මත්ලෝලියාට තැනක් නොතැනක් රැයක් දවාලක් කියා දෙයක් නැත. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ අතිවිශාල පිරිසක් ඒ සඳහා අවශ්‍ය මුදල්-හදල් සොයා ගැනීම සඳහා නොකරන දෙයක් නැත. ඕනෑ තැනකට කඩාවැදී ඕනෑම දෙයක් සොරකම් කරගෙන ගොස් ඒවා කොතරම් වටිනා දෙයක් වුවද තුට්ටු දෙකට විකුණා මත්කුඩු පැකට්ටුවක් දෙකක් මිලදී ගන්නට තරමේ මුදලක් සොයා ගැනීම ඕනෑම කුඩ්ඩෙකුගේ අරමුණයි.
කුඩ්ඩන් මත්ද්‍රව්‍යවලට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා සොරකම් කරන භාණ්ඩ තුට්ටු දෙකට මිලදී ගැනීම සඳහා ද සංවිධානාත්මක කණ්ඩායම් පෙළගැසී සිටින බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළි වී තිබේ. මේ පිරිස කුඩ්ඩන් සොරකම් කර ඔවුන් ළඟට ගෙනෙන ඕනෑම භාණ්ඩයක් මිල කරන්නේ කුඩු පැකට්ටුවේ මිලටය. මත්කුඩු වුවමනාවේ පරතෙරටම ගොස් සිටින කුඩ්ඩන් තමන් සොරකම් කරන භාණ්ඩය මිලදී ගන්නා පුද්ගලයාට එය ලබා දෙන්නේ කුඩු පැකට්ටුවේ මිල ද ලබා ගනිමිනි.
ඇතැම් අවස්ථාවල කුඩ්ඩන්ට කුඩු පැකට්ටුවක් දී ඔවුන් ගෙන එන රුපියල් ලක්ෂ ගණන් වටිනා හොර භාණ්ඩ ඉතාම සුළු මුදලකට මිලදී ගන්නා සංවිධානාත්මක කණ්ඩායම් ද මේ වන විට බිහිවී ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.
කොළඹදී පසුගියදා සිදුවූ සිද්ධියක් මීට මූලික උදාහරණයකි.
කොළඹ පිහිටි සුඛෝපභෝගි නිවසකට පසුගිය දිනෙක හොර රහසේ ඇතුළු වුණු මත්ලෝලියකු රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැණික් සොරකම් කර ඒවා අලෙවිය සඳහා මත්ලෝලීන් සොර බඩු විකුණන ජාවාරම්කාරයකු ළඟට ගෙන ගොස් තිබියදී එම ජාවාරම්කරු රුපියල් ලක්ෂ ගණනක් වටිනා එම මැණික් මත්ලෝලියාගෙන් මිලදීගෙන තිබුණේ රුපියල් පන්දහසකටත් අඩු මුදලකටය. මත්ලෝලියාට එම මුදල් මත්කුඩු පැකැට්ටුවක් සඳහා සෑහුණු අතර එම මැණික් ගල් අලෙවි කිරීමට ගිය පුද්ගලයා නීතියේ රැහැනට හසුවන්නේ ඉන් අනතුරුවය.
මේ හා සමානම සිද්ධියක් පසුගියදා වාර්තා වන්නේ මොරටුව මූලස්ථාන පොලිසියෙනි.
මොරටුව මූලස්ථාන පොලිසියේ වත්මන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස් ඇතුළු කණ්ඩායම මීට සැලකිය යුතු කාලයක සිට මොරටුව පොලිස්බල ප්‍රදේශයේ සිදුවූ අපරාධ මර්දනය සඳහා සුවිශේෂී දායකත්වයක් ලබාදී තිබුණු අතර අපරාධ ගණනාවකට සම්බන්ධ පුද්ගලයින් සැලකිය යුතු පිරිසක් අල්ලා ගැනීමට ද මේ කණ්ඩායමට හැකිවීම සුවිශේෂීය. ඒ අතරට ගැනෙන ප්‍රධාන සිද්ධිය නම් ගල්කිස්ස, මිරිහාන, කළුතර පොලිස් කොට්ඨාසවලට අයත් පොලිස්බල ප්‍රදේශවල කාලයක් තිස්සේ සිදුවූ රන්මාල කොල්ලකෑම් ගණනාවකට සම්බන්ධ කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමයි.
මොරටුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස් ඇතුළු කණ්ඩායම යුක්තිය මෙහෙයුම යටතේ සිය රාජකාරි අකුරටම ක්‍රියාත්මක කරගෙන යන මොහොතක මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට සිය පෞද්ගලික ඔත්තුකරුවකු මාර්ගයෙන් සුවිශේෂී තොරතුරක් ලැබෙන්නේ පසුගියදාය. ඒ සොරකම් රැසකට සම්බන්ධ පුද්ගලයන් සම්බන්ධයෙනි.
මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකුගේ නිවෙසට රාත්‍රී කාලයේ ඇතුළු වූ පිරිසක් රුපියල් හතළිස්එක් ලක්ෂයක් පමණ වටිනා අත්ඔර්ලෝසුවක්, ඇපල් වර්ගයේ අයිෆෝනයක් සහ තවත් වටිනා අත්ඔරලෝසු කිහිපයක් සොරකම් කරගෙන පලාගොස් තිබිණි.
මෙලෙස සොරකම් කරගෙන ගිය රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා අත්ඔර්ලෝසුව බෙමිලින් වර්ගයේ එකක් වූ අතර එම නිවෙසේ තිබූ තවත් වටිනා අත්ඔර්ලෝසු දෙකක් ද සොරුන් විසින් පැහැරගෙන ගොස් තිබිණි.
මොරටුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස් සහ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් කණ්ඩායමක් මේ ගැන පැමිණිල්ල ලැබුණු හැටියේම මේ පිළිබඳ විමර්ශන ආරම්භ කරන්නේ සැකකරුවන් ඉතාම ඉක්මනට අල්ලා ගැනීම සඳහාය.
මේ කොල්ලය මෙලෙස මූලස්ථාන පොලිසියට වාර්තාව තිබියදී මොරටුව මූලස්ථාන පොලිසියේ කණ්ඩායමක් පසුගියදා එම ප්‍රදේශයේ ජංගම මුර සංචාරයේ යෙදී සිටින්නේ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහාය.
මොරටුව මූලස්ථාන පොලිසියේ කණ්ඩායමක් එලෙස ප්‍රදේශයේ මුර සංචාරයේ නිරතව සිටියදී කොරළවැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගන්නේ රුපියල් ලක්ෂ 41ක් පමණ වටිනා ඔරලෝසුව ඇතුළු භාණ්ඩ සොරකම් කරන ලද පුද්ගලයාගේ තොරතුරුවලට අනුවය.
එලෙස සැකපිට අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා කොරළවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු සැකපිට අල්ලාගෙන සෝදිසි කරද්දී සැකකරු සතුව තිබූ හොරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 5726ක්ද සොයා ගැනිණි.
එලෙස අත්අඩංගුවට ගන්නා ලද මත්ලෝලියාගෙන් දැඩිව ප්‍රශ්න කරද්දී සැකකරුට මත්ද්‍රව්‍ය ලැබෙන ආකාරය හෙළි විය. සැකකරු අල්ලාගෙන ඔහුගෙන් විමර්ශනය කැරෙන්නේ ඔහුට මත්ද්‍රව්‍ය ලැබෙන ආකාරය පිළිබඳවය. ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරද්දී කෝටිපතියාගේ නිවෙසේ සිදුකළ සොරකම ගැන තොරතුරු හෙළි විය.
අල්ලා ගන්නා ලද සැකකරුගෙන් ප්‍රශ්න කරද්දී හෙළිවන්නේ ප්‍රධාන සැකකරු මොරටුව මෝදර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු සමඟ එකතුවී මේ අපරාධ සිදුකර ඇති බවයි.
සැකපිට අත්අඩංගුවට ගන්නා ලද මත්ලෝලීන් දෙදෙනා සොරකම් කරන ලද ඉතා වටිනා අත්ඔර්ලෝසුවක් පසුගියදා අලෙවිකර ඇත්තේ රුපියල් පන්දහසකට බව හෙළිවී ඇත. මේ රුපියල් හතළිස් එක්ලක්ෂයක් පමණ වටිනා අත්ඔර්ලෝසු සැකකරුවන් අලෙවිකර ඇත්තේ නොවටිනා මිල ගණන්වලටය.
රුපියල් හතළිස් එක් ලක්ෂයක් පමණ වටිනා අත්ඔර්ලෝසුව සැකකරු විසින් අලෙවි කර ඇත්තේ රුපියල් 5000/=කටය. රුපියල් හතළිස් එක්ලක්ෂයක් පමණ වටිනා අත්ඔර්ලෝසුව කුඩ්ඩන්ගෙන් රුපියල් 5000කට මිලදි ගත් පුද්ගලයකු ද පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස සැකපිට අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් දෙදෙනා අවුරුදු 25 – 29 අතර වයස්වල පසුවන අය බවට තොරතුරු හෙළිවී ඇත. සැකපිට ඇල්ලූ දෙදෙනාගෙන් ප්‍රශ්න කරද්දී සොරා ගන්නා ලද රුපියල් ලක්ෂ ගණනක දේපළ සොයා ගැනීමට ද පොලිසියට හැකි විය.
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මණගේ, සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව්.බී. අනුරංග යන නිලධරයන්ගේ උපදෙස් මත මොරටුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස් ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරති.
ඡායාරූප – බණ්ඩාරගම බිමල් ජයසිංහ
දීපාල් සමරසේකර