Home » රුපියල් කෝටි 350 ක් වියදම් කොට හැදු සූරියාගේ අලුත්ම සිනමාපටය ‘කන්ගුවා’

රුපියල් කෝටි 350 ක් වියදම් කොට හැදු සූරියාගේ අලුත්ම සිනමාපටය ‘කන්ගුවා’

by Mahesh Lakehouse
May 11, 2024 12:30 am 0 comment

දෙමළ සිනමාවේ ජනප්‍රිය නළු සූරියාගේ රසික රසිකාවියන් මේ වනවිට ඇඟිලි ගනිමින් සිටින්නේ ඔහුගේ අලුත්ම චිත්‍රපටය වන ‘කන්ගුවා’ සිනමාශාලා වෙත පැමිණෙන තුරුයි. එය ඔහුගේ චිත්‍රපට අතරින් වෙනස්ම ආකාරයක සිනමාපටයක් වනු ඇති බවයි ඒ ගැන මාධ්‍ය තුළ පළවන තොරතුරුවලින් පෙනෙන්නේ.

මෙය වර්තමානය සහ ඈත අතීතය අතර දෝලනය වන කතා පුවතක් රැගත් සිනමාපටයක් බව සඳහන්. ඇතැම් වාර්තාවල හැටියට ‘කන්ගුවා’ 17 වැනි සියවස තරම් ඈත කාලයක් දක්වා ගමන් කරන චිත්‍රපටයක්. එහි සූරියා රඟපාන්නේ බලසම්පන්න යුද සෙන්පතියකු හැටියටයි. තවත් ජනප්‍රිය නළුවකු වන බොබි ඩියොල් මෙහි දුෂ්ඨයාගේ චරිතය රඟපානවා. ඊට අමතරව දීශා පටානි මෙම සිනමාපටයේ ප්‍රධාන කාන්තා චරිතය රඟපාන බව සඳහන් වෙනවා. ඉතා අපූරු, විචිත්‍ර රූපරාමුවලින් ද, වේගවත් ජවනිකාවලින් ද, මනමෝහනීය පසුබිම් සංගීතයෙන් ද සමන්විත මෙම සිනමාපටයේ පූර්ව ප්‍රචාරක පට මේ වනවිටත් ප්‍රේක්‍ෂකයන් වසඟයට ගෙන ඇති බවයි පෙනෙන්නේ. සූරියා මෙහි චරිත කිහිපයක් රඟපාන බවටත් කතාවක් තිබෙනවා.

‘කන්ගුවා’ඉතා විශාල වියදමක් දරා නිපදවන දැවැන්ත සිනමාපටයක්. ඒ සඳහා ඉන්දියානු රුපියල් කෝටි 350 කට (ලංකා රුපියල් කෝටි 1250 කට) ආසන්න මුදලක් වැය කර ඇති බවයි පැවසෙන්නේ. පසුගිය වසරේ විශාල ආකර්ශණයක් දිනාගත් ෂාරුක් ඛාන් ගේ ‘පතාන්’ චිත්‍රපටයට වැය කර තිබුණේ ඉන්දීය රුපියල් කෝටි 250 ක පමණ මුදලක්. ‘කන්ගුවා’ ත්‍රිමාන (3 D) ආකාරයෙන්ද ප්‍රදර්ශනය වනු ඇති බවත් මාධ්‍ය වාර්තා කර තිබුණා. එසේ නම් එය සූරියාගේ රසික රසිකාවියන් වෙත ඔහුගේ රංගනය පිළිබඳ අලුත්ම අත්දැකීමක් ගෙන එනු ඇති බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.

‘කන්ගුවා’ ප්‍රේක්‍ෂකයන් හමුවට පැමිණෙන දිනය ගැන තවම නිශ්චිතව ප්‍රකාශ වී නැති නමුත් ඒ සඳහා වැඩි කාලයක් ගත නොවනු ඇති බවයි මාධ්‍ය වාර්තා අනුව පෙනෙන්නේ.

සූරියා සිය බිරිඳ ජෝතිකා සමඟ රඟපාන චිත්‍රපටයක් ද ළඟදීම නිර්මාණය වීමට යන බවට කතාවක් තිබෙනවා. එසේ වුවහොත් එය ඔවුන් දෙදෙනා වසර 18 කට පසු එකට රඟපාන පළමු සිනමාපටය වනු ඇත. 2006 වසරේ ඔවුන් විවාහ වීමට පෙර චිත්‍රපට රැසක රඟපා තිබුණත් විවාහයෙන් පසු ඔවුන්ට එකට රඟපාන්නට ලැබුණේ නැහැ. ජෝතිකා ටික කලෙකට සිනමාවෙන් ඉවත් වී සිටීමත් ඊට හේතුවක් වන්නට ඇති. සූරියා සහ ජෝතිකා අවසන් වරට එකට රඟපෑවේ 2006 වසරේ තිරගත වූ ‘සිලුනු ඔරු කාදල්’ නැමැති සිනමාපටයේයි. ඔවුන් විවාහ වීමට පෙර චිත්‍රපට හතක එකට රඟපා තිබුණි.

වසර ගණනකට පසු ඔවුන් නැවත චිත්‍රපටයක රඟපෑවොත් එය ඔවුන්ගේ රසික පිරිසට මහත් සතුට කැන්දන කාරණයක් වනු ඇති. එමෙන්ම සූරියා – ජෝතිකා දෙදෙනාටත් එය ඉතා වැදගත් අවස්ථාවක් වෙනවාට සැකයක් නැහැ.

මේ දෙදෙනා මුල් වරට මුණ ගැසුණේ 1999 වසරේ “පූවලම් කෙතුපාර්’ නැමැති සිනමාපටයේ රඟපාද්දී යි. දෙමළ භාෂාව ඉගෙන ගැනීමට එකල ජෝතිකා ගේ තිබූ උනන්දුවත්, ඇයගේ මානුෂික ගතිගුණත් සූරියා තුළ ඇය පිළිබඳ ප්‍රසාදයක් ඇති කිරීමට හේතු වී තිබුණාලු. සූරියා දෙමළ ජාතිකයකු වුවත් ජෝතිකා දෙමළ පවුලක උපන් කෙනෙක් නොවෙයි. ඇයගේ පියා හින්දු ආගමිකයකු වන අතර මව මුස්ලිම් ජාතික කාන්තාවක්.

මේ වනවිට 45 වැනි වියෙහි පසුවන ජෝතිකා උපත ලැබුවේ මුම්බායි නුවර බව සඳහන්. ඇයගේ පියා චිත්‍රපට නිෂ්පාදකවරයෙක්. කෙසේ හෝ වේවා, සූරියා සමඟ විවාහ වීමෙන් පසු ජෝතිකා තමිල්නාඩුවේ චෙන්නායි හි පදිංචියට ආවා. වසර හතක ආදර සම්බන්ධයකින් පසු ඔවුන් 2006 වසරේ විවාහ වූ අතර ඔවුන්ගේ විවාහ උත්සවය ඉතාම උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණු බව පැවසෙනවා. චෙන්නායි හි පාක් ෂෙරටන් හෝටලයේ පැවති මෙම උත්සවයට සිනමාවට සම්බන්ධ අය වගේම දේශපාලනයට සම්බන්ධ අය ද සහභාගි වී තිබුණා.

සූරියා- ජෝතිකා දෙදෙනාට දරුවන් දෙදෙනෙකුත් සිටිනවා. ඒ දුවක් සහ පුතෙක්. මේ වනවිට 17 වැනි වියෙහි පසුවන දුවගේ නම දියා. පුතාගේ නම දේව්. ඔහුගේ වයස අවුරුදු 14 ක්. සිනමාව තුළ කෙතරම් කාර්ය බහුල කෙනෙකු වුවත් සූරියා සිය පවුලේ උදවිය සමඟ කාලය ගත කිරීමටත්, ගමන් බිමන් යාමටත් විශාල කැමැත්තක් දක්වන බව පැවසෙනවා.

කසුන් අරවින්ද

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division