Home » රුසියාවට කුලී හේවායෝ පටවපු ජාවාරමේ මොළකරුවන් අල්ලපු මෙහෙයුම

රුසියාවට කුලී හේවායෝ පටවපු ජාවාරමේ මොළකරුවන් අල්ලපු මෙහෙයුම

මුලින්ම රටට හෙළි කළේ සිළුමිණ - දිනමිණ

by Mahesh Lakehouse
May 11, 2024 12:30 am 0 comment

 යුක්‍රේනයට එරෙහිව රුසියාව විසින් ආරම්භ කළ යුද්ධයට මේ වන විට වසර දෙකකට වැඩි කාලයක් ගතවී හමාරය. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්‍රේනයේ ඩොන්බාස් කලාපයේ “විශේෂ හමුදා මෙහෙයුමක්” දියත් කරන බවට නිවේදනය කරමින් 2022 වසරේ පෙබරවාරි 24 වෙනිදා ප්‍රහාර ආරම්භ කරන විට මුළු ලෝකයම හෙල්ලී ගියේ එය තවත් ලෝක යුද්ධයක පෙර නිමිත්තක් විය හැකි බවය. මුළු ලෝකයේම අවධානය යොමුවන්නේ රුසියාවට හා යුක්‍රේනය දෙසටය. ලෝක ආර්ථික අර්බුදයක පෙරනිමිති කියාපාමින් ඇරඹි මෙම යුද්ධය මාසයකින් දෙකකින් අවසන් වෙතැයි බොහෝ අය සිතූහ. එහෙත් වසර දෙකකට වැඩි කාලයක් ගතවී ඇතත් තාමත් යුද්ධයේ නිමාවක් නැත. එහෙත් ශ්‍රී ලාංකිකයන්ට දැන් ඒ යුද්ධයේ උණුසුම දැනෙන්නට පටන්ගෙන හමාරය. ඒ සංවිධානාත්මක පිරිස් අපේ රටේ විශ්‍රාමික හමුදා සාමාජිකයන්ට සිහින පෙන්වා කුලී හේවායන් ලෙස රුසියාවට පැටවීමේ ජාවාරමක් සිදුකර ජීවිත අවදානමක දමා ඇති බැවිනි.

රුසියාවට කුලී හේවායන් ලෙස සංවිධානාත්මකව මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් රැගෙන යන ජාවාරමක් ක්‍රියාත්මක වන බව මුල් වරට රටට හෙළිකරනු ලැබුවේ “දිනමිණ“ සහ “සිළුමිණ“ පුවත්පත්ය. පසුගිය අප්‍රේල් 21 වෙනිදාද “සිළුමිණ“ මේ ගැන රටට සවිස්තරාත්මක හෙළි කිරීමක් කරනු ලැබුවේ රුසියානු හමුදාවට කුලී හේවායන් ලෙස ගොස් අසරණ වන අපේ හමුදා සාමාජිකයන් ගැන මෙන්ම මෙම ජාවාරම පිටුපස සිටින අය ගැනය.

රුසියානු හමුදාවෙන් පලාවිත් මෙරට පැමිණ සිටින හමුදා සාමාජිකයන් මෙන්ම රුසියාවේ හමුදා කඳවුරුවල සිරවී සිටින හමුදා සාමාජිකයන්ගේ බිරින්දෑවරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළදාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන අංශය වෙත “සිළුමිණ“ ඒත් සමඟම යොමු කරනු ලැබුවේ මෙම ජාවාරමට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු වූ බැවිණි. මෙතෙක් හෙළි නොවූ මහා පරිමාණයේ මිනිස් ජාවාරමක තොරතුරු පමණක් නොව, අපේ රටේ විශ්‍රාමික හමුදා සෙබළු රුසියානු – යුක්‍රේන යුද්ධයේ “ බිලි බෝයිලා“ ලෙස යොදා ගන්නා බව පවා හෙළිවන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. ඒ අනුව කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් රුසියාවට යවා බිල්ලට දෙන ජාවාරමට සම්බන්ධ මුල්ම තැනැත්තන් වෙළදාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබෙන්නේ පසුගිය අප්‍රේල් 17 වෙනිදාය.  

ඒ එක් අයෙක් විශ්‍රාමික හමුදා මේජර්වරයෙකි. වාරියපොල පදිංචිකරුවෙක් වන ඔහු විජේබණ්ඩාර නැමැති 61 වන වියේ පසුවන අයෙකි. කුලී හේවායන් ලෙස රුසියාවට යැවීමට විශ්‍රාමික හමුදා සාමාජිකයන් රැස් කිරීමේ එත් පුරුකක් වන්නේ ඔහුය. මෙම විශ්‍රාමික මේජර්වරයා හරහා කුලී හේවායන් ලෙස රුසියාවට මේ වන විට ගොස් ඇතැයි අනාවරණය වී ඇති විශ්‍රාමික හමුදා සාමාජිකයන් ගණන පනහකට හැටකට වැඩිය. එහෙත් තවමත් කොපමණ පිරිසක් රුසියාවට රැගෙන ගොස් එහි කුලී හේවායන් ලෙස කටයුතු කරන්නේ දැයි කියන්නට දන්නේ නැත. මේ වන විට රුසියාවට කුලී හේවායන් ලෙස මෙරට හමුදාවල විශ්‍රාමික සාමාජිකයන් පැටවීමේ ජාවාරම පැති කිහිපයකින්ම සිදුවන බැවිනි. මේ කොටුකර ගන්නේ කුරුණෑගල කේන්ද්‍රකරගෙන සිදුවූ ජාලයක පුරුක් පමණි. විශ්‍රාමික මේජර්වරයාට අමතරව මෙම ජාලයේ කොටු කරගත් දෙවැන්නා වන්නේ දිගන රජවැල්ලේ පදිංචි විදේශ රැකියා ඒජන්සිකරුවෙකි.

63 හැවිරිදි වියේ පසුවන්නෙක් වන ඔහු නමින් බන්දුලය. රුසියානු ගමනට අවශ්‍ය වීසා සහ ගුවන් ටිකට් පහසුකම් සකස් වන්නේ මෙම ඒජන්සිකරු හරහාය. ඔහුට ඉහළින් තවත් අයෙක් මෙම ජාවාරමේ මෙහෙයුම්කරුවෙක් ලෙස සිටින්නේය. මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් රුසියානු හමුදාවට කුලී හේවායන් ලෙස රැගෙන යාමේ වැඩි කොටසකට දායකත්වය දෙන්නේ යැයි හදුනාගෙන සිටින්නේ ඔහුය. මේ කියන පුද්ගලයා චතුරංග නැමැති අයෙකි. ඔහු මහනුවර කටුගස්තොට පාරේ මහා පරිමාණයෙන් විදේශ රැකියා ඒජන්සියක් පවත්වාගෙන ගිය තැනැත්තිතෙකි. දැන් ඔහු එම ඒජන්සිය වසා දමා රටිනුත් පලාගොස් හමාරය. සුරූපී තරුණියන් සිය ඒජන්සියේ ප්‍රවර්ධකයින් ලෙස යොදා ගනිමින් මෙම ඒජන්සිය ඔහු විසින් පවත්වාගෙන ගොස් තිබී ඇත. කුලී හේවායන් ලෙස රුසියාවට මෙරට හමුදා සාමාජිකයන් රැගෙන යාමේ ජාවාරමේ මේ වන විට හදුනාගෙන සිටින මහ මොළකරුවන් අතර ඉහළින්ම සිටින්නේ යැයි කියැවෙන්නේ චතුරංගය. මහනුවර පැත්තේ විශ්‍රාමික හමුදා සාමාජිකයන් රැසක්ද මේ පුද්ගලයාගේ මෙහෙයැවීම මත රුසියාවට යවා ඇත. ඒ අයගෙන් කිහිප දෙනෙකුම සිටින්නේ යැයි අනාවරණය වන්නේ රුසියානු හමුදා කඳවුරුවල සිරගතවය. ඒ ඔවුන් රුසියානු හමුදාවෙන් පළායන්නට ගොස් අත්අඩංගුවට පත්ව ඇත.

රුසියාවේ හමුදා කදවුරක සිරගතව සිටින හමුදා සාමාජිකයෙකුගේ බිරිඳක් සිය සැමියා බේරාගෙන මෙරටට ගෙන්වා ගැනීමේ අපේක්ෂාවෙන් මෙරට පිහිටි රුසියානු තානාපති කාර්යාලයට ගොස් දුක කී විට එහි බළධාරින් පවසා ඇත්තේ රුසියානු හමුදාවට ශ්‍රී ලාංකිකයන් මෙතෙක් බඳවා ගෙන නැති බවය. සිය හමුදාවට විදේශිකයන් බඳවා ගන්නට නීතියක් තවමත් සකස්වී නැති බවද කියා ඇත්තේ සංචාරක වීසා මත සිය රටට ගොස් කුලී හේවායන් ලෙස එක්වූ ඒ අය ගැන තමන්ට මැදිහත්වීමක් සිදුකළ නොහැකි බව පැහැදිලි කර දෙමිනි. රුසියානු තානාපති කාර්යාලය එසේ පවසන්නේ කුලී හේවායන් ලෙස එරටට යන අපේ රටේ විශ්‍රාමික හමුදා සාමාජිකයන් එක්වන්නේ සැබෑ ලෙසම රුසියානු හමුදාවට නොවන බැවිනි. අනාවරණය වෙමින් ඇති ආකාරයට අනුව මේ අය රැගෙන ගොස් බිලිදෙන්නේ රුසියාවේ ඇති අතුරු සන්නද්ධ හමුදාවකටය. එය පුද්ගලික ආරක්ෂක සමාගමක් ක්‍රියාත්මක වන ලෙසිනි. එය රුසියාවේ ක්‍රියාත්මක “වැන්ගර්“ කුලී හමුදාව විය හැකි බවට සැකයක්ද මතුවී ඇත. එහෙත් මෙතෙක් එය නිශ්චිත ලෙස තහවුරු වන්නේ නැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙදාම, ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන අංශය පවා පවසයි.

රුසියාවේ ක්‍රියාත්මක මෙම කුලී හමුදාවන් යුද්ධ කරන්නේ මුදල්වලටය. එම හමුදාවේ රුසියානුවන් පමණක් නොව, ලෝකයේ රටවල් රැසක සාමාජිකයෝ බොහෝ දෙනෙකු සිටිති. රුසියාවේ ක්‍රියාත්මක වැන්ගර් කුලී හමුදාව රුසියානු රජයේ ආශිර්වාදය ලබන සමාගමක් බවට තොරතුරු අන්තර් ජාලය පරිශීලනයේදී ඕනෑ තරම්ය. එම තොරතුරුවලට අනුවද වැන්ගර් කුලී හමුදාව පුද්ගලික සන්නද්ධ සමාගමකි. මෙම සමාගම මුල්වරට එළියට ඇවිත් ඇත්තේ 2014 වසරේදීය. රුසියානු සිරගෙවල්වල රඳවා සිටින දරුණු ගණයේ අපරාධකරුවන්ට මෙම හමුදාවේ දොරගුළු විවර වී ඇති බව සඳහන්ය. යුද බිමේ ඉදිරියෙන්ම යැවෙන්නේ ඒ අයවය. කුලී හේවායන් ලෙස රුසියාවට ගොස් යුද පෙරමුණේ සිටින අපේ රටේ හමුදා සාමාජිකයන් සහ පලාවිත් මෙරටට පැමිණ සිටින හමුදා සාමාජිකයන් සඳහන් කරන ආකාරයට අනුව ඒ අයවද යොදවා ඇත්තේ යුද බිමේ ඉදිරිපෙළේය.

කුලී හේවායන් ලෙස රුසියානු යුද බිමේ සිටින අපේ රටේ විශ්‍රාමික හමුදා සාමාජිකයන් සහ රුසියානු යුද බිමෙන් පළාවිත් මෙරටට පැමිණ සිටින විශ්‍රාමික හමුදා සාමාජිකයන් පවසන ආකාරයට අනුව රුසියාවට කුලී හේවායන් ලෙස විශ්‍රාමික හමුදා සාමාජිකයන් රැගෙන යාමේ ජාවාරම පිටුපස සිටින්නේ එක් කල්ලියක් හෝ එක් ජාලයක් පමණක් නොවේ. කුරුණෑගල කේන්ද්‍රකරගෙන ක්‍රියාත්මක වන්නේ එක් ජාලයක් පමණි. එම ජාලයේ මෙරට ප්‍රධානියා ලෙස සැලකෙන්නේ විශ්‍රාමික මේජර් ජනරාල්වරයෙකි. මෙම විශ්‍රාමික මේජර් ජනරාල්වරයා මෙම ජාවාරමේ මහ මොළකරුවෙක් බව තහවුරු කරගෙන හමාරය. ඒ අනුව මෙම මහ මොළකරුවා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් පසුගිය 08 වෙනිදා රාත්‍රී කාලයේ දියත්වන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආරක්ෂක මණ්ඩලයේදීය.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළදාම, ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ අංශයේ නිලධාරීන් විසින් පළමුව අත්අඩංගුවට ගනු ලබන්නේ මෙම ජාවාරමේ මෙරට සම්බන්ධීකාරකයෙක් වන විජේසිංහ මුදියන්සේලාගේ සරත් රම්‍යසිරි විජේසිංහ නැමැති විශ්‍රාමික යුද හමුදා සාජන් මේජර්වරයාය. කුරුණෑගල යන්තම්පලාව, මාවිදළුපත 03 වන පටුමගේ පිහිටි නිවසේදී ඔහුව අත්අඩංගුවට ගන්නේ රාත්‍රී 8.00 ට පමණය. කුලී හේවයන් ලෙස ගොස් රුසියානු හමුදාවෙන් පළාවිත් මෙරටට පැමිණ සිටින විශ්‍රාමික හමුදා සාමාජිකයෙකුට පවා ඒ වන විට මෙම සාජන් මේජර්වරයා මරණ තර්ජනයක් පවා කර තිබුණේ මෙම ජාවාරම ගැන තොරතුරු හෙළි කිරීම හේතුවෙන් උරණවය.

වයස අවුරුදු 66ක් වන මෙම සාජන් මේජර්වරයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව විශ්‍රාමික මේජර් ජනරාල්වරයා අත්අඩංගුවට ගන්නට යන්නේ කුරුණෑගල වෙලේගොල්ල වත්තේ පිහිටි නිවසකටය. රාත්‍රී 9.00 පමණ වන විට ඔහුව අත්අඩංගුවට ගෙන කොළඹට රැගෙන එන්නේ ඉදිරි නීතිමය පියවර ගැනීමටය. මෙසේ අත්අඩංගුවට ගන්නා විශ්‍රාමික මේජර් ජනරාල් වන්නේ දැල්කඳුරේ ආරච්චිලාගේ රණරාජ රණවක නැමැති අයෙකි. අවුරුදු 59ක් වයසැති මෙම හමුදා ප්‍රධානියා යුද හමුදා කාලතුවක්කු බලකායේ හිටපු ප්‍රධානියෙකි. විශ්‍රාම ගොස් ඇත්තේ 2019 වසරේදීය. පුද්ගලික ආරක්ෂක අංශයක්ද පවත්වාගෙන යන මෙම මේජර් ජනරාල්වරයා කොළඹට රැගෙන විත් කළ ප්‍රශ්න කිරීම් හමුවේ පැවැසූයේ මේ ගැන මෙලෝ හසරක් තමා නොදන්නා බවය. තමා සිතා සිටියේ රුසියාවේ රියදුරු රැකියා වැනි කටයුතු සඳහා සෙබළු රැගෙන යන බවය.

මෙතෙක් කර ඇති විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ රුසියාවට කුලී හේවායන් ලෙස විශ්‍රාමික හමුදා සාමාජිකයන් යොමු කිරීමේ ජාවාරම සිදුවන්නේ විශ්‍රාමික හමුදා සාමාජිකයන්ගේ ඇතැම් සංවිධාන හරහා බවය. ඒ එක් සංවිධානයක් වන්නේ කුරුණෑගල කේන්ද්‍රකරගත් කාලතුවක්කු බළකායේ විශ්‍රාමික නිලධාරීන්ගේ සංගමයකි. මේ වන විට වැටලීමට ලක්ව ඇත්තේ එම සංවිධානයට සම්බන්ධ විශ්‍රාමික හමුදා සාමාජිකයන්ගෙන් සැදුම්ලත් ජාලයේ ජාවාරම්කරුවන්ය. හඳුනාගෙන ඇති ආකාරයට අනුව විශ්‍රාමික මේජර් ජෙනරාල් රණරාජ රණවක එම ජාලයේ මෙරට මහ මොළකරුය.

“ සංගම්වල තියෙන නාම ලේඛනවලට අනුව දුරකතන ඇමැතුම් දීල ඇතැම් විශ්‍රාමික හමුදා සාමාජිකයන් රවටලා කුලී හේවායන් ලෙස රුසියාවට යවල තියෙනවා කියල අපිට පෙනී ගොස් තිබෙනවා. යුද හමුදා මූලස්ථානයෙනුත් දුරකතන අංක ලබාගෙන තිබෙනවා කියලත් තොරතුරු තිබෙනවා. ලොකු වැටුප් දෙනවා. “ ඒ මෙම විමර්ශනය භාරව කටයුතු කරන තැනැත්තන් වෙළෙදාම, ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන අංශයේ සහකාර පොලිස් අධිකාරී හරේන්ද්‍ර ජනකාන්තය.

විශ්‍රාමික හමුදා සාමාජිකයන් රැස්කර පැවැත්වෙන දේශනවලදී මෙම ජාවාරමේ ඉහළින්ම සිටින ප්‍රධානියෙක් වන චතුරංග සම්බන්ධ වී ඇත්තේ වීඩියෝ ඇමතුම් ඔස්සේය. ඒ ඔහු රුසියාවේ රැඳී සිටින බව ඒත්තු ගන්වමිනි.

එහිදී චතුරංග රැස්ව සිටින විශ්‍රාමික හමුදා සාමාජිකයන් රැවටීමට ලක්කරනු ලබන්නේ වසරක සේවා ගිවිසුමක් සඳහා මුලින්ම රුපියල් ලක්ෂ 18ක මුදලක් රුසියාවට වන හමුදා සෙබලුන්ට ලැබෙන බව කීමෙනි. එම මුදල ලැබෙනු ඇතැයි පැවසෙන්නේ රුසියාවට ගිය පසුවය. එසේම ඔහු මෙම විශ්‍රාමික හමුදා සාමාජිකයන් රැවටීමට ලක්කරනු ලබන්නේ රුසියානු හමුදාවට එක්වීමෙන් අනතුරුව පවුලටම පුරවැසිභාවය ලැබෙන බව කියමිනි. රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග්වලින් ඉඩමක්ද මාසයකට රුපියල් ලක්ෂ 07කට වැඩි වැටුපක්ද ලැබෙන බව චතුරංග කියන්නේ රුසියාවේ ජීවත්වීමට යන සුන්දර ලෝකයක් මවා පාමිනි.

“හිඟාකෑවත් රුසියානු හමුදාවට එන්න හිතන්න එපා. ඊළඟ විනාඩියේ මොනව වෙයිද කියල අපිවත් දන්නේ නැහැ. අපි තමයි මෙයාලගේ ඇමේ. මගේ මුළු පවුලම තාම අඬනවා. අපි හිතනවට වඩා මේ යුද්ධය දරුණුයි. අපි පිච්චි පිච්චි ඉන්නේ. කොයි මොහොතේ මැරෙයිද දන්නේ නැහැ.“ රුසියානු කුලී හමුදාවේ සේවයේ නිරතව සිටින සඟයෙකුය.

මේ වන විට පැමිණ සිටින විශ්‍රාමික හමුදා සාමාජිකයන් පවසන ආකාරයට අනුව ඉකුත් දෙසැම්බර් වන විට රුසියාවේ කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයින් ගොස් සිටියේ දෙතුන් සියයක් පමණි. මෙම වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ දහසකට වැඩි පිරිසක් කුලී හේවායන් ලෙස එක්ව සිටින බව ඔවුන්ගේ තක්සේරුවයි. ඒ වෙනදාට වඩා වැඩි මෙරට හමුදා සාමාජිකයන් පිරිසක් යුද බිමේදී ඔවුන්ට මුණ ගැසෙන බැවිනි. ඒ එකිනෙකා අතර යම් සන්නිවේදනයක් තිබුණත් සති කිහිපයක සිට 200ක පමණ පිරිසක් ගැන කිසිදු තොරතුරක් නැත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන්, ‍ සහකාර පොලිස් අධිකාරී හරේන්ද්‍ර ජනකාන්ත පවසන ආකාරයට අනුව කුලී හේවායන් ලෙස රුසියාවේ සිටින මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් විශාල පිරිසක් මියගොස් හා තුවාල ලබා සිටින බව කීවත් නම් ගම් ඇතිව මියගොස් ඇතැයි අනාවරණය වී ඇත්තේ 06 දෙනෙක් පමණි. විසිපස් දෙනෙක් පමණ තුවාල ලබා සිටිති. එසේ තුවාල ලැබූ අය අතරින් දෙනෙක් රෝහල්වලින් පලාවිත් මෙරටට පැමිණ ඇති අතර එක් අයෙක් පළාවිත් ඇත්තේ යුද බිමේ සිටියදී ඩ්‍රෝන ප්‍රහාර හමුවේ ජීවිතය ගලවාගෙනය.

මේ අය මේ වන විට මෙම ජාවාරම ගැන සහ ඊට සම්බන්ධ වූවෝ ගැන බොහෝ තොරතුරු හෙළි කරති. රුසියාවේ සිට හමුදා සාමාජිකයන් කිහිප දෙනෙක් මෙරටට පලාවිත් සිටින බව පවා ඇතැම් ප්‍රධාන ජාවාරම්කරුවන් දැනගන්නේද තැනැත්තන් වෙළදාම, ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන අංශය මඟින් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවය. ඒ ඔවුන්ව අත්අඩංගුවට ගන්නේ එසේ පලාවිත් සිටින හමුදා සාමාජිකයන්ගේ සාක්ෂි මත වූ බැවිනි. කුලී හේවායන් ලෙස විශ්‍රාමික හමුදා සාමාජිකයන් රුසියාවට යැවීමේ ජාවාරමේ අඳුරු පැත්ත හෙළිකරන්නේ ඔවුන්ය. විශ්‍රාමික මේජර් ජනරාල් රණරාජ රණවක ඇතුළු පිරිසක්ම මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත්තේ ද ඒ අනුවය.

“ තාමත් අපි අත්අඩංගුවට ගෙන සිටින්නේ සුළු ප්‍රමාණයක් පමණයි. අපි තවදුරටත් මේ ජාවාරම ගැන විමර්ශන පවත්වනවා. මෙම ජාවාරමට ගෑවී සිටින සෑම කෙනෙක්වම හඳුනාගෙන අත්අඩංගුවට ගන්නවා. රටින් මේ වන විටත් පලාගොස් සිටින අය පවා අපි අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු කරනවා. “ ඒ වෙළදාම, ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන ඒකකයේ සහකාර පොලිස් අධිකාරී හරේන්ද්‍ර ජනකාන්තය.

එම අංශයේ නිලධාරීන් මෙතෙක් සිදුකර ඇති විමර්ශනවලින් හෙළිකරගෙන ඇති ආකාරයට මෙහිදී සිදුව ඇත්තේ කුලී හේවායන් ලෙස විශ්‍රාමික හමුදා සාමාජිකයන් විකිණීමකි. එක් විශ්‍රාමික හමුදා සාමාජිකයෙකු වසර දෙකක කොන්ත්‍රාත් කාලයකට රුසියානු හමුදාවට භාරදෙන විට ජාවාරම්කරුවන්ට ලැබෙන මුදල රුපියල් ලක්ෂ තිහකි. නැතිනම් රුපියල් ලක්ෂ හතළිහකි. මෙම මුදල හරිනම් ලැබිය යුත්තේ කුලී හේවායන් ලෙස එක්වන හමුදා සාමාජිකයාටය. මැලේසියාව, ඉන්දියාව, පකිස්තානය, කියුබාව වැනි රටවලින් කුලී හේවායන් ලෙස රුසියානු හමුදාවට එක්ව සිටින සාමාජිකයන් අපේ හමුදා සාමාජිකයන්ට පවසා ඇත්තේ එම මුදල ලැබෙන්නේ තමන් අතට බවය.

“මාව බේරගන්න. අපිව බොරු කියලයි බඳවා ගත්තේ. බිරිඳ නැතිවෙලා මාසයක් වෙනවා. මට එක ළමයයි ඉන්නේ. එයාව මොන්ටිසෝරි යවන්න ඕනේ. මම නැති වුණොත් දරුවට කාත් කවුරුත් නැති වෙනවා. මම අසරණයි. උදව්කරන්න මේ උගුලෙන් ගැලවිලා යන්න.“ කුලී හේවායෙක් ලෙස රුසියානු හමුදාවේ රැදී සිටින කුරුණෑගල කුඹුක්ගැටේ පදිංචිකරුවෙක් වන එරන්ද නැමැති සෙබළා වීඩියෝවක් නිකුත්කරමින් කරන මෙම ප්‍රකාශයෙන්ම රුසියානු යුද බිමේ අද මෙරට විශ්‍රාමික හමුදා සෙබළු කොතරම් අසරණව සිටීදැයි හිතා ගන්නට පුළුවනි. මෙම සෙබලා මේ වන විට සිටින්නේ තුවාල ලබා හමුදා කඳවුරක ප්‍රතිකාර ලබමිනි.

තවත් සෙබළෙක් රුසියානු යුද බිමේ සිට හඬ පටයක් සිය මිතුරෙකුට එවමින් පවසා සිටින්නේ “දන්න කෙනෙකුට කුලී හේවායන් ලෙස රුසියාවට එන්න දෙන්නනම් එපා“ යැයි කියාය. ඔහුත් පවසන්නේ රුසියාවට පැමිණ මාස තුන හතරක් ගෙවී ගොස් ඇතත් තවමත් වැටුප් නොලැබුණු බවය.

“අපිට සුන්දර ලෝකයක් පෙන්නුවා. හැබැයි ඒ සුන්දර ලෝකය නෙමෙයි අපි රුසියාවට ආපුවාම දැක්කේ. හරිම කටුකයි. භයංකාරයි. රුසියාට ඇවිල්ල කරගත්ත මෝඩකමක් කියලත් හිතුනා. මගේ ඇස් ඉදිරිපිට අපේ කොල්ලො දෙන්නෙක් මැරුණා. ප්‍රියංකර සහ ගුණසේකර කියල. තාම ගෙවල්වලින් දන්නෙත් නැහැ. කියන්නත් බැහැ. අපිත් එක්ක ආපු කිහිප දෙනෙක් ගැන තාම තොරතුරු නැහැ. ඒ අය ඉන්නවද මැරිලද කියලවත් දන්නේ නැහැ. “ කුලී හේවායෙක් ලෙස රුසියානු හමුදාවේ රැඳී සිටින පල්ලෙවෙල නමින් හඳුන්වනු ලබන විශ්‍රාමික හමුදා සාමාජිකයෙකු මෙම ජාවාරමේ නොපෙනෙන පැත්ත හෙළිකරනු ලබන්නේ එසේය.

“අපේ අය 50ක් 60කට වෙච්ච දෙයක් නැහැ. නොදැනුවත්කමින් ආවේ. ඒ නිසයි අනිත් අයව මේ විදිහටහරි දැනුවත් කරන්නේ. අපේ ගොඩක් අය මැරිල. ඒත් අපේ අය රුසියාවට එනවා. “

සුරංගනා ලෝක පෙන්වා කුලී හේවායන් ලෙස රුසියාවට රැගෙන යන මෙරට විශ්‍රාමික සෙබළුන් මුල් දින කිහිපය තුළ රදවා තැබෙන්නේ රුසියාවේ හෝටල්වලය. එම කටයුතු සම්බන්ධීකරණය කරනු ලබන්නේ යැයි කියැවෙන්නේ ඉන්දියානු ජාතික වෛද්‍යවරයෙක් බව කියන රමේෂ් නැමැති අය විසිනි. රුසියාවේ හෝටල් කාමරවල රඳවා තැබෙන කාලය තුළ මෙරටින් යන සෙබළු බලා ගැනීමට පුද්ගලයෙකුද යොදනු ලබයි. ඒ පළායන්නට ඉඩ වළකමිනි. අනතුරුව රමේෂ් නැමැත්තා විසින් රුසියානු නීතිඥවරියක් රැගෙන විත් ගිවිසුම් අත්සන්කර ගන්නේ වසරක හෝ වසර දෙකක කාලයක් සඳහා හමුදා සේවයේ කුලී හේවායෙක් ලෙස නිරත වීම සම්බන්ධයෙනි. රුසියානු භාෂාවෙන් ඇති එම ලියකියවිලිවලට මෙරටින් යන විශ්‍රාමික සෙබළු අත්සන් තබන්නේ එහි සඳහන්ව ඇත්තේ කුමක්දැයි පවා නොදැනය. යුද බිමට යැවෙන්නේ ගිවිසුම් අත්සන් කිරීමෙන් අනතුරුවය. තමන්ව යොදවන්නේ හමුදා කඳවුරු ඇතුළත සේවයේ සඳහා යැයි කියා ජාවාරම්කරුවන් කීවත් තමන්ව මේ රැගෙන විත් ඇත්තේ කුලී හේවායන් ලෙස යුද්ධ කිරීමට බව කොයි කවුරුත් දැන ගන්නේ යුද බිමට ගොස් අතහැර දැමීමෙන් අනතුරුවය.

මෙසේ රුසියන් යුද බිමට ගොස් සිටින අය අතර එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සේවයේ නිරත වූවෝ ද නැත්තේම නැත.

“මගෙත් එක්ක ලංකාවෙන් 11 ක් ගියා. අපිට රුසියාවට ගෙනිහින් කඳවුරකට දැම්මා. කඳවුරක් කීවට ඒක ටෙන්ට් කිහිපයක් තිබ්බ හිස් භූමියක්. එතැන අපිත් එක්ක ලංකාවේ 30ක් විතර හිටියා. ඒ අයගෙන් 06 දෙනෙක් ගැන විතරයි දැන් තොරතුරු තියෙන්නේ. අනිත් අය ඉන්නවද නැද්ද කියලවත් කියන්න දන්නේ නැහැ.“ රුසියානු යුද බිමෙන් පලාවිත් මෙරටට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සේවයේ පවා සිටියෙක් මෙරටින් රුසියාවට ගිය අයගේ ඉරණම ගැන ඉඟියක් කරනු ලැබුවේ එසේය. මෙම සෙබලා පලා එන්නේ තුවාල ලබා මොස්කව් හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය.

කුලී හේවායන් ලෙස රුසියාවට මේ හැම දෙනෙක්ම පාහේ ගොස් ඇත්තේ විශ්‍රාමික හමුදා සාමාජික සංගම් ඔස්සේ හුවමාරු කරගත් තොරතුරු ඔස්සේය. එම ගමන සඳහා ගුවන් ටිකට්පත් ඇතුළු හැම වියදමක්ම දරාගෙන ඇත්තේ පෞද්ගලිකවම ඔවුන් විසිනි. එම මුදල් හතර අතේ ණය වී සොයාගෙන ඇත්තේ රුසියාවට ගොස් ගිවිසුම් අත්සන් කළ පසු රුපියල් ලක්ෂ 20ක මුදලක් අතට ලැබෙන බවට ජාවාරම්කරුවන් විසින් ලබාදුන් පොරොන්දු මතය. හැබැයි එවැනි මුදලක් ලැබුණු කිසිදු සෙබළෙක් සොයා ගන්නට නැත. ඒ එම මුදල් සියල්ලම වැටී ඇත්තේ ජාවාරම්කරුවන්ගේ සාක්කුවට වූ බැවිනි.

විදේශිකයන්ට රුසියානු හමුදාවට එක්වීමට දැනට එරට තුළ නීති නොමැති වූවත් එම නීති මේ වන විට ඇත්තේ සම්පාදනය වෙමින් බව එරටින් ලැබෙන තොරතුරුවල සඳහන්ය. එම නීති ඉදිරි මාස 06 තුළ සම්මත වනු ඇති බවට විවිධ තොරතුරුවල සඳහන්ය. නව නීති සම්පාදනය වීමෙන් අනතුරුව රුසියානු හමුදාවට නීත්‍යනුකූලව එක්වී මාස හයකින් හෝ වසරකින් පසු එරට පුරවැසිභාවයද හිමිවනු ඇත. ඒ නිවැරදි ක්‍රමයට එරටට ගොස් හමුදා සේවයට එක්වූ විට පමණි. රුසියානු හමුදා සාමාජිකයෙකුට දීමනා සහිතව ලැබෙනු ඇතැයි කියන වැටුප රූබල් ලක්ෂ 06කි. එය ශ්‍රී ලංකා රුපියල් වලින් ලක්ෂ 10ක් හෝ ඒ ආසන්න මුදලකි. එසේම යුද බිමේදී මියයන රුසියානු සොල්දාදුවෙකුට ලැබෙන වන්දිය රූබල් මිලියන 15ක් පමණ වනු ඇත. යුද්ධයෙන් ආබාධිත වූ විට ලැබෙන වන්දිය රූබල් මිලියන 03කි. ඒ හැරුණු කොට සාමාන්‍ය සුළු තුවාලයක් සිදුවූ විට ලැබෙන මුදල රූබල් 80,000ත් රූබල් ලක්ෂ දෙකත් අතර ප්‍රමාණයකි. මේ දේවල් කුලී හේවායන් ලෙස රුසියාවට මේ වන විට ගොස් සිටින කිසිවෙකුටත් ලැබෙන්නේ නැත. අඩුම තරමින් මියගිය බව සනාථ කෙරෙන කිසිදු ලියවිල්ලක්වත් රුසියානු රජයෙන් ලැබෙන්නේද නැත.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division