ප්‍රේමය ද අධිමාත්‍රා වු තැන විෂ සහිතයි‘ කෙනෙකු මෙහෙම කියා ඇත්තේ නිකම්ම නොවේ යැයි හැඟෙන්නේ අතීත වර්තමාන මෙන්ම සමාජයේ හෙට දවස ගැන ද අනුමානයෙන් බලද්දීය. එදා මෙදාතුර ආදරය නොකළ අයෙකු අපට මේ සමාජයෙන් සොයා ගැනීම අසීරු ය. කවුරු කොහොම කිව්වත් ‘මම ආදරය කරන්නේ නැහැ‘ කියලා එය විශ්වාස කිරීම අසීරුය. හේතුව ප්‍රකාශිත ප්‍රේම කතා මෙන්ම අප්රකාශිත ප්‍රේම කතා අප කොතෙකුත් අසා ඇති බැවිනි. ආදරයට ආදරය නොකරන්නෙක් සොයා ගැනීම ද අසීරුය. දවසින් දවස අලුත් වන ප්‍රේම කතා අතර එක්වූ මේ කතාවද ඔබ දන්නා අයෙකුගේ කතාවක් විය හැකිය. එහෙම නැත්නම් මෙය ඔබේ මගේ කතාවද විය හැක. එහෙමත් නැත්නම් අපේ ප්‍රේම කතාවට ආසන්නයෙන් යන කතාවක් විය හැකිය. එහෙමත් නැත්නම් අපේම කතාව නොවුණත් කාගේ හෝ කතාවක් වුවත් ඒ කතාව හා බැඳි, විදිමින් විඳවමින් අහන ගීත අතරට එක්වූ අලුත්ම ගීතය මෙයයි.
ගීතය ගයන්නේ නව පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන සූනීර සුමංගයි. වජීර සුමින්ද ගේ සංගීතයෙන් හැඩවූ මේ ගීතයේ පද වැලේ හිමිකරු වන්නේ පණිඳු විදානේ ය.
ගීතය නිකුත් වී සති කිහිපයකින්ම බොහෝ ප්‍රේක්ෂක ආදරය දිනා ගත්
“දිනෙක අපිටත් වැරදිලා ඇති“ ගීතය පිළිබඳ ගීපද රචක පණිඳු කියන්නේ මේ වගේ කතාවක්. පණිඳු වෘත්තියෙන් මනෝ උපදේශකවරයෙක්.
“මේ ගීතයට අත්දැකීම මට මගේ වෘත්තිය ජීවිතය නිසා ලැබුණ එකක්. තවමත් මම මේක කිසිවෙක්ට කියා නැහැ. මගේ විෂයේ හැටියට මම හිතන දෙයක් තමයි කෙනෙකුට තමන්ගේ ජීවිතය ගැන දැනෙන හැඟෙන කෙනෙක් සිටිය යුතුයි. එහෙම නොසිටියොත් ඒක එක්තරා විදිහක අවදානමක් කියලා හිතෙනවා සහ දැනෙනවා. විවිධ මානසික පීඩනයන්ට ගොදුරු වුණ තරුණ තරුණියන් සමඟ කටයුතු කරන්නට මට අවස්ථාව ලැබිලා තියෙනවා. එහෙම තරුණයකුගේ අත්දැකීමක් තමයි මට මේ ගීතයට මුල් වුණේ. නමුත් ගීතයක් ලියන්න මගේ හිතේ කිසිම අදහසක් මුලින් තිබුණේ නැහැ. මේ තරුණයා ඒ පත් වෙලා තිබුණ තත්ත්වයෙන් ගලවා ගැනීමටයි මට අව්‍ය්‍ය වුණේ.
දවසක් ඒ තරුණයාගේ අම්මා මට කතා කළා. තරුණයා ලියුමක් ලියලා පර්ස් එකේ දාලා. ඒකේ ලියලා තිබුණේ ඔහු ජීවිතයෙන් සමු ගන්නවා කියලා.
මමත් ඔහුත් අතර වයස පරතරය අවුරුද්දක් විතර. මේ විශ්වවිද්‍යාල තරුණයා ගැන සොයා බලන්න යොමු කළේ මාව.
ඔහු යාළුවෙලා හිටියේ ඔහුට වඩා වැඩිමල් කෙනෙක් සමඟ. ඔහුගේ වැඩිහිටියන් කිසි දිනෙක කැමැති වෙන්නේ නැහැ. නමුත් ඇයත් ඔහුත් හරි ආදරයෙන් බැඳුණු දෙන්නෙක්. ඒ වන විටත් මේ දෙන්නා අතර තිබුණේ මානසික බැඳීමක් පමණයි. මේ සම්බන්ධය කිසිදා ජය ගන්න බැහැ කියලා හිතුණ නිසා තමයි ඔහු ජීවිතයෙන් පලා යන්න උත්සාහ කරන්නේ. එවැනි අවස්ථාවක තමයි මට ඔහු සමඟ කතාබහ කරන්න ඔහු සමඟ යහළුවෙක් වගේ ඇසුරු කරන්න ලැබුණේ. මම මට තියෙන අත්දැකීම් එක්ක ඔහු සමඟ කටයුතු කරනවා. ඒ කොහොම වුණත් අසම්මත ආදරයක පැටලිලා හිටපු තරුණයාව ඉන් ගලවා ගන්න අපට හැකි වෙනවා. අද වන විට ඔහු සිය අධ්‍යාපන කටයුතු ඉතාම ඉහළින් නිම කරලා දැන් රැකියාවක නිරත වෙනවා. මේ සිද්ධිය වුණාට පස්සේ මට ඒ තරුණයාත් ඔහු යාළු වෙලා හිටිය තරුණියත් ගැන පුදුමාකාර විදිහට දැනෙන්න ගත්තා. තමන්ගේ අතින් ඇයට කිසිදු වරදක් නොවුණත් මේ තරුණයාට ඇයව අමතක කරන්න බොහෝම අපහසු වුණා. අපේ ජීවිත වලට මෙහෙම ප්‍රේමණීය බැඳීම් හමුවෙනවා, ඇති වෙනවා, නැතිවෙනවා.
“දිනෙක අපිටත් වැරදිලා ඇති
ඉතින් යළි හමු වෙන්නෙ නෑ
නුඹම ඇවිදින් නුඹම හැර ගිය
මාව මතක ද දන්නෙ නෑ…“ මට මුලින්ම මේ වචන ටික තමයි ලියැවුණේ. මම ලබපු අත්දැකීම පමණක්ම නොවෙයි ඉන් පසුව ඇසූ දුටු බොහෝ දේ එක්වෙලා තමයි වචන ගැලපුණේ. මේ ගීතය රිලීස් වෙලා දවස් හයක් වෙද්දි ලක්ෂ දෙකහමාරක් විව්ස් තියෙනවා.
මේ පද ලියැවුණාට පස්සේ මම කල්පනා කළා කාටද මේ ගීතය ගයන්න දෙන්නේ කියලා. මට හිතුණා සුනීරගෙ හඬ හොඳටම ගැළපෙනවා කියලා. ඒ වගේම සංගීතය නිර්මාණය කළ සොයුරාවත් මෙහිදි මතක් කරන්නම ඕන. මම ලියපු පදවලට සුනීරගෙන් හා වජිරගෙන් ලැබුණු සහාය ඉතාම ඉහළයි. . එනිසයි මේ ගීතය අද අසන්නන් අතර ප්‍රසාදයක් දිනාගෙන තියෙන්නේ.
සිය වෘත්තිය හා බැඳුණ ජීවන අත්දැකීම් ඇසුරෙන් ලියැවුණ ගීතය පිළිබඳ ගී පද රචක පණිඳු විදානේ පවසන්නේ එවන් අදහසකි.
දිනෙක අපිටත් වැරදිලා ඇති
ඉතින් යළි හමු වෙන්නෙ නෑ
නුඹම ඇවිදින් නුඹම හැර ගිය
මාව මතක ද දන්නෙ නෑ…
තනි වීම වුව ප්‍රේමයම බව
යළි යළිත් මේ අදත් පවසමි
මතක අමතක කරන්නට බැරි
බැවින් නිහඬව බිම බලා ගමි…
අතීතේ මතකය දරාගෙන
නුඹව සිහි කර යළි හිනා වෙමි
තවත් රිදවිලි මොටද එබැවින්
මෙහෙම මෙතැනම මඟ නතර වෙමි…
ගායනය – සුනීර සුමංග
සංගීතය – වජිර සුමින්ද
පද රචනය – පණිඳු විදානේ