලිය හාරදාස් නමසිය ගාණක්. සමහරු රෙදි දාන්න ස්ටෝරු වගේ පාවිච්චි කරනවා. සමහර අයිතිකාරයෝ කාටවත් දෙන්නේ නැහැ. කුලිය ගෙවලා වහල තියෙනවා.”
ඉහළම නම් ඇති රෙදි සාප්පුවල කරක් ගසා ඇති අප ලෝක වෙළෙඳ පොළට ආවේ සෑහෙන කලකිනි. මීට කලකට ඉහත නම් කොළඹ ඇඳුම් ගැනීමට කවුරුත් ආගිය තැනක් වූයේ ලෝක වෙළෙඳ පොළය. කොළඹ රථවාහන තදබදය අධික වීමත් මෙහි සිටි වෙළෙඳුන් කීපදෙනකුගේ අකටයුතු නිසාත් ක්‍රමයෙන් ලෝක වෙළෙඳ පොළේ ‘බිස්නස්’ වැටෙන්නට විය.
ලෝක වෙළෙඳ පොළේ දැන් එදා තිබුන දකුණේ වෙළෙඳ ඒකාධිකාරය නම් අපට දැන් දැකගන්නට තිබුණේ නැත. විවිධ ජාතීන් එහි ව්‍යාපාර කටයුතුවල නියැළෙමින් සිටියහ. මේ බොහෝ කඩවල ඇත්තන් අපට කිව්වේ දැන් දැන් විවෘතව ඇති කඩ සංඛ්‍යාව අනූවක් පමණ වන බවය.
අප මුලින්ම අපේ කතාවට එක්කර ගත්තේ සම්පත්වය.
“දැන් ජීවන වියදම දරාගන්න බැහැ. දැන් පොඩි ලාභයක් තියල තමයි බිස්නස් කරන්නේ. ඩෙනිම් වගේ අයිටම් තමයි අපේ කඩේ ගොඩක් විකිණෙන්නේ. ලේඩිස් ජෙන්ට්ස් කියල වෙනසක් නැහැ. ඩෙනිම් කොහොමත් ඩිමාන්ඩ්.
සම්පත් අපට අලුත්ම පැෂන් ඩෙනිම පෙන්වීය. එහි වූයේ දනිස්සෙන් පහළට තඩි පොකට් දෙකකි.
“මේකට කියන්නේ බිග් ෆෝල්ඩ්. රුපියල් 3000/= ඉඳන් 15,000/= වෙනකම් බඩු තියෙනවා.”
මේ කඩ හිමියන් බොහෝ දෙනෙකු කියන්නේ සිංහල අවුරුද්දට බඩුගන්න ආ බොහෝදෙනා දැන් නැවත එන බවය.
“ඔය ලොකු කඩවල රු.3000ට විකුණන ටී ෂර්ට් එක මෙහෙන් 1800ට ගන්න පුළුවන්. එකම මැටීරියල් එක (එකම රෙද්ද) ඔය ලොකු රෙදි ෂොප්වලට වැඩිපුර ගෙවන්නේ ඒ සී එකට තමයි.
මේ කඩවල තිබුන ඉන්දියන් ෂර්ට් රු. 2500 කටත්, ටීෂර්ට් රු. 1500/=කටත් මිල කොට තිබුණි.
ලෝක වෙළෙඳ පොළ රේල්පාර පැත්තට වෙන්න තිබුණේ පොදු වැසිකිළියකි. නහය තදකරගෙන ඒ තුළට ඇතුළු වී බැලීමි. තත්ත්වය හිතුවාට වඩා වෙනස්ය. තිබුණේ පිරිසිදු වැසිකිළියකි. කාන්තා හා පුරුෂ වෙන වෙනමය. එය භාරව සිටියේ කාන්තාවකි.
“අපි රු. 20ක් ගන්නවා. උදේ හයේ ඉඳන් 4 වෙනකම්. ඊට පස්සේ අපි යනවා. ඒ වුණාට කඩ ඇරලා තියෙන්නේ රෑ 7 – 8 වෙනකම්.”
මේ වැසිකිළි මෙතරම් පිරිසිදුවට තබා ගැනීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ රෙදි මිලදී ගැනීමට එන සංචාරකයින් නිසා බව අපට පසුව දැන ගන්නට ලැබුණි.
ලෝක වෙළෙඳ පොළේ දේශාන් පැෂන් කුටියේදී අපට කාරණා පැහැදිලි කළේ මහේෂ්ය.
“මං දැන් බිස්නස් පටන් අරන් අවුරුදු 12ක් වෙනවා. ඔය ලොකු කඩවලට වඩා අඩුවෙන් වර්ල්ඩ් මාකට් එකෙන් බඩු ගන්න පුළුවන්. ලේඩිස් – ජෙන්ට්ස් විතරක් නොවෙයි. පොඩි ළමයින්ට විතරක් නෙමෙයි වයසක සීයලා ආච්චිලට වුවත් ඇඳුම් මෙහෙ තියෙනවා”
ලෝක වෙළෙඳ පොළ කරක් ගහන විට අපට පෙනී ගියේ සිල්ලර වෙළෙඳාම මෙන්ම තොග වෙළෙඳාම ද මෙහි කෙරෙන බවය. බැංකොක්, ඉන්දියන්, ඉන්දූනීසියන් රෙදිපිළි ඇති කඩ ද තම ඇඳුම් පෙළගස්වා තිබුණේ කිසියම් විසිතුරු විලාසිතාවකටය.
මහේෂ් අපට තවත් ඇඳුම් කීපයක් පෙන්වන ලදි.
“මේ නුවරඑළියට අඳින ජැකට්. අපි දෙන්නේ රුපියල් 5000ට. ලොකු ෂොප්වල ඕක දෙන්නේ රුපියල් 12,000ට.”
දැන් රට හැරදා යන පිරිස වැඩි නිසා විදේශගත වන අයටම වෙන්වූ ඇඳුම් අපට දැකගත හැකිවිය.
“ගොඩක් අය රුමේනියා, ඊශ්‍රායල් යනවා. වින්ටර් අයිටම් දැන් ඉල්ලනවා වැඩියි. වින්ටර් ජැකට්, බොටම්, ග්ලවුස් තියෙනවා. වින්ටර් සපත්තු තියෙනවා.”
“වින්ටර් ජැකට් එකක් කීයක් වෙනවද?”
“අපි දෙන්නේ රු. 15,000ට, ඔය ලොකු රෙදි කඩවල රු. 25,000 විතර වෙනවා. දැන් රට යන අය වැඩි නිසා මේ අයිටම්වලට මාර ඩිමාන්ඩ් එකක් තියෙන්නේ.”
අපට ලෝක වෙළෙඳ පොළේ අලෙවියට තිබූ ටීෂර්ට් බොහොමයක් ලොව නම් දැරූ ඒවාය. ඒ අතර පෝලෝ, ටොම්හයි ෆයිටර්, මූස් වැනි වර්ග පෙනෙන ලෙස ප්‍රදර්ශනය කොට තිබුනි.
“සුද්දෝ ඉල්ලන බ්‍රෑන්ඩ් තමයි පේන්න තියෙන්නේ. ලෝකල් අයත් ගාන වැඩි වුණත් ගන්නවා.”
දැන් හැමෝම රෙඩිමේඩ් ඇඳුම් ඇන්දත් ටේලර් සාප්පුවක් ද ලෝක වෙළෙඳ පොළේදි අපට දැකගත හැකිවිය. එහි නම ප්‍රසාද් ටේලර්ස්ය. හිමිකරු වූයේ එස්. මෝගන්ය.
“දැන් කලිසමක් මහන්න රු. 1200/=යි. ෂර්ට් අත් දිග මහන්න රු. 1200/=යි. අත්කෙට රු. 500/=යි.
මෝගන්ගේ ප්‍රධාන ව්‍යාපාරය වූයේ පොලිසියේ යුනිෆෝම් මැසීමය.
“ඇඩ්වාන්ස් දීලා මහල ඉවර කලිසම් ෂර්ට් ලක්ෂ තුනක විතර තියෙනවා. ගෙනියන්නේ නැතුව. අවුරුදු 3 – 4 ගියාම මැහුම් කුලිය විතරක් අරගෙන දීලා දානවා.”
මෝගන් පවසන්නේ දැන් අලුත් පරම්පරාව ඇඳුම් මහන්නේම නැති බවත් රෙඩිමේඩ් ඇඳුම්වලට පුරුදුවී ඇති බවත්ය.
ඊළඟට අප පිවිසි නිව් යුනුස් සිලෙක්ෂන් හිමිකරු වූයේ යුනුස්ය.
“අපට ජීවත්වෙන්න දෙයියෝ ආදායමක් දීලා තියෙනවා. ගෝලයෝ තුනකට පඩි ගෙවන්න ඕන. මෙතැන තියෙන ලොකුම ප්‍රශ්නය පාකින් නැති එක.”
යුනුස්ගේ කඩේ අවට විදුලි වතුර ජෝගුවක් හා වීදුරු කීපයක් දැක ගත හැකි විය.
‘පොඩි හෝටලේකුත් කරනවා වගේ?”
“නෑ.. නෑ.. මේ මාර්කට් එකේ හෝටල් දෙකයි තියෙන්නේ. සමහර වෙලාවට ඒ දෙකම වහල තේ එකක් බොන්නවත් තැනක් නෑ. UDA එකෙන් ආවා බලන්න. එදත් හෝටල් වහලා. ඊට පස්සේ තේ එකක් හදාගන්න අවසර දුන්නා. UDA අවසර නැතුව මෙහේ මුකුත් බෑ.”
වර්ල්ඩ් මාර්කට් එකේ තිබූ තවත් කුටියක් වුනේ tatoo කොටන තැනකි. එය සුපිරි ලෙස පවත්වාගෙන යන බව වීදුරුවෙන් බැලූවිට පෙනෙන්නට විය. ඒත් හිමිකරු පිටතට ගොස් තිබුන නිසා ඔහු හමුවීමට නොහැකි විය.
වර්ල්ඩ් මාර්කට් එක ඇතුළේ ඇති හෝටල් දෙකකි. ඉන් එකක උණු උණුවේ දමන පරාටා විදේශීය ජෝඩුවක් ඇද බෑවේ සීනි දමාගෙනය. අනෙක් හෝටලය මෙහෙය වූයේ කරුණාය.
“උදේට සුද්දෝ බඩුගන්න ආවොත් කිරිබත් ඉල්ලනවා. මිරිස් නැතුව කඩල, මුංඇට ඉල්ලනවා. හැලප කන්න ආසයි. ප්ලේන්ටි නම් කීයටවත් බොන්නේ නෑ. සවුත්තුයි කියලා. ටී බෑග් ටිකක් සාක්කුවෙන් අරන් උණුවතුර කෝප්පයක් ඉල්ල ගන්නවා.”
ලෝක වෙළෙඳ පොළේ ආනයනික සපත්තු සෙරෙප්පු ඇති කුටි කීපයකි. ඒ අතරින් අප ගොඩවූයේ රාමිසාන්ගේ සපත්තු කුටියටය. එහි සපත්තු, බෙල්ට්, සෙරෙප්පු, ඔරලෝසු, සුවඳ විලවුන්වලින් පිරී ගොස් තිබුණි.
“දැන් බලන්න මේ බ්‍රෑන්ඩඩ් ෂූ එක. ලිබර්ට් ප්ලාසා එකේ රු. 15000/=යි. අපි ගාව 9500යි. පෙට්ටිය පිටින් දෙන්නේ.”
“දැන් සුද්දෝ ආවම වැඩිපුර ගණන් කියනවද?”
“නෑ නෑ අපි ඔක්කොම ගණන් ලේබල් ගහල තියෙන්නේ. බ්‍රෝකර් කෙනෙක් ආවොත් මිනිහටත් සලකන්න ඕනෙනේ බොසා!”
ඔහු පවසන්නේ සුද්දන් ලංකාවට එන්නේ වියදම් කිරීමට බවය. ඒ නිසා ටිකක් වැඩිපුර ගාණක් ගත්තට වැරැද්දක් නැති බවය. අප ලෙදර් බෙල්ට් එකක් අරගෙන බැලුවෙමු. එහි මිල ගසා තිබුණේ රු. 4500කට. ලෝකල් කෙනෙක්ට දෙන්නේ රු. 1600කටය. සුද්දාට විකුණන විට අයකරන රු. 4500/=ට සුද්දා සමඟ එන බ්‍රෝකර්ට කොමිෂන් එකක් ද ඇතුළත් කොට තිබේ.
“දැන් මේ ඔක්කොම ඔරිජිනල් බ්‍රෑන්ඩඩ් ද ?” ඔහු කීවේ මේ බඩුවලට කියන්නේ ට්‍රිබල් ඒ (AAA Quality) ක්වලිට් කියාය. ඒ කියන්නේ ඔරිජිනල් තත්වයටම තිබුණට ඔරිජිනල් නොවන බවය.
ලෝක වෙළෙඳ පොළ පාර ආසන්නයේ ඇති බොහෝ කඩවල දර්ශනීය ලෙස තබා ඇති අයිතම බොහොමයත් විදේශිකයින්ට ආකර්ෂණය වන දේවල්ය. ඒ අතරින් ලෙදර් බෑග්, පර්ස් පිරී ඉතිරී ගිය තැනකි. ‘ෂෆ්රා ලෙදර්’ එහි අලෙවියේ නියුතු වූයේ සලීම්ය.
වැඩිපුරම ලෙදර් සෙරෙප්පු තමයි සුද්දෝ ගන්නේ. මේවා ඔක්කොම අපි හදන්නේ. කෙත්තාරාම ග්‍රවුන්ඩ් එක ලඟට එක සැරයක් ගෙනිච්චාම සුද්දෝ මේ ලෙදර් බඩු ගන්න යාළුවන්වත් එවනවා.”
අපට නම් එහි තිබූ ලෙදර් අයිතම ඉතා විසිතුරු ඒවා විය. රෙදිගන්න ගමන් ඒවා දාගෙන යන්න ලෙදර් බෑග් එකක් ගන්නටද සුද්දෝ අමතක කරන්නේ නැත. මෙම ලෙදර් නිෂ්පාදන අපේ ඇත්තන් ද මිලදී ගන්නේ අප බලා සිටියදීමය.
මේ ලෝක වෙළඳපොළේඇත්තේ රෙදිපිළි පමණක් නොවේ. මෙහි ඇතැම් කඩවල මුළුමනින්ම ඇත්තේ තෑගි භාණ්ඩය. දැවමය බුදු පිළිම, විවිධ බතික් ඇඳුම්, ඉඳි තොප්පි, කදුරු ලීයෙන් කැපූ විවිධ විසිතුරු වෙස්මුහුණු මෙන්ම මුදු – කරාබු – මාල කඩ පවා මෙහි ඇත. කොළඹ කොටුව ඉදිරිපිට මාර්ගය මැදින් මාරුවිය නොහැකි ලෙස උස්වැටක් ගැසීම නිසා ලෝක වෙළෙඳ පොළ එන පිරිසේ ඇතිවූයේ දැවැන්ත අඩුවකි.
“ඉස්සර මල්වත්ත පාර පැත්තේ ආපු කස්ටමර්ලා පාර පැනල වර්ල්ඩ් මාකට් එකටත් ඇවිල්ල යන්නේ. ඒ කාලේ දවල් වෙනකොට මාර විදිහට බිස්නස් මේරුවා (වැඩිවුනා) දැන් පාලම උඩින් ඇවිල්ල රවුමක් එන්න ඕන නිසා කට්ටිය එනවා අඩුයි.”
කෙසේ නමුත් දැන් දැන් නැවතත් ලෝක වෙළෙඳ පොළ කරා පිරිස් ටිකෙන් ටික ඇදෙනු අපට දැකගත හැකිවිය. කොළඹ තරුපහේ හෝටල්වල නවාතැන් ගත් විදේශිකයින් හවස් ජාමයට පිවිසෙන තැනක් මෙන්ම අලුත් පරම්පරාවක් දිනා ගැනීමට එහි වෙළෙඳාමේ නියුතු අලුත් පරම්පරාවට සුබ පතමින් ලෝක වෙළෙඳ පොළ භූමියෙන් නික්ම ආවෙමු.
ඡායාරූප – සුදත් නිශාන්ත
වජිර ලියනගේ