Home » කුඩු ගහන්න සල්ලි සොයන්න ත්‍රිවිල් උස්සන මත්ලෝලියා

කුඩු ගහන්න සල්ලි සොයන්න ත්‍රිවිල් උස්සන මත්ලෝලියා

by thanushika
May 18, 2024 12:30 am 0 comment

ගන්දර පොලිස් වසමේ ත්‍රිරෝද රථයක් සොරකම් කර ඇති බව පොලිස් පණිවුඩ හුවමාරුවෙන් කියැවුණි. ඒ පසුගිය දිනෙකය. මාතර කොට්ඨාසයේ සෑම පොලිස් ස්ථානයකම නිලධාරීන් සීරුවෙන් තැබුණු අතර, උකුසු ඇස් දල්වාගෙන සිටීමට මාලිම්බඩ පොලිස් නිලධාරීන් ද සූදානම් කෙරුණේ මාලිම්බඩ පොලිස් ස්ථානයේ වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඒ. උපුල් සාමින්ද විසිනි. මාලිම්බඩ පොලිස් වසමේ සෑම මංසන්ධියකම දැඩි සෝදිසියෙන් සිටින ලෙස ඔහු එම පොලිසියේ නිලධාරීන් දැනුම්වත් කළේය.

මැයි 01 වැනි දින රජයේ නිවාඩු දිනයක් බැවින් මාලිම්බඩ මංසන්ධියේ වැඩි සෙනඟක් නොවීය. සාමාන්‍ය පිරිසක් ඔබමොබ ගමන් කරමින් සිටියදී මාතර දෙස සිට අකුරැස්ස දෙසට අධික වේගයෙන් ආ රතු පැහැති බජාජ් ත්‍රීරෝද රථයක් අකුරැස්ස දෙසට යන අයුරු පොලිස් ස්ථානාධිපතිවරයාගේ නෙත ගැටිණි. එම ත්‍රිරෝද රථය ගැන එකවරම සැක සිතුණු බැවින් රථය නවතන ලෙසට අණ කළ ද එම අණ නොතකා වේගය තව තවත් වැඩි කරමින් වාහන අතරින් රිංගමින් කඩපොළට පැමිණ සිටි මිනිසුන්ගේද ඇඟේ වදින නොවදින ගාණට ත්‍රිරෝද රථය ධාවනය වූයේ නළා හඬ නොනවත්වා නඟමිනි. කඩපොළේ මඟ දෙපස සිටි මිනිසුන්ද අන්දමන්ද කරවමින් ‘ඉගිල්ලෙන’ රථය දෙස බලා සිටි පිරිස අතරින් රිංගා තම යතුරුපැදිය පණගැන්වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් සාමින්ද තම නිලධාරීන් ඇමතීමටවත් කල් නොමරා ඊගසක වේගයෙන් අකුරැස්ස දෙසට ඇදෙන ත්‍රිරෝදය හඹායන්නට තම නිලධාරීන්ට හස්ත මුද්‍රාවෙන් සංඥා කරමින් ඈත ඉගිලෙන ත්‍රිරෝද රථය පසුපස හඹා ගියේය.

“මේක නවත්තන්නේ නැතිව යන්නේ මොකක් හරි දෙයක් ඇති… ඉක්මනට පස්සෙන් පන්නමු.“ යැයි ඔහු කීවේ තමා සමඟ පැමිණි අනෙක් නිලධාරියාටය. ඒ සමඟ පැමිණි අනිත් නිලධාරීන්ටද ඔහු පැවසුවේ සැකකටයුතු ත්‍රිරෝද රථය පසුපස හඹායන ලෙසය. කිරිමැටිමුල්ල ජයසුමනාරාම විහාරස්ථානය අසලදී ත්‍රිරෝද රථය හරස් කර නවතාගන්නට ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසට හැකි විය.

“මොකද මේ හදිස්සිය? අපිට තමුන්ව පරීක්ෂා කරන්න ඕන.“ ත්‍රිරෝද රථයේ අස්සක් මුල්ලක් නෑර නිලධාරීන්ගේ සෝදිසියට ලක්විය. රියැදුරුවරයා වූ 26 හැවිරිදි තරුණයාවද පරීක්ෂා කිරීමේදී කමිස සාක්කුවේ තිබී අයිස් මත්කුඩු මිලිග්‍රෑම් 1450ක් සොයා ගැනිණි.

“යමු පොලිසියට… ගිහින් බලමු.“ සැකකාර තරුණයාව ඇමතූ ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් සාමින්ද සැකකාර තරුණයාව මාලිම්බඩ පොලිසිය වෙත ගෙන ඒමට එලෙස කටයුතු කළේය.

ත්‍රිරෝද රථය පොලිස් ස්ථානයේ ගාල්කර රියැදුරු තරුණයා පොලිසිය වෙත කැඳවාගෙන ගොස් ප්‍රශ්න කිරීම් ආරම්භ කළේ වැඩබලන ස්ථානාධිපති විසිනි. ප්‍රශ්න කිරීම් හමුවේ කරකියා ගත කිසිවක් නොවූ සැකකරු එතැන් පටන් තම කතාව එක දිගට දිග හැරියේ පොලිස් නිලධාරීන්ද විමතියට පත් කරවමිනි.

ගන්දර පොලිස් වසමේදී මේ 205-2385 අංක දරන රතු පැහැති බජාජ් ත්‍රිරෝද රථය නව වසර උදාවට ඔන්න මෙන්න තිබියදී අප්‍රේල් 10 වැනිදා සොරකම් කරන ලද ත්‍රිරෝද රථයම බව සැක හැර දැන ගැනීමට පොලිසියට හැකි වුයේ සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදීය. සැකකරු සියල්ල වමාරමින් සියලු දෑ පොලිස් නිලධාරීන් හමුවේ දිග හැරිණි.

සැකකරුගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ සැකකාර තරුණයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙකු බවත් ත්‍රිවීල් සොරකම් කර විකුණමින් එම මුදල් මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට යොදවන බව අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි විය. සැකකරුගෙන් කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම් හමුවේ පසුගිය මාර්තු මාසයේ දිනක මරදාන, ශ්‍රී මහා විහාර පාරේ නිවසක තිබූ WP GP-1387 අංක දරන ක්‍රීම් පැහැති ත්‍රිරෝද රථයද සොරකම් කළ බව හෙළි විය. මාර්තු මස 21 වැනි දින මෙම ත්‍රිරෝද සොරකම පිළිබඳව රථයේ හිමිකරු විසින් මරදාන පොලිස් ස්ථානයේ පැමිණිලි කර තිබුණි.

එම ත්‍රිරෝද රථය සැකකරුගේ නිවස පිටුපස සඟවා තිබෙන බව සැකකරු ප්‍රකාශ කර තිබූ බැවින් පොලිස් නිලධාරීන් වහා කිරිමැටිමුල්ලේ සැකකරුගේ නිවස වෙත ගොස් සඟවා තිබූ සොරකම් කරන ලද එම ත්‍රිරෝද රථයද පොලිස් භාරයට ගන්නා ලදි.

සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අතර රැඳවුම් නියෝග මත විමර්ශන කටයුතු ආරම්භ කෙරිණි.

උප පොලිස් පරීක්ෂකවරුන් වන ජයසිරි, සුනිල්, සැරයන්වරුන් වන (24666) සොයිසා, (73383) මධුශංක, කොස්තාපල්වරුන් වන (78909) කරුණානායක, (105337) බස්නායක, (103593) බණ්ඩාර, (104432) පැතුම්, (77692) සම්පත්, කාන්තා පොලිස් කොස්තාපල් (6941) තිලානි යන නිලධාරීහු මෙම මෙහෙයුමට එක් වූහ.

විජිත සල්ගාදු - අකුරැස්ස මධ්‍යම විශේෂ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division