මේ ප්‍රසංගය ගැන මූලිකම අදහස ගෙනාවේ අපේ ක්‍රිකට් ක්‍රීඩකයකු වන තිලකරත්න ඩිල්ශාන් හා ඔහුගේ බිරිය මංජුලා
මම ගීත හතළිහක් පමණ ලියා තියෙනවා. මට හොඳම ගීත රචනය වෙනුවෙන් සම්මානත් ලැබී තියෙනවා. වළා අතුළ සිරි යහනේ…, කිරිල්ලියක් විය…, කැකුළු මල් පොඩි දෙකක් පිපෙන්නට ඉඩ දුන්… මම ලියූ ගීත අතරෙන් කිහිපයක්
අමරසිරි පීරිස්, සමිතා මුදුන්කොටුව, කමල් අද්දරආරච්චි, දීපිකා ප්‍රියදර්ශනී පීරිස්, රිද්ම වීරවර්ධන, ආදිත්‍යා වැලිවත්ත, උපේඛා නිර්මාණි, මෙන්ම විදුෂා රාජගුරු යන ගායක ගායිකාවෝ මෙදින ගී ගයති
ඔහු සුනිල් රත්නායක. වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවරයකු වන සුනිල් ජනතාවට වඩාත් සමීප ටෙලි නාට්‍ය නිර්මාණකරුවකු ලෙසිනි. 1983 වසරේ රන්දොරටුව ද මුල්ම ටෙලි නාට්‍ය කරන ඔහුගේ ගමන් මඟ හරි අපූරුය. පාසල් වියේ සිටම කලාව කෙරෙහි විශේෂ ඇල්මක් මෙන්ම දක්ෂතා දැක් වූ සුනිල් සිය ජීවන ගමන වෙනස්ම මාවතක් ඔස්සේ ගෙන යන්නේය. ඒ වෙනස්කම් සමඟ සාර්ථක ගමනක් පැමිණි ඔහු සිය කලා දිවියේ හතළිස් වසර සපුරමින් මැයි මස 18 වනදා සවස 6.00ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී “දේවතා එළි“ ප්‍රසංගය පැවැත්වීමට සූදානම් වන්නේය.
සිවිල් ඉංජිනේරුවරයකු වන සුනිල් සිය රැකියාව සමඟ කලාව ද කරගෙන ගියේ බොහෝ පරිස්සමෙනි.
මාතර රාහුල විද්‍යාලයෙන් පාසල් දිවිය ඇරඹි සුනිල් පසුව බදුල්ල ධර්මදූත විද්‍යාලයෙන් ද අවසානයේ කුරුණෑගල මලියදේව විද්‍යාලයෙන්ද ඉගෙනුම ලබන්නේය. ඔහුට එලෙසින් පාසල් ගමන වෙනස් කරන්නට සිදු වූයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ගබඩා පාලකවරයකු ලෙස සිය පියා රාජකාරිය කළ නිසාය. පස්දෙනෙකුගෙන් යුතු පවුලේ තුන්වැන්නා සුනිල්ය. සාමාන්‍ය පෙළ සම්මාන හතක් සහිතව සමත් වන ඔහු උසස් පෙළට හදාරන්නේ විද්‍යා විෂයයන්ය. පසු කලෙක රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, සහ ජීව විද්‍යාව උගන්වන ගුරුවරයකු ලෙස ද කටයුතු කළ ඔහු වෘත්තීය ගුරුවරයකු නොවුණත් බොහෝදෙනා අතර ගුරුවරයකු ලෙස ප්‍රකට වූයේ ඔහුගෙන් ඉගෙන ගත් දෑ බොහෝ නිසාය. මුල් යුගයේ ගුරුවරයකු ලෙස ප්‍රකට වූ ඔහු ජීවිතය ජයගන්නේ හිතේ ෛධර්යයෙනි.
“අපි බොහෝම ආර්ථික දුෂ්කරතා මැද්දේ ජීවත් වුණේ. එහෙම වුණත් මට මම යන ගමන වෙනස් කරන්න ඕන වුණේ නැහැ. කවදා හෝ ජීවිතය ජය ගන්නවා කියන අරමුණ මට තිබුණා. එහෙම අරමුණකින් තමයි මම මගේ ගමන ගියේ.
පාසල් වියේ සිටම මගේ ඇඟේ කලාව තිබුණා. මට මං ගැන හිතෙන්නේ එහෙමයි. මම කළ පළවෙනි ටෙලි නාට්‍යයට පාර කැපුවේ උපුල් ජයසූරිය නීතිඥ මහතා. ඔහු එකල ට්‍රැක්ටර් සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළා. එවකට හිටපු ළාබාලම සභාපතිවරයා ඔහු. මහපොළ සංවත්සරයට නාට්‍යයක් කරමු කියලා ඔහු මට යෝජනාවක් ගෙනාවා. ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය භාර දුන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාට. නමුත් ඔහු එයට කැමැති නොවූ නිසා ඩොනල්ඩ් කරුණාරත්නයන්ට භාර දුන්නා. සංගීතය රෝහණ විරසිංහයන්ට භාර දුන්නේ. විජය ධර්ම ශ්‍රී, ගීතා කාන්ති ජයකොඩි, නිල් අලස් ආදි නළු නිළියන් මෙයට සම්බන්ධ වුණා. එය තමයි මගේ පළමු නිර්මාණය. ඒ නාට්‍යයට බොහොම හොඳ ප්‍රතිචාර ලැබුණා. ඉන් පස්සේ මට ප්රසාංගික නාට්‍ය කරන්න අවස්ථාව ලැබුණා. මේ වන විට මම ටෙලි නාට්‍ය හතළිහක් පමණ කර තිබෙනවා. ඒ අතර මම ගීතත් ලියලා තියෙනවා. මම ලියපු ගීත තමයි දේවතා එළි ප්රසංගයේදී ගැයෙන්නේ.“
අමරසිරි පීරිස්, සමිතා මුදුන්කොටුව, කමල් අද්දරආරච්චි, දීපිකා ප්‍රියදර්ශනී පීරිස්, රිද්ම වීරවර්ධන, ආදිත්‍යා වැලිවත්ත, උපේඛා නිර්මාණි, මෙන්ම විදුෂා රාජගුරු යන ගායක ගායිකාවෝ මෙදින ගී ගයති.
“මට මේ ප්‍රසංගය ගැන මූලිකම අදහස ගෙනාවේ අපේ ක්‍රිකට් ක්‍රීඩකයකු වන තිලකරත්න ඩිල්ශාන් හා ඔහුගේ බිරිය මංජුලායි. ඉන් පස්සේ තමයි මට හිතුණේ පසුගිය කාලයේ ලියලා තියෙන ගීත ටිකත් එක්ක ප්‍රසංගයක් කළොත් හොඳයි කියලා. ඒ අදහස තමයි 18 වෙනිදා ප්‍රසංගයක් ලෙස එළිදක්වන්නේ. මම ගීත ලිව්වේ හිතේ සතුටට සැනසිල්ලට. මම ගීත හතළිහක් පමණ ලියා තියෙනවා. මට හොඳම ගීත රචනය වෙනුවෙන් සම්මානත් ලැබී තියෙනවා. වළා අතුළ සිරි යහනේ…, කිරිල්ලියක් විය…, කැකුළු මල් පොඩි දෙකක් පිපෙන්නට ඉඩ දුන්… ඔහු ලියූ ගීත අතරෙන් කිහිපයකි.
මගේ ජීවිතේ ආපස්සට හැරිලා බලද්දි අද මට මා ගැන සතුටක් තියෙනවා. මම හොඳ ගමනක් ඇවිත් තියෙනවා. ඒ ගමනෙදි මගෙ ළඟින්ම හිටිය කෙනා තමයි මගෙ බිරිය. ඇය මට දැක් වූ සහාය කිසිදිනෙක අමතක කරන්නට බැහැ. මගෙ දරුවෝ අද හොඳ තැන්වල ඉන්නවා. ඒ ගැන මට හරිම සතුටුයි.“
ඔහු සිය ගමන් මඟ දිහා ආපසු හැරී බලා ලබන්නේ නිහතමානී සතුටකි.
ඉනෝකා සමරවික්‍රම