Home » දෙවියන්ටත් හොරෙන් කතරගම පූසාරියෙක් කරපු බිස්නස් එක

දෙවියන්ටත් හොරෙන් කතරගම පූසාරියෙක් කරපු බිස්නස් එක

by thanushika
May 18, 2024 12:30 am 0 comment

යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක කිරීමත් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ක්‍රියාකලාපයන්ට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබීම හේතුවෙන් විවිධ වෙස්ගත් පුද්ගලයන් හරහා එය ක්‍රියාත්මක කරවීමට ජාවාරම්කරුවෝ මේ වන විට කටයුතු කරමින් සිටින්නේ පොලිසියේ අවධානය වෙනත් අතකට යොමු කරවීමට උත්සාහ කරමිනි.

ජනතාවට සෙත ශාන්තිය ලබාදීම වෙනුවෙන් යාගහෝම සෙත්ශාන්ති කරන පූසාරිවරුන් ද මේ වන විට ඒ සඳහා යොදවාගෙන ඇත්තේ කිසිවෙකුගේ සැකය ඒ දෙස යොමු නොවන පරිදිය. ඒ බව තහවුරු වූයේ කතරගම කෝවිලක පූසාරි කෙනෙකු විසින් ඉහළ මිල ගණන් යටතේ ගංජා බෙදාහරිමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමඟය.

පසුගිය දිනක මාතර කොටවිල පොලිසිය මඟින් ගංජා සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ප්‍රශ්න කරමින් සිටියදී ඔහු විසින් හෙළිදරව් කළ තොරතුරකින් කියැවුණේ කතරගම අදාළ කෝවිලේ තේවා කටයුතු භාරව සිටින පූසාරි කෙනෙකු විසින් මාතරට විවිධ අවස්ථාවන්වලදී ඔහුට අයත් වාහනයකින් ඉතා සූක්ෂ්ම ලෙස ගංජා ගෙනවිත් බෙදාහරින බවයි.

පූසාරි ඇඳුමෙන් සැරසී නළලෙහි තුන්නූර් ගල්වා කෝවිලේ වැඩ කරනා ආකාරයෙන්ම වෑන්රථයේ ඉදිරිපස ගමන් කරමින් කිසිවකුටත් සැකයක් ඇති නොවන ලෙස ඔහු මෙම ක්‍රියාවේ යෙදෙන බවද සැකකරු දුන් තොරතුරේ සඳහන් විය.

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ කොටවිල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේෂ් කරුණාරත්න අදාළ පූසාරිගේ මෙම ක්‍රියාව අතටම අල්ලා ගැනීම සඳහා මෙහෙයුමක් සැලසුම් කළේ ඉතා රහසිගත අයුරිනි. සැලසුම ක්‍රියාත්මක කිරීමට පෙර තමාට ලැබී ඇති තොරතුරු පිළිබඳව ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේෂ් කරුණාරත්න මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහට දන්වා සැලසුම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගෙන් ලබා ගත්තේය.

ඒ සමඟින් කිසිම විටෙක තම සැලසුම පිළිබඳ කරුණු පිටතට නොයන පරිදි සූක්ෂ්ම ලෙස ක්‍රියා ක්‍රියාකළ මහේෂ් කරුණාරත්න තම මෙහෙයුම ක්‍රියාත්මක කිරීම සඳහා උප පොලිස් පරීක්ෂක නිලන්ත සමරවීර, සැරයන්වරුන් වන 19910 අනුර, 59636 නීල්, කොස්තාපල්වරුන් වන 82428 සුගීස්වර, 94024 හෂාන්, කාන්තා පොලිස් කොස්තාපල් 8215 චාන්දනී සහ පොලිස් කොස්තාපල් රියැදුරු 80145 ලහිරු යන නිලධාරීන්ගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක්ද සූදානම් කරගෙන ඔවුනට අවශ්‍ය උපදෙස් ද ලබා දුන්නේ තම මෙහෙයුම වඩාත් සාර්ථක අයුරින් සිදුකර ගැනීම සඳහාය.

මේ සැලසුමේ පළමු ඉලක්කය වූයේ දුරකතනය ඔස්සේ පූසාරි සමඟ සබඳතාවක් ඇති කරගැනීමය. පොලිස් කණ්ඩායම එය ඉතා සාර්ථකව ඉටුකර ගත්තේ තම නායකයා දුන් උපදෙස් මනාව පිළිපදිමිනි. පූසාරි සමඟ දින කිහිපයක් සංවාදයේ යෙදුණු පොලිස් නිලධාරියකු දෙදෙනා අතර විශ්වාසය ගොඩනඟාගෙන ගංජා තොගයක් මාතරට ගෙන්වා ගැනීමට අවශ්‍ය මඟ පාදා ගත්තේ දින කාල වකවානු ද වෙන්කර ගනිමිනි. සැලසුමේ දෙවැනි අදියර ලෙස පොලිස් උපාය දූතයෙකු ධීවර ව්‍යාපාරිකයකු සේ සූදානම් කරගැනීමත් සුඛෝපභෝගී මෝටර් රථයක් සොයා ගැනීමත් සිදුකරන ලද අතර කතිකා කරගත් පරිදි පූසාරි විසින් මෙරට නිෂ්පාදිත ගංජා තොගයක් සමඟ ධීවර ව්‍යාපාරිකයා හමුවීම සඳහා පැමිණීමට යොදාගෙන තිබුණේ පසුගිය 05 වැනිදාය.

දෙදෙනා අතර ඇති කරගත් එකඟතාව මත පූසාරි විසින් මෙරට නිෂ්පාදිත ගංජා ග්‍රෑම් 650ක් ද රැගෙන තම සුඛෝපභෝගී වෑන් රථයෙන් මාතරට පැමිණි අතර ව්‍යාපාරිකයා හා පූසාරි හමුවීමට යොදාගෙන තිබුණේ කඹුරුගමුව වැව ආසන්නයේ ස්ථානයකි.

කතා කරගත් පරිදි ධීවර ව්‍යාපාරිකයකු ලෙසින් සැරසුණු පොලිස් උපාය දූතයා නවීන පන්නයේ මෝටර් රථයකින් පැමිණ කඹුරුගමුව වැව ආසන්නයේ සැලසුම් කළ ස්ථානයේ රැඳී සිටි අතර කතරගම සිට පැමිණෙන පූසාරි හා උපාය දූතයා අතර නිරතුරු දුරකතන සබඳතා පැවැත්විණි. සැලසුම ඉතා සාර්ථක අයුරින් ක්‍රියාත්මක වෙමින් තිබියදී ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේෂ් කරුණාරත්න ඇතුළු පොලිස් කණ්ඩායම අදාළ ස්ථානයේ සැඟව සිටියේ උපාය දූතයා පූසාරි සමඟ ‘ගනුදෙනුව’ කතා කරද්දී එම ස්ථානයට කඩා වැදී පූසාරි අත්අඩංගුවට ගැනීමේ අරමුණෙනි.

කතරගම සිට පැමිණි පූසාරි පස්වරු පහ වන විට කතා කර ගත් පරිදි නියමිත ස්ථානයට ළඟා වූයේ අදාළ කෝවිලේ නම සඳහන් පුවරුව සහිත සුඛෝපභෝගී වෑන් රථයකිනි. පොලිස් දූතයා හා පූසාරි අතර දුරකතන සංවාදයේ යෙදෙමින්ම වෑන් රථයෙන් බැසගත් පූසාරි අසල නවතා තිබුණු සුඛෝපභෝගී මෝටර් රථය අසලට පැමිණ ගනුදෙනුව කතා කරගැනීමත් සමඟ සැඟව සිටි පොලිස් කණ්ඩායම මෝටර් රථය වටකොට පූසාරි සහ වෑන් රථයේ පැමිණි අනෙක් පුද්ගලයන් දෙදෙනාද ක්ෂණයකින් අත්අඩංගුවට ගත් අතර වෑන් රථයේ පරීක්ෂා කිරීමේදී මෙරට නිෂ්පාදිත ගංජා ග්‍රෑම් 650ක ප්‍රමාණයක් හොඳින් ඔතා සකස්කර වෑන් රථයේ සඟවා තිබියදී පොලිස් කණ්ඩායම විසින් සොයාගත්තේය.

අත්අඩංගුවට ගත් පිරිස කොටවිල පොලිසිය වෙත රැගෙන ගොස් වැඩිදුර කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූයේ සැකකාර පූසාරි කලක සිට මෙම ජාවාරම සිදුකර ඇති බවයි.

කතරගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ තිස් දෙහැවිරිදි වියේ පසු වූ පූසාරි මාතර සිට කතරගම ඔහුගේ කෝවිලට පුද පූජා සඳහා පැමිණෙන පිරිස් සමඟ සම්බන්ධතා ඇතිකරගෙන මෙම ජාවාරම දිගින් දිගටම පවත්වාගෙන ගොස් ඇති බවද පොලිස් කණ්ඩායම් විසින් අනාවරණය කර ගත්තේය.

පූසාරිගේ සහායකයන් ලෙස පැමිණි වයස අවුරුදු 25ත් 28ත් අතර පසුවන කතරගම ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනාද පසුකාලීනව මෙම ජාවාරමට සම්බන්ධ වූවන් බව පොලිස් කණ්ඩායම විසින් සිදුකළ විමර්ශනයේදී අනාවරණය විය.

සියලු තොරතුරු අනාවරණය කරගැනීමෙන් පසු සැකකාර පූසාරි සහ සහායකයන් දෙදෙනා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පූසාරි දින හතක රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකළ අතර අනෙක් සැකකරුවන් දෙදෙනා මුදල් ඇප මත මුදාහැර ඇත.

ජයසිරි පේදුරුආරච්චි - ගන්දර සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division