Home » මුරුත්තෙට්ටුවේ හිමි රනිල් සහ ජනමතය

මුරුත්තෙට්ටුවේ හිමි රනිල් සහ ජනමතය

by Mahesh Lakehouse
May 18, 2024 12:30 am 0 comment

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි සටනේ පෙරමුණු ක්‍රියාකාරිකයෙකු වූ වෛද්‍ය ශිෂ්‍ය පද්මසිරි ත්‍රීමා විතාරණ සන්නද්ධ කල්ලියක් විසින් පැහැරගෙන ගොස් ඝාතනය කර තිබූ අවස්ථාවේ සිදුවීමකි, මේ. එවකට විරුද්ධ පක්ෂයේ දේශපාලඥයෙකු වූ දිනේෂ් ගුණවර්ධනත්, වෛද්‍ය රාජිත සේනාරත්නත්, රජයේ වෛද්‍ය සංගමයේ සභාපති දොස්තර සුනිල් රත්නප්‍රියත් නාරාහේන්පිට අභයාරාමයට පැමිණියහ. ඔවුහු එහි අධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගෙන් ඉල්ලීමක් කළහ. ඔවුන් ප්‍රකාශ කළේ ත්‍රීමා විතාරණ ශිෂ්‍යයාගේ සිරුර කොළඹ වෛද්‍ය විද්‍යාලයට ගෙන යෑමට ඉඩ නොදෙන්නේ නම් එදින රාත්‍රී 12.00ට මුළු වෛද්‍ය විද්‍යාලයම පුපුරවා හැරීමට සූදානමක් පවතින බවයි. ඔවුන් ආනන්ද හිමියන්ගෙන් ඉල්ලා සිටියේ මේ පිළිබඳව ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාට කතා කර සිරුර වෛද්‍ය විද්‍යාලයට ගෙන යෑමට අවසර ඉල්ලා සිටින ලෙසය. ආනන්ද හිමියෝ පුදුම වූහ. ඒ තමා සමඟ හිතවත්කමක් නැති, තමා සිර ගෙදරට යැවූ, වෘත්තීය සමිති නායකයෙකු වන තමා සමඟ කිසිඳු අවස්ථාවක සාකච්ඡාවක් කිරීමට අකමැති වූ රාජ්‍ය නායකයාගෙන් එම ඉල්ලීම කරන්නේ කෙසේද යන්න හේතුවෙනි.

ඔවුන් කියා සිටියේ ආනන්ද හිමියන් ඒ ගැන යම් ඉල්ලීමක් කළොත් ජේ.ආර්. ඒ ගැන සළකා බැලීමට ඉඩ ඇති බවයි. ඒ හිමියෝ දුරකතනය ගෙන ජේ.ආර්. ඇමතූහ. ජේ.ආර්. ඉල්ලීම පිළිගත්තේය. ත්‍රීමාගේ දේහය වෛද්‍ය විද්‍යාලයට ගෙන යාමට අවසර ලැබුණි. ජේ.ආර්. අවසර ලබාදෙමින් විමසුවේ කිසියම් කලබලයක් ඇති වුවහොත් වගකීම් භාරගන්නේ කවුරුන්ද කියාය. ආනන්ද හිමි එවලේම වෛද්‍ය විද්‍යාලයට ගියහ. දේහය ගෙන ඒමට අවසර ලබාගත් බව දැනුම් දුන්හ. ශිෂ්‍යයෝ තවත් ඉල්ලීමක් කළෝය. ඒ අවසන් කටයුතු අවස්ථාවේ වෛද්‍ය විද්‍යාලයේ සිට කනත්ත දක්වා කිසිදු හමුදා හෝ පොලිස් නිලධාරියෙකු නොසිටිය යුතු බවයි. ආරක්ෂක නිලධාරීහු එයට ද එකඟ වූහ. කිසිදු කලබලයකින් තොරව ත්‍රීමා විතාරණගේ අවසන් කටයුතු සිදුවිය.

1987 වර්ෂයේදී රජය කිසිඳු මැයි රැලියක් පැවැත්විය නොහැකි අයුරින් තහනම් නියෝග නිකුත් කළේය. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපතිවරයා වූ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ එය සැලකුවේ මැයි දිනය සැමරීම කම්කරුවන්ගේ සහ වෘත්තීය සමිතිවල අයිතියක් බවත්, එය තහනම් කිරීම එම අයිතිය බිඳ දැමීමක් ලෙසත් ය. එබැවින් අභයාරාමයේදී මැයි දිනය සැමරීමට උන්වහන්සේ තීරණය කළහ. මාදුළුවාවේ සෝභිත හිමි ඇතුළු පිරිසක් ඒ සඳහා දායකත්වය දුන්හ. අභයාරාමයට අතිවිශාල පිරිසක් පැමිණ මැයි දිනය සැමරුවද පොලීසිය එය විසුරුවා හැරීමට කටයුතු කළේය. පොලිස් වෙඩි ප්‍රහාරවලින් දෙදෙනෙකු ඝාතනය විය.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා වැඩ වර්ජනවල නියැළුනේ එය අන්තිම අවිය ලෙස සලකමිනි. තමන් වෙත රැඳී ඇති සුවහසක් රෝගීන්ගේ ජීවිත රැක ගැනීමේ වගකීම එම සංගමය කිසිදාක අමතක කළේ නැත. එසේ වුවද වැඩ වර්ජනවල නියැළුණ අවස්ථාවේදී ඒවා සාර්ථක කර ගැනීමට උපරිම මට්ටමකින් ක්‍රියාත්මක විය. වර්ජනය කර සිටියදී රජය විසින් පොලීසිය සහ ආරක්ෂක සේවා ඇතුළු රජයේ සියලු බලය ඒවා මර්දනය කිරීම සඳහා යොදා ගන්නා ලදි. එසේ වුවද එම වර්ජනය නැවැත්වීමට ජේ.ආර්.ට නොහැකි විය. මර්දනය හේතුවෙන් හෙදියන් 1000 ක් පමණ පිරිසක් අභයාරාමයේ නැවතුණහ. කවර දුෂ්කරතා පැමිණියද ඔවුන්ගේ ආහාර අවශ්‍යතා ආදිය ඉටු කරමින් වර්ජනය රැක ගැනීමට ආනන්ද හිමි කටයුතු කළහ.

වරක් පොලීසිය ආනන්ද හිමි අත්අඩංගුවට ගත්තේය. වැලිකඩ බන්ධනාගාරයේ රැඳ වූයේය. සිරකරුවන් මෙන්ම නිලධාරීන් ද ආනන්ද හිමියන් හමුවෙමින් කතා කරමින් හිමියන්ට අවශ්‍ය සේවා සපයමින් කටයුතු කළහ. බන්ධනාගාර නිලධාරීහු තමන් මුහුණ දී සිටින වෘත්තීය ප්‍රශ්න පිළිබඳව හිමියන්ට දැනුම් දුන්හ. වෘත්තීය සටනක නියැළීමෙන් එය ජයගත හැකි බව උන්වහන්සේ පැවසුව ද බන්ධනාගාර නිලධාරීන්ට වර්ජනය කිරීමේ අයිතියක් නැති බව ඔවුහු පෙන්වා දුන්හ. ආනන්ද හිමි ප්‍රකාශ කළේ සියලු දෙනා එකතු වී ලෙඩ නිවාඩු ලබා ගන්නා ලෙසය. ආනන්ද හිමිගේ මෙවැනි උපදෙස් පිළිබඳව ජේ.ආර්.ටද ආරංචි විය. ජේ.ආර්. ආනන්ද හිමි නිදහස් කළේය.

මේ සියලු කාර්යයන් අතර උන්වහන්සේ තම දැනුම ඔස්සේ ශාස්ත්‍රීය සේවාවන් ඉටු කිරීමට ද කටයුතු කළහ. උන්වහන්සේගේ “හෙළ වෙදකමේ යටගියාව” කෘතිය දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳව ප්‍රමාණික ග්‍රන්ථයකි. “නොනවතින අරගලයක සැබෑ කතාව” කෘතියෙහි උන්වහන්සේගේ අරගල පිළිබඳ අත්දැකීම් විස්තර වේ. “ජිනීවා පරාජයේ දෝංකාරය” සහ “ජන අරගලයේ දෝංකාරය” කෘතිවලින් මෑත කාලීන දේශපාලන සිදුවීම් පිළිබඳව විවරණයක් ඉදිරිපත් කෙරෙන අතර “රන්හීය” උන්වහන්සේගේ පුවත්පත් ලිපි එකතුවකි. එසේම උන්වහන්සේගේ ජීවන චරිතය සහ ජීවන අත්දැකීම් පිළිබඳව ද වෙනත් ලේඛකයන් ලියූ කෘති කීපයක් වේ. නිහාල් ජගත්චන්ද්‍රගේ “මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ” කෘතියත් සෝමලතා වෛද්‍යරත්න සෙල්ලහේවාගේ “මුරුත්තෙට්ටුවේ නාහිමි” කෘතිය සහ ධර්මන් වික්‍රමරත්නගේ ලිපි ද ඒ අතර වේ. මෙම ලිපියේ විස්තර වන බොහෝ සිදුවීම් එම කෘතිවල ග්‍රන්ථාරූඪ වී තිබේ.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි රටේ බහුතරයක් ජනතාවගේ සහ පීඩිත පන්තියේ අවශ්‍යතාවන් සහ අරගල වෙනුවෙන් පෙනී සිටි අභීත නායකයෙක් බව උන්වහන්සේට කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති පදවිය පිරිනමන විට සමහරෙකුට අමතක වී තිබුණි. සමහරෙක් හිතාමතා අමතක කළේය. සමහරෙක් උන්වහන්සේගේ ඒ ඉතිහාසය නොදැන සිටියේය. දැන් උන්වහන්සේ විසින් පිරිනමනු ලබන උපාධි සහතික කොළඹ විශ්වවිද්‍යාල උපාධිධාරීන් පිළිගැනීමෙන් වැළකී සිටින්නේ නැත. අද උන්වහන්සේ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල බිහිකරන්නෙකි.

උන්වහන්සේ කිසිදු දේශපාලන වේදිකාවකට ගොඩ වී නැත. එසේ වුවද සමහර දේශපාලන කාරණාවලදී ඒවාට මැදිහත් වූ අවස්ථා තිබේ. ප්‍රේමදාස මහතාට දෝෂාභියෝග ගෙන ආ විට ඔහුට එසේ සළකන්නේ ඔහු පීඩිත පන්තියෙන් පැමිණි පුද්ගලයෙකු වීම නිසාය යැයි කියූ ඒ හිමියෝ සෘජුවම ප්‍රේමදාස මහතා වෙනුවෙන් පෙනී සිටියහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක මැතිනිය සහ අනුර බණ්ඩාරනායක අතර ගැටුම් ඇතිවු අවස්ථාවේදී ඒවා විසඳීම සඳහා මැදිහත් වී කටයුතු කළහ. එක් එක් අවස්ථාවලදී ඒ ඒ ජනාධිපතිවරුන් සමඟ සම්බන්ධ කර ආනන්ද හිමිට චෝදනා කළේ ඒ ඒ නායකයන්ට පක්ෂපාතී වන බවට විවේචනය කරමිනි. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දරද්දී ඔහුට හිතවත්ව සිටියද ඒ හිතවත්කම ඉතා සමීප වූවක් යැයි කිව නොහැක. එහෙත් මහින්ද රාජපක්ෂ මහතා පරාද වී ඔහුට කොළඹ කාර්යාලයකට ඉඩක් ලබාදීම ඔහුගෙන් වැඩගත් බොහෝ දෙනෙකු විසින් ප්‍රතික්ෂේප කරද්දී ආනන්ද හිමියෝ මහින්ද රාජපක්ෂයන්ට අභයාරාමයේ කාර්යාල පහසුකම් ලබාදීමට කටයුතු කළහ.

පසුගිය සතියේ මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමිපාණෝ සභාපතිත්වය දරන රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ජාත්‍යන්තර හෙද දිනය සැමරුවේය. එම දිනය සැමරූ එකම සෞඛ්‍ය වෘත්තිය සමිතිය එයයි. ෆ්ලෝරන්ස් නයිටින්ගේල් විසින් හෙද සේවය ආරම්භ කිරීමෙන් පසු හෙද සේවය ව්‍යාප්ත වු ආකාරයත්, හෙද සේවයේ වගකීම් හා පරමාර්ථ පිළිබඳවත් සමාලෝචනයක යෙදීම සඳහා එහිදී අවස්ථාව සැලසී තිබුණි. ප්‍රධාන ආරාධිතයා වුයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. මෙම උත්සවයේ ඉතාමත් වැදගත් සිදුවීම වන්නේ ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා හෙද විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමයි. ආනන්ද හිමියන් විසින් ඉදිරිපත් කරන ලද හෙද විශ්වවිද්‍යාලයක් පිහිටුවීම පිළිබඳ යෝජනාවට ජනාධිපතිවරයාගේ සම්පූර්ණ සහාය ලැබුණු අතර, මේ වසරේ ජාත්‍යන්තර හෙද දිනයේදී ඒ සඳහා මුලපිරීම හැඳින්විය හැක්කේ ශ්‍රී ලංකාවේ හෙද සේවය එහි ඉහළම මට්ටමකට ගෙන ඒමට කටයුතු කර තිබෙන බවය.

කවරෙකු ඉදිරියේ වුවත් කියන්නට කියන දේ නොබියව ප්‍රකාශ කිරීම උන්වහන්සේගේ සිරිතකි. මීට සති කීපයකට පෙර අභයාරාමයේදී පැවැති උත්සවයකදී උන්වහන්සේ ප්‍රකාශ කළේ අභයාරාම පන්සල ගොඩනැගීමේදී මූල්‍යමය වශයෙන් ආධාර ලබාදී ඇති එකම රාජ්‍ය නායකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බවයි. “හෙද විශ්වවිද්‍යාලයක් ලබා ගැනීම සුළු පටු ජයග්‍රහණයක් නොවේ. හෙද නිලධාරීන් වෙනුවෙන් ඩිප්ලෝමා සහතිකය ලබා දුන්නේත් එවකට අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. අපේ විශාලම ජයග්‍රහණය වන හෙද විශ්වවිද්‍යාලය ලබා දුන්නේත් එතුමා” යි උන්වහන්සේ ප්‍රකාශ කළහ.

ඉතා වැදගත් වන්නේ අරගලවලින් ලබාගත් අත්දැකීම් ඔස්සේ රටේ බොහෝ දෙනෙකුට තම අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා සහාය දුන් උන්වහන්සේ විසින් කර තිබෙන මෙම ප්‍රකාශයයි. “අභියෝග හමුවේ ඉන්ද්‍රඛීලයක් සේ ජනාධිපතිතුමා ගත් තීන්දු තීරණවලින් තමයි මේ අයිතීන් අපට හිමිවන්නේ. විෂ පොවන අයට අවශ්‍ය වන්නේ අයිතීන් දිනා දීමට නොවේ. ඔබව පාරට දමන්නයි. අපට ඕනෑම ගැටලුවක් සාකච්ඡා කළ හැකි ජනාධිපතිවරයෙක් සිටින බව අප මතක තබා ගත යුතුය”. රටේ බහුතරයක් ජනතාවගේ නිහඩ අදහස වන්නේත් මෙයම නොවේද.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division