පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ධුරයක් සම්බන්ධයෙන් පසුගිය සතියේ වැඩි අවධානයක් යොමුවිය. ඒ ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිවීම සහ මුජිබර් රහුමාන්ට පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය හිමි වීමයි.
වීසා ගැටලුව ජනපති විසඳයි
ජනපති රනිල් සති අන්තය ගතකළේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ උරුමය ඉඩම්ලාභීන්ගේ සතුටු සිනා මැදය. බොහෝමයක් දෙනා ඉන් පිටව ගියේ ජනපතිට පින් දෙමිනි. ඒ ඔවුන්ට සින්නක්කර ඔප්පුවක් ලැබීම නිසාවෙනි.
එදිනම කොළඹ පැමිණි ජනපති ජපාන මුදල් ඇමැති මුණ ගැසුණු අතර සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඇතුළු නතරව තිබෙන ජපාන ව්‍යාපෘති යළි ආරම්භ කරන ආකාරය ගැන කතා කළේය. එදින රාත්‍රියේ හා පසුදින උදේ ජනපති රනිල් මුණ ගැසුණු මැති ඇමැතිවරු හා ආගමන විගමන නිලධාරීන් විසා දීම ගැන මතුව ඇති ගැටලුව ගැන කතා කළහ.
අවසානයේ තීන්දු වූයේ සංචාරක විසා ගාස්තුව පැරණි අගයේම තැබීමටය. විසා නිකුත් කිරීමේ බලය පැවැති ආකාරයටම ආගමන විගමන දෙපාර්තමේන්තුව යටතේ තැබීමටත් වීඑෆ්එස් ආයතනය කරගෙන පැමිණි වැඩ කොටස එලෙසම පවත්වා ගෙන යාමටත් ජනපති රනිල් තීන්දු කළේය.
ක්‍රිබ් එකේ සිරවී සිටින අයට සහනයක්
සඳුදා ජනපති රනිල්ට ඉතාම කාර්ය බහුල දිනයකි. ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී සංජිව එදිරිමාන්න, ඇමැති මනූෂ, මහින්දානන්ද අලුත්ගමගේ යන මන්ත්‍රීවරුන් විසින් ණය ගෙන “ක්‍රිබ්” එකේ සිරවී සිටින අය ගැන කතාවක් ඇද ගත්තේය.
“සර් හුඟක් අය බැංකුවලින් ක්‍රෙඩිට් කාඩ් අරගෙන, ණය හිමියන්ට අත්සන් කරලා, ණය ගෙවන්න බැරිවෙලා ක්‍රිබ් එකේ හිරවෙලා ඉන්නවා. ඇපයට අත්සන් කළ අය බහුතරයක් මෙතන ඉන්නවා. මේ අයට කිසිම දෙයක් කරන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. මේකට විසඳුමක් දෙන්න.” ඇමැති මනූෂ කතාව ඇද ගත්තේ එලෙසිනි.
එහිදි මන්ත්‍රීවරු කියා සිටියේ මේ අය ලක්ෂ දෙක තුනක් සිටින නිසා ඔවුන්ට වෙනත් සහන ක්‍රමයක් සකස් කර දෙන ලෙසය. ඒ ණය ගෙවන්න නැවත ණය ගන්න හෝ අවස්ථාව හදලා දෙන්න. මන්ත්‍රීවරු ඉල්ලා සිටියේ ජනපතිගෙනි.
සියලු බැංකු සමඟ සාකච්ඡා කොට ක්‍රමයක් සකස් කරන ලෙස ජනපති එහිදි මහ බැංකු අධිපතිට දැනුම් දුන්නේය.
ජනපති ආරක්ෂක මණ්ඩලයට
අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ආරක්ෂක මණ්ඩල හමුවට ගියේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිටින මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ද සමඟය. ඒ දයාසිරි ජයසේකර හා ගාමිණී වලේබොඩ යන මන්ත්‍රීවරුන් දෙදෙනාය. මෙරට විශ්‍රාමික හමුදා නිලධාරීන් හා සෙබළුන් යුක්රේන හා රුසියානු යුද හමුදාව වෙත යවන ජාවාරමක් ගැන දයාසිරි මන්ත්‍රීවරයා ඊට පෙර දිනක දුන් තොරතුරක් මත ජනපති රනිල් ඔවුන්ව හමුදා මූලස්ථානය වෙත කැඳවාගෙන ගියේය.
ආරක්ෂක ප්‍රධානීන් හමුවේ මන්ත්‍රීවරු දෙපොළ සතු තොරතුරු හෙළි කරන ලෙස ජනපති කළ දැනුම්දීම අනුව නීති විරෝධිව විශ්‍රාමික හමුදා සෙබළුන් එම රටවලට යවා අමාරුවේ දමා ඇති බවත් බොහෝ දෙනෙකු එම යුද්දයේදි මියගොස් ඇති බවත් මන්ත්‍රීවරු හෙළිදරවු කළේය.
ජනපති රනිල් උපදෙස් දුන්නේ මේ ගැන වහාම සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙසය.
ආරක්ෂක මණ්ඩල හමුව නිමවා පැමිණෙද්දී ජනපති රනිල් දුරකතනයෙන් ඇමැතූවේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්නටය. රුසියානු හා යුක්රේන රටවලට සෙබළුන් යාම හා එහි භයානක තත්ත්වය ගැන ජනතාව දැනුම්වත් කරන ලෙස උපදෙස් දුන් ජනපති රනිල් ඒ වෙනුවෙන් දයාසිරි හා වලේබොඩ මන්ත්‍රී දෙපළ සම්බන්ධ කර ගන්නා ලෙස ද කීවේය.
එ.ජා.ප මැයි රැලිය ගැන පසු විපරමක්
එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව එදින සවස රැස්වූ පසු පක්ෂ මහලේකම් රංගේ බණ්ඩාර විසින් මැයි දිනය ගැන සමෝලෝචනයක් ඉදිරිපත් කළ අතර පිරිස ඒ ගැන සාකච්ඡා කරන්නට වූහ. එදින වූ අඩුපාඩු ගැන මෙන්ම බස් රථවලින් හා දුම්රියෙන් පැමිණි ජනතාව පිළිබඳ සංඛ්‍යාත්මක වාර්තාවක් ද මහ ලේකම් ඉදිරිපත් කරනු ලැබීය.
මෙහිදි භික්ෂූන් වහන්සේලා 100 නමක් පැමිණෙන බව කීවත් භික්ෂුන් වහන්සේලා නොපැමිණීම ගැන ද කතාබහ ඇදී ආ අවස්ථාවේ භික්ෂුන්වහන්සේලා වැඩමවීම භාර ගෙන තිබූ රවි කරුණානායක කීවේ ජනාධිපති ආරක්ෂක අංශයෙන් භික්ෂූන් වහන්සේලාගේ පැමිණීමට බාධා කළ බවකි.
“භික්ෂූන් වහන්සේලාට පැමිණෙන්න වෙන් කර තිබුණේ සමන්තා හෝල් එක පැත්තේ ගේට්ටුව.” මහ ලේකම් රංගේ කී විට රවී කියා ඇත්තේ ඔවුන්ට ඒ පැත්තෙන් එන්න ඉඩ දී නැති බවකි.
“මොකද අපි පී.එස්.ඩී එකට ලිස්ට් දිලා තිබුණේ හාමුදුරුවෝ එනවා කියලයි. එහෙනම් රවීට කියපු කට්ටිය කලිසම් කමිස ඇදගෙන ආවද දන්නේ නෑ.” මහලේකම් කියද්දී පිරිසට සිනහව නතර කර ගැනීමට නොහැකි වූහ.
ග්‍රාම නිලධාරීන් 2100කට පත්වීම්
ජනපති රනිල් බදාදා අරලියගහ මන්දිරය වෙත ගියේ ග්‍රාම නිලධාරීන් 2100ක් වෙත පත්වීම් දීමේ උත්සවයට එක්වීමටය. රාජ්‍ය පරිපාලන ඇමැති ලෙස අගමැති දිනේෂ් ද මීට එක්ව සිටියහ. ජනපති සිය කතාවේදි ග්‍රාම නිලධාරීන්ට සම්බන්ධ විය හැකි ව්‍යාපෘති හතරක් පෙන්වා දුන් අතර ග්‍රාම නිලධාරී සේවය රටට වැදගත් වන ආකාරය ද පෙන්වා දුන්නේය. ජනපතිගේ කතාව අවසානයේ ශාලාවම ගුරුවමින් ආ අත්පොලසන් නාදය කාටත් පුදුමයක් විය.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් මෙන්ම අගමැති ලේකම් ද ජනපති ලේකම් සමන් ඒකනායක අමතා ජනපති කළ කතාව අගය කරමින් “අපි මෙහෙම කතාවක් කවදාවත් අසා නැතැයි” කීවෝය. ජනපති රනිල් බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට ගියේ රටේ ආර්ථික තත්ත්වය ගැන පාර්ලිමේන්තුව දැනුම්වත් කිරීමටය.
සභාවට ගොස් ප්‍රකාශයක් කළ ජනපති රනිල් රටේ ආර්ථිකය ගැන විග්‍රහයක් කළේය.
ඩයනා මුලින්ම පත් කළේ කවුද?
ජනපති කතාව නිමවා පළමුව ගියේ ආණ්ඩු පක්ෂ ලොබියටය. දෙවනුව ඔහු විපක්ෂ ලොබියට ද ගියේය. ආණ්ඩු පක්ෂ ලොබියේදී ඩයනා ගමගේ මන්ත්‍රීතුමියගේ කතාව ඇදී ආ අවස්ථාවේ “සජබ දැන් කෑ ගැහුවට වැඩක් නෑ. එයාලා පක්ෂයේ නියෝජ්‍ය ලේකම් ලෙස එතුමිය පත් කළේ මේක නොදැනද? නෑනේ.” ඇමැති ප්‍රසන්න කීවේ මහ හඬිනි.
“එතුමිය ආණ්ඩුවට ඇවිල්ලා ඇමැතිකමක් ගත්ත නිසා තමයි මේ කාරණය දැන් එයාලටත් පෙනීලා තියෙන්නේ.” මන්ත්‍රී දොලවත්ත කීවේ මන්ත්‍රීවරු දෙස බලමිනි.
“සජිත් අහපු ප්‍රශ්නයට සර් දීපු උත්තරය නිසා එයාට උතුර දකුණ මාරු වුණා. ඒක නිසා අන්තිමට ඇයි යන්නේ කියලා කෑ ගැහුවා. නමුත් මනූෂ ඇමැතිතුමා දුන්න පිළිතුර නම් දරා ගන්න බැරි වෙන්න ඇති.” මධුර විතානගේ මන්ත්‍රීවරයාගේ කතාවට සියල්ලෝ කොක් හැඬලූහ.
“ප්‍රදේශීය සංවර්ධන කමිටුවලට සල්ලි දෙන්න බෑ කියලා මැතිවරණ කොමිසම කියන්නේ කොහොමද” මන්ත්‍රීවරු විමසුවේ ජනපතිගෙනි.
රජයේ වැඩ ගැන ජනපති කතා කරයි
“එයාලා කොහොමද එහෙම කියන්නේ. තවම ජනාධිපතිවරණය කැඳවලා නැහැනේ. අනෙක් පැත්තෙන් බැලුවම රජයේ වැඩ නවත්තන්න කියලා මැතිවරණ කොමිසමට කියන්න බැහැ.” ජනපති කීවේ මන්ත්‍රීවරු අස්වසමිනි.
“රජයේ වැඩ නවත්වන්න කියලා කිසිම මොහොතක මැතිවරණ කොමිසමට කියන්න බෑ.” වක්කුඹුර ඇමැතිවරයා සහ රමේෂ් පතිරණ ඇමැතිවරයා ද කීවේ ජනපති කතාව තහවුරු කරමිනි.
“පළාත් පාලන මැතිවරණය තවම අහෝසි වෙලා නැති නිසා මෙහෙම කියනවා කියලා තමයි මැතිවරණ කොමිසම කියන්නේ.” මන්ත්‍රීවරු කියන්නට වූහ.
“දැන් පළාත් පාලන ඡන්දයක් නෑනේ. එන්න තියෙන්නේ ජනාධිපතිවරණය විතරයි.” ඇමැති ප්‍රසන්න කීවේය.
ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදි මතු කළ කාරණය සංජිව එදිරිමාන්න මන්ත්‍රීවරයා යළි ජනපතිට සිහිපත් කර සිටියේය. “ඒ ගැන මහාචාර්ය ආශු මාරසිංහ එක්ක කතා කරන්න. මේ ගැන බලන්න කියලා මමත් එයාට කියන්නම්.” ජනපති කීවේ මන්ත්‍රීවරයා මතු කළ ක්‍රිබ් එක ගැන පැනයට පිළිතුරු දෙමිනි.
ජනපති විපක්ෂයේ ලොබියට
ඉන් පසු ජනපති විපක්ෂයේ ලොබිය දෙසට යමින් “ආ අද කට්ටිය අඩුයි වගේ. මේ ඉන්නේ පක්ෂ නායකයෙක්.” කියමින් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රී ළඟ අසුන් ගත්තේය. එම අවස්ථාවේ එතනට අතාවුල්ලා මන්ත්‍රීවරයා පැමිණි අතර ඔහුවද ජනපති පිළිගත්තේ තවත් පක්ෂ නායකයකු යැයි කියමිනි. ඈතින් ගිය හාරිස් මන්ත්‍රීවරයාට ද ජනපති කතා කළේ තවත් පක්ෂ නායකයෙකු කියමිනි.
ඔවුන් සියලු දෙනාම එකතු කර ගත් ජනපති “අපි ඔක්කොම එකතු වෙලා රට හදමු” යැයි කීවේ ඒ අයගේ පිටට ද තට්ටු දමමිනි.
ජනපති රනිල් පාර්ලිමේන්තු කාර්යාලය වෙත එද්දී ඔහු අසලට පැමිණි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු විමසා සිටියේ මුජිබර් රහුමාන් හිටපු මන්ත්‍රීවරයා කොළඹ නගර සභා ලැයිස්තුවේ අපේක්ෂකයෙකු බැවින් ඔහුට යළි පාර්ලිමේන්තු පැමිණිය හැකි ද කියාය. මෙහි නීතිමය පසුබිම කථානායකවරයා මඟින් නීතිපතිගෙන් විමසිය යුතු බව ඔවුන් කියා සිටියෝය.
ජනපති, මන්ත්‍රීවරුන් 20ක් සමඟ
ජනපති රනිල් බ්‍රහස්පතින්දා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු 20ක් පමණ එහිදී මුණ ගැසුණු අතර එය නිසි ලෙස සම්බන්ධිකරණය කරනු ලැබුවේ මහාචාර්ය ආශු මාරසිංහ විසිනි.
“විපක්ෂ නායකතුමා හැමදාම හැම එකටම කතා කරනවා. එතුමා නිසා ඒ පක්ෂයේ අනෙක් අයටත් කතා කරන්න විදියක් නෑ. ඒ නිසා එතුමට තනියම කතා කරන්න අපි සෙනසුරාදා දවසක් වෙන් කරලා දෙමුද. එතකොට දවසම එතුමට කතා කරලා මේ ආසාව නැති කර ගන්න පුළුවන්නේ.” මන්ත්‍රීවරු කියද්දී සැවොම කොක් හැඬලූහ.
මැයි 09 සැමරීමට විමලවීරගේ දැඩි විරෝධය
මැයි 09 වැනිදාට අරගලයට වසර 02ක් සැපිරීම නිමිත්තෙන් ඇතැම් සැමරුම් උත්සව සංවිධාන කර තිබුණද, ඊට දැඩි විරෝධයක් එල්ල වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායකගෙනි.
“මේ අරගලය සමරනවා කියලා කරන්නේ ප්රචණ්ඩත්වය සැමරීම. එදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මරලා, ගෙවල් ගිනි තියලා මොන තරම් අපරාධයක් මේ රටට කළාද?
මහින්දට මැයි 09 වැනිදා කීවේ මොනවාද?
මැයි 09 වැනිදා සුපුරුදු පරිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙන විට ඔහුව පිළිගැනීමට පොහොට්ටුවේ විශාල මන්ත්‍රීවරුන් පිරිසක් ගොස් තිබුණි.
“සර් අද වගේ දවසක තමයි සර් අගමැතිකමෙන් ඉවත් කළේ. අවුරුදු දෙකක් වෙනවා” යනුවෙන් රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට මහ බැංකුවේ අධිපති
සුපුරුදු පරිදි පාර්ලිමේන්තුව ආරම්භයට පෙර පැවැත්වෙන ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පසුගිය සඳුදා පැවැත්වුයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි.
මුලින්ම කතාකළේ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියය.
“ පරාටේ නීතිය දෙසැම්බර් මාසය වෙනකම් කතා වෙන්නේ නෑ” ඔහු කීවේය.
“ක්‍රිබ් කියන්නේ ණය පිළිබඳ තොරතුරු මධ්‍යස්ථානය. ඒකෙන් ණය වර්ගීකරණය වෙනවා. ක්‍රිබ් එකේ හිටිය කියල පුද්ගලයට ණයක් ගන්න බැරිකමක් නැහැ” එසේ කීවේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහය.
“ඔබතුමා මෙතන එහෙම කිව්වට, ක්‍රිබ් එකේ නම තියෙන අයට ණය ගන්න බැහැ.” වෙළඳ ඇමැති නලීන්ද කතාවට මැදිහත්විය.
මහින්දානන්දද එය අනුමත කළේය.
“අපිට මේක තනියම කරන්න බැහැ. ඒ නිසා මහ බැංකුවට මම කිව්වා මේ ගැන වාර්තාවක් දෙන්න කියල. රජයේ බැංකුවලට නම් මොකක් හරි කරගන්න පුළුවන්. නමුත් පුද්ගලික බැංකුවලට එහෙම බෑ” ජනාධිපතිවරයාද කතාවට මැදිහත්විය.
චාමර පෙරළූ බාල්දිය
“බලන්න සර්… ආණ්ඩුව හොඳට වැඩටික කරගෙන එනවා. ඒ අස්සේ මේ වීසා ප්‍රශ්නයක් ඇදගෙන නානවා. අපිටත් ලැජ්ජයි.” චාමර සම්පත් බාල්දියක් පෙරළූවේය.
සරත් වීරසේකර මන්ත්‍රීවරයාද ඒ ප්රශ්නය ගැනම කතා කළේය.
“අපි ඒ වැඩේ භාරදුන්නේ ලෝක ප්‍රකට ආයතනයකට. එකෙන් අපි තවත් ප්‍රමෝට් වෙනවා. මෙතන වෙලා තියෙන්නේ අතයට ගනුදෙනු වැඩක්. අපි මේව ගැන හොයන්න ඕන. ” ඇමැති හරීන් කීය.
කෑගහපු තරුණයාගේ වගතුග ප්‍රසන්න හෙළි කරයි
“එයාර්පෝට්එකේ කෑගහපු තරුණයාගේ තාත්තා ගම්පහින් ජේ.වී.පී එකෙන් ඡන්දය ඉල්ලපු කෙනෙක්. මිනිහගේ නෝනා රුසියානු කාන්තාවක්” ඇමැති ප්‍රසන්න මන්ත්‍රීවරුන්ට කීය.
“එයාට ප්‍රශ්න කරන්න අයිතියක් තියෙනවා. නමුත් එයා කතා කළේ බිරිඳගේ වීසා එක ගැන. ඒ ප්රශ්නය නීත්‍යානුකූලව විසඳා ගත්තනම් ඉවරයි. ඒත් වයර් කඩල, කෑගහල ගුවන්තොටුපළේ යකා නටන්න කාටවත් බෑ. රටක විනයක් තියෙන්න ඕන ටුවරිසම් කරන අය මට මේ ගැන කතා කළා. ඒ අනුව වීසා ගාස්තුව පෙර පරිදිම තියාගන්න කැබිනට් මණ්ඩලය තීන්දු කළා.” ජනාධිපතිතුමාද මැදිහත් විය.
එය ඇසූ රාජ්‍ය ඇමති චාමර අත්පුඩි ගැසීය.
“මේක නෙවෙයි වැදත්ම කාරණාව. උරුමය ඔප්පු බෙදීමයි. ඒක පටන් ගන්න. ප්‍රසන්න ඇමැතිතුමා ඒ වැඩේ ගම්පහ හොඳට කළා. ප්‍රසන්න ඔයා ඒ ගැන කියන්න” ජනාධිපතිතුමා නැවත කීය.
අනතුරුව ඇමැති ප්‍රසන්න උරුමය ඔප්පු බෙදාදීම ගැන සවිස්තර විස්තරයක් මන්ත්‍රීවරුන්ට ඉදිරිපත් කළේය.
“ප්‍රසන්න ඔයා ඒ වැඩේ ගැන පොඩ්ඩක් හොයල බලන්න. ඔයා වැඩේ හොඳට කරනවා” අවසානයේ උරුමය ඔප්පු බෙදාදීම වැඩේ ගැන හොයා බැලීමේ වැඩෙත් ජනාධිපතිවරයා ඇමැති ප්‍රසන්න රණතුංගටම භාර කළේය.
නාමල්ගෙන් ප්‍රසන්නට ආරාධනාවක්
පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉකුත් අඟහරුවාදා බත්තරමුල්ල,නෙළුම් මාවත, පක්ෂ කාර්යාලයට කැඳවා තිබුණේ ඉදිරි වැඩපිළිවෙළ ගැන කතා කරන්නය.
“මේ අවුරුද්දේ අනිවාර්යයෙන්ම ඡන්දයක් එනවා. ඒකට ලෑස්ති වෙන්න ඕන” හිටපු ඇමැති බැසිල් කීය.
“සර් එතකොට අපේක්ෂකයා කවුද?” මන්ත්‍රීවරයකු ඇසීය.
“ඒ ගැන පක්ෂය නියමිත වෙලාවේදි ප්‍රකාශ කරනව. එතකම් කවුරුවත් කතා කරන්න එපා” පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද කීය. මේ රැස්වීමේදී ඇමැති ප්‍රසන්න වාඩිවී සිටියේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අසලය. නාමල් එහිදී ඇමැති ප්‍රසන්නට ආරාධනයක් කළේය. ඒ හම්බන්තොට දිස්ත්‍රික්කයේ රැස්වීම්වලට පැමිණෙන ලෙස ය.
රනිල්ගේ සීයා ගැන වජිරගෙන් හෙළිදරව්වක්
උරුමය ඔප්පු බෙදාදීමේ වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ මේ වනතෙක් සකස් කර ඇති ඔප්පු බෙදාදීමේ උත්සවය පසුගිය සතිඅන්තයේ ගාල්ල දිස්ත්‍රික්ක ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ඇතුළු ආරාධිත පිරිසක් සහභාගී වී සිටියහ.
“ මෙය දෛවෝපගත සිද්ධියක්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සීයා සිරිල් ලෙනාඩ් වික්‍රමසිංහ ගාල්ලේ බද්දේගම උපන් අයෙක්. ඔහු ප්‍රසිද්ධ වුයේ සී.එල් වික්‍රමසිංහ යනුවෙන්. එතුමා 1912 දී ශ්‍රී ලංකා සිවිල් සේවයට එකතු වුණා. පසු කාලීනව ඔහු තමයි මෙරට මුල්ම ඉඩම් කොමසාරිස්වරයා වුණේ. ඒ වගේම සී.එල්. වික්‍රමසිංහ මහතා ලංකාවේ මුල්ම සිංහල දිසාපතිවරයා. ඩී.එස්. සේනානායක මැතිතුමාගේ ගොවිජන ව්‍යාපාරය පිටුපස සිටි යෝධ සෙවණැල්ල. දෛවෝපගත ලෙස අද එම පරපුරෙහි සාමාජිකයෙකු වූ රනිල් වික්‍රමසිංහ මහතා පොලොන්නරුවේ දී, මහ ජනතාවට වසර 200කට පමණ එහා ගිය ඉතිහාසයකට පසු තමන්ටම කියා මහපොළොවේ අයිතිය ලබා දෙනවා. “
මැයි 09 වැනිදා අමරකීර්ති සිහිකෙරේ.
මැයි නව වනදා පොහොට්ටුවට අමතක නොවන දිනයකි. රට පුරා ඇතිවූ කලකෝලාහල හේතුවෙන් වැඩිම හානි සිදුවූයේ පොහොට්ටුවටය. මෙහිදී පොලොන්නරුව පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාව මහමඟ පහරදී ම්ලේච්ඡ ලෙස ඝාතනය කර තිබිණි. මැයි නව වනදා උදේ පාන්දරම අමරකීර්ති අතුකෝරල ස්මරණය කිරීම සඳහා නාරාහෙන්පිට අභයාරාමයට පැමිණීමට කටයුතු යොදා තිබිණි. නාමල් සමඟ රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි ඇතුළු පිරිසක් එයට සහභාගී වූහ .නාමල් උදෙන්ම පැමිණියේ අභයාරාමයටය. මෙහිදී මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ මුණ ගැසිණි.
ඉන් අනතුරුව මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන්වහන්සේ විසින් සුමධුර දහම් දෙසුමක් පවත්වා පැන් වඩා අමරකීර්ති අතුකෝරාලට පින් අනුමෝදන් කළේය.
නව සන්ධානයෙන් ජනපතිට සුභාශිංසන
මැයි 9 අරගලය වෙනුවෙන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් මෙරට ආර්ථිකය යහපත් දිශාවකට ගමන් කිරීමට ගන්නා අපිරිමිත උත්සාහයට සුභාශිංසන එක් කිරීම වෙනුවෙන් විශේෂ ජනතා සන්දේශයක් ලබාදීමට නව සන්ධානයේ වෘත්තීය සමිති කේන්ද්‍රය සහ අනුබද්ධ සංවිධාන බ්‍රහස්පතින්දා පෙරවරුවේ කටයුතු කළේය.
රට රකින වීරෝධාර ආරක්ෂක නිලධාරීන් සඳහා තුතිමල් උපහාර ප්රදානයක්ද මෙහිදී සිදුකිරීම විශේෂත්වයකි.
ඩයනා නඩු දාලා තියෙන්නේ කාටද?
“ඩයන දාල තියෙන නඩුව නිසා සජබෙ මන්ත්‍රීවරු 53 දෙනාගෙ මන්ත්රීකම් අනතුරේලු” පියංකර කීවේය
“දැන් ඩයනගේ අධිකරණ තීන්දුව අරගෙන සජබෙ කට්ටිය ජනාධිපතිතුමාට ගහන්න පටන් අරගෙන. යකෝ මේක හරි වැඩක්නෙ ඒකට වගකියන්න ඕනෑ ජනාධිපතිතුමා නෙමෙයි මේ ගැන දැන දැනත් ඩයනගෙ පක්ෂය අරගෙන ඩයනට ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීකමක් දීපු සජිත්නෙ වගකියන්න ඕනෑ”නිමල් ලන්සා ද කතාබහට එක්විය.
මුජිබර්ව ගේන්න හදිසි කාටද?
” ඩයනා ගිය එකටත් වඩා මුජිබර්ව පාර්ලිමේන්තු ගේන්න පුදුම හදිස්සියක් තියෙන්නෙ”ලසන්ත අලගියවන්න ඇමැතිවරයා කියා සිටියේය.
” ඔව් ඉතින් පළාත් පාලන ලණුව කවල සජිත් මිනිහව අමාරුවේ දැම්මනෙ නගරාධිපති සිහිනය පෙන්නල” අමරවීර ඇමැතිවරයා සිනාසෙමින් කීවේය
සජිත් ජපාන විදේශ අමාත්‍යවරියට කීවේ මොනවාද?
පසුගිය සතියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජපාන විදේශ කටයුතු අමාත්‍ය Yōko Kamikawa අතර සුවිශේෂී හමුවක් සිදුවිය. මෙහිදී ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජපාන විදේශ ඇමැතිවරියව දැනුම්වත් කරමින් ඉන් අත්මිදීමට සමගි ජන බලවේගයට ඇති සැලසුම් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය දැනුම්වත් කළේය. රට නැවත වරක් යථා තත්ත්වයට ගැනීම සඳහා සමගි ජන බලවේගය සැලසුම් කර ඇති ආකාරය ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජපාන විදේශ කටයුතු අමාත්‍යවරියව දැනුම්වත් කළේය.
වීසා ගැටලුව ගැන සජිත් කතා කරයි
මේ අතර කටුනායක ගුවන්තොටුපොළ තුළ වීසා නිකුත් කිරීමේ ක්‍රියාපටිපාටියේ ඇති වූ ගැටලුසහගත තත්ත්වය පිළිබඳව දේශපාලන වේදිකාවේ පසුගිය සතියේ කතා බහක් ඇති විය. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීවේ –
‘‘ශ්‍රී ලංකාව තුළ වීසා නිකුත් කරන වැඩසටහනක් තිබුණත් එය වෙනස් කිරීම තුළ වෙනමම ඩොලර් 18.50ක් අය කර ඉන් ආදායමක් විදේශීය සමාගම්වලට යනවා. අප රටට විශාල ඩොලර් ප්‍රමාණයක් මේ හරහා අහිමි වෙනවා. ආණ්ඩුව මෙවැනි තීන්දු තීරණ ගතයුත්තේ දත්ත කේන්ද්‍රීයව විද්‍යාත්මක පසුබිමක. ඒ තුළින් රටට ලැබෙන වාසිය අවාසිය ගැන විශ්ලේෂණයක් සිදු කරන්න ඕන. මේක බැඳුම්කර වංචාවටත් වඩා බරපතළ මුදල් වංචාවක් බවට විවිධ කටකතා පැතිරෙනවා.‘‘ යනුවෙන්ද සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේය.
විජය ස්ත්‍රී දූෂකයෙක්ද අජිත්ගෙන් ප්‍රශ්නයක්
බොරැල්ල කැම්බල් පිටියේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දින රැලිය අවසන්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ හම්බන්තොට සිට පැමිණි පිරිසක් සමඟ සුහද කතාබහක නිරත විය.
එහිදී මාතෘකාව බවට පත්වූයේ 1988 – 89 භීෂණ සමයේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කරන ලද හාමුදුරුවන් සහ ජනප්‍රිය පුද්ගලයන් ගැනය.
“නලින් හේවගේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රිතුමා කිව්වනේ 1988 – 89 භීෂණ සමයේදී මැරුවේ ස්ත්‍රී දූෂකයන්, කසිප්පුකාරයන් කියලා.
එතකොට රටක් ආදරය කරපු සිනමා නළු විජය කුමාරණතුංග ස්ත්‍රී දූෂකයෙක් ද, රටක් වටින ගීත ලියපු ප්‍රේමකීර්ති ද අල්විස් කසිප්පු කාරයෙක් ද?
විචිත්‍ර ධර්ම කථිකයින් වහන්සේ නමක් වූ පූජ්‍ය කොටිකාවත්තේ සද්ධාතිස්ස හිමියන් කසිප්පුකාරයෙක් ද? තව දිග නම් ලැයිස්තුවක් තියෙනවා. ඒක නිසා මේවාට ජනතා විමුක්ති පෙරමුණ ඉතා ඉක්මනින් පිළිතුරු දිය යුතුයි” යනුවෙන් අජිත් රාජපක්ෂ විසින් පෙන්වා දෙන ලදී.