Home » බිරියයි පුතයි එවන රට සල්ලිවලින් ගාල්ලේ පියෙක් කළ අපූරු ‘බිස්නස් එක’

බිරියයි පුතයි එවන රට සල්ලිවලින් ගාල්ලේ පියෙක් කළ අපූරු ‘බිස්නස් එක’

by thanushika
May 18, 2024 12:30 am 0 comment

ගාල්ල, බෝපේ, සපුමල් පෙදෙසේ නිවසක හොර මත්පැන් (කසිප්පු) නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන යන බවට ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ඒ.එස්.එල්. නාරංගොඩට තොරතුරක් ලැබුණි. මේ තොරතුර ලද වහාම ප්‍රධාන පොලිස් පරීක්ෂක නාරංගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිස් ගමගේ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සනත් අමරසිංහ යන නිලධාරීන් දැනුම්වත්කොට ලබාගත් උපදෙස් මත එම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය වැටලීමට කටයුතු කරන ලදි.

ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික නාගහවත්ත, සැරයන් බටුවත්ත (13215) කොස්තාපල්වරුන් වන සාරංග (89418) සහ අසින්ත (85647) යන කණ්ඩායම පසුගිය අප්‍රේල් මස 23 වන දින මෙම හොර මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන යන නිවස වටලන ලදි. වසා තිබූ නිවසට තට්ටුකොට නිවස විවෘත කරවාගත් පොලිසිය නිවසට ඇතුළු විය. ඒ වන විටත් ගෑස් උඳුනක් උපයෝගී කරගෙන එම නිවසේ අයිතිකරු කසිප්පු පෙරීම සිදු කරමින් සිටියේය. මුළු නිවසම මෙම නීති විරෝධී ජාවාරමට යොදා⁣ගෙන ඇති අයුරු ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික නාගහවත්ත ඇතුළු පිරිසට දැකගන්න ලැබුණි. නිවසේ කාමර, සාලය සහ මුළුතැන්ගෙය ද කසිප්පු බැරල්, ප්ලාස්ටික් කෑන් ආදියෙන් පිරී ගොස් තිබිණි. සැකකරු විසින් මෙම නීති විරෝධි ජාවාරම සඳහා තවත් පුද්ගලයෙකු යොදවාගෙන තිබූ අතර ඔහුට දිනකට රුපියල් පන්දහසක් බැගින් ගෙවා තිබූ බවද හෙළි විය.

සැකකරුගේ මෙම නිවස පිහිටා ඇත්තේ තරමක පාළු ස්ථානයකය. එම නිසා මෙම නිවස තුළ සිදුවන ජාවාරම පිළිබඳ පිටතට තොරතුරු දැනගැනීමට නොලැබේ. සැකකරු දෙදරු පියෙකි. ඔහුගේ බිරිය සහ එක් පුතෙකු මීට වසර හතරකට පමණ පෙර ඔස්ට්‍රේලියාවේ පදිංචියට ⁣ගොස් තිබේ. ඔවුන් ⁣විසින් මෙම නීති විරෝධී ජාවාරම පවත්වාගෙන යෑම සඳහා මුදල් එවා ඇති බවද පොලිසිය සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි විය.

මෙම වැටලීමේදී ගෝඩා මිලිලීටර් අටලක්ෂ විසිපන්දහසක්, කසිප්පු ස්ප්‍රීතු මිලිලීටර් හැටහයදහස් පන්සියයක්, බැරල් දහයක්, ගෑස් උඳුන් දෙකක්, දඟර තුනක් ආදී උපකරණද සමඟ ප්‍රධාන සැකකරු සහ ඔහුගේ සහායකයා ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඉන් අනතුරුව සැකකරුවන් දෙදෙනා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ විට නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගිය පුද්ගලයාට සහ ඔහුගේ සේවකයාට රුපියල් තුන්ලක්ෂ විසිදහසක දඩයක් නියම කළේය.

එම දඩ මුදල් ගෙවා දැමූ ප්‍රධාන සැකකරු ඊට පසුදිනම ගාල්ල මහමෝදර ප්‍රදේශයෙන් මසකට රුපියල් විසිදහසක කුලී පදනම යටතේ නිවසක් ලබා ගන්නා ලදි. එම නිවසේ මොහු පමණක් තනියම නතර විය. අනතුරුව පසු දිනම නැවතත් හෙතෙම නීති විරෝධී මත්පැන් පෙරීම ආරම්භ කළේය. එහෙත් මෙවර ඔහු වෙනත් කිසිවකු සහායට යොදවා ගත්තේ නැත. දින දෙකක් ගත වන විට පෙර පරිදි කසිප්පු පෙරීම ජයටම කරගෙන ගියේය. මොහුගේ ගනුදෙනුකරුවෝ සුපුරුදු පරිදි පැමිණ කසිප්පු තොග වශයෙන් මිලදී ගෙන ගියහ.

⁣මෙම නිවසද පිහිටා තිබුණේ තරමක පාළු පරිසරයකය. එම නිසා මොහුගේ හොර ජාවාරම පිළිබඳ ප්‍රදේශවාසීන්ට දැනගැනීමට නොලැබුණි. මේ අතර බෝපේ, සපුමල් පෙදෙසේ නිවසේ පවත්වාගෙන ගිය කසිප්පු නිෂ්පාදනාගාරය වටලා එම ජාවාරම කරගෙන ගිය පුද්ගලයාට සහ සහායකයාට අධිකරණයෙන් දඩ නියම කළ පසු එම නිවස අතහැර දමා ඔහු නැවත මහමෝදර ප්‍ර⁣දේශයෙන් ලබාගත් බදු නිවසක නැවත කසිප්පු නිෂ්පාදනය කරන බව කලින් නිවසේ වැටලීම සිදුකළ ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට වාර්තා විය.

ඒ අනුව ගාල්ල⁣ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිස් ගමගේ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සනත් අමරසිංහ නිලධාරීන්ගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එස්.එල්. නාරංගොඩගේ මෙහෙයවීම මත ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික නාගහවත්ත ඇතුළු කණ්ඩායම ගාල්ල, මහමෝදර පිහිටි මෙම නිවස වටලන ලදි. ඒ වන විටද පෙර පරිදි මෙම පුද්ගලයා තනිවම නිවස තුළ කසිප්පු නිෂ්පාදනය කරමින් සිටියේය. වහාම කසිප්පු ජාවාරම්කරු සමඟ නීති විරෝධී මත්පැන් විශාල තොගයක් ද අත්අඩංගුවට ගනු ලැබීය. මෙවරද ගෝඩා මිලිලීටර් දහහතර ලක්ෂ විසිඅට දහසක් යකඩ බැරල් පහක්, ගෑස් ලිපක් ඇතුළු තවත් උපකරණ කීපයක් අත්අඩංගුවට ගැනුණි.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කළ විට ඇප මත මුදාහැර තිබේ.

ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිස් ගමගේ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සනත් අමරසිංහ යන නිලධාරීන්ගේ උපදෙස් පරිදි ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එස්.එල්. නාරංගොඩගේ මෙහෙයවීම මත ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික නාගහවත්ත සැරයන්වරුන් වන බටුවත්ත (13215), විජිත් (35163), රෝහණ (31958), අමිල (38877), කොස්තාපල්වරුන් වන පියබන්දු (81731), සාරංග (89418), අසින්ත (85647), ඉන්දික (73036), පොලිස් සැරයන් රියැදුරු නිරෝෂන් (34436) යන කණ්ඩායම මෙම වැටලීම් සිදුකරන ලදි.

එස්. දීයගහගේ - දකුණු පළාත් සංචාරක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division