අපරාධ සිදු කරන බොහෝ පුද්ගලයන්ගේ චර්යා නිරීක්ෂණයේදී පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ ඒ ඒ අපරාධකරුවන් තමන්ටම අනන්‍යවූ අපරාධ සිදු කිරීම සඳහා පෙළඹී සිටීමයි. පොලිසිය විසින් පසුගිය දිනවල අල්ලාගත් මාල කඩන පුද්ගලයින් සම්බන්ධව සිදු කරන ලද විමර්ශනවලදී හෙළි වූයේ ඔවුන්ගේ ජීවන වෘත්තිය මාල කැඩීම පමණක් බවය. පොකට් ගසන, රෑට පමණක් ගෙවල් බිඳින සංවිධානාත්මක අපරාධ පමණක් සිදු කරන මත්ද්‍රව්‍ය ජාවාරම්වල පමණක් යෙදෙන කුලී ඝාතන පමණක් සිදු කරන, ගෙවල් බිඳුම් සිදු කරද්දී ජනේලවලින් පමණක් ඇතුළුවී බඩුබාහිරාදිය සොරකම් කරන එසේම රන් සහ මුදල් පමණක් සොරාගන්නා අපරාධකරුවන් එමට සිටිති. ඔවුන් ඔවුන්ටම හුරුපුරුදු වූ ආවේණික වූ අපරාධ සිදු කරන අය බව පොලිසියේ මතයයි.
එවැනි අපරාධ සිදු කරන ගොන්නට තවත් පිරිසක් එකතු වන්නේ පසුගියදාය. ඒ වලපනේ සහ පිළියන්දල ප්‍රදේශවලිනි. මේ පොලිස්බල ප්‍රදේශ දෙකෙන් අල්ලාගන්නා ලද පුද්ගලයන් පස්දෙනා ද සුවිශේෂී සොරකමක නිරත වූවෝය. ඒ රාත්‍රී කාලයට මහමඟ අයිනේ නතර කර යන රථවාහනවල බැටරි ගලවා විකිණීමයි.
මෙහි මුල් සිද්ධිය වාර්තා වන්නේ වලපනේ මූලස්ථාන පොලිසියෙනි.
වලපනේ – මහනුවර මාර්ගය අයිනේ රාත්‍රී කාලයේ නවතා තිබුණු මගී බසයක බැටරි දෙකක් කවුරුන් හෝ ගලවාගෙන ගොස් තිබුණේ පසුගිය දිනෙකය. බැටරි ගලවාගෙන තිබුණේ රාත්‍රී කාලයේය. බැටරි දෙක නැති බව දැනගත් බස් හිමියා වලපනේ පොලිසියට මේ ගැන පැමිණිලි කළේය. එසේ ගලවාගෙන යන ලද බැටරි දෙකේ වටිනාකම රුපියල් එක්ලක්ෂ හතළිස් හයදහසක් පමණ විය.
බස් හිමියා කළ පැමිණිල්ලට අනුව වලපනේ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධරයෝ විමර්ශන ආරම්භ කළහ. මහමඟ අයිනේ පිහිටි වෙළෙඳසල් සහ නිවාසවල සවිකර තිබුණ සී.සී.ටී.වී කැමරා දර්ශන පොලිස් නිලධාරීන් විසින් ඉතා සියුම්ව නිරීක්ෂණය කරන්නේ ඔය අතරය.
අදාළ බසයේ බැටරි දෙක කවුරු හෝ ගලවා ගත් දින මහ රෑ වලපනේ මහනුවර මාර්ගයේ ධාවනය වුණ අළු පැහැති ඩබල් කැබ් රථයක් පිළිබඳව පොලිසියේ සැකය ඇති විය. පොලිසිය එම ඩබල් කැබ් රථය පිළිබඳ කිසියම් හෝඩුවාවක් සොයා ගැනීමට උත්සාහ කරන්නේ ඉන් අනතුරුවය. මෙසේ ඩබල් කැබ් රථය පිළිබඳව විමර්ශනය කරන වලපනේ පොලිස් ස්ථානාධිපතිවරයා සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඇතුළු කණ්ඩායම සොයාගන්නේ එම කැබ් රථය මහනුවර – කටුගස්තොට වාහන කුලියට දෙන ස්ථානයකට අයත් එකක් බවය. පොලිස් නිලධාරීන් එහි යන්නේ වැඩිදුර තොරතුරු සොයා ගැනීම පිණිසය.
අදාළ වාහන කුලියට දෙන ආයතනයට ගිය පොලිස් නිලධරයන් එම ඩබල් කැබ් රථය කුලියට ගත් පුද්ගලයා ගැන තොරතුරු ලබාගෙන ඔහු සොයා ඊළඟ විමර්ශනය ආරම්භ කරන්නේ එම පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීම සඳහාය. ඩබල් කැබ් රථය කුලියට ගත් පුද්ගලයා මැණික්හින්න ප්‍රදේශයේදී අල්ලා ගන්නා පොලිස් නිලධරයෝ ඒ වන විටත් සඟවා තිබුණු ඩබල් කැබ් රථය ද සොයාගන්නේ සිදු කරන ලද විමර්ශනයේදීය.
එම සැකකරුගෙන් ලබාගත් තොරතුරුවලට අනුව පුද්ගලයන් සිවුදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට වලපනේ පොලිස් නිලධාරීන්ට හැකිවිය. ඔවුහු මාතර, කටුවන, මැණික්හින්න සහ පාදුක්ක ප්‍රදේශවල පදිංචිකරුවන් බව හෙළි විය.
මෙම පුද්ගලයන් සිවුදෙනාගෙන් පොලිසිය ප්‍රශ්න කරන්නේ ඉන් අනතුරුවය. එම සැකකරුවන් දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරන ලද ජාවාරමක් වලපනේ පොලිස් නිලධාරීන් විසින් හෙළිකර ගන්නේ ඒ අනුවය.
මේ කල්ලිය ගම්පොළ, තලාතුඔය, වලපනේ, ගලගෙදර සහ අලදෙණිය පොලිස් වසම්වලදී මාර්ග අයිනේ මහ රෑ නතර කර තිබෙන මගී බස්වලින් බැටරි ගලවා අඩු මිලට විකුණා ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි විය. එසේ සොරකම් කරන ලද බැටරි 13ක් නාරම්මල, කුරුණෑගල, දංකොටුව සහ පොල්ගහවෙල ප්‍රදේශවල පුද්ගලයන්ට විකුණා ඇති බව අනාවරණය විය. මෙම කල්ලිය එසේ බැටරි සොරකම් කිරීම සඳහා රාත්‍රී කාලයට ගමන් කිරීම සඳහා යොදාගෙන ඇත්තේ කුලි පදනම මත ලබාගන්නා ලද ඩබල් කැබ් රථයකි. මේ සැකකරුවන් සිවුදෙනා අවුරුදු 19 – 24 අතර වයස්වල පසුවන්නෝ වෙති. සැකකරුවන් වලපනේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, නුවරඑළිය දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක, නුවරඑළිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මන, වලපනේ සහකාර පොලිස් අධිකාරි අනුර බණ්ඩාර නවරත්න යන නිලධාරීන්ගේ උපදෙස් මත වලපනේ වැඩබලන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර සුගතදාස, උප පරීක්ෂක සුගතදාස, අපරාධ විමර්ශන අංශයේ වැඩබලන ස්ථානාධිපති සැරයන් (46045) කුමාරදාස, විශේෂ කාර්යාංශයේ සැරයන් (35486) බණ්ඩාර, පොලිස් සැරයන් (25663) රාජනායක යන නිලධාරීහු මේ සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කළහ.
මේ අතර මේ විදියටම මහමඟ අයිනේ නවත්වා යන රථවාහනවල බැටරි රාත්‍රී කාලයේ ගලවාගෙන අඩු මිලට ඒවා විකුණා එම මුදල්වලින් හෙරොයින්, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය පානය කිරීමට පෙළඹී සිටි හිටපු පොලිස් කොස්තාපල් රියැදුරුවරයකු පිළියන්දල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබිය. සැකකාර හිටපු කොස්තාපල් සොරකම් කර අලෙවි කර තිබුණු රුපියල් ලක්ෂ 6ක් පමණ වටිනා බැටරි 7ක් ද සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි විය. සැකකරු සතුව තිබුණු හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5120ක ප්‍රමාණයක් ද සොයා ගැනිණි. 36 හැවිරිදි සැකකරු පොලිස් සේවයෙන් ඉවත්ව ගොස් සිටියේ 2018 වසරේදීය. වසර 10ක් පමණ ඔහු පොලිස් කොස්තාපල් රියැදුරු ලෙස සේවයේ නිරතව සිට ඇති බව විමර්ශනවලදී හෙළි විය.
මෙම සැකකරු 2024 පෙබරවාරියේ සිට මේ දක්වා බැටරි සොරකම් 5ක් සිදුකර තිබුණි. ලොරි සහ ඩබල් කැබ් රථවල බැටරි මෙම සැකකරු විසින් ගලවාගෙන ගොස් කොහුවල කිසියම් ස්ථානයකට ඒවා අඩු මිලට අලෙවි කර තිබුණ බවද විමර්ශනවලදී අනාවරණය විය.
පිළියන්දල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගමගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව අලුත්ගෙදර, කොස්තාපල් නෙතුල් තුෂාන්ත යන නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරති.
දීපාල් සමරසේකර