ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මැයි 19 වැනිදා ඉරානය සහ අසර්බයිජාන් ජනරජය අතර දේශ සීමාව අාසන්නයේ ඉදි කළ වේල්ලක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වී සිටියේය. එම වේල්ල විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඇතුළු පිරිස ආපසු පැමිණෙමින් සිටියදී ඔහු ගමන් ගත් හෙලිකොප්ටරය වර්සාකාන් ප්‍රදේශයට ගොඩබෑමට ගොස් අතුරුදන්ව තිබුණි.
එරට සියලු ආරක්ෂක අංශ විසින් මහත් පරිශ්‍රමයකින් අනතුරුව එම ස්ථානය හඳුණාගන්නා ලදී. එම ස්ථානය පරීක්ෂා කිරීමේදී තහවුරු වූයේ ඊබ්‍රහිම් රයිසි ජනාධිපතිවරයා, ඉරාන විදේශ අමාත්‍යවරයා සහ එහි ගමන් ගත් ගුවන්යානය මගීන් සමඟ අලු ගොඩක් බවට පත්ව තිබිණි. එහිදී ජනාධිපතිවරයා සහ සෙසු පිරිස මියගොස් ඇති බව තහවුරු විය. මේ ප්‍රවෘත්තිය ලොවපුරා මාධ්‍ය මඟින් ප්‍රචාරය වීමත් සමඟ මෙරටේ ගයිඳු පුතු බොහෝ සෙයින් සංවේගයට පත් විය.ඒ සංවේගයට හේතුව වන්නේ ඉකුත් අප්‍රේල් 24 වැනිදා ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මත්තල ගුවන්තොටුපොළේදී සිංහල ක්‍රමයට බුලත් අතක් දී ආයුබෝවන් කියා පිළිගත්තේ මේ ගයිඳු කිත්නද පුතා විසින් වීමය.
සිළුමිණේ අපි ගයිඳු සොයා ඔහු වෙසෙන ඇඹිලිපිටිය නව නගරයේ ඔහුගේ නිෙවසට පසුගිය දිනෙක ගියෙමු. අප ඔහුගේ නිෙවසට ගොඩවන විට පියා රැකියාවට ගොස් සිටි අතර මව සොහොයුරෝ දෙදෙනාත් සහ මිත්තණියත් නිෙවසේ වූහ. ඉතාම සුන්දර සිනහවකින් අප පිළිගත් ගයිඳු කිත්නද කතාවට මුලපිරුවේ මෙලෙසිනි.
“තාත්තා මේ පිළිගැනීමේ උත්සවයට දවස් දෙකකට කලින් මට මෙහෙම උත්සවයක් තියෙන බව කිව්වා. ඒත් ඒ පිළිගන්නෙ කාවද කියලා මං දැනගෙන හිටියේ නැහැ. ඊට පස්සේ දවසේ ඔයා පිළිගන්න යන්නෙ ඉරාන රටේ ජනාධිපතිවරයා කියලා කිව්වාම මට ලොකු සතුටක් දැනුණා. මට තිබුණේ ඉරාන ජනාධිපතිතුමා මත්තල එයාපොර්ට් එකට ආවම ෆ්ලයිට් එකෙන් බහින කොට බුලත් අතක් දීලා සිංහල ක්‍රමයට ආයුබෝවන් කියල වැඳලා පිළිගන්නයි.
එදා මං ඒ විදිහට බුලත් අතක් දීලා වැඳ ආයුබෝවන් කියලා එතුමව පිළිගත්තා. ඒත් මං කොයිම මෙහොතකවත් හිතුවෙ නෑ මං බුලත් අත දීලා ආයුබෝවන් කිව්වම එතුමා මගේ ඔළුව අතගාලා නළල සිපගනී කියලා. එදා එතුමා ඒ විදිහට මගේ නළල සිපගනිද්දි මට හරිම ආඩම්බයක් දැනුණා, ඒ වගේම හරිම ආදරණීය බවක් දැනුණා. ඒක හරි හැඟීම්බර මොහොතක්. ඒ වෙලාවේ ඉරාන ජනාධිපතිතුමා එයාගෙ භාෂාවෙන් මට ආශීර්වාද කළා. ඒ කියපු දේ මට තේරුනේ නැහැ. ඒක හරිම අමුතු භාෂාවක්. ඒ කියපු දේ මොකක්ද කියල අදටත් මම දන්නෙ නැහැ. මට ඒක ට්‍රන්ස්ලේට් කරලා දෙන්න කෙනෙක් එතන හිටියෙත් නැහැ. හැම දේම ඉක්මනට සිදු වුණා. නමුත් ඒ කියපු දේ හරිම ආදරනිය විදිහට කිව්ව නිසා මට දැනුණා ඒ ආශිර්වාදයක් කළේ කියලා.
මං පාසල් ගියාම මගේ පන්තියේ යාළුවෝ මාව වටකරගෙන හුඟක් දේවල් ඇහුව්වා. ඒ අය මට ලැබුණු අවස්ථාව ගැන හරි උනන්දුවෙන් වගේම හරි කැමැත්තෙන් කතා කළා. ඒත් මෙහෙම දෙයක් හදිසියේ කරන්න වුණා කියලා මං ඉගෙන ගන්න ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ විද්‍යාලයවත් විදුහල්පතිතුමියවත් පන්තිභාර ගුරුතුමියවත් දැනගෙන හිටියෙ නැහැ. මොකද ඒක එතුමගේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් නිසා. මේ ගැන කාටවත්ම දැන ගන්න තියන්න එපා කියලා මට තාත්තා කියල තිබුණා. ඒ නිසා මං ඒ ගැන කාටවත් කියන්න ගියේ නැහැ. මේ උත්සවය ටීවී එකෙන් බලපු මගේ යාළුවෝ මං ඉන්නව දැකලා ගොඩක් සතුටුවෙලා තිබුණා. අපේ නෑදෑයන් පවා ඒක දැකලා ඒ ගැන හරිම සන්තෝසෙන් කතා කළා. ඒ වගේ රාජ්‍ය නායකයෙක් පිළිගන්න ලැබෙන එක වාසනාවක් කියල ඒ අය කිව්වා. පුතා හරිම මං හරිම වාසනාවන්තයෙක් කියලා මගේ නැන්දා කිව්වා.
ඉරාන ජනාධිපතිවරයා අනතුරට පත් වෙලා දවස් දෙකකින් විතර තමයි එතුමා මියගිහින් බව ගොඩක් දෙනෙක් හරියටම දැනගෙන තිබුණේ. එදා සඳුදා දවසක් නිසා මං ඉස්කොලේ ගිහින් හිටියේ. ඉතින් මං ඒ ගැන දැනගෙන හිටියේ නැහැ. මං ගෙදර ආවම ආච්චි අම්මා; මගේ තාත්තගෙ අම්මා මට කතා කරලා කිව්වා; පුතේ ඔයා මත්තල එයාර්පෝට් එකේදි මල්මාලා දාලා පිළිගත්ත ඉරාන ජනාධිපතිතුමා එතුමා ගමන් කළ හෙලිකොප්ටර් එක අනතුරකට ලක් වෙලා එතුමා මියගිහින් කියලා. මට පුදුම දුකක් ඒ වෙලාවේ ඇති වුණා. එතුමා මත්තල එයාපොර්ට් එකේදී මගේ ඔළුව අතගාල මගේ නළල ආදරෙන් සිපගත්ත හැටි මට මතක් වුණා. ඇයි ඒ වගේ කෙනෙක්ට එහෙම වුණේ කියලා මම දුක්වුණා. මටත් නොදැනීම මගේ ඇස්වලට කඳුළු ආවා. මං අපේ ආගමේ විදිහට හිතින් එතුමට නිවන් සුව ප්‍රාර්ථනා කළා” ගයිඳු දිගු සුසුමකින් කතාව අවසන් කළේය.
අපි ගයිඳු පුතුගේ කතාව වෙනතකට යොමු කළෙමු. ගයිඳු ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ විද්‍යාලයේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. සහෝදරයින් දෙදෙනකුගෙන් යුත් පවුලේ දෙවැනියා වන්නේ ගයිඳු කිත්නදය. ඔහුට වැඩිමහල් සොහොයුරු යොනාල් සිත්නද 08 වන වසරේ ඉගෙනුම ලබයි. බාල සොහොයුරු රිතිර නිම්නද තෙවන වසරේ ඉගෙනුම ලබයි. මවුපියෝ වෘත්තිය කටයුතුවල නියැලෙති. ගයිඳු ඇතුළු සහෝදරයන් දෙදෙනාගේ බොහෝ මෙහෙවර සිදු කෙරෙන්නේ මිත්තණිය අතිනි.
ඇය නමින් ප්‍රේමා ජයසේකරය. “ දරු පැටවු තුන්දෙනා මට හරිම ආදරෙයි. මාත් ඒ අයට පණ වගේ ආදරෙහි. එයාලා ඉස්කොලේ ගියාම වුණත් ඒ අය එනකම් මං මඟ බලාගෙන ඉන්නේ. තුන්දෙනා පාසල් ඇරිලා ආවම ඇඟපත සෝදගෙන මට කියලා කෑම කවාගෙන සෙල්ලම් කරනවා. පාඩම් වැඩ කරද්දි මගෙන් ඇවිත් අහනවා. තුන්දෙනාම ඉගෙනුමට දක්ෂයි. මගේ තුරුළේ තමයි තුන්දෙනාම ඉන්නේ. ඉරාන ජනාධිපති රයිසි නැති වුණ බව මම දැක්කා ප්‍රවෘත්තිවලට කියනවා. මම පොඩී පුතාට කිව්වම එයා ගොඩක් දුක් වුණා. එයාගේ ඇස්වලින් කඳුළි එනවා මං දැක්කා. ඒක දැකලා මගේ ඇස්දෙකටත් කඳුළු ආවා. පුතා හිතන්න නැතුව ඇති මේවගේ දෙයක් එතුමාට හදිසියේ වෙයි කියලා ඇය කීවාය.
“මං පාසලේ විෂයන්වලින් කැමතිම විෂය ගණිතය. මං 2023 වසරේ ශිෂ්‍යත්වයෙන් ලකුණු 153ක් ලබාගත්තා. මං ඉලෙක්ට්‍රික් ඉංජිනියර් කෙනෙක් වෙන්න ආසයි. මට ඕන ඉලෙක්ට්‍රොනික් අංශයෙන් ඉදිරියට යන්න. ඒ වගෙම මං ඉංග්‍රීසි විෂයටත් නැටුම් විෂයටත් කැමතියි. අවසන් වශයෙන් ගයිඳු සිළුමිණට පැවසුවේය.
රසික කොටුදුරගේ