Home » දූෂිතයෝ අල්ලන්න නීති තිබුණට මදි , ඒවා ක්‍රියාත්මක කරන්නත් අවශ්‍යයි

දූෂිතයෝ අල්ලන්න නීති තිබුණට මදි , ඒවා ක්‍රියාත්මක කරන්නත් අවශ්‍යයි

සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, ගයන්ත කරුණාතිලක

by Mahesh Lakehouse
May 18, 2024 12:30 am 0 comment

රටේ නීතිය සම්බන්ධයෙන් නව දේශපාලන සංස්කෘතියක් ඇතිවෙලා තියෙනවා කියලා ආණ්ඩුව කියනවා?…

දූෂණය පිළිබඳ බරපතළ ගැටලුවක් තවමත් මේ ආණ්ඩුවේ තියෙනවා. දූෂිතයෝ රැකගෙන දූෂිතයෝ ටික ආණ්ඩුව ඇතුළේ තවමත් ඉන්නවා. එහෙම නම් නව දේශපාලන සංස්කෘතියක් ඇතිවෙලා තියෙන්නේ කොහෙද? මේ රට බංකොලොත් කළා කියලා අධිකරණයෙන් පවා කියපු මිනිස්සු ළඟින් තියාගෙන මේ ආණ්ඩුව කොහෙද නව දේශපාලන සංස්කෘතියක් ගැන කතා කරන්නේ?. දූෂණය දැක දැක ආණ්ඩුව දූෂණය නැහැ කියලා කියන්නේ කොහොමද?…

දූෂණය, වංචාව ඊළඟ මැතිවරණයේදීත් සටන් පාඨයක් වෙයි කියලද ඔබ කියන්නේ?…

සටන් පාඨ කියලා වැඩක් නැහැ. එය නැති කරලා දාන්නයි අවශ්‍ය වෙන්නේ. අපේ ආණ්ඩුව යටතේ එය වෙනවා. තවමත් එය බරපතළ ගැටලුවක්. මේ ආණ්ඩුව ඒ ගැන කතා කළාට තවමත් ආණ්ඩුව ඇතුළේ දූෂිතයෝ ඉන්නවා. දූෂණය මේ ආණ්ඩුවට තුරන් කරන්න අවශ්‍ය නැහැ. ආණ්ඩුව ඇතුළෙ දූෂිතයෝ ඉන්න හැටි දැක දැක එය ජනතාවට පිළිගන්න පුළුවන් කමක් නැහැ. නීති තිබුණට මදි. ඒවා ක්‍රියාත්මක කරන්නත් අවශ්‍යයි. මොන පනතත් ගෙනාවා කියලා කිය කිය ඉඳලා වැඩක් නැහැ. ක්‍රියාත්මක කරන එකයි කරන්න ඕන. රට වෙනුවෙන් සහාය දිය හැකි දේවල්වලට අපි සහාය දෙනවා.

අපරාධයකින් උපයාගත් දේපළ රාජසන්තක කිරීම සම්බන්ධයෙන් නීති කඩිනමින් ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරනවා?

මේ රටේ අපරාධ දූෂණය සම්බන්ධයෙන් බරපතළ ගැටලු තියෙනවා. කවුරු වුණත් ඒ දේ කළ යුතුයි. ජනතාවගේ ඉල්ලීමත් එයයි. එය අපි අපේ ආණ්ඩුවක් යටතේ විධිමත් ආකාරයට කරන්න කටයුතු කරනවා. අපේ රජයක් යටතේ අපි දූෂණයට අපරාධයට විරුද්ධව වැඩපිළිවෙළක් ඇතිවයි බලයට එන්නේ. සාමාන්‍ය‍ෙයන් පනතක් ගෙනාවාම ඒ සම්බන්ධයෙන් අපගේ කණ්ඩායම් රැස්වීමේදී අධ්‍යයනය කරලා සාකච්ඡා කරනවා. අපි හොඳ දේවල්වලට සහාය දෙන අඩුපාඩු පෙන්නලා දෙන රටට අයහපතක් වෙන දේවල්වලට විරුද්ධ වෙන පක්ෂයක් අපි. ආණ්ඩුව තවමත් හොරු ඇතුළේ තියාගෙන ඉන්නවා. එසේ නම් ඒවා සුද්ධ කරලා පෙන්නන්න අවශ්‍යයි.

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපති මැතිවරණයට සජබ සූදානම කෙබඳුද?

අපි ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට සුදානම්. මහ මැතිවරණයක් පැවැත් වුවහොත් ජයග්‍රහණය කරන්න අපිට හැකියාවක් තියෙනවා. අපි කියන්නේ ජනාධිපති මැතිවරණය, මහ මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය තියන්න, ඒ ඕනෑම මැතිවරණයකට සූදානම් වෙලා ඉන්නේ. ඒ වගේම අපි ජයග්‍රහණය කරනවා. ජනතාව බලන් ඉන්නවා ඡන්දයක් පවත්වන තෙක්.

ඇතැම් අය කියනවා බලයට ඇවිල්ලා මාස දෙකෙන් හොරු අල්ලනවා කියලා. ඒක කරන්න පුළුවන්ද?

මාස දෙකද දවස් දෙකකද ඊට වැඩි කාලයක් මේ සඳහා ගතවනවාද කියලා අපි දන්නේ නැහැ. ඒ පිළිබඳ අවශ්‍ය පිරිස් සම්බන්ධ කරගෙන ඒ අයත් එක්ක එකතු වෙලා තමයි මේ දේවල් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ගතවන කාලයක් අපිට කියන්න බැහැ. මේ අය බලයට ආවේ හොරු අල්ලනවා කියලා. ඇවිත් අන්තිමට හොරු ආණ්ඩුව අල්ලන එකයි අපි දැක්කේ. ඒ සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් ඇති අයගෙන් ඒ ගැන අහන්න අවශ්‍යයි වගේම ඒවා ක්‍රියාත්මක කරන ආකාරය, ශක්තිමත් භාවය ගැන කතා කරන්න අවශ්‍යත් ඒ අය විසින්මයි. හොරු බිහි කරගෙන නැවත ආණ්ඩු බිහි කරලා වැඩක් නැහැ. හොරු බිහි කරන්නේ නැති ආණ්ඩුවක් අපි ගේනවා. මේ ආණ්ඩුව තුළ දූෂණ චෝදනා ති‍ෙයන අය රැකගන්න ගමන් දූෂිතයොත් එක්ක රට පාලනය කරද්දි කොහොමද දේශපාලනික නව සංස්කෘතියක් ඇති වෙන්නේ?..


දූෂණ වංචාවලට පනත් සම්මත වුණාට දූෂණය, වංචාව දිනෙන් දින පැටව් ගහනවා 
– ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්

දූෂණ විරෝධී පනතින් රටේ නීති පද්ධතිය ශක්තිමත් වෙලා තියෙනවා කියලා ආණ්ඩුව කියනවා?…

වංචාව දූෂණය කොහෙද නතර වෙලා තියෙන්නේ? වංචාව, දූෂණය දිනෙන් දින පැටව් ගහනවා. දූෂණ වංචාවලට ඊයේ පෙරේදා උදාහරණ තියෙනවා. දූෂණ වංචාවලට පනත් සම්මත වුණාට රටේ දූෂණ වංචා සිද්ධ වෙනවා. පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට පත් කරගෙන ඉන්නෙත් ඒ අයගේම පිරිස. ආණ්ඩුව අලුත් පනත් ගෙනාවාට පරණ තැටියම තමයි ගහන්නේ. කිසිදු ආකාරයක වංචා දූෂණයක් අඩු වෙලා නැහැ.

ඔබ කියන්නේ වංචාව දූෂණය නතර වෙලා නැහැ, නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලද? එසේ නම් පසුගිය කාලයේ ආණ්ඩුවේ ඇමැතිවරුන්ට පවා නීතිය ක්‍රියාත්මක වුණා නේද?

ඔව්, ඇමැතිවරු හිරේ ගියාට ඒ අයගේ වාහන ටිකයි ඔක්කොම වරප්‍රසාද අතහැරලා නැහැ . අමාත්‍යාංශ ලේකම්ට ලියුම් ගහලා තිබුණා ඇමැතිවරයා පාවිච්චි කරපු වාහන, නිවාස සම්බන්ධයෙන් වාර්තාවක් එවන්න කියලා. ඇමැතිකමත් අයින් කරලා මාස දෙකතුනක් වෙනවා නමුත් එහෙම කිසිම දෙයක් බාර දීලා නැහැ. ඒ නිසා කටින් බතල හිටවනවා මිසක කිසිදු දෙයක් සිද්ධ වෙන්නේ නැහැ.

අපි බලයට ආවාම අපේ පාලනයක් යටතේ. ප්‍රජාතන්තවාදී ව්‍යුහයන් මේ සම්බන්ධයෙන් ස්ථාපිත කරනවා. ව්‍යවස්ථාවේ 4 – ඇ වගන්තියේ තියෙන ජනතාවගේ අධිකරණ බලය දැනට පවතිනවාට වඩා ශක්තිමත් ආකාරයට ගම දක්වා විහිඳුණු පුළුල් ව්‍යුහයක් ලෙස සකස් කරනවා.

මේ ආණ්ඩුව බලයට පත්වූ පසුව දූෂණයට එරෙහි නීති අණපනත් ගෙන ඒම නිසා දූෂණයට එරෙහිව ක්‍රියාමාර්ඟ රැසක් ගෙන තියෙනවා?

පනත් ගේනවා, පනත් සම්මත වෙනවා. නමුත් හොරකම දූෂණය සිදු වෙනවා. පනත් සම්මත වුණාට, පාර්ලිමේන්තුවෙත් කෝප් එකට පත් කරන්නෙත් චෝදනා තියෙන අයයි. පනත් තිබුණත් වැඩක් නැහැ, නීතිය අතට අරන් මේ ආණ්ඩුවේ දේශපාලනඥයන් වැඩ කරන්නේ.

ජවිපෙ බලයට ආවොත් මේ රටේ කැලෑ නීතිය තමයි

රජ වෙන්නේ කියලා ඇතැමුන් කියනවා?…

නීතිය අතට අරන් කටයුතු කරන්නේ මේ ආණ්ඩුවයි. පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කරන්නේ දේශපාලනඥයන්ට අවශ්‍ය විදිහට. නීති විරෝධී විදිහට ආණ්ඩුව ජනතාව මර්දනය කරන්න හදනවා. ඉදිරි ඡන්දයේදී මේ ආණ්ඩුට ජනතාව උත්තර දෙයි. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් නැහැ. මන්ත්‍රීවරුන්ට වාහන ගන්න හදනවා නීති විරෝධී විදිහට එයට විරුද්ධව බැනර් එකක් දාන්න ගියාම පොලිසියෙන් ඇවිල්ලා ඒක වළක්වනවා.

ඒත් වාහන පර්මිට් ඕනේ කියලා ඔබේ පක්ෂයේ අයත් අත්සන් කළා නේද?

අපේ පක්ෂයේ තුන්දෙනා ඉල්ලන්නෙත් නැහැ. අපි ඒකට සම්බන්ධ නැහැ. ඒ ලිපිවලට අපි අත්සන් කරන්නෙත් නැහැ . අපි ඒකට එකඟත් නැහැ. මෙච්චර රටේ ආර්ථීක අර්බුදයක් තියෙද්දි මේ දේවල් ඉල්ලන එක සාධාරණ නැහැ. බඩු බෙදනවා, හාල් බෙදනවා, බඩු මිල ටිකක් අඩු කරනවා. දැන් ජනතාවට මේ දේවල් වැඩක් නැහැ. ආණ්ඩුව ගෙදර යවන්නේ කොයි වෙලාවෙද කියලා බලන් ඉන්නේ. තාවකාලික පැලැස්තර වැඩක් නැහැ.


ජනතාව ඉල්ලපු සිස්ටම් චේන්ජ් එක තමයි අද මේ කරලා තියෙන්නේ
– එජාප කොළඹ දිසා කළමණාකරු, කෘත්‍ය­ාධිකාරි මණ්ඩල සභික ලසන්ත ගුණවර්ධන

දූෂණයට එරෙහි සටන් පාඨය තවදුරටත් වලංගු නැති බව ආණ්ඩුව කිව්වට දූෂණය තුරන් වෙලා නැති බව ඇතැම් දේශපාලන පක්ෂ කියනවා?…

හැමදාම මේ රටේ සටන් පාඨය කර ගත්තේ දූෂණ විරෝධය තමයි. හොරු අල්ලන්න කියලා හුඟක් ආණ්ඩු කිව්වා. ඇතැම් ආණ්ඩු දුෂණ විරෝධී කමිටු පත් කළා. ඒ කමිටුවල ඇතැම් දේශපාලන පක්ෂවල නායකයොත් හිටියා. ඒ කියන අයම කෝප් කමිටුවට නායකත්වය දුන්නා. ෆයිල් 17ක් තියෙනවා, ඒ හොරු අල්ලන්න ඕන කිව්වා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඒ කාලයේ හොරු අල්ලන්න අවශ්‍ය කරන යන්ත්‍රණය සකස් කරලා තිබ්වා. එදා ජවිපෙට අවශ්‍ය වුණා නම් දූෂණ විරෝධි කමිටුවයි FCID එකයි ඒකාබද්ධ කරලා කරපු වැඩසටහන සමඟ වැඩ කරන්න තිබුණනෙ. අනුර කුමාර මහත්තයා පෙන්නපු ෆයිල් 17ට අද වෙනතුරු කිසිම දෙයක් කරලා නැහැ. දූෂණයට විරුද්ධව කිසිම දෙයක් කරලා නැහැ. මේවා මේ කතාවට කියන දේශපාලන කතන්දරයක් විතරයි. නමුත් වත්මන් ආණ්ඩුව ප්‍රායෝගිකව 2023දී මේ පනත ගෙනල්ලා, ඉන්පසුව 2024 මේ පනත සංශෝධනයට ලක්කරලා තියෙනවා. ආණ්ඩුවට චෝදනා කරනවා හොරු අල්ලන්නෙ නැහැ කියලා. ඒ නිසා තමයි දූෂණ විරෝධී පනත් ගෙනල්ලා රාජ්‍ය යන්ත්‍රණය නිවැරදි කිරීම සිදු කරමින් පවතින්නේ.

ආණ්ඩුව හොරු ආරක්ෂා කරනවා කියලා විපක්ෂයේ චෝදනාවක් තියෙනවා?…

දේශපාලන සටන් පාඨයක් වුණ දූෂණය නවත්වනවා, හොරු අල්ලනවා කියන සටන් පාඨය කියන අයට මම කියන්නේ අද ආණ්ඩුව හොරු අල්ලන්න නීති ගෙනල්ලා තියෙනවා. පසුගිය කාලය පුරා අපි දැක්කා ප්‍රබල දේශපාලනඥයන්ට නීතිය ක්‍රියාත්මක වූ ආකාරය. ඒ සම්බන්ධයෙන් ගත් තීන්දු තීරණ අපි දැක්කා. අධිකරණය දැන් ඉතාමත් ස්වාධීනයි කියලා අපිට පේනවා. අධිකරණයේ ස්වාධීනත්වය ගැන අපි සතුටු විය යුතුයි. යුක්තිය පසිඳලන්න වගේම අපනයන ආර්ථීකයන් ඇති කරන්න දූෂණ විරෝධී පනත් කිහිපයක් මේ වනවිටත් ඉදිරිපත් කරලා තියෙනවා.

දේශපාලනඥයෝ නීතිය අතට අරගෙන තියෙනවා කියලා චෝදනාවක් තියෙනවා නේද?

අධිකරණය නීතිය හරියාකාරයෙන් ඉටු කරන බව පසුගිය කාලයේ අපි හොඳින් දැක්කා. ඒ දේවල්වලට කිසිදු බලපෑමක් ඇති කරලා නැහැ. අනෙක් දූෂණ වංචා සම්බන්ධයෙන් රජය නිසියාකාරයෙන් නීතිය ක්‍රියාත්මක කරලා තියෙනවා. රජය කරන දේවල් සමහර අය දකින්නේ වැරදි ආකාරයටමයි. හොරෙක් කිව්වා කියලා ඔප්පු කරන්නේ නැතිව නීතිය ක්‍රියාත්මක කරන්න බැහැනේ.

ජවිපෙ සමහර අය කියන්නේ ඒ අයගේ නායකයෙක් යටතේ නීති හදන එක, කෙටුම්පත් කරන එක, ක්‍රියාත්මක කිරීමේ බලය දෙන්නේ පාක්ෂිකයන්ට කියලා, එතකොට ගමේ නඩුව අහන්නේ ජවිපෙ පාක්ෂිකයෝ නම් එතකොට නීතිය හරියට ක්‍රියාත්මක වෙනවද? ඒක වල් බූරු නිදහසක්. අපි දන්නවා ඒ අය නීතිය ක්‍රියාත්මක කළේ කොහොමද කියලා.

මිනිසුන් මරලා මිනි පෙට්ටියවත් දණහිසින් උඩට ගන්න දෙන්නේ නැති නීතියක් ඒ අය ක්‍රියාත්මක කළේ. මේ වගේ කැලෑ නීතියකින් දූෂණය අවම කරන්න පුළුවන්ද කියලා අපි අහනවා.

දූෂණය වළක්වන්න නම් මේ සිස්ට්ම් එක වෙනස් කරන්න අවශ්‍යයි කියලයි ඇතැමුන් කියන්නේ?

මොකක්ද මේ කියන සිස්ට්ම් චේන්ජ් එක? ජනාධිපතිවරයා පැහැදිලිව රටේ නීතියට එකඟවයි කටයුතු කරලා තියෙන්නේ. දූෂණය නවත් වන්න පියවර අරගෙන ඒ සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිස දැනුම්වත් කරමින් කටයුතු කරලා තියෙනවා.

දේශපාලනික වෙනස්කම් කරලා තියනවා. නීති ගෙනල්ලා ඒ නීති ක්‍රියාත්මක කරන්නේ නැතුව ඉන්න රජයට අවශ්‍යතාවක් නැහැ. ජනතාව අපේක්ෂා කරපු ඒ සිස්ටම් චේන්ජ් එක තමයි අද මේ කරලා තියෙන්නෙ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division