මුහුණුපොතේ ගැවසෙන සංවිධානාත්මක පුද්ගලයන් විසින් සිදුකරන වංචනික ක්‍රියා, අපරාධ ගැන මාධ්‍ය දිනෙන් දින වාර්තා කරන අයුරු පෙනෙන්නට ඇත. මේ සංවිධානාත්මක කල්ලි කණ්ඩායම් මුහුණු පොතේ ‘තපස්’ වෙස්ගෙන සිටියද ඔවුන් සිදුකරන අපරාධවල ප්‍රමාණය නම් අතිවිශාලය.
මුහුණුපොතේ ගැවසෙන මෙවැනි වංචනික කල්ලි කණ්ඩායම් බොහෝ විට සිදු කරන්නේ මුහුණුපොත ඔස්සේ ඔවුන්ට හමුවන අහිංසක අසරණ පිරිමින්, කාන්තාවන්, සමහරවිට ශිෂ්‍ය ශිෂ්‍යාවන් පවා අමාරුවේ දැමීමය. වැඩි සංඛ්‍යාවක් අතවර කරදර මුහුණුපොත ඔස්සේ සිදුවී ඇත්තේ කතුන් සහ යුවතියන්ටය.
මේ අතර මුහුණුපොතින් හමුවන පුද්ගලයන් ඉතාම සූක්ෂ්මව රවටා ඔවුන් සතු මිල මුදල් ඇතුළු වටිනා දේපළ පැහැරගෙන යන සංවිධානාත්මක කල්ලි කණ්ඩායම් ද මුහුණු පොතේ අන්තර්ජාලයේ දිනපතා ගැවසෙමින් ගොදුරු සොයන අයුරු නොදන්නා කෙනෙක් නැති තරම්ය.
මුහුණුපොතෙන් හමුවූ පුද්ගලයන්ට විවිධ බඩුබාහිරාදිය අඩු මුදලට දෙන බව හඟවා ඔවුන් කිසියම් ස්ථානයකට ගෙන්වා ඔවුන් සතු මිල මුදල් පැහැරගෙන යන සංවිධානාත්මක කල්ලි කණ්ඩායම් ද නැතුවාම නොවේ. එවැනි කල්ලියක දෙදෙනෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වූයේ ද පහුගිය දිනය. ඒ ‘එෆ් බී ගේමක්’ දෙන්නට ගිය අවස්ථාවේදීය.
ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ පසුගියදාය. ඒ නාරාහේන්පිට ප්‍රදේශයෙනි. නාරාහේන්පිට පොලිසියෙන් මේ කතාව වාර්තා විය.
මේ කතාවේ නායකයා හෙවත් ප්‍රධානියා පාරම්පරික දේශීය වෛද්‍යවරයෙකි. පදිංචිය අතුරුගිරිය ප්රදේශයේය. මේ වෛද්‍යවරයා තමන්ගේ එෆ්බී ගිණුමේ පෝස්ටුවක් පළ කරන්නේ පසුගියදාය. එහි සඳහන් වන්නේ තමන්ගේ වෛද්‍ය මධ්‍යස්ථානයේ සේවය සඳහා භෞත චිකිත්සකවරයකු අවශ්‍ය බවකි.
පෝස්ටුව පළවූවාට පසු කිසියම් පුද්ගලයකු වෛද්‍යවරයාට කතා කර ඇබෑර්තුව ගැන විමසුවේය. වෛද්‍යවරයා ඔහුගේ ජංගම දුරකතන අංකය පොතක සටහන් කර ගත්තේය.
වෛද්‍යවරයාට ඊට දින කීපයකට පසු කොළඹ පෞද්ගලික රෝහලකට එන්නට සිදුවිය. එහි පැමිණි කාරණා අවසන් වීමෙන් අනතුරුව රෑ බෝ වී තිබිණි. භෞත චිකිත්සක ධුරය ගැන එෆ්බී එකෙන් දැන තමන්ගෙන් කරුණු විමසූ පුද්ගලයාගේ ජංගම දුරකතනයට වෛද්‍යවරයා ඇමතුමක් ගන්නේ ඒ මොහොතේය.
අදාළ පුද්ගලයා ඇමතුමට පිළිතුරු දුන්නේය. තමා කොළඹ හැව්ලොක් පාර අසල සිටින බව වෛද්‍යවරයාට පැවැසූ එම පුද්ගලයා වෛද්‍යවරයාට ඒ මොහොතේම එම ස්ථානයට පැමිණෙන ලෙස ආරාධනා කෙළේය.
වෛද්‍යවරයා තමන් පැමිණි වාහනයෙන්ම හැව්ලොක් පාරට ගියේය. අදාළ පුද්ගලයා ඔහුට හමුවන්නේ ඒ අවස්ථාවේදීය. දෙදෙනා අතර කෙටි පිළිසඳරක් ඇතිවිය.
භෞත චිකිත්සක අයැදුම්කරු පැවසුවේ ඔහු පදිංචි නිවෙස පිහිටා ඇත්තේ ද ඒ අසල නිසා ගෙදරට ගොස් කතා කරමු යැයි කියාය. ඒ ඉතා ළෙන්ගතු ලෙසය. තමන් ආ වාහනයේම නිවසට යමු යැයි වෛද්‍යවරයා ඔහුට ආරාධනා කළද ඔහු පවසන්නේ ගෙදරට වාහනයකින් යා හැකි දුරක් නැති බවකි. වාහනය මෙතැනම දමා අගුළුලා ගෙදරට පයින් යමු යැයි එම පුද්ගලයා වෛද්‍යවරයාට යෝජනා කරන්නේ ඉන් අනතුරුවය.
ඔහුගේ යෝජනාවට කැමති වූ වෛද්‍යවරයා එම පුද්ගලයා සමඟ යන්නේ ඔහුගේ නිවෙස බලාය. එවිට රෑ බෝවී තිබිණි.
හැව්ලොක් සහ කෝල්ට්ස් ක්‍රීඩා පිටි දෙක අතරින් ඇති අඩි පාර දිගේ මේ පුද්ගලයා වෛද්‍යවරයා කැඳවාගෙන යන්නේ තම නිවෙසට යන බව කියමිනි.
මේ අවස්ථාවේදී ඒ අසල පිහිටි ප්‍රධාන විදුහලක් දෙසින් පැමිණි පුද්ගලයන් හයදෙනකු ඔවුන් නවත්වා දෙදෙනාගේම ගෙලට පිහි තබා මුදල් ඉල්ලන්නේ මරණ තර්ජන කරමිනි.
සන්නද්ධ කල්ලිය අතැති පිහි දුටු වෛද්‍යවරයා අසරණ විය. තවත් මොහොතකින් තමා මේ කල්ලිය විසින් මරා දමන්නට ඇතැයි සිතූ ඔහු මේ නාඳුනන පිරිසට පවසන්නේ තමාගේ ජීවිතයට අනතුරක් නොකර තමන් සතු සියලු දෑ ගන්නා ලෙසය. වෛද්‍යවරයා සතු මිල මුදල් සියල්ල සන්නද්ධ කල්ලිය අතට පත්වන්නේ මොහොතකිනි. වෛද්‍යවරයා සතු මෝටර් රථයේ යතුර රැගෙන දෙදෙනකු එතැනින් පිටව යන අතර නැවත සුළු වේලාවකින් එතැනට පැමිණි එම පුද්ගලයන් දෙදෙනා වෛද්‍යවරයා අතට මෝටර් රථයේ යතුරු දී පවසන්නේ වාහනය ද රැගෙන ඉක්මනටම එතැනින් පිටවන ලෙසය.
කොල්ල කල්ලියෙන් බේරී වාහනයට නඟින වෛද්‍යවරයා දකින්නේ එම වාහනය ඇතුළේ තිබුණ තමාට අයත් රුපියල් පන්ලක්ෂ හතළිස් දෙදහසක් පමණ වටිනා ‘ස්මාර්ට්’ වර්ගයේ අත්ඔරලෝසුවත් පුෂ්පරාග ගල් ඇල්ලූ මුද්දත් රුපියල් දොළොස් දහසක මුදල් පිහි කල්ලිය විසින් පැහැරගෙන ගොස් ඇති බවයි.
භෞත චිකිත්සක වෙස්ගෙන පැමිණි ‘පල් හොරෙකුට’ තමන් හසුවී ඇති බව වෛද්‍යවරයා තේරුම් ගන්නේ එහිදීය. ඒ වන විටත් හොර භෞත චිකිත්සක සිය කල්ලියේ සෙසු අය සමඟ එතැනින් පලාගොස් තිබිණි.
නාරාහේන්පිට පොලිසියට ආ වෛද්‍යවරයා ඒ ගැන පැමිණිල්ලක් කරන්නේ අනතුරුවය.
මේ කල්ලිය ඉතා සූක්ෂ්මව සහ සංවිධානාත්මකව පාරම්පරික වෛද්‍යවරයා රවටා මේ කොල්ලය සිදුකර ඇති බව පොලිසිය හෙළිකර ගන්නේ ඉන් අනතුරුවය.
නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.ඒ.ඒ.පී. රණසිංහ, පොලිස් පරීක්ෂක පුෂ්පකීර්ති යන නිලධාරින් මේ සිද්ධිය ගැන වැඩිදුර විමර්ශන සිදු කරති.
දීපාල් සමරසේකර