Home » අයිපීඑල් පිටියේ නොඇසූ කතා

අයිපීඑල් පිටියේ නොඇසූ කතා

by Mahesh Lakehouse
May 18, 2024 12:30 am 0 comment

ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් සැණකෙළිය හඳුන්වනු ලබන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය උඩුයටිකුරු කළ තරගාවලියක් හැටියටය. එය එතෙක් මෙතෙක් ක්‍රිකට් ක්‍රීඩකයන්ට නොතිබූ මූල්‍ය වටිනාකමක් ලබා දුන් තරගාවලියකි. අනිත් අතට ඉතිහාසයේ පෙර නොවූ විරූ අයුරින් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය හා මහත්මාගුණය හැම අතින්ම බිංදුවට ඇද දැමූ තරගාවලියක් බවට බොහෝ විචාරකයන්ගේ සහ හිටපු විශිෂ්ට ක්‍රීඩකයන්ගේ දැඩි විවේචනයට ලක් වූ තරගාවලියක් ද වේ. ෆ්‍රැන්චයිස් තරග ක්ෂේත්‍රය ලොවට හඳුන්වා දුන් අයිපීඑල් තරගාවලිය පිළිබඳ කවුරු කෙසේ කීවද අදටත් ලොව ජනප්‍රියතම තරගාවලිය ද වේ. එහි සුන්දර හා අසුන්දර සිදුවීම් බොහෝය.

ක්‍රිකට් ක්‍රීඩකයන් කණ්ඩායම් හිමිකරුවන්ගේ වහලුන්ද?

සන්රයිස් හයිද්‍රබාද් පිල හමුවේ පසුගියදා ලක්නව් සුපර්ජයන්ට්ස් පිල පරාජය වීමෙන් පසු සුපර්ජයන්ට්ස් පිලේ නායක ලෝකේෂ් රාහුල්ට කණ්ඩායම් හිමිකරු සංජීව් ගොන්කා ප්‍රසිද්ධියේ බැණ වැදීමේ වීඩියෝ පටය සමාජ මාධ්‍යජාලයේ සංසරණය වෙමින් පවතී. ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු වන සංජීව් සිය කණ්ඩායමේ පරාජයෙන් කෝපයට පත්ව නායකයාට බැණ වැදීම එතෙක් මෙතෙක් අයිපීඑල් පිටියේ වඩාත්ම කනගාටුදායක සහ අප්‍රසන්න සිදුවීම ලෙසත් වාර්තා වේ. එය අනික් අතට ජාතික මට්ටමේ ක්‍රීඩකයන් අයිපීඑල් කණ්ඩායම් හිමිකරුවන්ගේ වහලුන් බවට පත්වී සිටීමේ ඛේදනීය තත්ත්වය පෙන්නුම් කළ සිදුවීමක් බවත් ඇතැම් විචාරකයන් සඳහන් කර තිබේ.

ක්‍රීඩාලෝලීන්ගේ ද අප්‍රසාදයට ලක් වූ එම සිදුවීමෙන් පසු කාගෙත් කතාබහට ලක් වූයේ ඉන්දීය ජාතික පිලේ ප්‍රබල පිතිකරුවකු ද වන ලෝකේෂ් රාහුල් සුපර් ජයන්ට්ස් පිලේ නායකත්වයෙන් ඉවත්වනු ඇති බවය. මීට වසර දෙකකට පෙර ඉන්දීය රුපියල් කෝටි 17කට සංජීව් ගොන්කා විසින් ලෝකේෂ් රාහුල් මිල දී ගනු ලැබුවේ දහසක් බලාපොරොත්තු රඳවා තබා ගනිමින් බව සැබෑය. එහෙත් කණ්ඩායමේ අසාර්ථකත්වයට නායකයාට ප්‍රසිද්ධියේ බැණ වැදීම කණ්ඩායම් හිමිකරුවන්ගෙන් සිදු නොවිය යුතු ක්‍රියාවක් බව ක්‍රීඩාලෝලීන්ගේ ද අදහස වී තිබේ.

අශ්වින්ගේ චෙන්නායි වාර්තාව

රවිචන්ද්‍රන් අශ්වින් ඉන්දියාවේ නොම්මර එකේ දඟ පන්දු යවන්නෙකි.චෙන්නායි භූමියේ උපන් මේ විශිෂ්ට පන්දු යවන්නා 2022 සිට ක්‍රීඩා කරන්නේ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමටය. පසුගියදා චෙන්නායි සුපර් කිංග්ස් පිල සමඟ චෙපොක් ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් රාජස්තාන් රෝයල්ස් පිල පරාජයට පත්වූවද, අශ්වින් චෙපොක් ක්‍රීඩාංගණයේදී අයිපීඑල් කඩුලු 50ක් සම්පූර්ණ කළ පළමු පන්දු යවන්නා ලෙස වාර්තාපොතට ඇතුළත් විය.

එකම ක්‍රීඩාංගණයක අයිපීඑල් කඩුලු 50ක් සම්පූර්ණ කළ 6 වැනි පන්දු යවන්නා ද අශ්වින්ය. එම වාර්තා ගොන්නේ පෙරමුණේ පසුවන බටහිර ඉන්දීය කොදෙව් පිලේ සුනිල් නරේන් කොල්කටා නුවර ඊඩ්න් ගාඩ්න්ස් පිටියේ කඩුලු 70ක් දවාලමින් වැඩිම අයිපීඑල් කඩුලු සංඛ්‍යාවක් දවාලූ පන්දු යවන්නාය. ලසිත් මාලිංග මුම්බායි නුවර වන්කඩේ පිටියේදී අයිපීඑල් කඩුලු 68ක් දවාලමින් දෙවැනි තැන පසුවන අතර, තුන්වැනි තැන රැඳී සිටින්නේ නවදිල්ලි නුවර අරූන් ජයිට්ලි පිටියේදි කඩුලු 58ක් දවාලූ අමිත් මිෂ්රා ය. යුස්වෙන්ද්‍ර චාහල් බැංග්ලෝර් නුවර චින්නස්වාමි පිටියේදීත්, ජස්ප්‍රිට් බුම්රා මුම්බායි නුවර වන්කඩේ පිටියේදිත් අයිපීඑල් කඩුලු 52 බැගින් දවාලමින් පිළිවෙළින් සිව්වැනි හා පස්වැනි ස්ථානවල පසුවෙති.

දෝනිට පදක්කමක්

රාජස්තාන් රෝයල්ස් පිලට එරෙහි පසුගියදා කඩුලු 5ක ජයක් ලැබූ චෙන්නායි සුපර් කිංග්ස් පිල අයිපීඑල් තරගාවලියේ මූලික වටයේදී චෙන්නායි නුවර ක්‍රීඩා කළ අන්තිම ලීග් තරගය විය. අයිපීඑල් අවසන් තරග කිහිපය ආසන්නව තිබියදී ප්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි ස්ථානය අත්කරගෙන සිටින චෙන්නායි පිල යළි සිය භූමියේ චෙපොක් ක්‍රීඩාංගණයට පිවිසෙන්නේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නේ නම් පමණි.

මෙවර චෙන්නායි පිල රටුරාජ් ගයික්වාඩ්ගේ නායකත්වයෙන් තරග කළද, කණ්ඩායමේ සාර්ථකත්වය පසුපස අදටත් සිටින්නේ අන් කිසිවකු හෝ නොව හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි ය. රාජස්තාන් රෝයල්ස් තරගයෙන් පසු චෙන්නායි ජනතාව දේවත්වයෙන් පුදන දෝනිට පමණක් නොව සියලු ක්‍රීඩකයන්ට කණ්ඩායමේ හිමිකරුවන් වන ඉන්ඩියා සිමෙන්ට් සමාගමේ එන්. ශ්‍රීනිවාසන් ඇතුළු පවුලේ සාමාජිකයන් පදක්කම් පැලඳවීම කැපී පෙනෙන සිදුවීමක් විය.

රෝහිත් ෂර්මාගේ අයිපීඑල් අනාගතයට අක්රාම්ගෙන් අනාවැකියක්

මෙවර අයිපීඑල් තරගාවලියේ සිදු වූ විශාලතම පෙරළිය වන්නේ චෙන්නායි සුපර් කිංග්ස් පිල සමඟ හරි හරියට කුසලාන 5කට හිමිකම් කියමින් අයිපීඑල් ඉතිහාසයේ සාර්ථකම හා ප්‍රබලතම කණ්ඩායමක් හැටියට පත්ව සිටි මුම්බායි ඉන්ඩියන්ස් පිලට අවසන් වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමි වීමය. කවුරුත් කියන්නේ ඊට හේතු වූයේ කණ්ඩායමේ ලොකුම පිතිහරඹ තුරුම්පුව වන රෝහිත් ෂර්මා ලකුණු අතර නොසිටීම කියා ය. 37 හැවිරිදි මේ පිතිකරුවා තරගාවලිය ආරම්භයේදි පසුවූයේ ප්‍රතිවාදී කණ්ඩායම්වලට අභියෝගාත්මක පිතිකරුවකු හැටියටය. ඔහු මුල් තරගවලදී චෙන්නායි සුපර් කිංග්ස් පිලට එරෙහිව නොදැවී ලකුණු 105ක් රැස් කිරීමට සමත් වූවත්, ඉන් පසුව ලකුණු අතරට පිවිසියේම නැත. පසුගියදා කොල්කටා නයිට් රයිඩර්ස් පිල සමඟ පැවැති තරගයේදී ඔහු දැවී ගියේ ලකුණු 19කටය. ඔහුගේ අවසන් අයිපීඑල් ඉනිම් 7දී ඔහු රැස් කළේ ලකුණු 88ක් පමණි.

පාකිස්තානයේ හිටපු තුන්ඉරියව් ක්‍රීඩක වසීම් අක්රාම් කියන්නේ මීළඟ අයිපීඑල් තරගාවලියේදී රෝහිත් ෂර්මාට මුම්බායි ඉන්ඩියන්ස් පිලේ ස්ථානය අහිමි වනු ඇති බවය.

‘ඊළඟ වතාවේ අපිට රෝහිත් මුම්බායි ටීම් එකේ දකින්න ලැබෙන්නේ නෑ. ඔහු සමහර විට කොල්කටා පිලට ක්‍රීඩා කරාවි.‘ මේ අනාවැකිය රෝහිත් ෂර්මාගේ අයිපීඑල් තරග දිවියට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි විචාරකයෝ කියති.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division