නීති විරෝධී මත්පැන්, මත්ද්‍රව්‍ය අලෙවි කිරීමෙන් උපයා ගත්තේ යැයි කියන රුපියල් කෝටියකට වැඩි වටිනාකමක් ඇති වාහන හතරක් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 3 වන වගන්තිය යටතේ පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයාගෙන අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගියදාය.
හිඟුරක්ගොඩ ‘දොරදෙක’ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් ගංජා අලෙවි කිරීමෙන් හා නීතිවිරෝධි මත්පැන් ජාවාරමෙන් උපයා ගනු ලැබු මුදලින් ලබාගන්නා ලදැයි කියන වාහන හතරක් පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලබන්නේ දීර්ඝ කාලයක් සිදු කරන ලද විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙසය.
මුදල් විශුද්ධි කිරීම වැළැක්වීමේ පනත යටතේ නීති විරෝධී වත්කම් ඉපයීම සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයකදී පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මෙසේ එම වාහන අත්අඩංගුවට ගෙන තිබේ.
හිඟුරක්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවකු ළඟ තීබි ගංජා ක්‍රිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 50ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි අදාළ රථවාහනවල හිමිකරු පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව වැටලීම සිදු කළ පොලිස් නිලධාරීයකු සඳහන් කළේය.
පොලොන්නරුව කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ටී. බණ්ඩාර ඇතුළු පොලිස් නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීම සඳහා හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් අනුව සැකකරුගෙන් දිගින් දිගට ප්‍රකාශ ලබා ගැනීම ආරම්භ කෙරුණි.
පොලිස් අත්අඩංගුවේ සිටින පුද්ගලයාගෙන් ප්‍රකාශ සටහන් කරගත් පොලිස් නිලධාරීන් මේ සැකකරු වාහන, දේපළ මිලදී ගන්නට මුදල් යොදවා ඇති ආකාරය පිළිබඳව ද ඔහුගෙන් ප්‍රශ්න කරන ලදි. එහෙත් මෙම පුද්ගලයා තමන් වාහන මිලදී ගත් ආකාරය සේම තමන්ට වාහන මිලදී ගන්න මුදල් ලැබුණු ආකාරය පොලිස් නිලධාරීන්ට පැහැදිලි කිරීමට හැකි නොවිණි.
මෙසේ පොලිස් භාරයට ගෙන ඇත්තේ කැරවන් වර්ගයේ වෑන් රථයක්, ත්‍රී රෝද රථයක් සහ පල්සර් වර්ගයේ යතුරුපැදියක් සහ හීරෝ යතුරුපැදියකි.
සැකකරු ළඟ තිබී පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මෙම වාහනවල වටිනාකම කෝටියක් පමණ වන අතර සැකකරු හිඟුරක්ගොඩ දොරදෙක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. හිඟුරක්ගොඩ, මින්නේරිය පොලිසිවලින් සහ බුද්ධි තොරතුරු පෙර වැරදි පිළිබඳ කරන ලද විමර්ශනවලින් 2011 අංක 40 දරන පනතින් සංශෝධිත 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත 3 වැනි වගන්තිය අනුව මෙම විමර්ශන ආරම්භ කළ බවද පොලිස් නිලධාරීන් සඳහන් කළේය.
පොලොන්නරුව සහකාර පොලිස් අධිකාරී බී.ඒ.ජී. සි. චානක ද සිල්වා මහතා විසින් ඉකුත් 5 වැනි දින සැකකරු භාරයේ තිබු W.P. නිශාන් කැරවන් වෑන් රථය, N.C ත්‍රීරෝද රථය, N.C හීරෝ වර්ගයේ යතුරුපැදිය, N.C පල්සර් වර්ගයේ යතුරුපැදිය යන දේපළ නඩු භාණ්ඩයක් ලෙස තබා ගැනීම සඳහා හිඟුරක්ගොඩ පොලිසිය වෙත ඉදිරිපත් කැරිණි. මෙම වාහන දේපළ නීති විරෝධී ජාවාරම් සිදුකර ඒ මඟින් උපයාගත් දේපළ බවට තහවුරු කර ගැනීමෙන් පසු නඩු භාණ්ඩ ලෙස හිඟුරක්ගොඩ පොලිසියට භාරදී තිබිණි.
පොලොන්නරුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී චානක ද සිල්වාගේ අධීක්ෂණයෙන් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ටී. බණ්ඩාර, උප පොලිස් පරීක්ෂක කේ. කේ. සමානන්ද, සැරයන්වරුන් වන 68973 අතාවුද, 42229 රංග කුමාර, 71750 චින්තක, 70411 මහේෂ්, 6705 කුමාර, කොස්තාපල්වරුන් වන 46679 සිල්වා, 95742 ආනන්ද යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබිණි. අත්අඩංගුවට ගත් අය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරගෙන යනු ලබයි.
ඇළහැර - සරත් වෙලගෙදර