අන්තර්ජාලය පරිශීලනය කරන ඇතැම් ළාබාල සිසුවියන්, තරුණියන්, තරුණ කාන්තාවන් ජාලයේ සැරිසරන සමහර සංවිධානාත්මක පුද්ගලයන්ගේ අතවරයට කරදරයට හිරිහැරයට ලක්වන පුවත් පසුගියදා දිගින් දිගටම මාධ්‍ය මඟින් අසන්නට දකින්නට ලැබිණි.
විශේෂයෙන් ෆේස්බුක් ඔස්සේ එන ඇතැම් සංවිධානාත්මක පුද්ගලයන් ළාබාල සිසුවියන් සමඟ පෙම් සබඳතා පවත්වා එම සිසුවියන් අපයෝජනය කළ අවස්ථා ද පසුගිය කාලයේ දිගින් දිගටම වාර්තා වීම ද සුවිශේෂී සිදුවීමකි.
මේ ගැන කොතරම් දැනුම්වත් කළද අන්තර්ජාලයේ සැරිසරන ඉතා සූක්ෂ්මව කටයුතු කරන පුද්ගලයන් අසරණ අහිංසක සිසුවියන් යුවතියන් රවටා ඔවුන් ඇතැම් අවස්ථාවල නිවෙස්වලින් ද පවා රැගෙන ගොස් අපයෝජනයට ලක්කළ අවස්ථා පසුගිය කාලයේ මාධ්‍ය මඟින් අනාවරණය කැරිණි. බණ්ඩාරවෙල ළාබාල සිසුවියක් ෆේස්බුක් ඔස්සේ දැන හඳුනාගෙන ඇය සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගත් පුද්ගලයකු ඇය කොළඹට ගෙන ගොස් නවාතැන්පළකදී අතවර කිරීම මෙහි ආසන්නම සිද්ධියයි.
පසුව මේ පුද්ගලයා අල්ලා ගැනීමට බණ්ඩාරවෙල පොලිසිය සිදුකරන ලද විමර්ශනයේදී ඔහු පොලිස් දැලට හසුවන්නේ පොලිස් කාන්තාවක විසින් අටවන ලද උගුලකට හසුවීමෙනි. ඒ බළන්ගොඩ නගරයේදීය.
මේ හා සමානම සිද්ධියක් පසුගියදා වාර්තා වූයේ පාදුක්ක පොලිසියෙනි. මේ අනූවේදනීය කතාව පෙළ ගැසෙන්නේ මෙසේය.
අවිස්සාවේල්ල, තිත්තපත්තර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 12යි මාස 5ක් වයසැති දැරියක් මවගේ ජංගම දුරකතනයෙන් සමාජ මාධ්‍ය ජාලා පරිශීලනය කළාය. ඒ ගැන ඇයට වැඩි දැනුමක් නැතත් පාසල් වයසේ මේ දැරියගේ මිතුරු මිතුරියන් ද ජංගම දුරකතනවලින් සමාජ මාධ්‍ය ජාලා පරිශීලනය කරන හැටි කලින් දැන ඇති ඇය ඒ ගැන යම් හැකියාවක් ලැබ සිටියාය.
මෙසේ මවගේ ජංගම දුරකතනයෙන් සමාජ මාධ්‍ය ජාලා දිගින් දිගටම පරිශීලනය කරන මේ සිසුවිය ඉන් තරුණයකු දැන හැඳින ගත්තාය. තරුණයාගේ වයස 23කි. ඔහු හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මේ දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් ඇතිවීමට වැඩිකල් ගියේ නැත. දෙදෙනාට දෙදෙනා හමුවීමට අවශ්‍යතාව ඇතිවිය. දැරිය තරුණයා හමුවීමට අවිස්සාවේල්ලේ තිත්තපත්තර සිට හොරණට යාමට සූදානම් වූවාය. මේ බව ඇගේ නිවසේ කිසිවෙක් දැන සිටියේ ද නැත.
දැරිය අවිස්සාවේල්ලේ සිට දිගු වේලාවක් ගතකර හොරණට ගියද ඇගේ ෆේස්බුක් පෙම්වතා එහි පැමිණ සිටියේ නැත. දැරියට ඔහු හමු නොවීය. ඇය නැවත නිවෙස බලා පැමිණීමට තීරණය කළාය.
දැරිය හොරණ සිට පාදුක්කට ඒමට බසයකට ගොඩ වූවාය. පාදුක්කේ සිට අවිස්සාවේල්ලට පැමිණීම සඳහා ඇය ගොඩවන්නේ හංවැල්ල බසයකටය. හංවැල්ලට පැමිණ එතැනින් අවිස්සාවේල්ල බසයක නැඟී ගමට එන්නට ඇය සිතා සිටියද සිදු වූයේ අනෙකකි.
පාදුක්කේ සිට හංවැල්ල බලා එන බසයේ ගමන් කරමින් සිටි මේ දැරියට එහි ගමන් කළ තරුණයෙක් හමුවිය. ඔහු තුන්නානේ කර්මාන්ත ශාලාවක සේවකයෙකි. ඔහු රාත්‍රී සේවය නිමකර බෝඩිමට යාම සඳහා මේ බසයේ ගමන් කරමින් සිටියේය. දැරිය දෙස බැලූ මේ තරුණයා ඇය කුමක් හෝ කරදරයකට දුකකට පත්ව සිටින බව දැනගන්නේ ඉතා සූක්ෂ්මවය. තමා මුහුණපෑ සිද්ධිය දැරිය මේ තරුණයාට කීවාය. කපටි තරුණයා ඇය රවටා බසයෙන් බස්සාගෙන තමාගේ බෝඩිමට ගෙන ගියේ බෝඩිමේ අයට ඇය පෙන්වා මේ තමා කසාද බඳින්නට සිටින යුවතිය බව සඳහන් කරමිනි. බෝඩිමේ අයිතිකරුවන්ට මේ දැරියගේ වයස පිළිබඳ සැකයක් ඇති වුවද තරුණයා ඔවුන්ට කියන්නේ මේ දැරිය වයස අවුරුදු 18 සම්පූර්ණ කර ඇති බවකි.
එදා රාත්‍රියේ දැරිය මේ කපටියා අතින් කෙලෙසිනි. පහුවදා උදෑසන අවදි වූ දැරිය නිවෙසට යෑමට සූදානම් වූවාය. තමා ගමේ යන නිසා හංවැල්ලට පැමිණ දැරිය බසයකට නැංවිය නොහැකි බව කී තරුණයා ත්‍රිරෝද රියක් ගෙන්වා මේ දැරිය හංවැල්ලට ගෙන ගොස් අවිස්සාවේල්ල බසයකට නංවන ලෙස රියැදුරාගෙන් ඉල්ලීමක් කෙළේය. එම ඉල්ලීම පිළිගත් රියැදුරු දැරිය ත්‍රිරෝද රථයට නංවාගෙන හංවැල්ල බලා පිටත් විය.
එසේ යන අතරේ ත්‍රිරෝද රථයේ රියැදුරු දැරිය සමඟ කතාබහ කරන්නේ එම දැරිය කිසියම් කරදරයකට මුහුණපා ඇති බව ඇගේ මුහුණෙන් පෙනෙන්නට තිබුණ නිසාය. ත්‍රිරෝද රථ රියැදුරු ද කපටියෙකි. ඔහු දැරිය ත්‍රිරෝද රථයෙන් තම නිවෙසට ගෙන ගියේය. දැරිය ත්‍රිරෝද රියැදුරා අතින් ද එම නිවසේදී කෙලෙසිනි.
හංවැල්ලෙන් අවිස්සාවේල්ල බසයකට ගොඩවූ දැරිය තිත්තපත්තර නිවසට ගොස් තමන් මුහුණපෑ සිද්ධිය අකුරක් නෑර නිවසේ අයට කීවාය. මව දැරිය කැටුව පාදුක්ක පොලිසියට පැමිණ සිද්ධිය පැමිණිලි කරන්නේ අනතුරුවය.
දැරියගේ ප්‍රකාශයට අනුව බුද්ධි නිලධාරින් ද යොදාගෙන පාදුක්ක පොලිසිය සිදුකරන ලද විමර්ශනයේදී ප්‍රධාන සැකකරු වන ඇඟලුම්හලේ සේවකයා ගැන තොරතුරු හෙළි විය. ඒ වන විටත් ඔහු මිදේදනිය, ජූලම්පිටිය ප්‍රදේශයට ගොස් සිටියේය. එහි ගිය පාදුක්ක පොලිසියේ නිලධරයෝ මිද්දෙනිය පොලිසියේ නිලධරයන්ගේ ද සහායෙන් සැකකරු අත්අඩංගුවට ගන්නා ලදි. දැරියට අතවර කළ ත්‍රිරෝද රථ රියැදුරු ද සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කැරිණි.
පාදුක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනානායක, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයසිංහ, සැරයන් 42946 සමන්කුමාර, 31353 චමින්ද, 92513 මධුෂංක, 83911 පෙරේරා යන නිලධාරින් වැඩිදුර විමර්ශන සිදු කළහ.
දීපාල් සමරසේකර