මාර්ටින් වික්‍රමසිංහ අතින් ලියැවුණු විශිෂ්ට නවකතාවකි විරාගය. විරාගය පළ වූයේ 1956 දීය. 1984, සැප්තැම්බර් 7 වැනිදා තිස්ස අබේසේකරයන් විසින් තිර නාටකය ලියා විරාගය සිනමාවට නඟන ලදී. සිංහල සිනමා වංශකතාවේ නොමැකෙන සටහන් තැබූ මේ චිත්‍රපටයේ අරවින්ද ජයසේන ගේ ප්‍රධාන භූමිකාව අතිශය සාර්ථක ලෙස රූපණය කළ සනත් ගුණතිලකයන් වෙතින් සිය අත්දැකීම් අරභයා ‘හදවිල මත පිපි අරවින්දය‘ නම් රසවත්, අරුත්බර පොතක් පළ වූයේ 2022 වසරේදීය. පරිච්ඡේද 24කින් සමන්විත මේ කෘතිය පිටු 168ක් පුරා විකාශය වන විත්ති කතාවක් වැනිය. විරාගය නවකතාව හෝ සිනමා කෘතිය නැරඹූ අලුත් පරපුරේ ශිෂ්‍යයෝ රාශියක් මට විශ්වවිද්‍යාලයේදී හමු නොවෙති.
සිනමාව ගැන උනන්දු අයට සිනමා කලාව හදාරන්නන්ට විරාගය නවකතාවත්, තිර නාටකයත්, සනත් ගේ මේ කෘතියත් කියැවීමෙන් කෙසේ හෝ විරාගය චිත්‍රපය සොයා නැරඹීමෙන් ජීවිතය, ලාංකික සමාජ සංස්කෘතියේ සිද්ධි, අවස්ථා වටහා ගැනීමට හැකි වෙතැයි විශ්වාස කරමි. තාත්වික යථාර්ථවාදී නවකතාවකින් ඵලදායි කලාත්මක, ජීවිතාවබෝධය මතු කෙරෙන සිනමා කෘතියක් කළ හැක්කේ කෙසේදැයි අභ්‍යාස කළ හැකිය. සනත් ගුණතිලක සිය ග්‍රන්ථයෙන් අප නොදන්නා පැතිකඩ පෙන්වනුයේ, ජීවන මිහිර සාරාර්ථ මෙන්ම සංයෝගයත්, වියෝගයත්, පැවැත්මත්, නැවැත්මත්, අනිස්ථිර යථාර්ථයත් අපට පසක් කරමිනි.
කොග්ගල ආසන්නයේ කිසියම් ගමක ජීවත්වූ වෙද මහත්මයකුගේ පුත්‍රයා වූ අරවින්දට මේනකා නමින් සොයුරියක් ද වූවාය. අරවින්දගේ පියාට අමුතු ගතිගුණ හා හැකියාවන් තිබුණි. ලෙඩුන්ට බෙහෙවින් කාරුණික ඔහු මුදල් අරභයාම වෙදකම් කරපු කෙනකු නොවේ.
පියා නොබෝ කලකින් තදබල ලෙස අසනීප වී මිය යන්නේ අරවින්ද දෙටුපෙළ විභාගයට සූදානම් වෙත්දිය. එහෙයින් ඉගෙනීම පසෙකලා අරවින්ද ලිපිකරුවකු වශයෙන් රැකියාවක් ලැබ ගනී.
ඔහුගේ පාසල් වියේ සිට සරෝජිනිට සෙෙනහස දැක්වීය. ගමේ ධනවත් පවුලක එකම දුව ඇයය. ඇගේ දෙමව්පියන් අරවින්දට අකැමැතිය. එනිසා සිය කැමැත්තට විවාහ වෙමුයි ඇය කළ යෝජනාව පිළිගැනීමට අරවින්ද පසුබායි. ටික කලකට පසු අරවින්දගේ බාප්පාගේ පුතා වූ සිරිදාස නම් තරුණයා සමඟ සරා විවාහ වූ හෙයින් අරවින්ද ඇසුරේ කලකිරීමක් හට ගනී.
පියාගේ මරණින් පසු මේනකා සිය සැමියා හා පුතාත් සමඟ මහගෙදර පදිංචියට පැමිණ අම්මාට ද ගෙදර ඉන්නට එපා වන තැනට වැඩ කටයුතු සැලසුවාය. අම්මා වෙනත් නිවෙසක පදිංචියට යන්නීය. ඇය නවතාලන්නට අරවින්ද හෝ මේනකා එතරම් උත්සාහ කළේ නැත. රැකියාව කරන අතරතුර ගුඪ විද්‍යා සම්බන්ධයෙන් පොත්පත් කියවමින් රසායනික සංයෝග හා අත්හදා බැලීම් කළ අරවින්දගේ එක් පරීක්ෂණයක් නිම වන්නේ එයින් අරවින්දගේ එක් අතක ඇඟිල්ලක් කැඩී යමිනි. තරහ ඇවිස්සුණු මේනකා බැණ වැදුණු කළ අරවින්ද ද මව මෙන්ම නිවෙස හැර දමා ගොස් පුංචි නිවෙසක් කුලියට ගෙන එහි ජීවත් වන්නට විය. ඔහුට කෑම බීම සපයා දෙන ගුණවතී නම් මැදිවියේ කාන්තාවට ‘බතී ‘නම් අට හැවිරිදි දියණියක් වූවාය. මේ දැරිවියට මුලදි කාරුණික වූ අරවින්ද ඈ පාසල් යවා ඉගැන්වීම සඳහා වියදම් කළේය. මේනකා මේ කාරුණිකභාවයට දොස් තබන්නීය. බතී කෙළිලොල් යුවතියක බවට පත් වෙයි. අරවින්ද ඈ කෙරෙහි සංවේදී වෙයි. ඔහු ගැන නොයෙක් කට කතා පැතිරෙයි. අරවින්දගේ ඇසුර පවතිනුයේ කුලසූරිය සමඟ පමණි.
බතී සැබවින්ම ජිනදාස නම් තරුණයකුට කැමැති බව දැනගත් අරවින්ද ඈ ඔහුට විවාහ කර දෙයි. අරවින්දගේ ජීවිතය ගෙවී යන්නේ එක්තරා රෝගී, සෝකී, දුක්මුසු ස්වභාවයකිනි. ජීවිතයේ විපරීත ධර්මතාව මැනැවින් නිරූපණය කිරීමට සනත් ගුණතිලක අරවින්ද වේෂයෙන් දැරූ උත්සාහය අතිශය සාර්ථක වෙයි. මේ අරවින්ද භූමිකාවට පණ පෙවීමට සනත් ගුණතිලක ඇසුරෙහි වූ ඇපකැප වීම, රංග අභ්‍යාසය – අනෙකුත් නළු නිළියන්ගේ සමායෝජනය තිස්ස අබේසේකරගේ සිනමා වෘද්ධි පරිණතභාවය සම්බන්ධ වටිනා අවස්ථා මේ කෘතියෙන් විශද කිරීමට කතුවරයා සමත්කම් දක්වන්නේ සහනුකම්පනීය පරිචයකිනි.
අරවින්දගේ චරිතය රඟපෑමට සනත් ගුණතිලක තෝරාගැනීම වූ කලි අභියෝගයක් විය. ඊට හේතුව සනත් ජනකාන්ත සිනමා තාරකාවක් ලෙස ප්‍රචලිත වී සිටීමයි. එනිසා සනත් ගුණතිලකගේ අරවින්ද රංගාවතරණය කදිමය. ප්‍රේක්ෂක හදෙහි ඉසියුම් වේදයිත මතු කර, ජීවන අනුභූතීන් රසාත්මකව උත්පාදනය කිරීමට සමත් වූ බැව් ලැබුණු විචාර සම්මාන ඇගයීම්වලින් වියත් වූ සැටි අපට මතකය.
විරාගය නවකතාව පිළිබඳ තත් යුගයේ දැක්වූ ගුණදාස අමරසේකර, සරච්චන්ද්‍ර, විමල් දිසානායක, ක්‍රිස්ටිද සිල්වා, ඉන්ද්‍රචාපා අබේවීර වැනි සෑම ලේඛකයාම පාහේ එහි එන අරවින්ද හා සිංහල ගැමි සංස්කෘතියත් අතර සම්බන්ධතාව පෙන්වාදී තිබේ. ආචාර්ය උදය ප්‍රශාන්ත මැද්දේගම විරාගය විචාර කෘතියක් රචනා කළේය. ඇතමුන් අරවින්ද පරාජිත හෝ නිෂ්ක්‍රිය චරිතයක් සේ සැලකුව ද සරච්චන්ද්‍රයන් පැවසුවේ අරවින්දගේ චරිත ලක්ෂණ සෑම සිංහලයකු තුළම පාහේ අඩු වැඩි වශයෙන් දක්නට ලැබෙන බවය.
විරාගයේ තේමාව මේ පුද්ගලයා හෙවත් අරවින්දගේ ආධ්‍යාත්මික පරිණාමය විදහා පෑම යැයි දැක්විය හැකිය. ජීවිතයට මතු නොව කිසිවකට නොඇලිය නොගැටිය යුතුය යනුවෙන් බුදුන් වහන්සේ දෙසූහ. නොඇලීම, නොගැටීම හෙවත් රතියෙන් තොරවීම විමුක්තියට එකම මඟයි. රතිය නිසා ශෝකය ද, බය ද හට ගනී. අපිස් බව සිඳ බිඳ ගත් ලැජ්ජා බය නම් වූ හිරි ඔත්තප්පයෙන් මෑත් වූ බොල් නිසරු ජීවන ක්‍රමයකට ශ්‍රී ලාංකික බොහෝ දෙනා ආසක්තව සිටිති. සනත් ගුණතිලක අරවින්ද භූමිකාවෙන් විරාගයේ මුඛ්‍ය තේමාවත් එහි කූට ප්‍රාප්තියත් සලකුණු කරනුයේ වාස්තවික මධ්‍යස්ථ ස්වරයකින් යැයි සිතෙයි. සනත් ගුණතිලක විශිෂ්ට කර්තෘවරයකු බැව් හදවිල මත පිපි අරවින්දය කියවන විට පාඨක අපට ප්‍රත්‍යක්ෂ වෙයි.
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර