– රංගනයෙන් ඉහළටම යන්නයි මගෙ ලොකුම ආසාව
– මාව තේරුම් ගන්න පුළුවන් කෙනෙක් තමයි හොයන්නේ
මේ දිනවල විකාශය වන මන්දාරම් කතාවේ “කවි” ලෙසින් ප්‍රේක්ෂක ආදරේ ආකර්ෂණය නොඅඩුව ලබන සුන්දර රුවැත්තිය තමයි මදාරා සෙව්වන්දි. වෛද්‍ය උපදේශක වරියක ලෙස සේවය කරන අතරේ රංගන ශිල්පිනියක් ලෙස සිය හැකියාවන් දක්ෂතාවන් පෙන්නුම් කරන සොඳුරු රුවැත්තිය ඉදිරියට එන්න තියෙන නිර්මාණ කිහිපයකින්ම දැක ගන්න පුළුවන්.
මතක් කළොත් රංගනයේ ආරම්භය ගැන
මම මුලින්ම කළේ වෙෙළඳ දැන්වීම්. ඊට පස්සේ මට ආසාවක් ඇති වුණා රංගනය ගැන හදාරන්න. මම මහේන්ද්‍ර පෙරේරා සර් යටතේ රංගනය හදාරපු කෙනෙක්. රංගනයේ මගේ මුල් ගුරුවරු දෙන්නා වෙන්නේ මහේන්ද්‍ර පෙරේරා සර් සහ ප්‍රදීප් රාමවික්‍රම අයියා.
ඔබ රංගනයට අමතරව මනෝවෛද්‍ය උපදේශක වරියකනේ, කොහොමද ඒ වැඩ කටයුතු
මම මුල් තැන දීලා කටයුතු කරන්නෙ මනෝවෛද්‍ය උපදේශකවරියක ලෙස. දවසේ බොහෝ වෙලාවට මම මිනිසුන්ට උදව් කරනවා. මම මගේ උපරිමය කරනවා. රංගනය කරන්නේ විනෝදාංශයක් විදියට නෙවෙයි. මට හිතෙනවා රංගනය කියන එක විනෝදාංශයක් වගේ සැහැල්ලුවට ගන්න බැහැ.
ඔබ ඔය අංශ දෙකෙන් වැඩියෙන්ම කැමති මොන අංශයට ද?
එකකට වැඩියෙන් කැමතියි කියන්න බැහැ. මම මේ අංශ දෙකටම ආදරෙයි. ඒ අංශ දෙකම කැපවීමෙන් කැමැත්තෙන් කරන්නේ. ඒ නිසා මේ දෙකටම මම ගරු කරනවා.
මෙතෙක් රඟපෑ චරිත මොනවද?
මේ වෙනකම් මට එකිනෙකට වෙනස් චරිත ලැබුණා. මන්දාරම් කතාවට පස්සේ මට අවස්ථාව ලැබුණා බඹරෙක් ඇවිත් නාට්‍යයට සම්බන්ධ වෙන්න. ඒ එක්කම තව නිර්මාණයක් එන්නත් තියෙනවා. මම හිතනවා හොඳ දෙයක් ප්‍රේක්ෂකයින්ට දෙන්න පුළුවන් වෙයි කියලා.
ඒ අතරින් වැඩිම ප්‍රේක්ෂක ආදරයක් ලැබුණු චරිතය මොකක් ද?
දැනට නම් මන්දාරම් කතාවේ “කවි” චරිතයට.
ආදරේ දකින්නේ කොහොමද?
ආදරේ අපි තව කෙනෙකුට දෙනවා නම් තමයි ඒ ආදරේ අපිට පෙරළා ලැබෙන්නේ. අපි දෙන්නේ නැතුව ආදරේ ලබා ගන්න විතරක් උත්සහ කළොත් කවදාවත් ලැබෙන්නේ නැහැ. ආදරේ කියන්නේ සුන්දර දෙයක්. ආදරේ දී පෙම්වතා පෙම්වතිය ගැන විතරක් නෙවෙයි. අම්මා තාත්තට සහෝදර සහෝදරියන්ට යාළුවන්ටත් ආදරේ කරනවා නම් ඒ තුළ අවංක බව තියෙන්න ඕනේ.
මොන වගේ කෙනෙක්ද ජීවිතේ සහකරු විදියට හොයාගන්නේ?
මාව තේරුම් ගන්න මටත් තේරුම් ගන්න පුළුවන් කෙනෙක් තමයි මම හොයන්නේ. ඒ වගේම වෙනස් විදියට ජීවිතේ දිහා හිතනවා නම් කැමතියි. ඒ හැර ලොකු ලොකු තේරීම් නැහැ මේ වගේ කෙනෙක් වෙන්න ඕනේ කියලා. කවදා හරි මට දැනෙන කෙනෙක් නම් එච්චරයි.
දිගටම රඟපාන්න ද කැමැත්ත
ඇත්තටම ඔව්. මම කැමතියි දිගටම රඟපාන්න. මම රංගනයට ගොඩක් ආසයි ආදරෙයි.
විලාසිතාවලට තියෙන කැමැත්ත කොහොමද?
මගේ සිරුරේ හැඩයට පැහැයට ගැළපෙන අවස්ථාවට ඔබින විදියට විලාසිතා ගළපා ගන්නවා.
කටකතා ගොසිප් වලට බයද?
මෙහෙමනේ අපි රංගන ක්ෂේත්රයේ ඉන්න කොට ඕනෙම කෙනෙක්ට කට කතා ගොසිප් හදන්න පුළුවන්. මම වග බලා ගන්නවා ඒ දේවල් හැදෙන්නේ නැති වෙන්න. හැබැයි මට කාගේවත් කටවල් නවත්තන්න බැහැ. බොරු දේවල් පවා මවලා කියන්න පුළුවන් ඕනෙම කෙනෙක්ට. ඒ දේවල් මේ ක්ෂේත්රයේ සාමාන්‍යය දේවල්.
අනාගත බලාපොරොත්තු මොනවද?
මිනිසුන්ට ගොඩක් උදව් කරන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒ එක්කම රංගනයෙන් ඉහළටම යන්නයි මගෙ ලොකුම ආසාව. ඒ වගේම කියන්න ඕනේ මම ගොඩක් සත්තුන්ට ආදරේ කෙනෙක්. සතුන් වෙනුවෙන් දෙයක් කරන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. දැනටත් මම මාසයකට සැරයක් බව්වන් 30 – 40 කට වගේ කෑම දෙනවා. ඊටත් වඩා ලොකු දෙයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
අනුෂා රණසිංහ