Home » දහඅට වසරක් කට්ටි පැන්න මිනීමැරුම් සැකකරු ඇල්ලූ පොලිස් උකුසු ඇස

දහඅට වසරක් කට්ටි පැන්න මිනීමැරුම් සැකකරු ඇල්ලූ පොලිස් උකුසු ඇස

by thanushika
May 18, 2024 12:30 am 0 comment

අපරාධ සිදු කරන කිසිම පුද්ගලයකුට සදාකල් වසන් වී සිටිය නොහැකිය. ඒ පරම සත්‍යයයි. ඒ බව රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සිටින පොලිස් දෙපාර්තමේන්තුව සනාථ කළ අවස්ථා එමටය. මේ කතාවද එවැන්නකි. වසර 18කට පෙර මිනිස් ඝාතන තුනක් සිදුකර සැඟවී සිටි පුද්ගලයකුට ද පසුගියදා මුහුණ දෙන්නට වූයේ පෙර කී පරම සත්‍යයටය. මේ පුද්ගලයා උපුල්ය. ඔහුගේ සම්පූර්ණ නම කුරුඳුමණ්ඩියේ උපුල්ය. මේ උපුල් වසර 18කට පමණ පෙරදී මිනිස් ඝාතන තුනක් සිදුකර තිබුණේ වලස්මුල්ල සහ අඟුණකොළපැලැස්ස පොලිස් වසම තුළදීය. අනතුරුව අධිකරණය මඟ හැරීම නිසා වරෙන්තු ලැබ සිටි උපුල් පසුගියදා අත්අඩංගුවට ගැනුණේ බියගම පොලිස් වසමේ සිටියදීය. ඒ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ බියගම පොලිසියට අනුයුක්තව රාජකාරි කරන සැරයන් (8234) කුමාර සිදුකළ සූක්ෂ්ම විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසිනි.

එම ඝාතන තුනට වරෙන්තු ලැබ සිටි උපුල් වසර 18කට පමණ පසුව අත්අඩංගුවට ගත් ආකාරය පොලිස් පොතේ සටහන් වන්නේ මෙසේ ය.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධරයෝ 200කට අධික සංඛ්‍යාවක් බස්නාහිර පළාතට අයත් පොලිස් ස්ථානයන්ට අනුයුක්තව බුද්ධි තොරතුරු රැස් කරමින් රාජකාරියේ නිරතව සිටිති. බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එච්. ඒ. අයි. ආර්. එන්. පෙරේරාගේ උපදෙස් මත එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. ඩී. ඉන්දික රොෂාන්ගේ මෙහෙයවීමෙන් සැරයන් කුමාර අනුයුක්තව රාජකාරි කරනුයේ බියගම පොලිස් ස්ථානයේය.

ඉකුත් දිනෙක සැරයන් කුමාරට සිය පෞද්ගලික තොරතුරුකරුවකු මඟින් තොරතුරක් ලැබිණි.

“කුමාර මහත්තයා… බියගම පේරගස් හංදියේ ඉන්නවා මර්ඩර් තුනක ඇකිවුස් කෙනෙක්… ඒ ගැන හොයන්න වලස්මුල්ලෙන්ද අඟුණකොළෙන්ද දන්නෙ නෑ පොලිසියක මහත්තුරු ඇවිල්ලා ගියා…“ යැයි එම තොරතුරුකරු සැරයන් කුමාර දැනුම්වත් කළේ අදාළ පොලිසියේ නිලධාරින් පැමිණ ගොස් සතියකට පමණ පසුවය.

අනතුරුව සැරයන් කුමාර එම තොරතුර ගැන යමක් දැනගැනීමේ අටියෙන් එම පොලිස ස්ථාන දෙකටම ඇමැතීය. එහෙත් එම පොලිස් ස්ථානවලින් සැරයන්වරයාට නිසි පිළිතුරක් නොලැබිණි. පසුව බුද්ධි නිලධාරි කුමාර සිය තොරතුරුකරු හමුවීමට ගොස් පොලිස් ස්ථානවලින් ලද පණිවිඩ ගැන පෞද්ගලික තොරතුරුකරු දැනුම්වත් කළේය. කෙසේ හෝ එම වරෙන්තුකරු සොයා පැමිණි පොලිස් නිලධාරින් වරෙන්තුකරුගේ ඡායාරූපයක්ද කුමාරගේ තොරතුරුකරුට පෙන්වා තිබුණේ ‘මෙන්න මෙයා තමයි අපි හොයන්නේ‘ යැයි කියමිනි. එසේම එලෙස සොයන තැනැත්තාගේ නම උපුල් යැයි ද කියා තිබිණි.

අනතුරුව එම තොරතුරුකරු සැරයන් කුමාර දැනුම්වත් කළේ,

“කුමාර මහත්තයා… හැබැයි ඒ පොටෝ එකේ කෙනා වගේ කෙනෙක්… පේරගස් හංදියේ ‘ලොක්කා බාස්උන්නැහේ‘ ගාවනම් වැඩ කරනවා…“ යැයි කියමිනි. තොරතුරුකරු එලෙස සැරයන්වරයාට තවත් තොරතුරු හෙළි කළේය.

ලොක්කා බාස් පෙදරේරුවෙකි. එලෙසම ඔහු කොන්ත්‍රාත්කරුවෙක් ලෙසද කටයුතු කරයි. ඔහු යටතේ අත්උදවුකරුවකු ලෙස ‘උපුල්‘ නමැත්තෙක් සේවය කරන බව එම තොරතුරුකරු ඒ වන විට දැන සිටියේය. එම ‘උපුල්‘ ගැන බුද්ධි නිලධාරියා සොයා බැලුවේය. උපුල් ලොක්කා බාස් යටතේ සේවය කරයි. ඔහු ‘පේරගස් හංදියේ උපුල්‘ නමින් ප්‍රසිද්ධ පේරගස් හංදියේ පදිංචිකරුවෙකි. ඔහුගේ බිරියද පේරගස් හංදියේම පදිංචිව සිටින්නීය. දරුවන් දෙදෙනා ද පාසල් යන්නේ ඒ අවට පාසලකටය. එම නිසා මෙකී පුද්ගලයා පොලිසිය සොයන එම ‘මර්ඩර් ඇකිවුස්ම‘ ද යන්න සැරයන් කුමාරට ඇති වූයේ ප්‍රහේලිකාවකි.

සැරයන් කුමාර දින ගණනාවක්ම පේරගස් හංදියේ උපුල් ගැන ආවේක්ෂණ රාජකාරියේ නිරත විය. උපුල් එම ගමේ පමණක් නොව ඒ අවට ගම්වලද ප්‍රසිද්ධ සමාජශීලී මෙන්ම සැමගේ හිත් දිනාගෙන සිටින අයෙක් බවද අනාවරණය විය. නැවත සැරයන් කුමාර සිය තොරතුරුකරු හමු විය.

“මහත්තයා… මට ඒ උපුල් හොයන්න ආපු කෙනෙක් එයාගේ පෝන් නම්බර් එකක් දීලා ගියා… හැබැයි කාගෙද කියන්න දන්නෙ නෑ… මං ඒ නම්බර් එක කොළ කෑල්ලක ලියාගත්තා… ඩස්පින් දැම්මද දන්නෙ නෑ… මං ඒක කොහොමහරි හොයලා දෙන්නම්…“ යැයි කියමින් ඔහු එම අංකය දින කීපයකින් සැරයන් කුමාර අතට පත් කළේය.

සැරයන් කුමාර එම අංකයට ඇමැතුමක් ගත්තේය. ඊට පිළිතුරු දුන්නේ කාන්තාවකි. ඇය කීවේ තම සැමියා පොලිස් නිලධාරියකු බවය. සැරයන්වරයා ඇයට කීවේ සිය සැමියාට ඔහුගේ අංකයට දුරකතන ඇමැතුමක් දෙන ලෙසය. එහෙත් සැරයන් කුමාරට ඇමැතුමක් නොලැබිණි.

සති දෙකක පමණ කලක් ගත විය. ඒ අතර පේරගස් හංදියේ උපුල් ගැන සැරයන්වරයා සෝදිසියෙන් පසු විය. ඔහු එම කාලය තුළ ද තැනින් තැන ‘වැඩ‘ කරමින් බෝඩිම් ද වෙනස් කරමින් සිටියේය. පසුව බුද්ධි නිලධාරි කුමාර අඟුණකොළපැලැස්ස පොලිසියට ඇමැතුමක් ගෙන වලස්මුල්ල පොලිසියට ද ඇමැතුමක් ගත්තේ දුරකතන අංකයෙන් කියැවුණු පොලිස් නිලධාරියා සොයා ගැනීමටය. ඔහු වලස්මුල්ල පොලිසියේ ‘වරෙන්තු‘ නඩු භාර සැරයන් විජිතය. එහෙත් ඔහු ඒ මොහොතේ පොලිසියේ නොවීය.

සැරයන් කුමාර වලස්මුල්ල පොලිස් ස්ථානාධිපති සහ අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපතිවරයා අමතා විමසුවේ සැරයන් විජිත වරෙන්තුකරුවකු සොයා බියගම, පේරගස් හංදිය ප්‍රදේශයට පැමිණියා ද යන්නය. අපරාධ අංශ ස්ථානාධිපතිවරයා, පොලිසිය සොයන එම වරෙන්තුකරුගේ සියලු තතු සැරයන් කුමාරට පැවැසීය.

එලෙස පොලිසිය සොයන පුද්ගලයා මිනීමැරුම් තුනකට සම්බන්ධ වරෙන්තුකරුවකු බවත් ඔහු සිටින්නේනම් අත්අඩංගුවට ගන්නා ලෙස ද අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සැරයන් කුමාරට උපදෙස් දුන්නේය. එහෙත් සැරයන් කුමාරට පේරගස් හංදියේ උපුල් නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා ඔහු සිදුකර ඇති අපරාධ සම්බන්ධයෙන් සනාථ කළ හැකි කිසිවක් සන්තකයේ නොවීය. එසැණින් වලස්මුල්ල අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපතිවරයා අවශ්‍ය තොරතුරු වට්ස්ඇප් ඔස්සේ සැරයන් කුමාරට ලබා දුන්නේය.

ඒ පේරගස් හංදියේ ‘උපුල්‘ වර්තමානයේ භාවිත කරන ජාතික හැඳුනුම්පත සහ වරෙන්තු තුනෙහි ඡායා පිටපත්ය. එවන ලද වරෙන්තුවල නම සහ ලිපිනය වූයේ මාතර කංකානම්ගේ උපුල් නොහොත් කුරුඳුමණ්ඩියේ උපුල්, තමාදූව, මෝදරවාන, වලස්මුල්ලය. ඒ එම පුද්ගලයාගේ සැබෑ නම සහ ලිපිනයයි. ඔහුට මිනීමැරුම් තුනකට අදාළ නඩු තුනක් පැවැතියේ තංගල්ල සහ හම්බන්තොට මහාධිකරණවලය. ඒ තංගල්ල මහාධිකරණයේ නඩු අංක 44/2005 පළමු චුදිත ලෙසත් හම්බන්තොට මහාධිකරණයේ 28/5 තුන්වන චුදිත සහ එම මහාධිකරණයේම 62/2006 පළමු චුදිත ලෙසය.

සැරයන් කුමාරට එවන ලද ජාතික හැඳුනුම්පතෙහි ලිපිනය අංක 505/2, පේරගහමුල, බියගමය. එහි නම වූයේ මාතර කංකානම්ගේ උපුල් ප්‍රියංගය.

ලද එම තොරතුරු ඔස්සේ ‘පේරගස් හංදියේ උපුල්‘ එම තොරතුරුවලින් සඳහන් වූ පුද්ගලයාම ද යන්න තහවුරු කරගැනීමට බුද්ධි නිලධාරි කුමාර උත්සුක විය. එහිදී ඔහු සියල්ල අනාවරණය කරගත්තේ පේරගස් හංදියේ උපුල් වලස්මුල්ල පොලිසියෙන් සොයන තැනැත්තාම බවය.

ඒ අනුව සැරයන් කුමාර එම වරෙන්තුකරු පිළිබඳව බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් විජේසිංහ දැනුම්වත්කොට ඔහුගේ උපදෙස් මත බියගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක අශාන් ගමගේ ඇතුළු කණ්ඩායමක් සමඟ ගියේ පේරගස් හංදියේ උපුල් අත්අඩංගුවට ගැනීමටය. ඒ පසුගිය 27 වැනිදාය. ඊට පෙර දින එනම් 26 වැනිදා සැරයන් කුමාර අනාවරණය කරගත්තේ උපුල් පේරගස් හංදියේ කනත්ත පාරේ නිවසක ලොක්කා බාස් සමඟ පෙදරේරු රැකියාවේ නිරත වන බවය. ඒ අනුව බියගම පොලිසියේ නිලධාරින් සමඟ 27 වැනිදා එම නිවසට ගිය සැරයන් කුමාර තමන් පොලිසියෙන් යැයි පවසා උපුල් හමු විය.

“උපුල් තමුන්ගේ උපන් ගම කොහේද?“ සැරයන් කුමාර විමසීය.

“මම බළන්ගොඩ සර්…“ උපුල් කීවේ කිසිම චකිතයකින් තොරවය.

නැවත සැරයන්වරයා, “ඇත්ත කියන්න… උපුල් තමුන්ගේ ගම වලස්මුල්ල නේදැ?“යි කියා විමසීය.

ඊට උපුල් ගත් කටටම කීවේ, “නෑ… නෑ… මම බළන්ගොඩ… මහත්තයා…“ යන්නය.

“උපුල් තමුන්ට පොලිසිවල තියෙන නඩු මොනව ද?“ සැරයන්වරයා නැවත විමසීය.

“නෑ… මහත්තයා… අද වනතුරු මට කිසිම පොලිසියක මුකුත්ම නඩුවක් නෑ…“ යැයි උපුල් කීවේ කලබලයෙන් මෙනි.

අනතුරුව සැරයන් කුමාර ඔහුගේ ජංගම දුරකතනයේ වූ උපුල්ගේ නම සඳහන් ජාතික හැඳුනුම්පතේ ඡායාරූපය ඔහුට පෙන්වීය. ඒ මොහොතේ උපුල් එම ජාතික හැඳුනුම්පතෙහි සිටින තැනැත්තා තමන් යැයි කියමින් පිළිගත්තේ ඔහුට තවත් කීමට බොරුවක් ඉතිරිව නැති හෙයිනි.

“ආ… එහෙමද…? එහෙනම් තමුන්ට මර්ඩර් තුනක් තියෙනවානේ… වලස්මුල්ලෙයි අඟුළකොළෙයි පොලිසිවල…“ යැයි සැරයන් කුමාර කියන විටම උපුල් එය පිළිගත්තේය.

“ඔව්… මහත්තයා… මර්ඩර් තුනක් තිබ්බා… ඒවට වරෙන්තු වෙලා හිටියේ…“ යැයි කීවේ ඔහුගේ රඟපෑම අවසන් බව පසක් කරමිනි.

2005 සහ 2006 වසරවල සිදුවූ මිනීමැරුම් තුනෙන් දෙකක පළමු චුදිත සහ අනෙක් නඩුවේ තුන්වන චුදිත වන උපුල් එම මිනීමැරුම්වලට රක්ෂිත බන්ධනාගාරගත වීමෙන් පසු ඇප ලැබ සිටියේය. අනතුරුව ඔහු අධිකරණය මඟහැර 2006 වසරේදී පමණ වලස්මුල්ලෙන් පලාවිත් තිබුණේ බියගම වෙළෙඳ කාලපයේ රැකියාවක් සොයාගෙනය. ඒ සමඟම බළන්ගොඩ සිට පැමිණි වෙළෙඳ කලාපයේ තරුණියක සමඟ ඇතිකරගත් ප්‍රේම සම්බන්ධයකින් පසු ඇය සමඟ විවාහ වූ උපුල් පේරගස් හංදියේ බෝඩිමක නතර වෙමින් පවුල් දිවිය ගත කළේය. බෝඩිම් කීපයකම පසුගිය කාලයේ ගතකර ඇති එම යුවළ ඒ සෑම බෝඩිමකටම ඉදිරිපත් කර තිබුණේ උපුල්ගේ බිරියගේ හැඳුනුම්පතය. එසේම දෙදෙනා ඒ ප්‍රදේශයේ පැවැති ජංගම සේවාවකින් බියගම ලිපිනයන්ට ජාතික හැඳුනුම්පත් ද සාදවාගෙන තිබුණේ හැඳුනුම්පත් නැතිවූ බව කියමිනි.

මේ වන විට දෙදෙනාට දියණියක් සහ පුතෙක් ද සිටී. උපුල් පේරගස් හංදියේ සැමගේ සිත් දිනාගෙන ‘ලොක්කා බාස්‘ යටතේ පෙදරේරු රැකියාවේ අත්උදවුකරුවකු ලෙස රැකියාව කරමින් සිටියේ බොහොමයක් දෙනා ඔහු පේරගස් හංදියේම අයෙක් බවට සිතා සිටියදීය.

අත්අඩංගුවට ගත් 48 හැවිරිදි උපුල් මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 14කට රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු තංගල්ල මහාධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කෙරිණි.

ඒ අනුව අපරාධයක් කළහොත් කවදා හෝ ඔහුට හෝ ඇයට අත්වන ඉරණම නැවත වරක් සනිටුහන් වන්නේ උපුල් පොලිසියට කොටුවූ ආකාරය පසක් වන විටය.

ඡායාරූප – සුදත් පුබුදු කීර්ති

දෙල්ගොඩ සමූහ

අමිල මලවිසූරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division