Home » මාන්තොට රන් දොර

මාන්තොට රන් දොර

by Mahesh Lakehouse
May 11, 2024 12:29 am 0 comment

මීට සති කිහිපයකට කළින් මන්නාරමට ගිය අවස්ථාවේදී ආදම්ගේ පාලම ලෙසින් හඳුන්වන වැලි වැටි සහිත ප්‍රදේශයට යෑමට හැකි විය. නොගැඹුරු සාගරයේ ගිලී පවතින මේ වැලි වැටිය අතීතයේ ඉන්දියාව සහ ලංකාව අතර තිබූ ගොඩබිම් සබැඳියාවේ ශේෂ වූ සාධකයක් ලෙස ඇතැමුන් සලකන අතර තවත් අය එය දකින්නේ සාගර අභ්‍යන්තරයේ සිදුවූ භූ විද්‍යාත්මක සිදුවීමක ප්‍රතිඵලයක් ලෙසය.

එහෙත් වාල්මිකි ෂෘෂිවරයා විසින් ලියන ලද රාමායනය නම් වීර කාව්‍යයට අනුව මේ වැලි වැටි වායුගේ පුත් හනුමන් විසින් මහා ගල් පෙරළා ඉදි කරනා ලද පාලමේ නෂ්ටාවශේෂයන්ය. හනුමන් නම් වානරයා විසින් එම පාලම ඉදිකරන ලද්දේ රාවණා විසින් පැහැරගත් සීතා දේවිය බේරා ගැනීමට රාම කුමරා ඇතුළු පිරිසට ලංකාද්වීපයට පැමිණීමටය. ඒ කතා කුමක් වෙතත් චන්ද්‍රිකා ඡායාරූප ආශ්‍රයෙන් සකසන ලද මේ වැලි වැටිවල ඡායාරූප දකිනා සෑම විටම මගේ සිතේ ඇඳෙන්නේ අත දිගුකර තම දරුවා අල්ලගෙන සිටිනා මවකගේ රූපයකි. සැබැවින්ම ලංකාව සහ ඉන්දියාව අතර සබැඳියාව ද එතරම්ම සමීපය. පසුගිය අර්බුදකාරී අවස්ථාවේ ඉන්ධන, ආහාර, ඖෂධ වැනි අත්‍යවශ්‍ය සැප‍යුම් ලබාදී ලාංකිකයන් වෙනුවෙන් ඉන්දියාව දක්වූ කාරුණික අනුග්‍රහය ඒ සමීපකමට උදාහරණයකි.

වසර දහස් ගණනාවක් ඈත කාලවලදී ලංකාව ඉන්දියාවෙන් භෞතිකව වෙන් වුවද අදටත් දෙරට අතර පවතිනුයේ පුදුමාකාර සම්බන්ධයකි. රාමායනය වීර කව්‍ය මෙන්ම මහාවංශයේ එන විජය රජුගේ ආගමනය ගැන පුවත ද ඒ සබඳතාවට සාහිත්‍යමය සාක්ෂි සපයයි. බුදු දහම සහ සඟමිත් තෙරණියගේ පැමිණීම මඟින් දැවැන්ත සාමාජීය සහ ආගමික සබැඳියාවක් දෙරට අතර ගොඩනැඟිණි. එකී සබඳතාවන්ගේ නවතම දිගුව ලෙස වතු වගාව සඳහා මෙරටට පැමිණි ඉන්දීය ජනතාව මඟින් ඇති කළ ”මිනිස් පාලම” දැක්විය හැක්කේය. මේ අනුව ඉන්දියාව සහ ලංකාව යනු සංස්කෘතික, ආගමික, සාමාජීය මෙන්ම මානවීය බැඳීම්වලින් දැඩිව බැඳුණු රාජ්‍ය දෙකක් බවට ඉතිහාසයේ සිට වර්තමානය දක්වා සාක්ෂි බොහෝය.

කලක් අප මෙන්ම බ්‍රිතාන්‍ය කිරීටයට නතුව සිටි ඉන්දියාව ඉන් මිදීමෙන් පසු වේගවත් ආර්ථික වර්ධනයක් ඇති කරගෙන සිටී. රටක් ලෙස ඉන්දියාව සිය ආර්ථිකය නඟාසිටුවන විට එරට ප්‍රාන්ත ද වේගවත් ආර්ථික වර්ධනයක් ලබා ගනිමින් සිටී. ඊට හොඳම උදහරණය වර්තමානයේ තමිල්නාඩු ප්‍රාන්තය අත් කර ගනිමින් තිබෙනා ආර්ථික දියුණුවය. අද වන විට ඉන්දියාවේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය ඇති තමිල්නාඩුව, 2032 දී එහි ආර්ථිකය ඩොලර් බිලියන 1,000 ක සීමාවට ගෙන යෑමට අපේක්ෂා කරයි.

මෙතරම් විශාල ආර්ථිකයක් අතේ දුරින් වර්ධනය වෙත්දී එහි සෘජු ප්‍රතිඵල යාබද ආන්ද්‍රා, තෙලෙන්ගානා, කේර්ල වැනි ප්‍රාන්තවලට මෙන්ම ශ්‍රී ලංකාවට ද ලබාගත හැකිය. එහෙත් ඒ සඳහා පරිණත දේශපාලන නායකත්වයක් අත්‍යාවශ්‍යය. අවාසනාවට මෙන් ප්‍රායෝගික නොවනා ජාතිවාදී සටන් පාඨ ඉදිරියට දමා කරනා දේශපාලන ක්‍රීඩාවක් තුළ එවන් පරිණත නායකත්වයක් මතුකර ගැනීම පහසු නොවේ.

ලංකාවට ඉන්දියාව සමඟ එක්ව නැඟිටීමට අවශ්‍ය නම් ඒ සඳහා ඇති හොඳම දොරටුව ඇත්තේ කොළඹ හෝ යාපනයේ නොව තලෙයිමන්නාරමේය. එහෙත් ලංකාවේ දේශපාලනඥයන් අතරින් මෙකී රන් දොරටුව විවර කර ගැනීම පිළිබඳ අවබෝධයක් ඇත්තේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට පමණි. දැවැන්ත ඡන්ද ගොඩක් නැති කුඩා දිස්ත්‍රික්කයක් වන මන්නාරම කෙන්ද්‍ර කර ඉන්දියාවට දොරක් විවෘත කරනු වෙනුවට ව්‍යාජ ඉන්දීය විරෝධයක් වෙනුවෙන් පෙනී සිටීම දකුණේ දේශපාලනඥයකුට වාසිදායක විය හැකිය. එහෙත් අනාගත පරපුරේ ආර්ථික විමුක්තිය ගැන වෙහෙසෙනා දේශපාලනඥයකු නොවනා රාජ්‍ය තාන්ත්‍රිකයකුට මාන්තොට දොර විවර කිරීම වූ කලී අතහැරිය නොහැකි ස්වර්ණමය අවස්ථාවකි. වත්මන් ජනාධිපතිවරයා පෙනී සිටිනුයේ එකී ස්වර්ණමය අවස්ථාව උදාකර ගැනීමටය.

ඉන්දියාවේ ආර්ථිකය ඉතා අවම මට්ටමක පැවති 1890 තරම් ඈත කාලයේ පවා ලංකාව සහ ඉන්දියව එක් කර වෙනම ආර්ථික කලාපයක් ගොඩනැඟීමේ වාසිය බ්‍රිතාන්‍ය ජාතිකයෝ වටහාගෙන සිටියහ. වර්ෂ1906 දී මිනිස් වාසයෙන් තොර ගන වනාන්තරයෙන් වැසී ගිය තලෙයිමන්නාරම දූපතට ජෝර්ජ් ස්කොට් නම් සහකාර එජන්තවරයා පත්කර එහි රෝහල්, පොලිසි ඇතුළු රජයේ ගොඩනැඟිලි ඉදි කරන්නේ මන්නාරම වාණිජ නගරයක් කරන්නටය. 1909දී තලෙයිමන්නාරම බලා දුම්රිය සේවාවක් අරඹන්නට කටයුතු කරන බ්‍රිතානය පාලකයෝ 1914දී කොළඹ සහ තෙලෙයිමන්නාරම දුම්රිය මඟකින් යා කර, එහි සිට ඉන්දියාවට නෞකා සේවයක් අරඹා ඉන්දියාව සහ ලංකාව එකම මාර්ග සිතියමක් තුළ පිහිට වීමට කටයුතු කළේය. එදා ලංකාවේ ඕනෑම තැනකින් ඉන්දියාවේ දුම්රිය ස්ථානයකට ටිකට් පතක් ලබාගැනීමේ හැකියාව ලාංකිකයන්ට හිමිව තිබිණි.

1980 දශකයේ මුල් භාගය තෙක් ක්‍රියාත්මක වූ මෙම ඉන්දු ලංකා දුම්රිය සේවය අද ක්‍රියාත්මක නොවේ. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ උත්සාහ ගනිමින් සිටිනුයේ ඉන්දියාව සහ ලංකාව අතර අලුත් පාරක් සාදන්නට නොව තිබූ පාර නව පහසුකම් සහිතව යළි විවෘත කරන්නටය. සියවසකටත් එපිට කාලයක සිට ඉන්දු ලංකා පුරවැසියන් භුක්ති විඳිනා ලද පහසුකමක් යළි ස්ථාපිත කිරීමටය. එමඟින් ඉන්දීය ආර්ථිකයේ ප්‍රතිලාභ ශ්‍රී ලංකාවට ලබා ගැනීමටය. මේ වූ කලී මුළුමනින්ම නිර්දේශපාලනික ආර්ථික ක්‍රියාන්විතයකි. එහෙත් පක්ෂ පාට කණ්ණාඩි දමාගෙන කියවන අයට මෙය ලංකාව ඉන්දියාවට පාවා දීමකි. ජාතික ආරක්ෂාව අනතුරේ දැමීමකි.

දශක අටකට ආසන්න කාලයක් ලංකාව සහ ඉන්දියාව මේ කියනා දුම්රිය- නැව් මාර්ගයෙන් එකට සම්බන්ධව තිබිණි. එහෙත් ඒ නිසා ලංකාවේ ස්වෛරී භාවයට අබමල් රොණක හානියක් සිදු වූයේ නැත. සිදුවූ එකම දෙය ලංකාවේ භාණ්ඩ ඉන්දියාවත්, ඉන්දියාවේ භාණ්ඩ ලංකාවටත් පහසුවෙන් ලබාගත හැකි වීමය. එමඟින් දෙරට අතර නව වෙළෙඳ ජාලයක් බිහිවීමය. එහෙත් එදා මෙන් නොව අද ඉන්දියාව බොහෝ ඉදිරියට ගොස් සිටී. ලෝකයේ බලවත්ම ආර්ථිකය ඔවුන් සතුය. ඉන් ලංකාවට ගත හැකි ඵල ප්‍රයෝජන බොහෝය. ඉන්දියාව ඉලක්ක කර මන්නාරම ලංකාවේ හොඳම වරාය නගරය කරන්නට අප උත්සාහ ගත යුත්තේ ඒකය. ඒ සඳහා ලංකාවේ පාර්ශ්වයෙන් කළ යුතු හොඳම දෙය අනාගත දක්මක් සහිත, ලෝකය පිළිගත් නායකයකුට ශ්‍රී ලංකාවේ ඉදිරි දශකය භාර දීමය.

මනූෂ නානා­ය­ක්කාර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division