Home » ඕනෑම මැතිවරණයකට අපි සූදානම්

ඕනෑම මැතිවරණයකට අපි සූදානම්

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී ලාල්කාන්ත

by Mahesh Lakehouse
May 18, 2024 12:30 am 0 comment

– මීට කලින් මැතිවරණවලදී අපි කිව්වේ නැහැ දිනනවා කියලා
– මීළඟ ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයායි
– ඔවුන්ට පේනවා කුමන දේ කළත් ජනාධිපතිවරණයේදි මාලිමාව පැරුද්ද විය නොහැකි බව. ඒ තත්ත්වය තුළ මහ මැතිවරණයකට යෑමේ සම්භාවිතාවක් තියෙනවා
– දැනට ජාතික ජනබලවේගයත් සමඟ තරගයට සිටින්නේ සජබයයි

මේ මැතිවරණ වසරක්. ව්‍යවස්ථාවට අනුකූලව මුලින්ම ජනාධිපතිවරණය පැවැත්වීමට රජය තීරණය කර තියෙනවා?

ව්‍යවස්ථාවට අනුව මේ වසරේ සැප්තැම්බර්, ඔක්තෝබර් මාසවලදි ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුයි. ඒ නිසා අගෝස්තු මස නාම යෝජනා ලබාගත යුතු වෙනවා. මැතිවරණ කොමිසම මේ වෙනුවෙන් ජුනි මස සිට හෝ ක්‍රියාත්මක විය යුතුයි. තව මාස දෙකහමාරකින් ජනාධිපතිවරණය වෙනුවෙන් කොමිසම වැඩ කළ යුතුයි. අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමේ බලාපොරොත්තුවෙන් කටයුතු කරනවා.

ජනාධිපතිවරණ කාලවකවානු තීරණය කර තිබියදි මුලින් මහ මැතිවරණයක් පැවැත්වීමේ සූදානමක් ඇති බවට මාලිමාව චෝදනා කරනවා?

අපේ සම්පූර්ණ දේශපාලන කටයුතු ඉහළ සිට පහළටම සකස් වී ඇත්තේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමේ වෙනුවෙනුයි. නමුත් දේශපාලනයේ මෙවන් ප්‍රශ්නයක් පැන නඟිනවා. වසර 76 ක් අපේ රටේ සාරය උරා බිව් බලවේගයන් ඉන්නවා. ඒ අය අතරින් කවුරු හෝ අපේක්ෂකයකු ගෙන ආ යුතු වෙනවා මාලිමාව පැරුද්දවීමට. ඔහු සජිත් හෝ රනිල් හෝ නැතිනම් පොදු අපේක්ෂකයකු විය යුතුයි. එසේ ගෙන ඒමට බලාපොරොත්තු වන කෙනාට මාලිමාව පැරුද්ද විය නොහැකි තත්ත්වයක් දකිනවා නම් ඔවුන් කල්පනා කරන්නේ ජනාධිපතිවරණයට කලින් මහ මැතිවරණයක් ගේන්නයි. ඇතැම් විට ඔවුන්ට පේනවා ඇති කුමන දේ කළත් ජනාධිපතිවරණයේදි මාලිමාව පැරුද්ද විය නොහැකි බව. ඒ තත්ත්වය තුළ මහ මැතිවරණයකට යාමේ යම් සම්භාවිතාවක් තියෙනවා. එවැනි මහ මැතිවරණයක් ආවොත් ජනාධිපතිවරණයට සූදානම් වී සිටින අපිට ඇත්තේ දිස්ත්‍රික් මට්ටමින් අපේක්ෂක ලැයිස්තු දැමීම පමණයි. මහ මැතිවරණයක් ගෙනාවත් ආණ්ඩුවක් සැදීමේ ශක්තිය අපිට තියෙනවා. අපි මේ දෙකටම සූදානම්. පළමුවෙන්ම ජනාධිපතිවරණය පවත්වා මාලිමාව ජයග්‍රහණය කළ පසු මහ මැතිවරණයකදී ඔවුන්ට වාසිදායක තත්ත්වයක් ඇති නොවන බව දන්නවා. සුළු ජයග්‍රහණයක් වෙනුවෙන් පොහොට්ටුවේ පිරිසක් සූදානමින් ඉන්නවා.

තවමත් ප්‍රධාන පක්ෂ කිහිපයකම ජනාධිපතිවරණ අපේක්ෂකයන් ඉදිරිපත් කර නැහැ. ඇයි එසේ වන්නේ?

ඔවුන් කල්පනා කරන්නේ මාලිමාවට විරුද්ධ අය එකතු වී අපේක්ෂකයකු දමන්නයි. ඒ නිසයි තමන්ගේ පක්ෂවලින් අපේක්ෂකයකු නොදමා ඉන්නේ. නමුත් ජනාධිපතිවරණයේදී ඔවුන් මුහුණ දී ඇති අභියෝගය වන්නේ සියල්ල එකතු වී හෝ අපේක්ෂකයකු දැම්මත් ඔවුන්ට දිනිය හැකි බවට වූ විශ්වාසය බිඳ වැටීමයි. ඒ නිසා තමයි මහ මැතිවරණය පිළිබඳ කතාව ඔවුන් ගෙනෙන්නේ.

මාලිමාවේ අපේක්ෂාව මහ මැතිවරණයක් ද, නැතිනම් ජනාධිපතිවරණයක් ද?

ව්‍යවස්ථාවට අනුව ඇත්තේ ජනාධිපතිවරණයක් නිසා අපේ බලාපොරොත්තුව ජනාධිපතිවරණයක් පිළිබඳවයි. ඔවුන්ගෙන් කොටසක් මුලින්ම මහ මැතිවරණයක් බලාපොරොත්තු වෙනවා. අපිට මේ දෙකෙන් කුමක් කලින් ආවත් ප්‍රශ්නයක් නැහැ.

ජාතික හා බිම්මට්ටමින් මාලිමාවේ මැතිවරණ සූදානම කෙබඳුද?

අපි වසර දෙකකට ආසන්න කාලයක් අඛණ්ඩව මැතිවරණ ක්‍රියාවලියට ඉහළ සිට පහළට ජනතාව සූදානම් කරමිනුයි යන්නේ. ගමේ කොට්ඨාස ඉතා සාර්ථකයි. පොදු ජනයා ඒවාට සම්බන්ධ වෙලා ඉන්නවා. ශක්තිමත් මැතිවරණ යන්ත්‍රණයක් ගොඩනඟා ගෙන තියෙනවා. 3% ක සිටි අපිට මේ යන්ත්‍රණය ශක්තිමත් කිරීමට හැකි වූයේ විවිධ ජන කොටස් සම්බන්ධ වීම නිසයි.

නමුත් පසුගිය කාලයේ පැවැති මැතිවරණවලදි මාලිමාවේ රැස්වීම්වලට විශාල සෙනඟක් සිටියත් අපේක්ෂිත ප්‍රතිඵලය අත්වූයේ නැහැ. මෙවර එය වෙනස් වන්නේ කෙසේද?

මීට කලින් මැතිවරණවලදි අපි කිව්වේ නැහැ අපි දිනනවා කියලා. ගියවර පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි කිව්වේ ඡන්දය දෙන්න ශක්තිමත් විපක්ෂයක් හදන්න කියලා පමණයි. මීට කලින් ජනාධිපතිවරණයකදී හෝ මැතිවරණයකදි අපි බලය ගන්නවා කියා වැඩපිළිවෙළක් ඉදිරිපත් කළේ නැහැ. ජනතාව පවා දන්නවා එසේ වන්නේ නැහැ කියා. ඒ නිසා ප්‍රතිපත්තිමය පදනමක සිටි අයයි අපිට ඡන්දය දුන්නේ. දිනන පැත්තේ අපි හිටියේ නැහැ. ජනතාව රැස්වීම්වලට ආවත් නොදිනන පදනම මත තම ඡන්දය අහක යැයි සිතා දිනන පැත්තට ඡන්දය දුන්නා. දැන් එය වෙනස් වෙලා. ආණ්ඩු බලය හා ජනාධිපතිවරණය මාලිමාව දිනන බවට ජනතාවට දැන් වැටහිලා තියෙනවා. අපි දිනන කෙනා හා එය පැරුද්ද විය හැකි අය අතරට ඇතුළත් වී හමාරයි. ජනතාව මේ දෙකට බෙදෙනවා.

රජය විසින් මේ වන විට ගෙන ඇති ආර්ථික වැඩපිළිවෙළ මාලිමාවට අභියෝගයක් නෙමෙයිද?

ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ පවතින්නේ ණය නොගෙවන නිසයි. ණය නොගෙවීම නිසා මිනිසුන්ට වෙළෙඳ පොළ බඩු තියෙන බවත් රට හොඳ තත්ත්වයට පත්වී ඇති බවත් පෙන්විය හැකියි. පිරිසක් මේ අදහස වැලඳ ගනියි. නමුත් අපි ජනතාවට තේරුම් කර දෙනවා.

ජාතික ජනබලවේග මැතිවරණ සටනට අභියෝගයක් වී ඇත්තේ කුමන පක්ෂද?

දැනට ජාතික ජනබලවේගයක් සමඟ තරගයට සිටින්නේ සජබයයි. වෙන කවුරුත් නැහැ. සජිත් මහතාත් කල්පනා කරන්නේ දෙකට බෙදුණු පසු අනාථ වී ඇති පොහොට්ටුවේ මන්ත්‍රීවරු එයාව තෝරා ගනියි කියලා. එයාව තෝරා ගන්නේ අනාථ වූ පක්ෂවල ඉහළ සිටින අය පමණයි. ඔවුන්ගේ පහළ අය සජබය තෝරා ගන්නේ නැහැ. ඔවුන් එන්නේ මාලිමාවට. මේ වටපිටාව තුළ ජයග්‍රහණය ස්ථිරයි.

මෙවර ජාතික ජනබලවේගයට කොතරම් ඡන්ද සංඛ්‍යාවක් ලබාගත හැකි වේ යැයි විස්වාස කරනවා ද?

පාර්ලිමේන්තුව මන්ත්‍රීවරු 113 හෝ වැඩි ගණනක් තිබීම ප්‍රමාණවත්. ජනාධිපතිවරණයේදී දිනන්න ඡන්දවලින් 51% ක් ඕන. ඒ ප්‍රමාණය අපිට ඇති බවට තක්සේරුවක් පවතිනවා. මෙතෙක් රට පාලනය කළ අය පළාත් පාලන ඡන්දය කල් දැම්මේ ඔවුන්ට දිනන්න බැරි නිසා. ඊළඟ කරුණ වන්නේ ජනාධිපතිවරණය ද නැතිනම් මහ මැතිවරණය ද මුලින් තියන්නේ යන ව්‍යාකූලත්වය ඔවුන්ට ඇති වෙලා තියෙන්නේ මාලිමාව උඩට ඇවිත් තියෙන නිසා. රටේ දැනට කර ඇති සමීක්ෂණ පදනම් කරගෙන අපිට අපි දිනන බවට තක්සේරුවක් කළ හැකියි.

ඔබ පක්ෂය බලයට පත් වුවහොත් රටේ ආර්ථිකය ගොඩනඟන සැලැස්ම කෙසේ වීද? ජනතාවට මීට වඩා සහන ලබා දීමට හැකියාව පවතීද?

අපි ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති කරනවා. විදේශ රටවල්වලින් අපේ රටට සීනි ගෙන්වන්නේ දෙතුන් දෙනයි. පාලකයන් ඊට අනිකුත් අයට ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා ආර්ථිකයට ප්‍රජාතන්ත්‍රවාදය ගෙන ආ යුතුයි. මංකොල්ලකාරී ව්‍යාපාරය නැති කළ යුතුයි. අද දේශපාලනය යනු පවුලේ ව්‍යාපාරයක්. මේ අය දැන් දේශපාලනයෙත් ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කර තියෙනවා.

කවුද මීළඟ ජනාධිපති?

මීළඟ ජනාධිපති වන්නේ මාලිමාවේ අපේක්ෂකයා වන අනුර කුමාර දිසානායක සහෝදරයායි.

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division