Home » කෞටිල්‍යගේ ආර්ථික විග්‍රහය

කෞටිල්‍යගේ ආර්ථික විග්‍රහය

by Mahesh Lakehouse
May 11, 2024 12:29 am 0 comment

නාධිපති ධූර අපේක්ෂක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පසුගියදා රූපවාහිනී වැඩසටහනකකට සහභාගි වී පවසා සිටියේ වැට් බද්දෙන් බලාපොරොත්තු වන ආදායමෙන් 60%ක් ආණ්ඩුවට නොලැබෙන බවයි. ඒ වෙනුවෙන් තාක්ෂණය නිසි පරිදි බදු අය කිරීමට යෙදවීම හෝ පිරිවැටුමට බද්දක් අය කිරීම හෝ කළ යුතු බව ඔහු පැවසුවේය. පිරිවැටුමට බද්දක් අය කරනු ලබන ක්‍රමයක් අවශ්‍ය බව ඔහු එහිදී විශේෂයෙන්ම පෙන්වා දුන්නේය. වැට් බද්ද වෙනුවට පිරිවැටුමට බද්දක් අයකළ යුතු බව පැවසූ ඒ කතාව කෙරෙහි අද කෞටිල්‍යගේ අවධානය යොමුව ඇත.

ජනාධිපති ධුර අපේක්ෂක අනුර දිසානායක රාජ්‍ය බදු ප්‍රතිපත්තිය හා පිරිවැටුම් බදු ක්‍රමවේදය පිළිබද අනවබෝධයෙන් සහ සම්පූර්ණ අවුල් සහගත තත්ත්වයක සිටින බව අ.පො.ස උසස් පෙළ විභාගයට ආර්ථික විද්‍යාව විෂයයක් ලෙස හදාරන හිරිමල් තරුණයන්ට පවා ඔප්පු කොට පෙන්වා දී ඇත.

මක්නිසාදයත් සිංහල දෙමළ ඉංග්‍රීසි මාධ්‍යත්‍රයෙන් අ.පො.ස උසස් පෙළ ආර්ථික විද්‍යාව හදාරන ශිෂ්‍යයන්ට කුටුම්බයක පවතින ඡන්ද පිළිබඳ විශාල බලපෑමක් කළ හැක. දරුවන්ට පවා තේරෙන දෙයක් දේශපාලන නායකයන්ට නොතේරීම පිළිබඳ ඔවුන් කුමක් සිතනවා විය හැකිද? ලංකා ආණ්ඩුවේ විභාග දෙපාර්තමේන්තුවේ අ.පො.ස උසස් පෙළ විෂය නිර්දේශයේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ විස්තරාත්මක අධ්‍යයන කොටසක් ඇතුළත් කොට ඇත.

1. රජයේ ආදායම, ආදායම් සංයුතිය, ප්‍රමාණය ස්වභාවය උපනති.

2. රාජ්‍ය අය බදු, එනම් බදු අයකිරීමේ මූලධර්ම, ශ්‍රී ලංකාවේ බදු සංයුතිය, සංයුතියේ ඇති කළ වෙනස්කම්, බදු ආදායම් ඉහළ නැංවිය හැකි විකල්ප ක්‍රමවේද.

3. බදු නොවන ආදායම්, ලාභ – ලාභාංශ, පොලී කුලී යනාදිය පිළිබද.

4. ආණ්ඩුවක පුනරාවර්තන වියදම් හා ප්‍රාග්ධන වියදම්.

5. ප්‍රාථමික ගිණුමේ ශේෂ, පුනරාවර්තන ගිණුමේ ශේෂ, සමස්ත අය වැය පරතරය, ඒ උද්ධමානාත්මක මූලයන්ගෙන් පියවා ගැනීම, උද්ධමානාත්මක නොවන මූලයන්ගෙන් පියවා ගන්නා ආකාරය.

6. අය වැය හිඟය පියවා ගැනීම සඳහා රාජ්‍ය ණය ලබා ගැනීම්, දේශීය වෙළෙඳ පොළ ණය, වෙළෙඳ පොළ නොවන ණය, විදේශ ණය, ද්විපාර්ශ්වීය ණය, බහු පාර්ශ්වීය ණය, ණය සැපයූ ආයතන සංවිධාන යනාදිය.

මෙවැනි ඉතා පුළුල් විෂයානුබද්ධ කරුණු රැසක් පන්ති කාමරයේ තුළ හා පිටතින් හොඳින් අධ්‍යයනය නොකර උසස් පෙළ පන්තියවත් සමත්විය නොහැකි බව ආර්ථික විද්‍යාව නොකළ සියලුම දේශපාලනඥයන් විසින් වටහා ගැනීම තම තමන්ගේ ගරුත්වය සඳහා හේතු වේ.

පිරිවැටුම මත බදු පැනවීම වූ කලී ‘අචීරණ කල්පිත‘ එනම් යල් පැන ගිය ඉවත ලූ මතවාදයන්ය. ඒ මතවාදය යල් පැන ගිය පිළුණු වූ මතවාදයක් බව සියලු ආර්ථික විද්‍යාඥයන් පිළිගනී. ලංකාවද මේ පිරිවැටුම් බදු ක්‍රමය බොහෝ කලක් ක්‍රියාත්මක කොට ඇත. එය කෙටියෙන් හඳුන්වනු ලැබුවේ ‘බීටීටී‘ (BTT) වශයෙනි. (Business Turnover Tax – ව්‍යාපාර පිරිවැටුම් බද්ද)

උදාහරණයක් ලෙස ව්‍යාපාරයක පිරිවැටුම එනම් අලෙවි ආදායම රුපියල් ලක්ෂයක් නම් පිරිවැටුම බද්ද 10%ක් වූයේ නම් රජයට ගෙවිය යුතු ‘බීටීටී‘ (BTT) රුපියලකි. ඒ වාර්තාව සකසා ගෙවන්නේ ව්‍යාපාපාරිකයා වුවත් බදු බර දරන්නේ පාරිභෝගිකයා විසිනි. මක්නිසාද යත් පිරිවැටුම් බද්ද භාණ්ඩයේ මිලට එකතු වී ඇති නිසාය. මේ නිසා ලෝකයේ බදු විශේෂඥයන් පෙන්වා දී ඇත්තේ පිරිවැටුම් බදු ක්‍රමය බදු පිට බදු පැනවෙන පීඩාකාරී ක්‍රමයක් වන බවයි.

මෙම පිරිවැටුම් බදු ක්‍රමයේ පවතින ජනපීඩක ස්වභාවය ඉවත් කිරීම සඳහා ලෝක බදු විශේෂඥයන් ලොවට හඳුන්වා දුන් නව බදු ක්‍රමය ‘අගයානුකුල බද්ද‘ නැතහොත් ‘එකතු කළ අගය‘ අනුව බද්ද වේ. මෙහිදී වැට් බද්ද ගණනය කරනු ලබන්නේ දේශපාලනඥයන් හිතනා ආකාරයට නොවේ.

නිමවුමෙන් යෙදවුම් අඩු කළ විට එකතු කළ අගය ලැබේ. එවිට බදු ගෙවිය යුත්තේ සමස්ත වටිනාකමට නොව එකතු කළ අගයටය. උදාහරණ වශයෙන් ඉහත උදාහරණයට සම්බන්ධව පාන් අලෙවිකරුවෙකුගේ පාන් අලෙවියේ පිරිවැටුම රුපියල් ලක්ෂයක් නම් පාන් මිලදී ගැනීමට නිෂ්පාදනයෙන් ඔහු දරා ඇති වියදම 90,000ක් නම් සිල්ලර වෙළෙඳාමෙන් එකතු කළ අගය රුපියල් 10,000කි. ඒ අනුව 10% වැට් බද්ද අය කළේ නම් රුපියල් 1,000කි. අනුර කුමාර කියන පරිදි පිරිවැටුම් බද්ද පැනවූයේ නම් ඒ බද්ද රුපියල් 10,000කි. ඒ නිසා පිරිවැටුම් බද්දට වඩා පාරිභෝගිකයන්ට වාසිදායක වන්නේ වැට් බද්දයි. සරල උදාහරණයක් කියතහොත් ලංකාවේ සෑම සිල්ලර වෙළෙන්දෙක්ම කෞටිල්‍යගේ අදහස අනුව වැට්වලට යටත් කළ යුතුය. එවිට ඒ සිල්ලර වෙළෙඳ සලේ දිනක වෙළෙඳාම රුපියල් 100,000නම් 18% වැට් බද්ද වශයෙන් රුපියල් 18,000ක් ගෙවිය යුතු නොවේ. මක්නිසාද යත් ලක්ෂයකට විකිණූ බඩු ගැනීම සඳහා ගිය වියදම අඩු කිරීමට ඉඩදෙන නිසාය. විශේෂ බඩුවල ගැනුම් මිල 80,000ක් නම් සිල්ලර වෙළෙන්දා 18%ක් ගෙවිය යුත්තේ රුපියල් 20,000ටය. ඒ අනුව ගෙවිය යුත්තේ රුපියල් 3600කි.

කෞටිල්‍යයට දැනගන්නට ලැබී ඇති තොරතුරු අනුව රටේ මුදල් අමාත්‍යවරයා වන රනිල් වික්‍රමසිංහයන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසගෙන ඇති පරිදි 2027 වසරෙන් පසු, නිෂ්පාදන, ආනයන, අපනයන සිල්ලර තොග වෙළඳාම් සියල්ල වැට් බද්දට යටත් කොට 2027 සිට වැට් බදු අනුපාතය 12%ක් දක්වා අඩු කිරීම සිදු කෙරෙනු ඇත

වසර 2027දී වැට් බද්ද 12%ට අඩු වන විට වැට් බද්දෙන් නිදහස් කෙරෙන භාණ්ඩ ලැයිස්තුවක්ද අනුමැතියට යවා ඇත. එනම් සහල්, තිරිඟු පිටි, සීනි, පොල්, මාළු, එළවළු, පලතුරු, ඉංග්‍රිසි – සිංහල යුනානි බෙහෙත් වර්ග, පොත්පත්, දේශීයව නිපදවන අල, ලූනු, මිරිස්, කහ, උඳු යනාදී ජන ජීවිතයට අත්‍යවශ්‍ය වන භාණ්ඩ සියල්ල 12% වැට් බද්දෙනුත් නිදහස් කිරීමට යෝජිත වී ඇත.

මේ නිදහසින් පසු ලංකා ඉතිහාසයේ වඩාත් තීරණාත්මක හෝරාවයි. ශ්‍රී ලංකාව ආර්ථික නිදහස තහවුරු කොට 2048 වන විට සංවර්ධිත රටක් බවට පත් කිරීමට අවශ්‍ය පූර්ණ සැලැස්ම ජාත්‍යන්තර සහාය ඇතිව සකස් කොට ගෙන ඇත්තේ වර්තමාන ජනාධිපතිවරයා පමණි. ඒ නිසා සජිත් අනුර දෙදෙනාම රට ගොඩගැනීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ඔහුට සහ ඔහුගේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ සටහනට ලබා දිය යුතු බව කෞටිල්‍යගේ අදහසයි.

මීට පෙර මෙතරම් දරුණු නොවන එහෙත් නිදහසින් පසු ලංකා ආර්ථිකයේ ප්‍රථම කඩා වැටීම සිදුවූයේ 2001 වර්ෂයේදීය. 2001 වර්ෂයේදී ආර්ථිකයේ වර්ධන වේගය ඍණ 1.4ක් විය. කෘෂිකර්මාන්තය, කර්මාන්ත සේවා ඇතුළු සියලු අංශ බිඳ වැටුණු විට ගොඩ ගැනීමට කිසිවෙක් ඉදිරිපත් නොවුණි. නමුත් මේ රටේ ප්‍රබුද්ධ ජනතාව නැවත රට රනිල්ට බාර දීමෙන් අවුරුද්දක් දෙකක් ගත වන විට සම්පූර්ණයෙන් ආර්ථිකය යථාතත්ත්වයට ගෙන එනු ලැබීය. එවන් ආර්ථික වින්නැහියක් ඇති නොවන ආකාරයට කටයුතු කිරීමට නීති සම්පාදනය කළේ 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ වගකීම් පනත පාර්ලිමේන්තුවේ සම්මත කොට රට ගමන් කළ යුතු මාවත නීතිගත කොට තබමිනි. ලෝක ආධාර සමුළු කැඳවා ශ්‍රී ලංකාව යළි නඟා සිටුවීමට ඇ‍ෙමරිකානු ඩොලර් බිලියන 4ක් පොම්ප කිරීමට ජාත්‍යන්තර සහයෝගිතා එකඟතාවයක් ඇතිව තිබුණි නමුත් අවාසනාවට එරික් සොල්හයිම්ගේ සටන් විරාම ගිවිසුම මඟින් රට ප්‍රභාකරන්ට පාවා දෙනවා යැයි වික්‍රමසිංහ ආණ්ඩුව ජනතාව විසින් වැඩි ඡන්දයෙන් ගෙදර යැවුවේය. දශක දෙකක් ගතවීමට මත්තෙන් එහි අවසාන ප්‍රතිඵලය ලෙස දැකගත හැකි වූයේ රට බංකොලොත් වීමය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division