Home » ජවිපෙ හෝමගම දී තැබූ ‍‍ඓතිහාසික වාර්තාව

ජවිපෙ හෝමගම දී තැබූ ‍‍ඓතිහාසික වාර්තාව

by Mahesh Lakehouse
May 11, 2024 12:30 am 0 comment
අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා ව්‍යවස්ථා සම්පාදක කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ

නතා විමුක්ති පෙරමුණ 1988-89 සමයේ යුක්තිය පසිඳලීමේ කාර්යය කුළු හරකෙකුට භාර දුන් බව අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා ව්‍යස්ථා සම්පාදක කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී ඉකුත් 7 වැනිදා පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණ හෝමාගම අධිකරණයට ගිනි තබා විනිශ්චයකාරතුමාගේ කබාය කුළු හරකෙකුට අන්දවා නගරය පුරා දක්කාගෙන ගිය බවත් ඒ අත්දැකීම් සමඟ ජනතාවට බියක් තිබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මේ බව සඳහන් කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඩී. ලාල්කාන්ත විසින් සිදු කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඇති වූ සංවාදයේදී සිය අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය විජයදාස රාජපක්ෂ මෙසේ ද පැවසීය.

“හරිනි අමරසූරිය මැතිනියගේ ප්‍රකාශය සමඟ යමක් පැවසිය යුතුයි. ජනතාවට මේ සම්බන්ධයෙන් යම් යම් අදහස් මතු වන්නේ අතීත අත්දැකීම් අනුවයි. 88-89 වකවානුවේදී අපේ රටේ අධිකරණ ශාලා 27 ක් ගිනි තැබුවා. නුගේගොඩ, ගල්කිස්ස, හෝමාගම යන අධිකරණ. හෝමාගම අධිකරණය ගිනි තියලා විනිශ්චයකාරතුමාගේ කබාය කුළුහරකෙක් ගෙනල්ලා ඒ කුළුහරකාගේ ඇඟ වටේ පොරවලා හෝමාගම නගරයේ උඩට පහළට දැක්කුවා. ඔබතුමිය දන්නේ නැහැ. ඒ අත්දැකීම් එක්ක තමයි ජනතාව තීන්දු තීරණ ගන්නේ. එදා ඔබතුමියලාගේ පක්ෂය යුක්තිය පසිඳලීමේ කාර්යභාරය කුළු හරකෙකුට භාර දුන්නා. එදා යුක්තියේ සංකේතය වුණේ කුළුහරකා. ඒක තමයි ජනතාවට මේ බිය තිබෙන්නේ.”

ගරු සභාපතිතුමෙනි, අධිකරණ බලය අපේ ආණ්ඩුකරණ ව්‍යාවස්ථාව අනුව මේ පාර්ලිමේන්තුව මත තමයි ඒ බලය පැවරිලා තියෙන්නේ. එතකොට මේ රටේ නිසි පරිදි පිහිටුව ගෙන ඉන්න අධිකරණ පද්ධතියට හැර වෙන කිසි කෙනෙකුට අධිකරණ බලය ලබා දීමක් කරන්න බැහැ. මගේ පොඩි අත්දැකීමක් කියන්නම්. අපේ වලස්මුල්ලේ ගමේ මගේ පන්තියේ ඉගෙනගත්තු ළමයෙක් හිටියා ඔහුගේ නම මට මතක විදිහට සුමනසේන. ඒ කාලේ ඒ කිව්වේ 88-89 කාලේ ඔහු තමයි එය කියන අධිකරණ බලය ක්‍රියාත්මක කළේ. ඔහු ලණු කැරැල්ලක් අරන් අපේ ගමට ඇවිත් අවුරුදු ගාණක් තිබුණු පරණ ඉඩම් නඩු, බෙදුම් නඩු, ඒවා මැනලා කියලා වැටවල් ගහලා එවෙලෙම නඩු විසඳලා ගියා. පස්සේ කාලෙක මම දැක්කා ඔහුව ඝාතනය කරලා දාලා තිබුණා. කවුරු විසින්ද දන්නේ නැහැ . ඒ කාලේ අධිකරණ බලයක් ක්‍රියාත්මක කළා ඔවුන්. මේක ව්‍යවස්ථාව යටතේ කරපුවා නෙවෙයි.

මෙහිදී මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ ද මෙසේ පැවසීය.

“නීතිය පසිඳලීමේ බලය තමන්ගේ සාමාජිකයන්ට ලබාදීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ උගත් පිරිස මෙය අනුමත කරනවාද කියන කාරණය මම දන්නේ නැහැ. සමථ මණ්ඩලයේ ප්‍රශ්න විසඳන ආකාරය හා ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයා නීතිය අතට ගෙන ප්‍රශ්න විසඳන ආකාරය කියන්නේ දෙකක්. ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයාට නීතිය අතට අරන් කටයුතු කරන්නට බැහැ. ඒ වගේම සමථ මණ්ඩලයේදී ප්‍රශ්න විසඳන්නට පුළුවන්. සමථ මණ්ඩල ක්‍රියාවලිය අද ගමේ ක්‍රියාත්මක වෙනවා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ කරනවා නම් නීතිය අතට ගන්නට, ඔවුන්ගේ මතය නැවත අපි මෑතකාලීනව 2022දී දැක්කා. 1971 කැරැල්ලෙදී අපි අසා තිබෙනවා. 88-89දී අපි දැක්කා. 2022දී අපි අත්වින්දා. මෙන්න මේ නොහොබිනා ක්‍රියාවට නම් ජනතා විමුක්ති පෙරමුණ රාජ්‍ය බලය ඉල්ලා සිටින්නේ මේ රටේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණේ එම දේශපාලන ව්‍යාපෘතියට තව දුරටත් අනුමත කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයකට ආ යුතුයි. අපි තවමත් දකිමින් සිටිනවා, සමහර අය මේ සමාජ මාධ්‍ය තුළ මේ පිළිබඳව මහා ඉහළින් කතා කරනවා. ජනතා විමුක්ති පෙරමුණට සහාය දෙන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් අපි අහනවා, ප්‍රශ්න විසඳීමේ පොලිසියේ බලය ගම් මට්ටමේ ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයන්ට ලබා දීමට මොනතරම් දුරට එකඟද කියලා. මේ පිළිබඳව දෙවරක් සිතිය යුතුයි. මෙය ප්‍රකාශ කළේ පළමු වතාවට නෙවෙයි. එක සැරයක් කිව්වා, රාජ්‍ය බලය අතට ගත්තම ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරන ආකාරය දන්නවා කියලා. ජනතා විමුක්ති පෙරමුණ ඒක කියලා මාස හතරයි ගියේ. ඊට පසුව කියනවා, රටේ නීතිය ක්‍රියාත්මක කිරීම සහ ඒ නීතිය තුළින් කව්රු හරි පිළිසරණක් බලාපොරොත්තු වෙනව නම් එම වැඩකටයුත්ත කිරීමේ බලය ජනතා විමුක්ති පෙරමුණේ ගමේ සාමාජිකයාට ලබා දෙනවා කියලා. මම දන්නේ මොන ලෝකයටද මේ රට ගෙනයන්න හදන්නේ කියලා. නැවත ම්ලේච්ඡත්වයට නෙවෙයිද මේ ගෙනයන්න හදන්නේ? මේ රටේ තිබෙන ආර්ථික අර්බුද මදිවට නැවත සමාජ අර්බුදයකට නෙවෙයිද මේ රට ගෙනයන්න හදන්නේ? මේ අය දන්නේ විපක්ෂය තුළ ඉඳගෙන ඒ අයගේ හයිය පෙන්වන්න විවාද ගැන කතා කරලා උසුළු විසුළු කරන්න විතරයි. මේ රට ආර්ථිකමය වශයෙන් ස්ථාවර කරමින් සිටිනවා. හරිනි මන්ත්‍රීතුමිය ජනතා විමුක්ති පෙරමුණේ ගමේ සාමාජිකයා නීතිය අතට අරන් කටයුතු කිරීම අනුමත කරනවද කියන එක අපට ප්‍රශ්නයක්. කොහොමද දේශපාලන පක්ෂයක් නීතිය අතට අරන් කටයුතු කරන්නේ. හරිනි අමරසූරිය මන්ත්‍රීතුමිය ඊට එකඟයි කියල මම හිතන්නේ නැහැ. නමුත් එතුමියටත් විකල්පයක් නැහැ. ඇය නැග්ගෙ වැරදි වේදිකාවකට.

පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය මෙනවිය ඊට පිළිතුරු දෙමින් මෙසේ කීවාය.

“කිසිම වෙලාවක ජනතා විමුක්ති පෙරමුණේ හෝ ජාතික ජනබලවේගයේ සාමාජිකයෙක්ට නීතිය ක්‍රියාත්මක කරන්න බලය දෙනවා කියලා කොහෙවත් කියලා නැහැ. ඔබලා වැරදියට අර්ථ කථන ඉදිරිපත් කරන්න එපා. ලාල්කාන්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාත් එහෙම කතාවක් කිව්වේ නැහැ. ඔහු පැවසුවේ අධිකරණ බලය ගමට ගෙන යාම සම්බන්ධයෙන්. ඔහු ජාතික ජන බලවේගය හෝ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ට බලය දෙනවා කියලා කොහෙවත් කිව්වේ නැහැ. ඔබතුමන්ලට ඒ කිව්ව දේ තේරුම් ගන්න බැරිනම් මට ඒකට කරන්න දෙයක් නැහැ. මේ සඳහා ගන්න පුළුවන් ක්‍රියාමාර්ග තිබෙනවා. ඒ බලය පාක්ෂිකයාට ලබා දෙනවා කියලා කොතැනද කිව්වේ කියලා ඔබතුමාලා කියන්න.”

මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ ඊට පිළිතුරු දෙමින් මෙසේ කීවේය.   

“හරිනි අමරසූරිය මන්ත්‍රීතුමිය කියන කාරණය සම්බන්ධයෙන් මට පුදුමයි. මේ වගේ උගත් මන්ත්‍රීවරියක් අර වගේ මජර දේශපාලන පක්ෂයකට ගිහින් ඇයත් මජර දේශපාලනයේ නිරත වීම පිළිබඳව. ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෝ කියන කාරණය සදාචාරාත්මක නැහැ. මම අහන්නේ පොලිසියේ හා අධිකරණයේ බලය ගමේ ජවිපෙ සාමාජිකයාට ලබා දීමට ඔබතුමිය එකඟද?”

“පක්ෂ සාමාජිකයාට බලය බෙදන එකට අපි එකඟ නැහැ. එලෙස ප්‍රකාශ කරන්නත් බැහැ” යැයි එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය පිළිතුරු දුන් අතර මෙහිදී සභාව තුළ උණුසුම් තත්ත්වයක් ඇති කරමින් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනකුද අදහස් ඉදිරිපත් කරන්නට වූහ.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා (සජබ) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඩී. ලාල්කාන්ත විසින් පවත්වන ලද කතාවක හඬ පටයක් වාදනය කළ අතර ඉන්පසු මෙසේ පැවසීය.

“අපට ලොකු බයක්, ගැටලුවක් තිබෙනවා මේ සම්බන්ධයෙන්. මෙය ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානියෙක් සිදු කළ ප්‍රකාශයක්. ඒ නිසා මේ ගැන අපි දැනගත යුතුයි. මේ වගේ දෙයක් ප්‍රකාශ කරන විට නීතියට ගරු කරන පුද්ගලයන් ලෙස අපට ලොකු බයක් තිබෙනවා, ජනතා විමුක්ති පෙරමුණේ ගම් මට්ටමේ සාමාජිකයන්ට අධිකරණ බලයක් දෙනවා කියන එක ගැන. අධිකරණ බලයක් දෙන එක ගැන තමයි මේ හඬ පටය තුළින් කියැවෙන්නෙ. ඒ වගේම හරිනි මන්ත්‍රීතුමිය නැහැ කියලා කිව්වට මේ හඬ පටයෙ තිබෙනවා. ඒ නිසා ලොකු ගැටලුවක් තිබෙනවා. මේ හඬ පටය අහන්න කියලයි මම ඔබතුමියගෙන් ඉල්ලන්නේ. මෙය බරපතළ තත්ත්වයක්.”

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ද එහිදී අදහස් දක්වමින් මෙසේ කීවේය.

“මේ පාර්ලිමේන්තුවේ සිටින මාත් එක්ක කව්රුත් කතා කරනවා. නීතිඥයෙක් ලෙස අධිකරණ බලය ගමේ මිනිසුන්ට බෙදලා දෙන්න බැහැ.ඒක දෙන්න පුළුවන් කියලා කව්රු හරි කියනවා නම් රටට දෙයියන්ගෙ පිහිටයි.”

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී පියංකර ජයරත්න විමසා සිටියේ,“අධිකරණ බලය විමධ්‍යගත කරන්න පුළුවන්ද? ” කියාය.

අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා ව්‍යවස්ථා සම්පාදක කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ එහිදී මෙසේ ද පැවසුවේය.

“අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අපේ අධිකරණ බලය මේ පාර්ලිමේන්තුව සතුව තමයි තිබෙන්නේ. මේ රටේ නිසි පරිදි පිහිටුවා ඇති අධිකරණ පද්ධතියට හැර වෙන කිසිම කෙනෙකුට අධිකරණ බලය ලබා දීමේ හැකියාවක් නැහැ. මම මගේ අත්දැකීමක් කියන්නම්. මගෙත් එක්ක වලස්මුල්ල ගමේ ඉගෙනගත්තා සුමනසේන කියලා තරුණයෙක්. ඒ කාලේ ඔය සුමනසේන තමයි අධිකරණ ක්‍රියාවලිය ඉටු කළේ. ඉඩම් නඩු තිබුණා. ඔහු ලණු කැරැල්ලක් ගෙනල්ලා එවෙලෙම මැනලා කරලා නඩුව විසඳලා යනවා. පසුකාලෙක ඔහු ඝාතනය වෙනවා. කව්රු විසින්ද කියලා දන්නේ නැහැ. ඒ කාලේ අධිකරණ බලයක් ඒ අය ක්‍රියාත්මක කළා. නමුත් එය ව්‍යවස්ථාව අනුව සිදු කළ එකක් නෙවෙයි.”

ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර ද මෙහිදී අදහස් දැක්වීය.

“පසුගිය මැයි නවවැනිදා පාරවල් දිගේ ඇවිත්, ගේට්ටු කඩලා, ගෙවල් ගිනි තියලා ගොඩක් දේවල් කළා. අදටත් පොලිස් විමර්ශන නැහැ. ඕන අපරාධයක් කළොත් පොලිස් විමර්ශන සිදු කළ යුතුයි. ඒ අති බහුතරයකට ඇප දීලත් ඉවරයි. නිදහස් කරලත් ඉවරයි. අද වෙනකල් පොලිසිය විමර්ශන සිදු කර නැහැ. ඒ අනුව සිදු වෙන්නේ ලාල්කාන්ත මහතා කියන දේ තමයි.”

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ද එහිදී අදහස් දැක්වීය.

“ජනතා විමුක්ති පෙරමුණේ අතීතය හරිනි අමරසූරිය මන්ත්‍රීතුමියට අමතක කරන්න පුළුවන් වුණාට මේ රටේ හැටදහසක් ඝාතනය කරපු එක කාටද අමතක කරන්න පුළුවන්. රාජ්‍ය දේපළ විනාශ කරපුවා මේ රටේ ජනතාවට අමතක නැහැ.

ඡන්දය දාපු ජනතාවගේ ඇඟිලි කැපුවා ජනතා විමුක්ති පෙරමුණ. ඒ වගේම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතිය ජනතා විමුක්ති පෙරමුණ නැති කළා. මගේ ගමේ ඡන්දය දාපු පළමු කෙනා ඝාතනය කළා.

ඒ අතීතය අමතක කරන්න කියලද ඔබතුමිය කියන්නේ. ඒ වගේම ෆේස්බුක් පෝස්ට් එකක් තිබුණා මාලිමා ආණ්ඩුවේ අධිකරණ ඇමැති ලාල්කාන්ත කියලා. ඒ අධිකරණ ඇමැති තමයි මේ ප්‍රකාශය කරන්නේ.”

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division