යාපනය ප්‍රදේශයෙන් පසුගියදා අසන්නට ලැබුණේ රහසිගතවම අයිස් නිෂ්පාදනය කරන ස්ථානයක් පිළිබඳවය. නිවසක් තුළ ඉතා සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය මෙම අයිස් නිෂ්පාදනාගාරය කුඩා රසායනාගාරයක ස්වරූපය ඉසිලූ අතර එය සොයා යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් හඹාගිය කතාව ආරම්භ වන්නේ මෙලෙසිනි.
යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ කොස්තාපල් 89521 කවිහර්ෂන්ට තොරතුරක් ලැබෙන්නේ චුන්නාගම් පොලිස් වසමේ පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ව්‍යාපාරයේ නියැළෙන බවටය. මේ පිළිබඳ සිදුකළ ආවේක්ෂණ රාජකාරියෙන් පසු තොරතුරු නිවැරදි බව අනාවරණය කරගත් පොලිස් නිලධාරීන් එම පුද්ගලයා අත්අඩංගුවට ගත්තේ චුන්නාගම් පොලිස් වසමේ කොකුවිල් ප්‍රදේශයේදීය.
“කොහෙන්ද තමුන්ට මේවා… ඇත්ත කියනවා…”
කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමීර ප්‍රේමතිලක මෙලෙස ප්‍රශ්න කළේ ඔහුගේ සාක්කුවේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02ක් තිබී හමුවීමත් සමඟිනි.
“මේ ඇත්තමයි කියන්නෙ සර්. මට මේවා දුන්නේ ‘වික්ටර්’ කියලා කෙනෙක්”
“කොහෙද ඔය වික්ටර් ඉන්නේ?”
“එයා ඉන්නෙනං මෙහෙ නෙමෙයි. ඉනුවිල්වල”
පොලිස් නිලධාරීන් කණ්ඩායම ඊළඟට කළේ මොහුට අයිස් මත්ද්‍රව්‍ය ලබා දෙන පුද්ගලයා සොයා ගැනීමයි. කොකුවිල්වල සිට කිලෝමීටර් දෙකහමාරක් පමණ දුර ගෙවා පොලිස් කණ්ඩායම ඉනුවිල්හි පදිංචි ‘වික්ටර්’ නමැති පුද්ගලයා පදිංචි නිවෙස සොයා ගියේ මොහොතක්වත් ප්‍රමාද නොකරමිනි.”අනේ සර් ‘වික්ටර්’ හිටියේ මෙහෙ තමා. ඒත් එයා දැන් මෙහෙ නෙමෙයි ඉන්නේ. වෙන ගේක කාමරයක් කුලියට අරගෙන”
එම නිවසේ සිටි පුද්ගලයෙකු පොලිස් නිලධාරීන් හට පැවැසුවේ එවැනි කතාවකි. එම නිවෙසේ වෙනත් කිසිවකු සිටියේ ද නැත. එම නිවෙස පරීක්ෂා කිරීමේදී කාමරයක් තිබුණේ දොර අගුළු දමාය.
“ඇයි මේ කාමරේ දොර වහලා? මේක අරිනවා බලන්න” පොලිස් නිලධාරීන් ඔහුට පැවසුවේ එම කාමරයේ දොර ඇරීමට උත්සාහ කිරීමෙන් අනතුරුවය.
“එයා ආවට පස්සෙ තමයි පෙන්නන්න පුළුවන් වෙන්නේ. යතුර තියෙන්නෙ එයා ළඟ. මා ළඟ මොකුත් නෑ” නිවැසියා කීවේය.
කාමරය වසා දමා යතුර රැගෙන යන්නට තරම් වටිනා යමක් මෙහි තිබිය යුතුය. එසේ නැතිනම් සැඟවීමට දෙයක් තිබිය යුතුය. පොලිස් නිලධාරීන්ගේ සැකය දෙගුණ තෙගුණ වූයේ එහෙයිනි.
“එකත් එකටම මෙතන තමයි ‘පොට්’ එක”
දොර කඩා කාමරයට එබුණු පොලිස් නිලධාරීන්ගේ දෑස් උඩ ගොස් එකිනෙකා මුහුණු බලා ගත්තේ ඉබේටමය. එය නම් ඇත්තටම පුංචි විද්‍යාගාරයකි.
ප්ලාස්ටික් මේසයක් මත තිබුණේ තරමක් විශාල ප්ලාස්ටික් සිලින්ඩර් පහකි. ඒවා එක දෙක තුන හතර පහ යනුවෙන් නොම්මර යොදා තිබුණේ හඳුනා ගැනීමේ පහසුව සඳහාය. මෙම සිලින්ඩර් පහ එකිනෙකට සම්බන්ධ කර තිබුණේ සේලයින් බටවලිනි. පළමු සිලින්ඩරයට බැටරියක් යොදා එම බැටරියට විදුලිය ලබා දී තිබුණේ උඩ කොටස ඉවත් කළ කුඩා ලයිටර්වල අඩංගු ගෑස් උපයෝගී කරගනිමිනි. මෙම ක්‍රියාවලිය සඳහා විදුලිය ලබා ගැනීමට පරිගණකවලට යොදන විදුලි පංකාවක් ප්‍රයෝජනයට ගැනීමටද මෙහිදී කටයුතු කර තිබුණේ ඉතා දක්ෂ තාක්ෂණ ශිල්පියකුගේ ක්‍රියාවක් බවට අනුමාන කිරීමට ඉඩ සලසමිනි. මෙලෙස සකසා ඇති විදුලි පරිපථයෙන් මෙම සිලින්ඩර්වලට විදුලිය ලබාදීමට උපයෝගී කරගෙන ඇත්තේ සේලයින් ලබා දීමට පාවිච්චි කරන සේලයින් කටු වීමද විශේෂිතය.
මෙලෙස ලබාගත් විදුලියෙන් සිලින්ඩර් පහේම අඩංගු කර තිබූ ද්‍රාවණය රත්වීමකට ලක්කර ඇත්තේ ඉතා සියුම් ආකාරයෙනි. මේ ආකාරයට සිලින්ඩර් පහේ අඩංගු ද්‍රාවණය රත්වීමෙන් පසු යම්කිසි රසායනික ක්‍රියාවලියකට භාජනය වීමෙන් අනතුරුව ද්‍රව කොටස වෙනමත් අයිස් මත්ද්‍රව්‍ය වෙනමත් පිටතට ලබා ගන්නේ බට උපයෝගී කරගනිමිනි.
මෙම සිලින්ඩර් පහ කොටස් තුනකට බෙදා තිබීමද විමර්ශනයේදී එම සිලින්ඩර් පහේම අධි මාත්‍රාවෙන් අයිස් මත්ද්‍රව්‍ය සොයා ගැනීමට හැකි වීමද සියල්ලන් විමතියට පත් කළ කාරණයක් විය. මෙම ස්ථානයේ කුඩා ලයිටර් සීයකට වැඩි ප්‍රමාණයක් ගොඩ ගසා තිබුණේ එයට විදුලිය ලබා ගැනීමේ අවශ්‍යතාව නිසා විය යුතුය.
මෙම බෝතල් තුළ තිබූ ද්‍රාවණය කුමක් විය හැකිදැයි පොලිස් නිලධාරින්ගේ සිත් තුළ ඇති වූයේ විශාල කුතුහලයකි. එම ස්ථානය සීල් තබා පොලිස් ආරක්‍ෂාව යෙදීමෙන් පසු රස පරීක්ෂකවරයා කැඳවීමට කටයුතු කළේ වැඩිදුර විමර්ශන කටයුතු සඳහාය. එහිදී අනාවරණය වූයේ ද්‍රාවණයේ රසායනික ද්‍රව්‍ය ඇති බවය. එනම් එහි අයිස් මත්ද්‍රව්‍ය තිබෙන බව තහවුරු කර තිබුණේ මෙරටින් මෙතෙක් හමු වූ එකම අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය මෙය බවට පත්කරමිනි.
යාපනය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය කමලායුදන් ද රසායන විද්‍යාව පිළිබඳ වෛද්‍ය ප්‍රනාවන් ද තහවුරුකර තිබුණේ අයිස් මත්ද්‍රව්‍ය මෙහි ඇති බවටය. අන්තරායදායක ඖෂධ නියාමන පාලන මණ්ඩලයේ විශේෂඥ නිලධාරීන් කණ්ඩායමක් ද මෙම ස්ථානයට කැඳවාගෙන තවදුරටත් විමර්ශන සිදු කරන බව පවසන පොලිසිය මෙම නිවෙසේ හිමිකරු වන සැඟවී සිටින සැකකරු අත්අඩංගුවට ගැනීමට කඩිනමින් කටයුතු කරන බවය.
රසායන ද්‍රව්‍ය පිළබද හොඳ අවබෝධයක් නැති කෙනෙකුට මෙවැන්නක් සිදුකළ නොහැකි බව සනාථ වන අතර මෙහි සුලමුල හා බොහෝ රහස් අනාවරණය කරගැනීමට හැකි වන්නේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසුවය. ඔහු මීට පෙර අපරාධවලට සම්බන්ධ අයෙකු බවද අනාවරණය වී තිබේ.
මේ වන විට අත්අඩංගුවට ගත් පළමු සැකකරු කෝපායි පොලිස් වසමේ කොකුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන තිස් හතර හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ කටයුතුවල නියැළෙන අයකු බව පොලිසිය පවසයි.
තිස් පස් හැවිරිදි දෙවන සැකකරු චුන්නාගම් පොලිස් වසමේ ඉනුවිල් ප්‍රදේශයේ පදිංචිකරුෙවකි. මොවුන් දෙදෙනාම අධිකරණයට ඉදිරිපත් කර රඳවා ගැනීමේ නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිසිය පවසයි.
උතුරු දිසා භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී. ඒ. තිලක් ධනපාලගේ නියෝග පරිදි, යාපනය නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ, යාපනය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් විශාන්ත නිලධාරීන්ගේ උපදෙස් සහ අධීක්ෂණය මත යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමීර ප්‍රේමතිලකගේ මෙහෙයවීමෙන් ඉදිරි විමර්ශන සිදු කරනු ලබයි.
විනීතා මානෙල් ගමගේ - හල්තොට සමූහ