Home » රුසියානු කුලී හමුදාවට එක් වූ ප්‍රමාණය පවා ගණනය කළ නොහැකියි

රුසියානු කුලී හමුදාවට එක් වූ ප්‍රමාණය පවා ගණනය කළ නොහැකියි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර

by Mahesh Lakehouse
May 11, 2024 12:30 am 0 comment

– ලක්ෂ 20 වැටුපට හමුදා බැරක්කවල සේවය කිරීමට, සෙන්ට් පීටර්ස්බර්ග්වලින් ඉඩමක්, රුසියානු පුරවැසි බව ලබාදෙන බවටත් පොරොන්දු වෙලා
– 15 ක් දැනටමත් මිය ගිහින්. පිරිසක් අතුරුදහන්.
– අදාළ තොරතුරු දෙන්න දුරකතන අංක කිහිපයක්

අනීතික ලෙස රුසියානු යුක්‍රේන යුද පෙරමුණට කුලී හමුදා සාමාජිකයන් ලෙස අපේ පිරිස් යොමු කර ඇති බවට වාර්තා වී තියෙනවා. මෙහි අලුත්ම තත්ත්වය කුමක්ද?

දැනට 600 වැඩි පිරිසක් මේ සඳහා ගොස් ඇති බවටයි අපට වාර්තා වී ඇත්තේ. මේ පිරිස යැවීමේදී ලංකාවේ හෝ රුසියානු රජයන්වල කිසිදු සම්බන්ධතාවක් සිදුවී නැහැ. මේ සියලු ජාවාරම් සිදුවී ඇත්තේ අතරමැදියන් පිරිසක් විසින්. මොවුන් යවා ඇත්තේ නිල රුසියානු හමුදා කාණ්ඩවලට නොව කුලී හමුදා සඳහායි. ඔවුන් මේ සඳහා පිටත් කිරීමට රුපියල් ලක්ෂ 18 ක් පමණ වැයකර තිබෙන බවටයි අපට වාර්තා වන්නේ. ඔවුන්ට වැටුප ලෙස ආදාළ සේවයට ගිය ගමන් රුපියල් ලක්ෂ 20 ක් ලබා දෙන බවටත් පසුව මසකට රුපියල් ලක්ෂ 8 ගණනේ ලබදෙන බවට පොරොන්දු වෙලා. මීට අමතරව සෙන්ට් පීටර්ස්බර්ග්වලින් ඉඩමක් ලබාදෙන බවටත්, රුසියානු පුරවැසි බව ලබාදෙන බවටත් පොරොන්දු වෙලා. මෙය සම්පූර්ණයෙන්ම බොරු හා ව්‍යාජ ලෙස කරන කරන මිනිස් ජාවාරමක්. ඒ අනුව මේ පිරිසට විරුද්ධව ක්‍රියාත්මක කිරීමට දැඩි නීති රීති පවතිනවා.

කුමන ආකාරයේ රැකියා ලබා දෙන බව පවසා ද මේ පිරිස් රවටා ඇත්තේ?

රුසියානු හමුදා බැරැක්කවල සේවය කිරීමේ අවස්ථාව ලබාදෙන බවට පොරොන්දු වීමෙනුයි මේ අය යවා ඇත්තේ. නමුත් මේ අය හමුදා බැරැක්කවල සේවය කිරීමට වඩා කෙළින්ම යුද්ධයට යවා තියෙනවා. මෙය විශාල ප්‍රශ්නයක්. අද වන විට විශාල පිරිසක් තුවාල ලබා තියෙනවා. මේ පිරිසගේ මුළු ජීවිතයම අවදානම්. බොහෝ දෙනෙක් ණයකරුවන් වී තියෙනවා. වැටුපක් පවා ගෙවා නැහැ. මෙය ඉතාම බරපතළ කරුණක්.

විශ්‍රාම දිවියේ ගතකරන අපේ ත්‍රිවිඩ හමුදාවේ විශාල පිරිසක් නේද මේ කූට විදෙස් රැකියා ජාවාරම්කරුවන්ට හසුවී තියෙන්නේ?

ඔව්. හමුදා විශ්‍රාමිකයන් තමයි මීට හසුවී ඇත්තේ. මොවුන් බහුතරයක් යුද හමුදාවේ විශ්‍රාමික පිරිස්. ඔවුන් සමඟ කතා කිරීමේදී කිහිපදෙනෙක් කිව්වේ මාසික වැටුප රුපියල් 50,000 ක් පමණයි ලැබෙන්නේ. එයින් ජීවත් වෙන්න විදියක් නැති නිසා මාස කිහිපයක් හෝ මෙසේ ගොස් වැඩ කිරීමෙන් ලක්ෂ කිහිපයක් එකතු කරගෙන පැමිණිය හැකි බව. මේ අය යවා ඇත්තේ වයස් සීමාවකින් තොරවයි.

මේ වන විට අදාළ කූට ව්‍යාපාරය පවත්වාගෙන ගිය ජාවාරම්කරුවන් හඳුනා ගෙන ද?

දැනට හඳුනාගෙන තියෙනවා. විශ්‍රාමික මේජර් ‍ෙජනරාල්වරයකුත්, තවත් එවැනි වැඩ කරන පිරිසකුත් තමයි මේ කූට ව්‍යාපාරය කරගෙන ගොස් ඇත්තේ. එසේම රුසියාවේ ජීවත් වන ලාංකික පිරිසක් ද මෙයට සම්බන්ධ වෙලා තියෙන බවට වාර්තා වී තියෙනවා.

මෙසේ ගොස් ඇති පිරිස්වල අලුත්ම තත්ත්වය කෙසේද?

අපේ රටේ පමණක් නෙමෙයි. විවිධ රටවල් ගණනාවකින් මෙවැනි පිරිස් අරගෙන තියෙනවා. මෙයට කියන්නේ වැග්නා කුලී හමුදාව කියලා. මේ වන විට වැග්නා මරලා දාලා තියෙන්නේ. මාස 5 කින් මේ අයගේ කාලය අවසන් වන බව පවසලයි, මේ පිරිස් යවා තියෙන්නේ. නමුත් එවන් තත්ත්වයක් නැහැ. රුසියානු රාජ්‍ය සමඟ කතා බහ සිදු කරමිනුයි මේ ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුත්තේ. රුසියානු තානාතිපති කාර්යාලයේ තානාතිපතිතුමිය මේ වන විට ලංකාවට කැඳවා තියෙනවා. ජනාධිපතිතුමා නියෝග කළා වගකීමක් දැරිය හැකි අයකු පත් කිරීමට හා මීට වහාම මැදිහත් වීමට.

මේ වන විට පිරිසක් මියගොස් ඇති බවටත් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවටත් වාර්තා වෙනවා. මේ පිළිබඳ අලුත්ම තත්ත්වය කෙබඳුද?

මේ වන විට අපේ 15 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා. දැනට 5 දෙනකුගේ දේහ ලංකාවට එවා තියෙනවා. ඉතුරු අයට සිදු වූ දෙයක් පවා වාර්තා වන්නේ නැහැ. මේ අතරම ආගිය අතක් නොමැති විශාල පිරිසක් ඉන්නවා. මේ පිරිසකගෙන් සමහරක් නොදැනුවත්වම රුසියානු යුද බිමේ සිට යුක්‍රේන යුද බිමට ගිය පිරිස් සිටිනවා. මේ අය දන්නේ නැහැ තමන් සිටින්නේ කොහේද කියා. ඔවුන් ගිහින් තියෙන්නේ නීති විරෝධී ගමනක් නිසා වන්දි ලබාදීම් සිදු කරන්න අමාරුයි. ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය පවා දන්නේ නැහැ, මේ පිරිස් ගිය බව. මෙය ජාවාරමක්.

මේ අය වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වන්නේ කෙසේද?

මම ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙනවා මීට මැදිහත් වීම සම්බන්ධයෙන්. මම මේ ගැන පාර්ලිමේන්තුවේ සති දෙකක් එක දිගට කතා කළා. මේ අය දිගින් දිගටම මාවත් ගාමිණි වලේබොඩ මන්ත්‍රීතුමාවත් සම්බන්ධ කරගෙන තිබුණා. මම ළඟ ඇති තොරතුරු ජනාධිපතිතුමාට හා ආරක්ෂක ලේකම්තුමාට ලබා දුන්නා. ඒ අනුව පසුගිය අඟහරුවාදා ආරක්ෂක කවුන්සලයේ විශේෂ රැස්වීමක් කැඳෙව්වා. අපිත් ගියා. සියලු තොරතුරු දුන්නා. දැන් රහස් පොලිසියේ පොලිස් අධිකාරිවරයකු යටතේ දීර්ඝ පරීක්ෂණයක් සිදු කෙරෙනවා. මම විශේෂයෙන් ඉල්ලා සිටින්නේ මීට අදාළ සියලුම තොරතුරු ඔහුට ලබා දෙන්න. මේ සඳහා විශේෂ ඒකකයක් පිහිටුවා තියෙනවා. දුරකථන අංක- 0112441146 සහකාර පොලිස් අධිකාරි ජනකාන්ත මහතාගේ දුරකතන අංකය 071 8592832 වගේම මගේ දුරකතන අංකය වන 0777 882 882 ට දැනුම් දෙන්න පුළුවන්. මෙය රටේ විශාල ප්‍රශ්නයක් බවට පත්වෙලා. අදාළ පවුල් පවා සිටින්නේ විශාල කනස්සල්ලකින්.

මේ වන විට එම පිරිස් ගෙන්වා ගැනීමට කටයුතු කරන ආකාරය කෙබඳු ද?

දැනටත් මේ පිරිස් සිටින ස්ථාන පවා සොයා ගත නොහැකි ආකාරයෙනුයි පවතින්නේ. සමහර විට ඔවුන් සිටින්නේ රුසියාවේ හෝ එසේත් නැතිනම් යුක්‍රේන සීමාවේ හෝ විය හැකියි. අප සමඟ කතා කළ අය කිව්වේ මේ පිරිස් යුද මෙහෙයුම්වලට ගොස් ඇත්තේ රාත්‍රියේදී බවයි. මිසයිල විදින නිසා ඒ අයට දවල් යන්න බැහැලු. රාත්‍රියේ යන විට ඔවුන් අතරමං වෙනවා. සමහරු මේ වන විට අත්අඩංගුවට පවා පත්ව තියෙන්න පුළුවන්. සමහරුන්ගෙන් කිසිදු තොරතුරුක් නැහැ. ඒ වගේම මේ වන විට අති විශාල පැමිණිලි රැසක් ලැබෙමින් පවතිනවා.

ගෙන්වා ගැනීමට නොහැකි පිරිස්වල ආරක්ෂාව වෙනුවෙන් ගන්නා පියවර කුමක්ද?

තවමත් මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කරමින් යනවා. මේ ගිය පිරිස කොපමණ ද යන්න පවා සොයාගත නොහැකි තත්ත්වයකයි අප සිටින්නේ. විශාල ප්‍රමාණයක් මීට සම්බන්ධව සිටින බව පැහැදිලියි.

ඉදිරියේදී මෙවැනි දේ සිදු නොවන්න මේ පිරිස්වලට විරුද්ධව නීතිය දැඩි කරන්නේ කෙසේද?

ආගමන විගමන කාර්යාලය සම්බන්ධ කරගෙන රුසියාව බලා පිටත්වන අය සම්බන්ධව පරික්ෂණයක් දියත් කරනවා. මේ පිරිස් නිකරුණේ වීසා අරගෙන හොරෙන් ගිය අය. එසේම විදේශයන්වල සිටින මීට සම්බන්ධ වන ලංකාවේ සිටින පිරිස් සම්බන්ධයෙන් ද ඉදිරියේදි දැඩි ක්‍රියාමාර්ග ගන්නවා.

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division