Home » කොල්ලකෑම් 40යි: පළාතක්ම බය කරයි මන්නා පෙන්නා මාල කඩන දෙන්නා

කොල්ලකෑම් 40යි: පළාතක්ම බය කරයි මන්නා පෙන්නා මාල කඩන දෙන්නා

by thanushika
May 18, 2024 12:30 am 0 comment

මහමඟ ගමන් කරන ඇතැම් කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල කඩාගෙන පලා යන සංවිධානාත්මක කල්ලි කණ්ඩායම් ගැන පසුගිය දිනවල රටේ ප්‍රදේශ රැසකින්ම පුවත් වාර්තා විය. එසේ රන් මාල කොල්ලකන කල්ලි කණ්ඩායම්වල සාමාජිකයන් එම කොල්ලකෑම් සිදු කරන්නේ මත්ද්‍රව්‍ය ලබාගැනීම සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමේ අරමුණිනින් බවද පොලිසිය සිදු කරන ලද විමර්ශනවලදි හෙළි විය.

මෙලෙස රන් මාල කොල්ලකන සංවිධානාත්මක කණ්ඩායමක දෙදෙනකු සිදුකළ කොල්ලකෑම් ගණනාවක් පොලිසිය නිරීක්ෂණය කර තිබුණේ පසුගියදාය.

මාසයක පමණ කාලයක් තිස්සේ මේ දෙදෙනා එලෙස රන්මාල කොල්ලකෑම් සිදුකර තිබුණේ මොරගහහේන, කැස්බෑව, පිළියන්දල, බොරලැස්ගමුව, මහරගම, හෝමාගම, කහතුඩුව, කඩුවෙල, තෙබුවන, ඉංගිරිය, අඟුරුවාතොට, බණ්ඩාරගම, මිල්ලනිය ඇතුළු තවත් ප්‍රදේශ කීපයකය. මෝටර් බයිසිකල්වලින් ගමන් කරන අතරේ මේ දෙදෙනා මෙලෙස මහමඟ ගමන් කරන ඇතැම් කාන්තාවන් සතු රන් මාල කොල්ලකා තිබූ අතර ඇතැම් අවස්ථාවල ඔවුන් මන්නා පිහි පුද්ගලයන්ට එල්ලකර මරා දමන බවට තර්ජනය කරමින් එම පුද්ගලයන් දණගස්වා රන් ආභරණ, මිල මුදල්, ජංගම දුරකතන කොල්ලකා පලාගොස් තිබූ බවද පොලිසිය කළ විමර්ශනවලදී හෙළි විය.

විශ්‍රාමික පොලිස් නිලධරයකු සතු රන් මාලයක් ද මේ දෙදෙනා විසින් කොල්ලකා පලා ගොස් තිබුණි. ගුරුවරියන්, ව්‍යාපාරිකයන් ඇතුළු බොහෝ දෙනෙකු සතු රන් මාල මේ කල්ලිය පැහැරගෙන ගොස් තිබුණේ ඔවුන්ට මන්නා පිහි එල්ලකර මරා දමන බවට තර්ජනය කිරීමෙන් අනතුරුවය.

කිසියම් ප්‍රදේශයකින් සොරකම් කරන ලද මෝටර් බයිසිකලයකින් ගොස් රන් මාල කොල්ලකන මේ කොල්ලකරුවන් දෙදෙනා පසුව එම මෝටර් බයිසිකලයෙන්ම ගොස් තවත් මෝටර් බයිසිකලයක් කොල්ලකා තමන් පැමිණි මෝටර් බයිසිකලය එම ස්ථානයේ දමා පලා යන බවද පොලිසිය කළ විමර්ශනයේදී හෙළි විය. මේ දෙදෙනා ආසන්න වශයෙන් මාසයකට ආසන්න කාලයක් ඇතුළතදී අඩුම වශයෙන් රන් මාල කොල්ලකෑම් 50ක්වත් සිදුකර ඇතැයි පොලිසිය අනුමාන කරන්නේ ඉන් අනතුරුවය.

කොල්ලකරුවන් දෙදෙනා රන් මාල කොල්ලකා පලා යන අන්දම දැක්වෙන සීසීටීවී දර්ශන රැසක් පොලිසිය විසින් ඒ වනවිටත් සොයාගෙන තිබිණි.

සොරකම් කරන ලද මෝටර් බයිසිකල්වලින් ගමන් කරමින් මහමඟ ගමන් කරන ඇතැම් කතුන් ගෙල බැඳි රන් මාල කඩාගෙන පලායන සංවිධානාත්මක කල්ලියක දෙදෙනකුගෙන් මෝටර් බයිසිකලය ධාවනය කරන පුද්ගලයා මොරටුව ලක්ෂපතිය ප්‍රදේශයේ සිටින බවට මොරටුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස්ට සිය පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් තොරතුරක් ලැබෙන්නේ පසුගියදාය. මේ තොරතුර ගැන සොයා බලන මොරටුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අනාවරණය කරගන්නේ මේ පුද්ගලයා පසුගිය කාලයේ පාණදුර, නුගේගොඩ, ගල්කිස්ස පොලිස් කොට්ඨාසවලට අයත් පොලිස්බල ප්‍රදේශයක සිදුවුණු රන් මාල කොල්ලකෑම්වලට ඍජුවම සම්බන්ධ පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයකු බවය.

මොරටුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස්, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසාද් අසේල සෙනෙවිරත්න ඇතුළු කණ්ඩායමක් ලක්ෂපතියට ගොස් සැකකරු අල්ලා ගන්නේ එම තොරතුරුවලට අනුවය.

අත්අඩංගුවට ගැනුණ සැකකරු සතුව තිබුණු හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 250ක් පොලිසිය විසින් සොයා ගැනිණි. සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේදී හෙළි වන්නේ ඔහු සහ තවත් අයකු එකතු වී ප්‍රදේශ රැසක සිදු කරන ලද රන්මාල කොල්ලකෑම් ගණනාවක් පිළිබඳ තොරතුරුය.

අල්ලාගන්නා ලද පුද්ගලයා සහ තවත් අයකු එකතුවී මොරගහහේන, පිළියන්දල, බොරලැස්ගමුව, කඩුවෙල, තෙබුවන, බණ්ඩාරගම, මිල්ලනිය, ඉංගිරිය, අඟුරුවාතොට, කහතුඩුව, මහරගම, හෝමාගම ප්‍රදේශවල සිදුකරන ලද රන් මාල 10ක් රන් අත් පලඳනා, මුදු කොල්ලකා ඇති බවට විමර්ශනවලදී හෙළි වී තිබිණි.

අල්ලාගන්නා ලද පුද්ගලයාට සහ ඔහු සමඟ මෝටර් බයිසිකල්වල ගමන් කරමින් රන් මාල කොල්ලකන සෙසු පුද්ගලයාට එරෙහිව පාණදුර, ගල්කිස්ස, නුගේගොඩ පොලිස් කොට්ඨාසවලට අයත් පොලිස් ස්ථානවලට පැමිණිලි 40ක් පමණ ලැබී තිබුණු බවද විමර්ශනවලදී අනාවරණය විය.

අත්අඩංගුවට ගත් පුද්ගලයා සමඟ මීට කලින් රන්මාල කොල්ලකෑම්වලට සම්බන්ධ වුණු අනෙක් පුද්ගලයා ද මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔහුද මොරටුව ලක්ෂපතියේ පදිංචිකරුවෙකි. මන්නා සමන්ත නමැති එම සැකකරු මීට පෙර සිදු කරන ලද කොල්ලකෑම් 117කට වරදකරු වී වසර 15ක් සිර දඬුවම් විඳ නිදහස් වී පැමිණි අයකු බව හෙළි වී ඇත. මේ වනවිට ඔහු ප්‍රදේශය අතහැර පලාගොස් සිටී.

මේ දෙදෙනා එක්ව සිදු කරන ලද රන් මාල කොල්ලකෑම්වලදී ඇතැම් පුද්ගලයන් දණගස්වා ඔවුන්ගේ ගෙලට මන්නා පිහි තබා මරණ බවට තර්ජනය කර කොල්ලකෑම් සිදුකර ඇති බවද හෙළිවී තිබේ.

රන්මාල කොල්ලකෑම් සඳහා මේ දෙදෙනා මෝටර් බයිසිකල් පහක් ද වරින්වර කොල්ලකා ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ. දින 7ක රැඳවුම් නියෝග ලබාගෙන සැකකරුගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළ මොරටුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධරයන් සැකකරු හෙළි කළ තොරතුරුවලට අනුව ක්‍රියාත්මක වෙමින් රාවතාවත්ත, කටුබැද්ද, සොයිසාපුර, බෙලෙක්කඩේ, මොරටුව ප්‍රදේශවල පිහිටි උකස් මධ්‍යස්ථානවලට මේ සැකකරු උකස් කර තිබූ කොල්ලකන ලද රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් රන් ආභරණ සොයාගෙන තිබිණි.

රන්මාල 20කට ආසන්න සංඛ්‍යාවක් රන් අත් පලඳනා සහ කරාබු මෙලෙස උකස්කර තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත. මේ රන් භාණ්ඩ අතර පවුම් පහාහමාරක් පමණ වටිනා රන් මාලයක් ද තිබුණු බව පොලිසිය සඳහන් කරයි.

මේ රන් මාල කොල්ලකන දෙදෙනාගෙන් ප්‍රධානියා වන මන්නා සමන්ත නමැති පුද්ගලයාගේ ඥාතියකුගේ නිවසේ සඟවා තිබුණු තියුණු ආයුධ කීපයක් ද පොලිසිය විසින් සොයා ගැනිණි.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මණගේ, සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව්.ඩී. අනුරංග යන නිලධරයන්ගේ උපදෙස් මත මොරටුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස්, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල ප්‍රසාද් සෙනෙවිරත්න ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරති.

ඡායාරූප – බණ්ඩාරගම බිමල් ජයසිංහ

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division