Home » හැම අභියෝගයක්ම ජය ගන්න මට පුළුවන් වුණා

හැම අභියෝගයක්ම ජය ගන්න මට පුළුවන් වුණා

by thanushika
May 18, 2024 12:30 am 0 comment

ආදී ගුවන් නියමුවරියකි. ඇයගේ පෙම්වතා අකිල නීතිඥවරයෙක් වන අතර ආදිගේ නැඟණිය එලීනා ද නීතිඥවරියකි. ආදිගේ හොඳම මිතුරා වන ගුවන් නියමු නිසල්ගේ හදිසි මරණයේ වගකීම ආදිගේ පෙම්වතා මත පැටවෙන අතර, එහි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරිය වන්නේ ආදිගේ නැඟණියයි. බැඳීම් හා නීතිය අතර දෝලනය වන ඔවුන්ගේ කතාව පසිඳු නූපේආරච්චිගේ අධ්‍යක්ෂණයෙන් ආයාචනා නමින් සතියේ දිනවල රාත්‍රී 8ට ස්වාධීන රූපවාහිනියේ විකාශය වේ. ලංකාවේ සැබෑම ගුවන් යානයක ගුවන් නියමු කුටියක් තුළ රූගත කළ එකම ටෙලි නිර්මාණය ලෙස මෙය ටෙලි නාට්‍ය ඉතිහාසයේ සුවිශේෂී සටහනක් වනු ඇත. මියුසික් වීඩියෝ කලාවේ මෙන්ම වෙළෙඳ දැන්වීම් කලාවේ ප්‍රවීණයෙක් වන පසිඳු තම කුලුඳුල් අධ්‍යක්ෂණයේ අත්දැකීම් මෙසේ අප හා බෙදාගත්තේය.


“වසර දහයක් පුරා ඡායාරූපකරණයේ යෙදුණු කෙනෙක් විදිහට මට මියුසික් විඩියෝ කලාවෙ වගේම වෙළෙඳ දැන්වීම්කරණයේත් අත්දැකීම් බහුලයි. මේ වෙද්දි මියුසික් වීඩියෝ දාහකටත් වැඩි ප්‍රමාණයක් නිර්මාණය කරල ඒවා අධ්‍යක්ෂණයේත් මනා පළපුරුද්දක් තියෙනවා. ඒ නිසා මං ක්ෂේත්‍රයට ආධුනික නැහැ. ක්ෂේත්‍රයේ අය මාව හඳුන්වන්නේ පසී කියලා. මේ කාලය පුරා ලබපු අත්දැකීම් සහ දැන හැඳුනුම්කම මත මගේ කුලුඳුල් ටෙලි නිර්මාණයට සම්බන්ධ වෙන්න කිසිම රංගන ශිල්පියෙක් දෙවරක් හිතුවෙ නෑ. ඒ ගැන මට තියෙන්නෙ ලොකු සතුටක්. නිර්මාණය සාර්ථක වෙන්න මේකෙ කාස්ට් එකත් ලොකු හේතුවක් වුණා. තාරුණ්‍යයට වගේම ප්‍රවීණත්වයටත් වැඩි ඉඩක් දුන්නා. ප්‍රධාන චරිත හය දිවෙන්නේ පූජනී භාග්‍යා, මිෂෙල් දිල්හාරා, එමාෂා සෙනෙවිරත්න වගේම චානුක ප්‍රබුද්ධ, සංජය මුරමුදලි, විරාජ් ධනූෂ කියන ජනප්‍රිය චරිත වටා. ඊට අමතරව ක්ලීටස් මෙන්ඩිස්, මීනා කුමාරි, ආනන්ද අතුකෝරළ වගේ ප්‍රවීණයන් පවා මගේ පළමු නිර්මාණයට දායකත්වය ලබාදීම මට ලොකු ගෞරවයක්. ඒ ගැන මට නිහතමානී සතුටක් දැනෙනවා.”

තම සංකල්පය තිරපිටපතක් බවට පත්වි ලස්සන රූප රාමු පෙළකින් නිමවී මාස තුන හතරක් ඇතුළත ස්වාධීන රූපවාහිනී නාළිකාවේ පීක් ටයිම් එකක විකාශයට ලැබුණු අවස්ථාව ගැන ඔහුට තිබුණේ නිම්හිම් නැති සතුටකි.

“මගේ අදහස ටෙලි තිරපිටපතක් බවට පත්කළේ කොඩිගහ යට ලියා හොඳම තිර පිටපතට සම්මානිත වුණු අරුණ ප්‍රේමරත්න. මුලින්ම සිනමා නිර්මාණයක් කිරීමේ ඕනකම තිබුණත් යන වියදම ගැනත් හිතලා අමිල වාරියපොළගේ හමුවීමත් එක්ක ඔහුගේ නිෂ්පාදන දායකත්වයෙන් ටෙලි නිර්මාණයක් කරන්න තීරණය කළා. අධ්‍යක්ෂණය වගේම මුල් ෂෙඩියුල් එකේ කැමරා අධ්‍යක්ෂණය කළෙත් මම. විෂුවල් බියුටි කියන එක මට හොඳටම ඕන. විනාඩි තුනක මියුසික් වීඩියෝ එකක වුණත් තත්පර ගාණක ප්‍රේම් එක පවා මං ගොඩක් ලස්සන කරනවා. ටෙලි නාට්‍යවල ලොකු කාලයක් තිබුණත් ගොඩක් දෙනා ඒක කරනව අඩුයි. ඒත් මං ඒ දේ කරනවා. කැමරා අධ්‍යක්ෂණය මට නුහුරු දෙයක් නොවුණත් අධ්‍යක්ෂණයත් එක්ක යද්දි රංගන ශිල්පීන් එක්ක ගැටෙන්න තියෙන කාලය මදිකම නිසා පසුකාලීනව මගේ සෙන්ස් එකටම ගැළපෙන මංජුල පත්මකුමාර යොදාගත්තා. ශාන් අල්විස් වගේ පළපුරුදු එඩිටර් කෙනෙක් හමුවීමත් සතුටක්. ස්වාධීන රූපවාහිනී නාළිකාවට ටෙලි නිර්මාණයේ මුල් ෂෙඩියුල් එක භාර දෙද්දි නිර්මාණයේ විෂුවල් බියුටි එක ගැන ඔවුන් විශේෂයෙන්ම කතා කළා. රාත්‍රී 8 ටයිම් බෙල්ට් එක ලැබුණෙත් ඒ විෂුවල් බියුටි එක නිසා කියලයි මට හිතෙන්නේ. ස්වාධීන රූපවාහිනියේ වත්මන් සභාපතිතුමා පවා මීළඟ හිට් එක මේක වේවි කියන මතය පළ කරල තිබුණා. ඔහුට මගේ ගෞරවය පුදකරන්නත් මං මේක අවස්ථාවක් කර ගන්නවා. තාරුණ්‍යය ගැන ඔහුට හොඳ සෙන්ස් එකක් තියෙනවා. ඇත්තටම ඔහු නොහිටින්න මගේ ගමන එතැනින්ම නතර වෙන්නත් තිබුණා. ස්වාධීන රූපවාහිනී නාළිකාව වගේ රටේ අංක එකේ නාළිකාවක රාත්‍රී 8 ටයිම් බෙල්ට් එක ලැබෙනව කියන්නෙම ලොකු ජයග්‍රහණයක්.”

විශාල පිරිවැයක් දරා නිර්මාණයක් කිරීමෙන් ඵලක් නැති බව බොහෝ දෙනා පවසද්දීත් සිය කැමැත්තට අනුව යමින් සාර්ථක නිර්මාණයක් බිහිකිරීමේ සතුට ඔහු අද භුක්ති විඳිමින් සිටියි.

“ප්‍රධාන වශයෙන් ගුවන් නියමුවකු වටා දිවෙන කතාවක් නිසා අපි මෙතැනදි නීත්‍යනුකූල විදිහට සැබෑම ගුවන් යානයක ගුවන් නියමු කුටියක් යොදාගත්තා. සාම්ප්‍රදායික මතවලම එල්ලීගෙන ඉන්න ප්‍රඩක්ෂන් එකේ සමහර අය නිසා සමහර තැන්වලදි මේක අතෑරල දාන්නත් හිතුණා. ඒ හැම තැනදිම ‘නෑ අපි කොහොම හරි කරමු’ කියල මාව දිරිමත් කළේ මට සහෝදරයො ටිකක් වුණු තරුණ රංගන ශිල්පීන්. එක පවුලක් වගේ ඔවුන් හය දෙනා මගෙත් එක්ක හිටියා. ඒක මට ලොකු ශක්තියක් වුණා. ගොඩක් අය කිව්වේ ලොකු වියදමක් දරලා මේ වගේ නිර්මාණයක් කරලා පාඩු විඳින්න වෙයි කියලා. නාළිකාවකට දීගන්නත් බැරිවෙයි කිව්වා. ඒත් ඒ හැම අභියෝගයක්ම ජය ගන්න මට පුළුවන් වුණා. සමහර නාළිකා බය වුණා මෙතරම් පිරිවැයක් දරාගන්න බැරි වෙයි කියලා. ඒත් ස්වාධීන රූපවාහිනී සේවය මාව අතෑරියේ නෑ. ඔවුන් නිතරම මගේ පසුපස හිටියා. විෂුවල් බියුටි එක තව තවත් ඩිවෙලොප් කරගන්න මාව දිරිමත් කළා. භාරදීල මාස තුන හතරක් ඇතුළත ඔවුන් මට විකාශය කරන දිනය වෙලාව ලබා දුන්නා.”

රංගනයට ආරාධනා ලැබූ සියලුම ශිල්පීන් තම දායකත්වය ලබාදෙන්නට දෙවරක් නොසිතාම කැමැත්ත පළ කරමින් ලබාදුන් සහයෝගය ගැන සිහිපත් කරන්නත් පසිඳු අමතක කළේ නැහැ.

“මං ටෙලි අධ්‍යක්ෂණයට ආධුනික වුණාට කැමරා අධ්‍යක්ෂණයට වසර 10කටත් වඩා පළපුරුද්දක් තියෙනවා. ඒ නිසාම ක්ෂේත්‍රයේ හැමෝම මාව දන්නවා. තිර රචනය කරද්දිම කාස්ට් එක ගැන මගේ ඔළුවෙ තිබුණා. විශේෂයෙන්ම මෙහි රංගන ශිල්පීන් ගැන විශේෂයෙන්ම කතා කළ යුතුයි. ආරාධනා කළ කිසිම කෙනෙක් මෙයා අලුත් කියල ප්‍රතික්ෂේප කළේ නෑ. වෙන කිසිම වැඩකට නැති තරම් උනන්දුවකින් ඔවුන් මේ නාට්‍ය ප්‍රමෝට් කරන්න වෙහෙසුණා. ඒක මට ලොකු සතුටක්. ප්‍රඩක්ෂන් එකේ තිබුණු ගැටලු ඇරුණම රංගන ශිල්පීන්ගේ උනන්දුව සහ ආදරය මට ලොකු ශක්තියක් වුණා. එයාල මං ආපු දුර ගැන මටත් වඩා සතුටු වෙනවා. නිර්මාණකරුවකුගේ සතුට තියෙන්නෙ මුදල්වල නෙවෙයි ආත්ම තෘප්තිය ලැබෙන තැන. මං අද ඒ දේ නොඅඩුව ලබනවා.”

නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division