Home » මුලින්ම යා යුතු වන්නේ ජනාධිපතිවරණයකට

මුලින්ම යා යුතු වන්නේ ජනාධිපතිවරණයකට

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවි­ධා­යක, නාග­රික සංව­ර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණ­තුංග

by Mahesh Lakehouse
May 18, 2024 12:30 am 0 comment

– ජනාධිපතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණොත් හොඳයි
– පොදු ලකුණකින් ආවොත් තමයි එතුමාට හැමෝගේම සහයෝගය ලබාගත හැකි වන්නේ
– අපේක්ෂකයන් අතරින් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමයි ඉදිරියෙන්ම සිටින්නේ

මුලින්ම පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය ද නැතිනම් මහ මැතිවරණය ද යන්න පිළිබඳ කසුකුසුවක් පවතිනවා. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් පැවැසිය හැකිද?

දැනට තිබෙන කාල වෙලා අනුව මුලින්ම යායුත්තේ ජනාධිපතිවරණයකට. ජනාධිපතිවරණයකට ලබාදී ඇති දින වකවානු මෙන්ම ඊට සූදානම් කිරීමට ඇති ඉඩ, දෙස බැලූ විට අපි ව්‍යවස්ථානුකූලව මුලින්ම යා යුතු වන්නේ ජනාධිපතිවරණයකටයි.

නමුත් ජාතික ජනබලවේගය ඇතුළු විපක්ෂයේ අදහස වන්නේ ආණ්ඩුව පැරදෙන බව දැන දැනම මහ මැතිවරණයකට යාමේ සුදානමක් බවතින බවයි? එසේ සුදානමක් පවතිනවද?

ජාතික ජනබලවේගයේ නායකයෝ බයයි ජනාධිපතිවරණයකට යන්න. එසේ ගියොත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිත අපේක්ෂකයෝ අතරින් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමයි ඉදිරියෙන්ම සිටින්නේ. මේ බව දැන් ඔවුන් තේරුම් ගෙන තියෙනවා. ඔවුන් ඒ තත්ත්වයට මුහුණ දීමට බයයි. ඒ නිසා තමයි ඔවුන් මුලින්ම ජනාධිපතිවරණයකට යාමට බය වන්නේ. අපිට නම් එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඕනෑම මැතිවරණයකට සූදානම්. නමුත් මේ අවස්ථවේ අපේ ප්‍රමුඛතාව ලබා දී ඇත්තේ රටේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට මෙන්ම ජනාතාව මුහුණ දෙන ගැටලුවලින් ජනතාව මුදා ගැනීමට. මේ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් ක්‍රියාමාර්ග ගැනීමට අපි සූදානම්.

නමුත් විපක්ෂය පවසන්නේ තමන්ද මහ මැතිවරණයකට හෝ ජනාධිපතිවරණයකට හෝ සූදානම් බවයි?

ඕනෑම පක්ෂයක් මැතිවරණයකට සූදානම් වෙනවා. මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමේ අපේක්ෂාවෙන් තමයි හැමෝම මැතිවරණයකට සූදානම් වෙන්නේ. ඒ නිසා වෙන්න ඇති ඔවුන් සියලු දෙනා ඒ මතයේ ඉන්නේ.

විපක්ෂය විසින් ආණ්ඩු විසුරුවනවා යැයි ගෙනියන ප්‍රචාරය නිසා කොටස් වෙළෙඳ පොළටත් සිදුවන්නේ හානියක්?

කොටස් වෙළෙඳ පොළ කඩා වැට්ටවීමට මෙන්ම මේ වන විට වත්මන් ජනාධිපතිවරයා යටතේ ගොඩ එන ආර්ථික වැඩපිළිවෙළ කඩා වැට්ටවීමට සමහර අය කරන අහිතකර ප්‍රචාර තමයි මේ පාර්ලිමේන්තු මහ මැතිවරණයක් තියෙනවා යැයි යන වැරදි ප්‍රචාරය හා ආණ්ඩුව විසිරුවා හරිනවා යැයි ගෙනියන ප්‍රචාර. එවැනි බලාපොරොත්තුවක් ආණ්ඩුවේත් නැහැ. ඒ ගැන පැහැදිලිවම ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයක් පවා කර තියෙනවා.

මේ වන විට අනිකුත් ප්‍රධාන පක්ෂ දෙකත් ආණ්ඩුවට විරුද්ධව මැතිවරණ සටනක නියැළෙනවා. එම පක්ෂ ආණ්ඩුවට අභියෝගයක් වෙයිද?

රටටම යථා තත්ත්වය පෙනෙනවා. අපි ආණ්ඩුවේ සිට මේ වන විට සිදු කරගෙන යන්නේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට අපිට ලබාදිය හැකි උපරිම දායකත්වය ලබා දීමයි. එයට පෞද්ගලික හා රාජ්‍ය අනුග්‍රහය ලබා දෙමින් ජනතාවට අවශ්‍ය සෙත සලසමින් සිටිනවා. විවිධ දේශපාලන පක්ෂවල නායකයන් විවිධ රට රටවල ගිහින් මුදල් එකතු කරනවා, මැතිවරණ ව්‍යාපාර කරන්න. නමුත් අපිට ලැබෙන හැමදේම කරන්නේ රටේ ජනතාව වෙනුවෙන්. මේ දෙකේ ඇති වෙනස එයයි.

ජනාධිපතිවරණ කාල සීමා තීරණය වුවත් තවමත් ප්‍රධාන පක්ෂවලින් ජනාධිපතිවරණ අපේක්ෂකයන් නම් කර නැහැ?

ඒ ගැන ජනාධිපතිතුමා තවමත් ප්‍රකාශයට පත්කර නැහැ. මම විශ්වාස කරනවා ජනාධිපතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණොත් හොඳයි කියලා. මන්ද රටේ පවතින තත්ත්වයත් සමඟ මේ වන විට එතුමා කර ඇති දේ මෙන්ම මේ අභියෝගයට මුහුණ දුන් නායකයකු ලෙස මගේ අදහස වන්නේ එතුමා ඉදිරිපත් වෙනවා නම් හොඳයි කියලා. නමුත් ඉදිරියේදී ඉදිරිපත් වන අපේක්ෂකයෝ කවුරුන්ද යන්න අපි බැලිය යුතු වෙනවා. ජනාධිපතිවරණය දැනුම් දුන් පසු පක්ෂවල නියෝජිතයින් විසින් තමන්ගේ අපේක්ෂකයා කවුරුන්ද යන්න නිගමනය කරාවි.

ඔබ මෙන්ම පොදු ජන පෙරමුණ පක්ෂයේ මැති ඇමැතිවරුම පවසනවා වත්මන් ජනාධිපතිවරයාට රට ගොඩ නැඟීමට තවත් අවස්ථාවක් ලබා දිය යුතු බවට?

එය මගේ පෞද්ගලික මතයක් ලෙසයි මම ඒ දේ පැවැසුවේ. එදා මම කිව්වේ රටේ ජනතාවගේ බලාපොරොත්තුවත් එය බවයි.

වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහයන් ජනාධිපතිවරණ සටනට එකතු වන්නේ අලියා ලකුණනින් නොවන බවත්, පොදු සලකුණකින් බවත් කියැවෙනවා?

මේ අර්බුදයෙන් ගොඩ ගත් නායකයකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පොදු ලකුණකින් ආවොත් තමයි එතුමාට හැමෝගේම සහයෝගය ලබාගත හැකි වන්නේ. ඒ ඒ දේශපාලන පක්ෂවලට වඩා රටේ අවශ්‍යතාව තේරුම් ගෙන කටයුතු කළ යුතු බවයි මගේ විශ්වාසය.

පොදු ජන පෙරමුණ විසින් ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ විවිධ අදහස් පළ කරනවා. ඒ පිළිබඳ තවමත් නිශ්චිත නිගමනයක් ඔවුන් ප්‍රකාශ කර නැහැ?

පක්ෂයෙන් මේ වන විටත් තීන්දුවක් ගෙන නැහැ, කවුරුන්ද අපි ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂක යන වග.

පොදු ජන පෙරමුණ ජනාධිපතිවරණ සටනේදී වත්මන් ජනාධිපතිවරයාට සහයෝගය ලබා දේවි යැයි විශ්වාස කරනවාද?

මම ඒ ගැන තවමත් දන්නේ නැහැ. පක්ෂය තවමත් ඒ ගැන කතා වෙලා නැහැ. පොදු අපේක්ෂකයකුට උදවු කළ යුතුයි. මේ අර්බුදයෙන් ගොඩ ගෙන ආ හැකි නායකයකුට, විශ්වාසය දිනා ගත හැකි කෙනෙකුට, අභියෝග දිනාගත හැකි කෙනකුට, නිසි වැඩපිළිවෙළක් ඇති කෙනකුට අපේක්ෂකත්වය ලබා දිය යුතුයි. එහිදි මේ කරුණු කාරණායි අපි සැලකිලිමත් වන්නේ. නමුත් අපේක්ෂකත්වය පිළිබඳ තවමත් නිශ්චිත තීරණයකට පිවිස නැහැ.

ජනාධිපතිවරණ සටනේදී ආණ්ඩුව පක්ෂ කිහිපයකින් සන්ධාන ගත වේ යැයි මත පළ වෙනවා?

ඉතිහාසයේ සිට මේ දක්වා ජනාධිපතිවරණයන් දිනා ඇත්තේ සන්ධාන වන කණ්ඩායමක්. ඒ නිසා සියලු දෙනා එකතු කරගත හැකි තැනකට, ගෙන ආ හැකි නායකයකුයි ජනාධිපතිවරණය දිනන්නනේ. තනි පුද්ගලයකුට කවදාවත් ජයග්‍රහණය කරන්න බැහැ. චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මියගේ සිට මේ දක්වා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ එවැනි අය.

වත්මන් ජනාධිපතිවරයා සමඟ මුල සිටම සම්බන්ධ වූ අය ලෙස එතුමා පැමිණි ගමන් මඟ ඔබ දකින්නේ කෙසේද?

2022 මැයි මස රටේ ජනතාව මුහුණ දුන් දේ දෙස බලන විට ඒ අභියෝගවලින් බොහෝදෙනෙක් පැන ගියා. දේශපාලන නායකයකු කියන්නේ අභියෝගවලට මුහුණ දිය හැකි කෙනෙක්. නමුත් එදා සිටි අය අභියෝග භාර නොගෙන නිදහසට කරුණු කියා ඒවායින් පැන දිව්වා. තමන්ට බලයක් නැතිව තනි පුද්ගලයකුව සිට ඒ අභියෝග දිනන්න ආණ්ඩුවක් සමඟ එකතු වී කටයුතු කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා. අද වන විට ඩොලරය ස්ථාපිත වී තියෙනවා. සාමාන්‍ය සුභසාධන කටයුතු රටේ සිදු වෙනවා. සංවර්ධනය වසර තුනකට පසු ග්‍රාමීය මට්ටම දක්වා ගෙන ගොස් තිබෙනවා. IMF මෙන්ම ලෝක බැංකුව ලංකාවේ මේ ක්‍රියාමාර්ග ගැන ප්‍රශංසා කරලා තියෙනවා. ලංකාව රෝල් මොඩල් එකක් ලෙස තෝරාගෙන තියෙනවා. අනිකුත් රටවල්වලට ආදර්ශයක් ගෙන දෙන ලෙස ලංකාව ගෙනැවිත් තියෙනවා. සජබයේ ආර්ථික විශේෂඥ හර්ෂ මන්ත්‍රීතුමා පවා ඒ කාරණාව පවසා තියෙනවා. ජනාධිපතිතුමාගේ ආර්ථික වැඩපිළිවෙළ සාර්ථක බව දේශපාලන පක්ෂ පවා පිළිගෙන තියෙනවා. සංවර්ධන වැඩපිළිවෙළ කරගෙන යනවා. වර්තමාන ජනාධිපතිතුමාට රටේ ජනතාව බලාපොරොත්තු වූ සිස්ටම් චේන්ජ් එක ඔප්පු කර පෙන් විමට හැකි වූවා. මම හිතන්නේ අභියෝග බාර ගත හැකි, අත්දැකීම් ඇති ජාත්‍යන්තර සම්බන්ධතා ඇති නායකයකු ලෙසයි එතුමට ඒ කටයුතු කළ හැකි වූයේ.

නමුත් විපක්ෂය චෝදනා කරන්නේ ආණ්ඩුව ගන්නා තීන්දු තීරණ ජනාධිපතිවරණය වෙනුවෙන් ගන්නා ජනප්‍රිය තීන්දු තීරණ බවයි?

අනිකුත් පක්ෂ බඩු මිල අඩු කළේ නැතිනම් බනිනවා, ජනතාවට ජීවත් වෙන්න අමාරුයි කියලා. බඩු මිල අඩු කළාම කියනවා ඒවා ජනප්‍රිය තීන්දු කියලා. අපිට හිටියේ රට ගැන හිතපු විපක්ෂයක් නෙමෙයිනේ. අපි එහෙම හිතපු හින්දයි මේ රට මේ තත්ත්වයට පත් වුණේ. දැන්වත් මේ පටු දේශපාලන මත ඉවත දමා රට ගොඩ ගැනීමට කටයුතු කළ යුතුය යන මතයේ සිටිය යුතුයි.

ඉදිරි මැතිවරණ සටනේදී සමගි ජනබලවේගයේ පිරිසක් ඇතුළු තවත් පිරිස් ආණ්ඩුවට එකතු වන බවට රාවයක් පවතිනවා?

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජනාධිපතිවරණය නිර්පාක්ෂිකව ඉදිරිපත් වුවහොත් බොහෝ දෙනෙක් එතුමා සමඟ එකතු වී එතුමාට සහයෝගය ලබා දේවි යැයි මම විශ්වාස කරනවා.

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division