ශ්‍රී ලංකා මහ බැංකුව යනු මෙරට ආර්ථිකයේ ප්‍රධාන මෙහෙයුම්කරුය. මහ බැංකුවේ ප්‍රතිපත්ති මෙරට ආර්ථිකයේ බොහෝ හැරවුම් ලක්ෂ්‍ය පවා තීරණය කර ඇත. පසුගිය 7 වෙනිදා මහ බැංකුවේ පැවැති ‘ස්ථිරසාර ස්ථායිථාව‘ මාධ්‍ය හමුවේදී මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් හා මහ බැංකුවේ කාර්යභාරය සම්බන්ධයෙන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් දැක්වූ කරුණු ඇසුරින් මේ ලිපිය සැකසුණි.
මේ වන විට රටේ ‘සර්වආර්ථික‘ වශයෙන් ස්ථාවර තත්ත්වයක් ඇතිව තිබේ. ඒ තත්ත්වය ඇති වූයේ රජය සහ මහ බැංකුව විසින් පසුගිය කාලයන්හි ගනු ලැබූ ක්‍රියාමාර්ග නිසාවෙනි. කෙටි කලකින් ලබාගත් එම ස්ථායිතාවය දීර්ඝකාලීනව ස්ථිරසාරව ඉදිරියට ගෙන යාමට කටයුතු කළ යුතුය. එම නිසා ‘ස්ථිරසාර ස්ථායිථාව‘ ක් කෙරෙහි යොමු වීම කෙරෙහි අවධානය යොමු කෙරේ.
එහිදී විශේෂයෙන්ම මහජනතාවට යම් කිසි සහනයක් ලබා ගැනීමට, ලබා දීමට නම් පසුගිය කාලයේ ඇති කරගත් සාර්ථක ප්‍රතිපත්ති දිගින් දිගටම පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වනු ඇත. එසේ ගමන් කළහොත් ආර්ථික වර්ධනය වැඩි වී උද්ධමනය ස්ථායි තත්ත්වයකට පත්වනු ඇත. එසේම බැංකු පද්ධතිය ද ස්ථායි තත්ත්වයකට පත්ව ජනතාවගේ ආදායම වැඩිවනු ඇත. ජනතාවගේ දුප්පත්කම අඩු වී රටේ ආර්ථික ස්ථාවරත්වයක් ඇති වනු ඇත. ඒ උදෙසා වත්මන් ගමන් මාර්ගයේම ගමන් කිරීම වැදගත් වනු ඇත.
මහ බැංකුව නව පනත යටතේ ක්‍රියාත්මක වුව ද බැංකුව සතු ප්‍රධාන වගකීම් දෙකක් මෙහිදී පෙන්වා දිය යුතුය. ඉන් පළමුවැන්න රටේ උද්ධමනය 5%ක මට්ටමට පවත්වාගෙන යාමය. ඒ සම්බන්ධව මහ බැංකුව හා මුදල් අමාත්‍යාංශය අතර ගිවිසුමක් ද අත්සන් කර ඇත. දෙවැන්න වන්නේ මෙරට මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව ආරක්ෂා කර ගැනීමයි. ඒ වගකීම උදෙසා කටයුතු කිරීමට මහ බැංකුව විසින් ක්‍රියා කරනු ලබන අතර එහිදී බැංකු හා බැංකු නොවන මූල්‍යායතන නිසි පරිදි අධීක්ෂණය කිරීමට කටයුතු කෙරේ.
මෙහිදී බොහෝ දෙනා විසින් වැරදියට අර්ථකථනය කරගනු ලබන කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුය. ඇතැමුන් විශේෂයෙන්ම ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ‘මහ බැංකුව එකක් රජය තවත් එකක්‘ යනුවෙන් වැරදි අර්ථ දැක්වීම් සිදු කරනු ලබන බව පෙනේ. මහ බැංකුවේ ප්‍රතිපත්ති හා රජයේ ප්‍රතිපත්ති දෙකක් බව සඳහන් කළ යුතුය. එහෙත් මේ දෙකම රාජ්‍ය ආයතන ලෙස ගොනු කළ හැකිය.
මහ බැංකුව විසින් තීරණය කරන්නේ රටේ මූල්‍ය ප්‍රතිපත්තියයි. රජය විසින් සිදු කරන්නේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියයි. එනම් රටේ බදු පැනවීම ඊට අමතරව රාජ්‍ය ආයතන සම්බන්ධ අවශ්‍ය ප්‍රතිපත්තිමය කටයුතු සිදු කිරීම වැනි කටයුතු රජය මඟින් සිදු කෙරේ.
මේ සම්බන්ධව ඇති අනවබෝධය නිසා මෙවැනි මත පළ කිරීම් සිදු කරනු ලබන බව පෙනී යයි. ප්‍රතිපත්ති පොලී අනුපාතය, විනිමය අනුපාතය වැනි ප්‍රතිපත්ති මහ බැංකුව හරහා සිදු කෙරේ. ඇතැමුන් මේ අනවබෝධය නිසා මහ බැංකුව පාඩු ලබන ආයතනයක් බවත් අසාර්ථක ආයතනයක් බවත් පවසා තිබේ. මහ බැංකුව පිහිටුවා ඇත්තේ ලාභ ලැබීමටම නොවේ. එය ඇතැම් විට පාඩු ලැබීමට ඉඩ ඇත. ඇතැම් විට ලාභ ලැබීමට ඉඩ ඇත. මහ බැංකුව විසින් ගෙන ඇති ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිපත්තිවල සාර්ථක අසාර්ථකභාවය ගැන අවධානය යොමු කිරීම මෙහිදී කළ යුත්තකි.
එහිදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ලාභ ලැබීමට හෝ පාඩු ලැබීමට ඉඩ ඇත. එය මහ බැංකු පනතේ පැහැදිලිව අර්ථ දක්වා ඇත. මහ බැංකුව වසර ගණනාවක් ලාභ ලබා ඇති අතර පසුගිය ඇතැම් වසරවල අලාභ ලබපු අවස්ථාද තිබේ. උදාහරණ ලෙස 2007 වසරේදී මහ බැංකුව රුපියල් බිලියන 5ක අලාභයක් ලබා ඇත. එසේම 2013 වසරේ රුපියල් බිලියන 24ක් ද 2014 වසරේ රුපියල් බිලියන 32ක් ද පාඩු ලබා ඇත. එසේම 2015 වසරේ බිලියන 19ක් පාඩු ලබා තිබේ. එමෙන්ම 2022 වසරේ රුපියල් බිලියන 374ක් මහ බැංකුව පාඩු ලබා ඇති අතර 2023 වසරේදි රුපියල් බිලියන 114ක් පාඩු ලබා තිබේ. මෙසේ වූයේ කෙසේද?
2022 වසරේ පාඩු ලැබීමට හේතු වූයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ විදෙස් සංචිත අඩුවීමයි. එහිදී වත්කම් හා වගකීම් සම්බන්ධ තිබුණු වගකීම් ප්‍රමාණයේ වැඩි වීම් සිදු වූ අතර රුපියල් 203ක්ව තිබුණු ඩොලරය පාවීමට ඉඩ හැරීම නිසා එය රුපියල් 370ද ඉක්මවා ගියේය. එම නිසා විදේශ විනිමය විශාල වශයෙන් අඩුව ගියේය.
2023 වසරේදී මහ බැංකුව සතු සංචිත ගොඩනඟා ගත්ත ද දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා මහ බැංකුවට පාඩු ලැබීමට සිදු විය. එය රටේ බදු ගෙවනු ලබන ජනතාවට විශාල පාඩුවක් බව ද පෙන්වා දිය යුතුයි.
කෙසේ වුවත් මේ වන විට දළ සංචිත ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් බිලියන 5.4ක් (ඩොලර් මිලියන 5438ක්) දක්වා වැඩි වී ඇත. බිලියන 5ක් ලෙස අවසන් වරට දැක්වුණේ 2021 වසරේදීය.
එමෙන්ම මෙහිදී පෙන්වා දිය යුතු තවත් වැදගත් කරුණක් වන්නේ ඇතැම් අය විසින් පසුගිය කාලයේ විවිධාකාරයෙන් වැරැදි අර්ථකථන දැක්වූ සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙනි.
9%ක් ලෙස පැවැති සේවක අර්ථසාධක අරමුදලේ පොලී අනුපාතය 13%ක් දක්වා වැඩි කර තිබේ. සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට ගෙවනු ලබන පොලී ප්‍රතිශතය තීරණය කරනු ලබන්නේ එම අරමුදල සිදු කරන ලබනු ආයෝජන මතය. බොහෝ විට එම අයෝජන භාණ්ඩාගාර බිාල්පත්වල ආයෝජනය කරන ලද අතර පසුගිය කාලයේ භාණ්ඩාගාර බිල්පත් හරහා ඉහළ පොලියනක් ගෙවනු ලැබූ නිසා අමතර 2%ක පොලියක් ගෙවීමට හැකි විය. ඒ අනුව 11%ක් දක්වා පොලී මුදල වැඩි කිරීමට එක් අතකින් හැකියාව ලැබුණි.
එමෙන්ම මෙහිදී පෙන්වා දිය යුතු තවත් කරුණක් වන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සේවක අර්තසාධක අරමුදලට ද Financial Service Tax නම් වන බද්ද ගෙවිය යුතු බවට දන්වා තිබුණි. එහෙත් ශ්‍රී ලංකා මහ බැංතුව විසින් දිගින් දිගටම පෙන්වා දී තිබුණේ සේවක අර්ථසාධක අරමුදලෙන් එසේ Financial Service Tax අය නොකළ යුතු බවයි. කෙසේ වුවත් එවැනි බද්දක් ගෙවීමට සිදු වුවහොත් යන ප්‍රතිපත්තිය අනුව රඳවා ගත් අරමුදල් ගෙවීමට සිදු නොවීය. ඒ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා මහ බැංකුෙවන් ගෙන්වා දීමට එකඟ වීම නිසාය. එම නිසා තවත් 2%ක අතිරේක පොලී ප්‍රතිශතයක් ලබා දෙන්නට හැකියාව ලැබුණි. එම නිසා 13%ක් ලෙස සේවක භාරකාර අරමුදලේ පොලී ප්‍රතිශතය ඉහළ නැඟුණි. ඇතැමුන් විසින් සිදු කළ සේවක භාරකාර අරමුදලේ මුදල් නැති වේවි, පොලී මුදල නොමැතිව ඉන්නට සිදු නොවන බව මෙය හොඳම පෙනේ.
ඩොලරයේ මිල පහළ යාම නිසා කඩිනමින් ජනතාවට සහන ලබා දිය හැක්කේ ඉන්ධන, ගෑස්, විදුලි බලය වැනි ක්ෂේත්‍රවලිනි. ආනයනික සෙසු භාණ්ඩ හා සේවාවන්ගේ ප්‍රතිලාභ ජනතාවට කඩිනමින් ලබා දීමට නොහැක්කේ එම භාණ්ඩ අදාළ ආනයනකරුවන් විසින් ආනයනය කර ඇත්තේ මාස 3කට පමණ පෙර නිසා එම වාසිය එක්වරම ජනතාවට ලබා දිය නොහැකි බැවිනි. කෙසේ වුවත් නියාමනය හරහා එම කටයුතු සිදු කළ හැකිය.
උද්ධමනය ගැන මෙහිදී විශේෂ අවධානයක් යොමු කළ යුතුය. මහ බැංකුව විසින් සිදු කළ ආර්ථික ගැළපුම් ක්‍රියාවලිය 2023 වසර තුළදීම යහපත් ප්‍රතිඵල අත්කරගෙන ඇත. 2022 වසරේ දී වාර්තා වූ ඉහළම උද්ධමන මට්ටමක සිට, 2023 වසර අවසානය වන විට උද්ධමනය තනි ඉලක්කමක මට්ටමට පාලනය වී ඇති අතර, එමඟින් මුදල් ප්‍රතිපත්තිය සාමාන්‍යකරණය කිරීමට අවස්ථාව සැලසිණි. ඒ අනුව කාර්තු හයක් මුළුල්ලේ අඛණ්ඩව පැවති දීර්ඝතම ආර්ථික හැකිළීමෙන් අනතුරුව, 2023 වසරේ දෙවන භාගය තුළ දී ආර්ථිකය ප්‍රසාරණයක් වාර්තා කර තිබුණි. ආර්ථික අර්බුදයෙහි මූලය වූ දිගු කාලයක් මුළුල්ලේ පවතින සමස්ත රාජ්‍ය අයවැය හිඟය සහ විදේශීය ජංගම ගිණුම් හිඟය යන ද්විත්ව හිඟය 2023 වසරේ දී නිවැරදි වීමේ ලක්ෂණ පෙන්නුම් කළ බව ඉහතදී පෙන්නුම් කර ඇත. එම වසරේ දී රජයේ ප්‍රාථමික ශේෂයේ අතිරික්තයක් වාර්තා වූ අතර, විදේශීය ජංගම ගිණුමෙහි ද අතිරික්තයක් වාර්තා විය.
අඩු ආනයන ඉල්ලුම මාධ්‍යයේ, සංචාරක සහ අනෙකුත් සේවා අපනයන අංශයෙන් ලද ඉපයීම් මෙන්ම සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් ද සමඟ විදේශ විනිමය ප්‍රවාහ වැඩි දියුණු වීම, අර්බුදය සමයේ පැවති විදේශ විනිමය ද්‍රවශීලතා සීමිත වීමේ ගැටලුවෙන් මිදීමට උපකාරී විය.
මහ බැංකුව විසින් විදේශ විනිමය ශුද්ධ පදනමින් මිලදී ගැනීම සහ බහුපාර්ශ්වික හවුල්කාර ආයතවලින් ලද මූල්‍ය පහසුකම් මඟින් දළ නිල සංචිත වර්ධනය කරගැනීම සඳහා සහාය ලැබුණි. මෙම ප්‍රවණතා සහ වැඩි දියුණු වු වෙළඳපොළ විශ්වාසයත් සමඟ 2023 සහ 2024 වසරේ මුල් කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් විය. රජයේ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාමූහික ප්‍රයත්නය තුළින් එම ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමත් සමඟ රට තිරසර ලෙස යථා තත්ත්වයට පත්වීම සඳහා අවශ්‍ය ඉඩකඩ සැලසෙනු ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ වන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ අඛණ්ඩව පවත්වා ගෙන යෑමෙහි සහාය ඇතිව, 2023 වසරේ අවසාන භාගය තුළ දී ඇතිවුණු ආර්ථික ප්‍රගතිය ඉදිරි වසරවල දී ද අඛණ්ඩව පවත්වා ගතයුතු බව නැවත අවධාරණය කළ යුතුය.
ඒ අනුව මේ දක්වා ක්‍රියාවට නංවන ලද ප්‍රතිපත්ති අඛණ්ඩව පවත්වා ගෙන යෑම මත ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත්ව යථා තත්ත්වයට පත්වීම රඳා පවතී. මෙම ක්‍රියාවලියෙහි ම කොටසක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන සාර්ථකව අඛණ්ඩව පවත්වා ගෙන යෑම සහ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම ද වැදගත් වේ. තවමත් රට මුළුමනින්ම ආර්ථික අර්බුදයෙන් මිදී නොමැති බැවින්, සැලසුම්ගත මාවතෙන් ඉවත් වීම නොකළ යුතුය. ක්‍රියාවට නැංවූ සහ සැලසුම් කරන ලද තීරණාත්මක ප්‍රතිසංස්කරණ ආපසු හැරවීම ආර්ථිකය නැවතත් අස්ථාවර තත්ත්වයකට ඇද දැමීමට හේතු වනු ඇත.
තාරක වික්‍රමසේකර