Home » ජනාධිපතිතුමා ඊළඟ පරම්පරාව වෙනුවෙන් තීන්දු ගන්න නායකයෙක්

ජනාධිපතිතුමා ඊළඟ පරම්පරාව වෙනුවෙන් තීන්දු ගන්න නායකයෙක්

මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය

by Mahesh Lakehouse
May 11, 2024 12:30 am 0 comment
සුභාෂිණි ජයරත්න

– මහ බැංකු වාර්තාවේ පැහැදිලිව තියෙනවා, ආ ගමනේ කිසිදු ආකාරයේ වෙනසක් ඇති වුවහොත් ගමන කඩා වැටිය හැකි බව
– රට කලින් තිබුණු තත්ත්වයේ තිබුණා නම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් පමණක් නොව දෙකෝටි විසි ලක්ෂයේම ජීවිත අවදානමක් ඇති විය හැකියි

රටේ වත්මන් ආර්ථික තත්ත්වය යම් සාධනීය තත්ත්වයකට පත්ව ඇතැයි රජය පවසනවා. රාජ්‍ය මුදල් ඇමැතිවරයා ලෙස ඔබේ මේ සම්බන්ධ දැක්ම කෙසේද?

අපි මේ තත්ත්වය දෙස බැලිය යුත්තේ සාපේක්ෂවයි. කෙනෙක් රටක් භාර ගන්න අකමැති තරමට දැවැන්ත අර්බුදයකයි අපි සිටියේ. කිසිදු පක්ෂයක් හෝ රට භාර ගන්න කැමැති වුණේ නැහැ. නමුත් අද ඩොලර් බිලියන 5 ඉක්ම වූ සංචිතයක් අපිට තියෙනවා. රුපියල වේගයෙන්ම අවප්‍රමාණ වූ මුදල වුණා. අද වේගයෙන්ම ශක්තිමත් වන මුදල බවට පත්වෙලා. 90%ක ආර්ථික උද්ධනමයක් තිබුණේ. ඒ තත්ත්වය අද සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. ජනතාවගේ පැත්තෙන් රාජ්‍ය සේවකයාට රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් ලබා දුන්නා. රුපියල් බිලියන 65කින් පිරිමැසූ සහනාධාර සඳහා බිලියන 205ක් රජය වෙන් කරලා. මේ සියල්ල බැලූ විට භයානක ආර්ථික අර්බුදයෙන් විශාල දුරක් අපි ඇවිත් තියෙනවා. ලොව සියලු දෙනාම බංකොලොත් කියූ රටක් ගැන විශාල විශ්වාසයක් ගොඩනැඟිලා අපි ඉදිරියට යමින් පවතිනවා. මේ අනුව ආර්ථික අර්බුදයෙන් කැපී පෙනෙන ලෙස අපි ඉදිරියට ඇවිත් තියෙනවා.

පසුගිය වසරට සාපේක්ෂව මේ වසර තුළ ආර්ථික ප්‍රගතියක් අත්පත්කරගෙන ඇති බවට ඔබට සහතික කළ හැකිද?

2023 පළමු කාර්තුවට සාපේක්ෂව 2024 පළමු කාර්තුවේ පැහැදිලි වර්ධනයක් තියෙනවා. උද්ධමනයේ, ඩොලර් සංචිතවල, වැටුප් වැඩිවීම් හි ධනාත්මක වර්ධනයකයි අප සිටින්නේ. රාජ්‍ය ආදායම පවා 2023 වසරට වඩා 2024 පළමු කාර්තුවේ පැහැදිලි ඉදිරි ගමනක් පෙන්නුම් කරනවා. මෙය සංඛ්‍යාත්මකව පැවැසීමට වඩා රටක් වශයෙන් මාසයෙන් මාසය හෝ කාර්තුවෙන් කාර්තුව වෙනසක් දැකිය හැකියි. නමුත් ජනතාවට ප්‍රශ්න තියෙනවා. එය නැහැ කියන්නේ නැහැ

ජනතාවට ජීවත් වීමේදී තවමත් දුෂ්කරතා එමටයි. යම් යම් මිල අඩු කිරීම් සිදු කළ ද විශේෂයෙන්ම බැංකු පොලී අනුපාත, බදු අයකිරීම් පීඩාවලට මුහුණ දීමට සිදු වෙලා. ඉදිරියේදී මේ තත්ත්වයේ වෙනසක් දැකිය හැකිද?

මුදල් නැහැ කියන්නේ කොහොමද? අද දහතුන් ලක්ෂ අසු දාහකගේ මාසිකව වැටුප රුපියල් 10,000කින් වැඩි කළා. රුපියල් 4500 සමාද්ධිලාභියා අද රුපියල් 15,000ක් ලබා ගන්නවා. විශ්‍රාමිකයන්ට රුපියල් 2500කින් වැඩිවුණා. රුපියල් 5000ක් ලබාගත් උදවු අවශ්‍ය අයට අද රුපියල් 7500ක් ලැබෙනවා. රුපියල් 2000 වැඩිහිටි දීමනාව රුපියල් 3000ක් දක්වා ලැබෙනවා. රුපියල් 100ට තිබුණු තේ දලු කිලෝවට රුපියල් 300ක් ලැබෙනවා. රුපියල් 400ට තිබුණු රබර් කිලෝවට රුපියල් 600ක් ලැබෙනවා. ඉදිකිරීම් කර්මාන්තය පවා සම්පූර්ණයෙන්ම වැටිලා තිබුණේ. ඒ සෑම කෙනෙකුටම අද රැකියා බිහි වෙලා තියෙනවා. සියලු ප්‍රශ්න විසඳිලා කියා මම කියන්නේ නැහැ. නමුත් මේ ප්‍රශ්නවලින් අඩියක් හෝ ඉදිරියට අපි ඇවිත් තියෙනවා. විපක්ෂය පවා නඟන මෙවැනි චෝදනා සාම්ප්‍රදායිකයි.

ජනතාව වෙනුවෙන් යම් යම් සහන ලබාදීමට රජය කටයුතු කර තියෙනවා. ඒත් විපක්ෂය චෝදනා කරන්නේ මේවා මැතිවරණය ඉලක්ක කරගෙන සිදු කරන දේවල් ලෙසයි?

එසේනම් අපිට මැතිවරණ වර්ෂයක් කියා හෝ වසරක් නොතියා සිටින්න ද කියන්නේ. අපි තීන්දු ගන්නේ මැතිවරණය වෙනුවෙන්වත් ජනප්‍රියභාවය වෙනුවෙන්වත් නෙමෙයි. ජනාධිපතිතුමා ඊළඟ පරම්පරාව වෙනුවෙන් තීන්දු ගන්න නායකයෙක්. දශක ගණනාවක් එතුමාව තේරුම් ගැනීමට නොහැකි වුණා. අපි හැමදාම පුරුදු වෙලා හිටියේ එදාවේල තීන්දු ගන්න. අපේ මැතිවරණ වෙනුවෙන් අපි හැමදාම කළේ ජනප්‍රිය තීන්දු තීරණ ගැනීමයි. වසර 75කින් රට හිරවෙලාම ගියා. ජනප්‍රිය තීන්දු නොගත් නායකයකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතාව ජනතාවට හඳුනා ගැනීමට නොහැකි වුණා. මෙසේ හඳුනා ගැනීමේ වේදිකාවක් 2022 හැදුණා. ඒ නිසා එතුමා අදටත් තීන්දු ගන්නේ ජනාධිපතිවරණයට එනවා කියලා නෙමෙයි. අනාගත පරම්පරාව වෙනුවෙන්.

විපක්ෂය චෝදනා කරන්නේ බදු අයකිරීම් තවමත් හරියාකාරව සිදු කරගන්නට රජයට නොහැකි වූ බවයි?

අපි මේ මොනවයින්ද මේ වියදම් කරන්නේ. අපි මුදල් අච්චු ගහන්නේ නැතිනම් ණය ගන්නේ නැතිනම් අපි වියදම් කරන්නේ කොහොමද? භාණ්ඩාගාරයේ රුපියල් බිලියන 360ක් ණය වෙලා තිබුණා. අද එ්වා නැහැ. දළ දේශීය නිෂ්පාදිනයට සාපේක්ෂාව 8.3%ක තිබුණු ලොව අඩුම රාජ්‍ය ආදායම අද 12%ක් දක්වා ඉහළට ගෙනැවිත් තියෙනවා. අනවශ්‍ය වියදම් කළමනාකරණය කරගෙන තියෙනවා. කවුරු හෝ කියනවානම් එය අසාර්ථකයි කියා, එහි පදනම කුමක්ද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවැනි ණය වාරිකය ලැබීමේ ප්‍රමාදයක් පවතිද?

ප්‍රමාදයක් නැහැ. මෙවැනි ගැඹුරු ආර්ථික අවපාතයකින් රට ඉහළට යාමේදි මේ ගමන අභියෝගාත්මකයි. අභියෝගාත්මක එකඟතායි පවතින්නේ. එයින් වැඩි ප්‍රමාණයක් අපි සාක්ෂාත් කරගෙන තියෙනවා. නමුත් අපි දුෂ්කර අවස්ථා පසුකරලා තියෙනවා. ඊළඟ ජූලි මස වන විට මේ එකඟතාව නැවත ඇති කරගන්න පුළුවන් බවට විශ්වාසයක් තියෙනවා.

විපක්ෂය පවසන්නේ තමන් බලයට පත් වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ජනතාවට හිතකර ආකාරයට නැවතත් සමාලෝචනයට ලක් කරන බවයි?

ඔවුන් මොනවද වෙනස් කරන්නේ කියා ජනතාවට පැවසිය යුතුයි. 2026 වන විට අපේ ඉලක්කයක් තියෙනවා රාජ්‍ය ආදායම දළ දේශීය නිශ්පාදිතයෙන් 15%ක් කිරීමට. ඔහු පවසනවා නම් අපි බදු ක්‍රමය වෙනස් කරනවා කියලා, එයට විකල්පය පැවැසිය යුුතුයි. රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගතකරණය කරන්නේ නැහැ කියලා කියනවා නම් ඒ කොන්දේසිය සපුරා ගන්නේ කෙසේද කියා පැවැසිය යුතුයි. ජනප්‍රියතාවයෙන් විවිධ ප්‍රකාශ නිකුත් කරන්න පුළුවන්. වැටුණු රටක් ඉදිරියට යද්දි ජනප්‍රිය තීන්දු තීරණ ගන්න බැහැ. විපක්ෂය ළාමක ජනප්‍රිය අදහස් පවසනවා. මෙය අහිතකර ආකාරයෙන් ඡන්ද දායකයාට බලපාන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදයක් මැතිවරණ සංවිධාන මේ විපක්ෂය ගෙන්වා ඔවුන්ගේ ක්‍රමවේදයන් අභියෝගයට ලක්කළ යුතුයි. ජාත්‍යන්තර බැඳීමක් වෙනස් කරන්නේ කෙසේද යන්න විමසිය යුතුයි. මහ බැංකු වාර්තාවේ පැහැදිලිව තියෙනවා මේ ආ ගමනේ කිසිදු ආකාරයේ වෙනසක් ඇති වුවහොත් මේ ආ ගමන කඩා වැටිය හැකි බව.

මේ වන විට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නඟා සිටුවීමට, රජය ගෙන ඇති සුවිශේෂි වැඩ පිළිවෙළ කුමක්ද ?

රට කලින් තිබුණු තත්ත්වයේ තිබුණා නම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් පමණක් නොව දෙකෝටි විසි ලක්ෂයේම ජීවිත අවදානමක් ඇති විය හැකියි. රටේ ආරක්ෂාව තහවුරු වීම පළමු දේයි. දෙවැන්න ඍණ ආර්ථිකය ධන තත්ත්වයට ගෙන ඒම. පසුගියදා මොවුන්ට ලොකු ප්‍රශ්නයක්ව පැවැති පරාටේ බලතල තාවකාලිකව ඉවත් කළා වගේම බැංකු පද්ධතිය ශක්තිමත් කළා. රාජ්‍ය බැංකු ශක්තිමත් කරන්න රුපියල් බිලියන 450ක් ලබා දෙනවා. අපි බැංකු ආරක්ෂා කරමින් ව්‍යවසායකයනුත් ආරක්ෂා කරමින් ගියා. බැංකුවල වත්කමින් 90%ක් ගිණුම් හිමියන්ගේ. කෝටි 5කට වැඩි ගිණුම් හිමියන්ගෙන් භාගයකට වඩා රුපියල් 5000ට වඩා අඩු ඉතිරි කිරීම් ගිණුම් හිමියන්. මේ අයගේ වත්කම් අපි රැක දිය යුතුයි. ඒ සියල්ල ආරක්ෂා කරමින් දෙසැම්බර් දක්වා අපි පරාටේ බලතල ඉවත් කර ගත්තා. මෙය එතැනින් නැවැත්වූයේ නැහැ. ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා කර ඩොලර් බිලියන 100ක ණය පහසුකමක් ගෙන එයින් 50ක් 8%ට අඩු පොලියට බැංකු 13ක් හරහා මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ අවශ්‍යතා සඳහා ලබා දීමට පියවර ගන්නවා. තවත් ඩොලර් මිලියන 12ක් යෙදෙව්වා ණය සඳහා ණය සුරැකුම් ආයතනයෙන් සුරැකුමක් ලබා දීමට. මෙවැනි පියවර කිසිදු රජයක් ගෙන නැහැ.

මේ දිනවල ඔබ ප්‍රගතිශිලි දේශපාලන ගමනක් ගැන සඳහන් කරනවා. මොකක්ද මේ?

එදා ජනතාව වැටුණු වෙලාවේ එයින් ගොඩ ගැනීමට නායකත්වයක් හෝ කණ්ඩායමක් සිටියේ නැහැ. නමුත් ඊට නිසි නායකත්වයක් හෝ කණ්ඩායමක් රැස්වුණා. දැන් අනිකුත් පිරිස් පැත්තකට වී නොයෙකුත් දේ පවසනවා. ප්‍රගතිශීලීන් හා ප්‍රතිගාමීන් කවුද යන්න අපි තේරුම් ගත යුතුයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division