Home » අරගලය මැද ගල් වූ ජවිපෙ

අරගලය මැද ගල් වූ ජවිපෙ

by Mahesh Lakehouse
May 11, 2024 12:30 am 0 comment

පූජාසනයේ ඔබ හිඳුවා, ඔබට පුදන මේ ලෝකමයි හෙට, ඔබට එරෙහි වී නැඟිටින්නේ”යනුවෙන් ගැයුවේ ස්වේත වර්ණ හැඳි ගායිකා නන්දා මාලනිය ය. ඒ කතාව සහමුලින්ම සත්‍යය.

ඉකුත් වකවානුවේ මෙරට ඇතිවු ජන අරගලය පිළිබඳ කිව හැක්කේද එවැන්නකි.

දරාගත නොහැකි පීඩනය අබියස ජනතාව අරගල මාවත තෝරාගත්හ. එය අන්තිමට වැරදි අවස්ථාවාදී කල්ලි අතට පත්වෙනවිට ජනතාව ඉන් ඉවත් වූහ.

උත්සන්න වූ තියුණු ආර්ථික අර්බුදයෙන් විශාලතම කඩා වැටීමකට පාත්‍ර වූ නාගරික මැද පාන්තික ජන කොටස්වල අරගලයක් ලෙස ආරම්භ වූ එය ඒ හරහාම උන්මාදනීය අරගලයක් බවට පරිවර්තනය වෙමින් තිබිණි. ඔවුන් අරගල බිමට ඇද දැමීමේ ප්‍රධාන හේතු කාරකය වූයේ ඉන්ධන හා ගෑස් හිඟය, දෛනිකව කෙරුණු පැය 10-12 විදුලිය කප්පාදුව ආදියයි.

ඊටම සමපාතව ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් ඇති කරන ලද පොහොර තහනම වැනි ග්‍රාමීය ජන ප්‍රජාවට බලපාන සාධක හේතු කොට ගෙන ජනතා අරගලයට ග්‍රාමීය ජනතාවගේ ද නිහඬ සහාය සහ ආශීර්වාදය ලැබිණි.

නමුත් අරගලය ජීවිත හානි කරන,රාජ්‍ය දේපළ වනසන තැනකට තල්ලු වීම බිහිසුණු විය.

ජූලි 13 වැනිදා අරගලකරුවන් පිරිසක් විසින් අගමැති කාර්යාලය, ජාතික රූපවාහිනියට කඩා වැදීම සහ පාර්ලිමේන්තුව ආසන්නයේ සිදු කළ උද්ඝෝෂණය ආදිය බොහෝ දෙනාගේ විවේචනයට ලක්විය. රනිල් වික්‍රමසිංහ මහතාට අයත් රාජකීය විද්‍යාලය වෙත පවරා දී තිබූ නිවෙස ගිනි තැබීම හරහා අරගලයේ ප්‍රචණ්ඩත්වය කෙරෙහි බහුතර ජනතාවක් වික්ෂිප්ත වූහ. සැබැවින්ම එම සිදුවීම් ගෝල්ෆේස් අරගල භූමියේ තීරණයක් නොවුණත් අවසානයේ අරගල භූමිය වෙත අත දිගු වන්නට විය.

ජනතා විමුක්ති පෙරමුණ මෙහිදී රඟපෑ භූමිකාව විටෙක විහිළු සහගතය, ඇතැම් විටෙක ප්‍රචණ්ඩය. තවත් විටෙක අපුලය.

ජවිපෙ අරගලය සම්බන්ධව පළමු වැනි මොහොතේ සිටම සිටියේ ජනතාව ඊට නොයා යුතුය යන ස්ථාවරයේය. මිරිහානෙන් අරගලය පටන් ගත් අප්‍රේල් තුන් වැනිදාට පෙරදා දවසෙත් ජවිපෙ කිව්වේ අසංවිධානාත්මක අරගලවලට යන්න එපා කියාය. නමුත් සජිත් ප්‍රේමදාස සෘජුවම කීවේ තමන් අරගලයට සහාය දෙන බවය. අරගලයට දායක නොවන තමන් කොන් වන බව ජවිපෙට වැටහුණේ ජනතාව බුරුතු පිටින් ඊට එක්වන විටය.

ඒ නිසාම ජවිපෙත් තමන් අහෝසි වෙයි යන බයට මහරගම ඇතුළු තැන් කීපයකින් පාරට බැස්සේය. ඊට පස්සේ අරගලය ගෝල්ෆේස් එක කේන්ද්‍ර කරගෙන පටන් අරන් පිම්මක් විදිහට ඉදිරියට යනකොට ජවිපෙ කළේ අරගලය හයිජැක් කරන්න හදපු එකය.

මුලදී අරගලයට කෝචොක් කළ, සිනාසුන සහ අපහාස උපහාස කළ ජවිපෙ, අරගලයට ජනතා සහයෝගය බුරුතු පිටින් ලැබෙමින් තිබෙන බව දැනගත් වහාම තැටිය මාරු කළේ හරිම පහත් සහ විහිළු සහගත ලෙසටය.

“ජනතාව සංවිධානය නොවෙන, අරමුණක් නැති, ඉලක්කයක් නැති ඕනෑම සටනක් අමිහිරි අත්දැකීම්වලින් කෙළවර වෙනවා. ඒක තමයි පසුගිය ගෝල්ෆේස් සටන. ඉලක්කය පැහැදිලි නෑ. භාග ජයග්‍රහණ. මේ රටට තවදුරටත් අවශ්‍ය භාග ජයග්‍රහණ නෙවෙයි”

අනුර දිසානායක (ඉල්මහ විරු සමරුව).

මුලදී අරගලයට සිනාසුණු ලාල්කාන්තලා, වසන්ත සමරසිංහලා අරගලය හයිජැක් කිරීම ආරම්භ කළේය. අරගලය වටා අති විශාල ජනතා සහභාගිත්වයක් තිබෙන බවත් ඊට දායක නොවුණොත් තමන් දේශපාලනිකව නන්නත්තාර වන බවත් අවබෝධ කොට ගත් ජනතා විමුක්ති පෙරමුණ වහාම ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තමන්ගේ තැටිය මාරු කිරීම දැනුම් දුන්නේය.

“මේ අරගලය විවිධ ආකාරයෙන් මොට කරන්න ආණ්ඩුව උත්සාහ ගනිමින් ඉන්නවා. මුලින් මේක ගණන් ගත්තේ නෑ. පස්සේ බිය කරන්න උත්සාහ කළා. ඊටත් පස්සේ මඩ ගහන්න පටන් ගත්තා. ආයේ ජාතිවාදය පටලවන්න උත්සාහ කළා. දැන් ලෑස්ති වෙනවා සාකච්ඡා කරන්න. මේ අරගලයේ නියැළෙන කා එක්කවත් ආණ්ඩුවට සාකච්ඡා කරගන්න පුළුවන් දෙයක් නෑ. මේ සටන් බිමේ ඉන්නේ අවංකව අරගලයට ආපු මිනිස්සු.

ජනාධිපතිවරයා ඉවත් වෙනතුරු මොනම හේතුවක් නිසාවත් මේ අරගලය අපි නතර කරන්නේ නෑ.. නතර වෙන්න ඉඩ දෙන්නෙත් නෑ. අපි ජාතික ජන බලවේගය ලෙස මේ සටනට නව ජවයක් දෙනවා.

නිර්දේශපාලනික අරගල තියෙන්න විදිහක් නෑ. ප්‍රශ්නය දේශපාලනිකයි.. උත්තරයත් දේශපාලනිකයි. ඒ නිසා අරගලයත් දේශපාලනිකයි”

( ටිල්වින් සිල්වා-2022අප්‍රේල් 14)

කුකුළු පැටවුන්ට අරගල කරන්න බෑ කීව ජවිපෙ අන්තිමට අරගලය සාර්ථක වනවිට එය හයිජැක් කිරීම ආරම්භ කළේය.

ආණ්ඩුවක් යනු දැවැන්ත අත්දැකීම් සහිත යාන්ත්‍රණයක්. ඔවුන් සමඟ හැප්පීමට කුකුළු පැටවුන්ට බෑ

බිමල් රත්නායක (චේගුවේරලා සමරුව).

මැයි 9 වැනිදා එවක රාජපක්ෂ ආණ්ඩුව අරගල බිමට පහර දීම ඓතිහාසික වරදකි. එය තනිකරම මැරයන්ට ලයිසන් ලැබුණු දවසකි. නිරායුධ අරගල බිමට පහර දීම හරහා තත්ත්වය බිහිසුණු විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට පහර දී ඝාතනය කිරීම දක්වාත් මහජන නියෝජිතයන්ගේ නිවෙස් ගිනි තැබීම දක්වාත් තත්ත්වය වර්ධනය විය.

මේ හරහා වාසිය ගත්තේ අවස්ථාවාදී ජවිපෙ ය.

පාර්ලිමේන්තුව වට කිරීමටත්, එය යටත් කරගැනීමටත් එන ලෙස පාර්ලිමේන්තු වට රවුමේ සිට ජනතාව කුපිත කළේ ජවිපෙ සුනිල් හඳුන්නෙත්ති සහ ලාල්කාන්තය. පාර්ලිමේන්තුව වටකිරීමට එන ලෙස කී ලාල්කාන්ත ජීවත් වන්නේද මාදිවල මන්ත්‍රී නිවාසවලය.

අරගලයේ ඇතැමුන් ප්‍රචණ්ඩත්වය තෝරා ගැනීම ගැන ජවිපෙට වූයේ කාලකණ්ණි සතුටකි. ඒ නිසාම අරගලය තුළ තමන් ඉව කරන ප්‍රචණ්ඩ කොටස ඇති බව ඔවුන්ට වැටහුණි.

ජූලි 09 වැනිදා ගෝඨාභය පන්නන සටනට ජවිපෙ ලොකු දායකත්වයක් දුන්නේ නැත. ඒවා භාග අරගල බව ඔවුහු කීය. ගල් කැටයක් හෝ අතේ නොතිබුණ මිනිස්සු රටේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉවත් කරනු ලැබීය.අවස්ථා දෙකකදී කැරලි දෙකකින් ලක්ෂ ගණන් තරුණ ජීවිතවලට ඛේදනීය මරණ උරුම කළ ජවිපෙට අඩු තරමේ පොලිසියක් හෝ අල්ලා ගන්නට නොහැකි විය. ඒ වෙනුවට වටිනා ජීවිත දහස් ගණනක් පමණක් බිලි ගැනීමට ඒ කැරලි දෙක ප්‍රමාණවත් විය. ඒ යුගයේ ඔවුන් විසින් ඝාතනය කරනු ලැබූ පිරිස් කසිප්පු කරුවන්, ස්ත්‍රී දූෂකයන් යැයි ජවිපෙ පවසයි.

එහෙව් ජවිපෙ මේ ජන අරගලයේ අවස්ථාවාදීම කණ්ඩායම විය.

සටන ගෝඨාභය එලවන තැනට පරිවර්තනය වුණාට පස්සේ ජවිපෙ තමන්ට වෙච්චි ලජ්ජාව මකාගන්න ජූලි 10 වැනිදා දියත උයන ළඟට ජවිපෙ සාමාජිකයන් කැඳවලා පාර්ලිමේන්තුව අල්ලන්න යන්න වීය.

“අරගලය දැන් තියෙන්නේ ගෝල්පේස් එකේ නෙවෙයි දියත උයනේ”කියලා කිව්වේ ජවිපෙ ය. ලාල්කාන්ත, සුනිල් හඳුන්නෙත්ති, බිමල් රත්නායක එතන ඉඳන් අණ දුන් අතර එතන ප්‍රහාරයේ මහ මොළකරුවන් ඔවුන්ය. අරගලය ජයග්‍රාහීව ඉදිරියට ගිහින් ගෝඨාභය පැන්නුවට පස්සේ අනුර කිව්වේ ගෝල්ෆේස් අරගලය කියන්නේ අපි තමයි, අපේ තරුණ සංගමය, කලා සංගමය, කාන්තා සංගමය තමයි එතන හිටියේ කියලාය.

අරගලය මුවාවෙන් ඇතැම් පිරිස් සිදු කළ ක්‍රියාවන් බරපතළ විය. අරගලයට ඍජුව ජවිපෙ සහ පෙරටුගාමී පක්ෂ සම්බන්ධ බවත් ඔවුන් වෙනත් මාර්ගයකින් බලය තහවුරු කර ගැනීමට යන බවටත් වූ සමාජ මතය නිසා බොහෝ දෙනා නැවත එයට සහභාගි වීම අත හැර දැමූහ. විශේෂයෙන් ව්‍යවස්ථාවට පිටින් සිදු කරන්නට යන බලය අල්ලා ගැනීමක් සම්බන්ධයෙන් ආණ්ඩු පාර්ශ්වයෙන් සිදු කරන ප්‍රකාශ නිසා ජනතාව යම් ආකාරයක බියකින් පසුවූහ. මේ නිසා ජනතාව අරගල බිම අත් හරින තැනට පත්විය.

අරගලයට ජයග්‍රහණ එනකොට ජවිපෙ ඒවා තමන්ගේ සාක්කුවට දාගන්නත් අරගලයට පරාජයන් අත්වෙනකොට අරගලයෙන් පැන යන තරමටත් ජවිපෙ නිවට විය.

විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස තෝරා පත් කර ගැනීමේ ඡන්දය ලබාදීමේදී පොහොට්ටු සාමාජිකයන් බහුතරයකගේ අදහස වුණේ මේ අරගලය හරහා සිදුවන සිදුවීම් නවතා දමන ලෙසය. පාර්ලිමේන්තුවේ බහුතරයකගේ නිවෙස් මැයි 9 වැනිදා විවිධ කණ්ඩායම් විසින් ගිනි තබා තිබුණි.

අරගලය ප්‍රචණ්ඩ වනවිට පාර්ලිමේන්තුවේ බහුතර මතය වී තිබුණේ අරගලය හරහා ප්‍රචණ්ඩත්වය ඉස්මතු වීම නවතා දැමිය යුතු බවය. ඒ අනුව ජනාධිපතිවරයා ධුරයට පත්වූ සැණින් එයට විසඳුම් සෙවීමට කටයුතු කළේය.

දැන් ජවිපෙ ජාතික ජන බලවේගය යි.

රතු වෙනුවට පාට දම් ය. එදා විජය කුමාරතුංගගේ මහජන පක්ෂයේ පාටත් දම් ය. විජය ඝාතනය ගැන කුප්‍රකට චෝදනාව එල්ල වන පාර්ශ්වයක් වන්නේ ජවිපෙ ය.

1971 පෙබරවාරි 27 වැනිදා හයිඩ් පාක් රැස්වීමේදී රෝහණ විජේවීර මෙහෙම කීය.

“විප්ලවය කරන දවස අහනවා. කවදද ඔහෙලා මහා පරිමාණයෙන් මේ රටේ විප්ලවවාදී ව්‍යාපාරය මර්දනය කරන්න ඉදිරිපත් වෙන්නේ, …කවදද ඔහෙලා තීරණාත්මකව ඇවිදින් ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධව අවි ඔසවන්නේ? එදාට විප්ලවය කෙරෙයි කියලා අපි කියලා යනවා.”

එහෙම බැලුවම ජවිපෙට එරෙහිව අවි ඔසවා ඇත්තේ අනුරලාය. නොඑසේනම් ජවිපෙම ය.

අනුරාධ සේනාරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division