Home » ශාකසාර ඔසු ගැන නොදැන කරන වැරදි

ශාකසාර ඔසු ගැන නොදැන කරන වැරදි

by Mahesh Lakehouse
May 18, 2024 12:30 am 0 comment

– ශාකමය ආහාර ලෙඩට හොඳයි කී පමණින් අවිචාරවත්ව ගැනීම නුසුදුසුය
– දියවැඩියා රෝගියකුට වකුගඩු රෝගයක් ඇත්නම් කාමරංකා මාරාන්තික තත්ත්ව ඇතිකළ හැකිය
– සෑම ශාක ආහාරයක් සඳහාම ඖෂධ වශයෙන් භාවිතයේ දී මාත්‍රාවක් නිර්දේශ වෙයි

ශාකමය ආහාර යනු ඖෂධයන්ය. එසේ නමුත් ඖෂධ කී සැණින් මේ සෑම ආහාරයක්ම ගත යුත්තේ සීමාව මාත්‍රාව හා රෝග අනුව එම ආහාර භාවිතය සම්බන්ධ නිසි දැනුම්වත් වීමකින් අනතුරුවය. සමාජ මාධ්‍ය හරහා දෙන සමහර වගකීම් රහිත ප්‍රචාරණයන් හේතුවෙන් බොහෝ විට මෙම ආහාර පවා අවභාවිත වීමේ හැකියාවක් තිබේ.

එක් උදාහරණයක් ගත හැකිය. කාමරංකා දියවැඩියාවට හොඳයි ආදී වශයෙන් වූ සමහර සමාජ මාධ්‍ය ප්‍රකාශන දැකගත හැකිය. නමුත් කාමරංකා යනු වකුගඩු රෝග ඇති අයට ඉතාම අගුණය. යම් දියවැඩියා රෝගියෙකුට වකුගඩු රෝගයක් ඇත්නම් ඔහුට කාමරංකා මාරාන්තික තත්ත්ව ඇතිකළ හැකිය.

මෙවැනි ශාකමය ආහාර විශාල ප්‍රමාණයක් ඇත. කිසිම විද්වත් නිර්දේශයකින් හෝ ප්‍රමිතියකින් තොරව වාණිජ පරමාර්ථ මත අද වෙළෙඳපොළට විවිධ ශාකමය ආහාර ද්‍රව්‍ය එකතු කරමින් තිබේ. අක්මාවේ මේදය ඉවත්කිරීම සඳහා, කොලෙස්ටරෝල් පාලනය සඳහා ආදී වශයෙන් වෙළෙඳපොළට එන මෙම ආහාර ද්‍රව්‍ය භාවිත කරන්නන් එහි මාත්‍රාව හෝ ගුණාත්මක අගය සම්බන්ධව සැලකිලිමත් වන්නේ නැත. තමන්ගේ ශරීර තත්ත්වය සම්බන්ධව අවබෝධයක් නැත. එබැවින් වෙළෙඳපොළේ ඇති ශාකසාර ඖෂධ ගැනීමේ දී ඒ සම්බන්ධව විධිමත් අවබෝධයක් තිබීම අතිශය වැදගත් වේ.

තවත් උදාහරණයක් ගනිමු. දියවැඩියාව සඳහා කොතළ හිඹුටු හොඳය. නමුත් පළපුරුදු දේශීය වෛද්‍යවරු දියවැඩියාව සඳහා කොතළ හිඹුටු ඒකීය වශයෙන් යොදන්නේ නැත. කෝවක්කා දියවැඩියාවට හොඳය. නමුත් දිනපතා කෝවක්කා ගැනීමට නිර්දේශ කරන්නේ නැත. ඊට හේතුව මෙම ශාක ආහාරයේ ඇති රසායනයන් ශරීරයේ වෙනත් අභ්‍යන්තර අවයව විෂයෙහි නරකට බලපෑමේ අවදානමක් ඇති හෙයිනි. මේ ආහාරය ගන්නා මාත්‍රාව ගැන සැලකිලිමත් විය යුතුය. සෑම ශාක ආහාරයක් සඳහාම ඖෂධ වශයෙන් භාවිතයේ දී මාත්‍රාවක් නිර්දේශ කර තිබේ. අනෙක ශාක ඖෂධ මාත්‍රාවන් ද පුද්ගල බද්ධය. එකම ශාක ආහාරය ලබා ගන්නා මාත්‍රාව හෝ ලබාගත යුතු ද නැද්ද යන්න පුද්ගලයාගේ ශරීර තත්ත්වය මත රඳා පවතින්නේය.

තෙබුවලින් තේ වර්ග නිෂ්පාදනය කර වෙළෙඳපොළට නිකුත් කර ඇත. නමුත් අපේ ශරීර තත්ත්වය යටතේ තෙබු ගතයුතු මාත්‍රාව කුමක්දැයි අප දන්නේ නැත.

එමෙන්ම දිරවීමට අපහසු ශාකමය ඖෂධ දිනපතා ගන්නේ නැත. මේ වන විට වෙළෙඳපොළේ අක්මාවේ මේදය තැන්පත් වීම හරණය කිරීමට යැයි කියමින් හීන් බෝවියා කැඳ වර්ග තිබේ. කරල් ලෙස වැඩිදියුණු කර ඖෂධ තිබේ. හීන්බෝවිටියා ආහාරයට ගත යුතු මාත්‍රාව කුමක්දැයි අදහසක් අපට නැත.

සමහර ශාක ඖෂධ වෙනත් ඖෂධ සමඟ සහයෝගයෙන් ක්‍රියාකර වෙනත් සංයෝග සාදයි. උදාහරණයක් ලෙස සමහර ශාකමය ද්‍රව්‍ය අපේ සිරුර තුළ ක්‍රියාත්මක වන්නේ පොල් කිරි සමඟ විය හැකිය. නැතහොත් කිතුල් හකුරු සමඟ විය හැකිය. අක්මාවේ මේදහරණ සමහර ඖෂධ ක්‍රියාත්මක වන්නේ කිතුල් හකුරු සමඟය. මේ පිළිබඳ කිසිවෙකුට අවබෝධයක් නැත.

 ආයු­ර්වේද වෛද්‍ය පාලිත ශ්‍රී ගීග­න ආරච්චිගේ

ආයු­ර්වේද වෛද්‍ය
පාලිත ශ්‍රී ගීග­න ආරච්චිගේ

ශාකමය ආහාර ගත් විට අතුරු උපද්‍රව එන්නේ නැති බවට සමාජ මතයක් තිබේ. නමුත් අධිමාත්‍රාවෙන් මෙම ඖෂධ ගැනීමෙන් අතුරු උපද්‍රව පැමිණිය හැකිය. ආයුර්වේදයේ ශාක ඖෂධ සඳහා මාත්‍රාවක් නියම කර ඇත්තේ එබැවිනි.

එබැවින් පළපුරුදු ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ නිර්දේශයකින් තොරව සමාජ මාධ්‍ය ඔස්සේ උත්කර්ෂයට නංවන ශාක ආහාර භාවිතයට නොගත යුතුය. එය පළමු වැදගත් කරුණ ලෙස අවධාරණය කළ යුතුය. සමහර ශාක ඖෂධ කිහිපයක් සංයෝගකර වෙළෙඳ පොළට නිකුත් කරන නිෂ්පාදන දැකිය හැකිය. ඒ සම්බන්ධව ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නියාමනයක් හෝ දැනුම්වත් කිරීමක් නැත.

ශාක ඖෂධ වුවද සංයෝග කරන නිශ්චිත ක්‍රමවේදයක් තිබේ. ඒ ක්‍රමවේදයෙන් පරිබාහිරව සිදුකරන ඇතැම් සංයෝග ශරීරයට ගැළපෙන්නේ නැත. එහෙත් හිතූ මනාපයේ කරන ඖෂධ සංයෝජන වෙළෙඳපොළේ ඇත. එවැනි ඖෂධ සම්බන්ධව ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයක් නියාමනයක් නැත. කිසිවෙක් ඊට වගකියන්නේත් නැත. මේ පසුබිම ඇතැම් විට බරපතළ තත්ත්ව ඇති කරන්නේය.

ඉඟිනි ආශ්‍රිත නිෂ්පාදන වෙළෙඳපොළේ තිබේ. ඉඟිනි දෛනිකව ගත යුතු ද?. ඉඟිනි ආයුර්වේදයේ භාවිතා කළ ක්‍රමයක් තිබේ. ඉඟිනි ඇට උරච්චි කර යම් ප්‍රමාණයක් ශරීරයට ගැනීම කරන නමුත් දිනපතා ඉඟිනි ගැනීම සිදුකරන්නේ නැත. ගොරකා අප භාවිතා කළ ක්‍රමයක් තිබිණි. ඇතැම් ව්‍යාංජන පිසීමේ දී ගොරකා කැබැල්ලක් ආහාරයට එක් කළෙමු. අප ගොරකා අඹරා කන්න ගියේ නැත. අධික තරබාරුවට ගොරකා මිශ්‍ර ආහාර අධි මාත්‍රාවෙන් ගැනීමෙන් එම තැනැත්තාට අක්මා රෝග ඇතිවිය හැකිය.

කුරුඳු මිශ්‍ර ආහාර ගැන කතා කරමු. කුරුදු තේ භාවිතයට සුදුසුය. නමුත් ඊට කුරුඳු එක් කරන්නේ නිශ්චිත මාත්‍රාවක් තුළය. හොද්දට කුරුඳු කෑලි දැම්මත් කුරුඳු කුඩු දාන්නේ නැත. හොද්දට දමන කුරුඳු කැබැලි කන්න යන්නෙත් නැත. ආහාරයට අවශ්‍ය ප්‍රමාණයට කුරුඳු අවශෝෂණයට ඉඩ හැරීම දේශීය ආහාර සම්ප්‍රදාය ය. කුරුඳු අධි මාත්‍රාවෙන් ගන්නේ නම් එය ජීර්ණ පද්ධතියට බලපාන්නේ කෙසේද, හෝමෝන ක්‍රියාවලියට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව අප කළ පර්යේෂණ නැත.

කුරුඳු එළඟිතෙල් සහ මී පැණි සමඟ භාවිත කරනු ලැබෙයි. එය මොළයට සහ හදවතට සුවදායකය. ගිතෙල් සහ මී පැණි සමඟ සංයෝග කරන්නේ එහි ඇති අහිතකර රසායනික ක්‍රියාවලියක් උදාසීන කිරීම සඳහාය.

හීන්බෝවිටියා අක්මාවේ මේදය තැන්පත්වීම වැළැක්වීමේ අභිලාෂයෙන් ගනු ලැබුව ද එහි විශාල ඵලදායිතාවයක් එන්නේ නැත. අක්මාවේ ශක්තිමත් කිරීමේ හැකියාවක් හීන්බෝවිටියා තුළ ඇත. නමුත් හීන්බෝවිටියා භාවිතා කළේ ඍජුව නොවේ. සංස්කරණයක් ලෙසිනි. ඇතැම් සංඝටක ඉවත් කිරීමෙනි. මේ සම්බන්ධව අවබෝධයක් ජනතාවට නැත. වල්කොත්තමල්ලි දියවැඩියාවට භාවිත කරයි. නමුත් වල්කොත්තමල්ලි අධිභාවිතයෙන් එක්වර ශරීරයේ සීනිමට්ටම අඩුවී ගොස් කෝමා තත්ත්වයක් ඇතිවිය හැකිය. එවැනි තත්ත්වයකදී පිළියම් සෙවීම අසීරුය. වල්කොත්තමල්ලි පානය වෛද්‍ය උපදෙස්වලින් තොරව නොකළ යුතුය. සත්සඳ ශාකයේ වකුගඩුවලට යම් මට්ටමකින් හානිකරන සංඝටක තිබේ. එය අධිමාත්‍රාවෙන් ගතහොත් වකුගඩුවලට බලපායි.

වේගෙඩි කෑ පසු කාම ශක්තිය වැඩිවන බව දනිමු. නමුත් එම ආහාරයෙන් රුධිර පීඩනය වැඩි පුද්ගලයෙකුගේ තත්ත්වය කළමනාකරණය කරන ආකාරය ගැන අප කල්පනා කරන්නේ නැත.

ඇතැම් පුද්ගලයින්ට ලුණුවිල නිසා අසාත්මිකතා ඇති විය හැකිය. ලුණුවිල ගන්නා ආකාරය ආයුර්වේදයේ ක්‍රමවේදයක් තිබේ. ඒ දැනුම පුරාණයේ අපේ අම්මලාත් දැනගෙන සිටියහ.

මේ නිසා ශාකමය ආහාර ලෙඩට හොඳයි කී පමණින් අවිචාරවත්ව ගැනීම නුසුදුසුය. වෛද්‍ය නිර්දේශ මත පුද්ගල ශරීර ස්වභාවය අනුව ශාක ආහාර ගැනීම අතිශය වැදගත් වන්නේ එබැවිනි.

පේර කොළ ඉතාම හොඳය. පෙර දලු ආහාර දිරවීමට ශරීර විස නැසීමට භාවිත කරයි. ප්‍රතිවිසක් ලෙස ඍජුව භාවිත කරයි. පේරදලු සමහර අවස්ථාවල භාවිත කරන්නේ කබලේ බැදීමෙනි. කබලේ බඳින්නේ දිරවීමට පහසුවීම සඳහාය. අහිතකර සංඝටක විනාශ කිරීම සඳහාය. එයත් ගත යුතු මාත්‍රාවක් තිබේ. ඒ සඳහා විද්‍යාත්මක අවබෝධයක් අප සතුව තිබිය යුතුය. කසායක් හදන විට ඒ ශාකමය ඖෂධ සඳහා මාත්‍රාවක් ඇත. බඩ අඩු කරගැනීමේ අභිලාෂයෙන් යූටියුබ්කරුවන්ගේ මඟපෙන්වීම මත පේර දලු දිනපතා ආහාරයට ගැනීමෙන් ඇතිවිය හැකි තත්ත්ව ඉතාම අහිතකරය.

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතව වෙළෙඳපොළේ ඇති මොනම ප්‍රමිතිගත ඖෂධයක් වුවද ආයුර්වේද වෛද්‍ය නිර්දේශයකින් තොරව හිතුමතේ ගැනීම සුදුසු නැත. නමුත් අද අපට පේර දලු තම්බා බොන්න නිර්දේශ කරන්නේත්, හීන්බෝවියා කැඳ පොවන්නේත්, ගොරක චූර්ණ කර ගිල්ලවන්නේත්, සුදුසුකම් සහිත වෛද්‍යවරුන් නොව වාණිජ පරමාර්ථ සහිත ආයුර්වේදය සම්බන්ධ මෙලෝ හසරක් නොදත් යූටියුබ්කරුවන්ය. ඒ අවිද්‍යාත්මක තොරතුරු හානිකරය. ඉන් හානිය සිදුවන්නේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට බව කිව යුතුය. මෙම ප්‍රකාශ අත්හදා බැලීමට පෙර සුදුසුකම් සහිත වෛද්‍යවරයෙකුගේ නිර්දේශ ලබා ගන්නේනම් ඉතාම සුදුසුය.

ටානියා මෝසස්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division