“අටපිරිකර” හෙවත් “අෂ්ට පරිශ්කාරය” පිළිබඳව බෞද්ධ සමාජයේදී හිමිව ඇත්තේ සුවිශේෂීවූ ස්ථානයකි. අටපිරිකර පිළිගැන්වීම යනු අට මහා කුසල්වලින් එකක් ලෙස ද බෞද්ධ ඉගැන්වීම්වල සඳහන්ව ඇත.
මෙහිදී අටපිරිකර යනු මහණ උපසදම්පදාව ලැබීමට අත්‍යවශ්‍ය පිරිකර අටක එකතුවකි. ඒ අනුව අටපිරිකරක් තුළ තනිපට සිවුර, දෙපට සිවුර, අඳනය, බඳ පටිය, පාත්‍රය, දැලි පිහිය, ඉඳිකටු නූල් බෝල සහ පෙරහන් කඩය ඇතුළත්ව තිබේ. බෞද්ධ ඉගැන්වීම්වලට අනුව අටමහ කුසල කර්මවලින් එකක් ලෙස අටපිරිකර පූජාව සැලකීම හේතුවෙන් බොදුනුවන් සෑම ආගමික කටයුත්තකදීම අටපිරිකර පූජාවට දක්වන්නේ සුවිශේෂී ස්ථානයකි.
මේ එළඹෙමින් තිබෙන්නේද බොදු ජනතාව මහත් හරසරින් සමරන වෙසක් සමයයි. වෙසක් සමයේ බොදු ජනතාව එය සැමරීම වෙනුවෙන් මහත් බැතියෙන් යුතුව සැරසෙද්දී තවත් කූට ජාවාරම්කරුවන් පිරිසක් අටපිරිකර ඇතුළු ශාසනික ගරු භාණ්ඩ අවභාවිත කිරීමේ ජාවාරමක නිරතව ඇති බව පසුගිය දින කතරගම පුදබිම තුළදීම අනවාරණය කර ගැනීමට පාරිභෝගික නිලධාරීන් සහ කතරගම පොලිසියේ නිලධාරීන්ට හැකිවිය. ඒ පසුගිය 14 වන දින පෙරවරුවේ කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ගේ මඟපෙන්වීම නිසාවෙනි.
ජාවාරම්කාරයන්ට ඇත්තේ ගණදෙවි නුවණ යැයි අපේ පැරැන්නන් එදා කීවේ නිකමකට නොවේ. ජාවාරම්කරුවන් ඒ තරමටම සිය ඉලක්කය සපුරා ගැනීමට සමත්ය. ඒ බව ඉතා පැහැදිලිවම මෙම වැටලීමෙන් දැකගත හැකි විය. වෙසක් සතියේ රට වටා සිටින බොදු ජනතාව මෙලෙස ‘ගොනාට අන්දන’ මෙන්ම ශාසනික ගරු භාණ්ඩ මෙලෙස අවභාවිත කරන කූට වෙළෙඳුන් පිළිබඳව සමස්ත ජනතාව දැනුවත් විය යුතුය.
දිනපතා විශාල සැදැහැවතුන් පිරිසක් යන එන කතරගම පුදබිම ඉලක්ක කරගෙන කූට ලෙස කාඩ්බෝඩ් කැබලි, පරණ සිවුරු, දිරාගිය යකඩ පාත්‍ර ආදිය යොදා කිසිදු ප්‍රමිතියකින් තොරව අටපිරිකර සකසා සැදැහැවතුන්ට අලෙවි කිරීමේ ජාවාරමක් සිදුවන බවට කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ට පැමිණිලි කිහිපයක්ම ලැබී තිබුණි. පසුව උන්වහන්සේ මේ පිළිබඳව මොනරාගල පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ කතරගම පොලිසිය දැනුවත් කෙරිණි.
ඒ අනුව මොනරාගල පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ කතරගම පොලිසිය එක්ව සිදු කළ සොයා බැලීමකදී අනාවරණය වී තිබුණේ බණ්ඩාරගම අටළුගම පදිංචි පුද්ගලයෙකු විසින් මෙම කූට ජාවාරම කලක සිට සිදු කරගෙන යන බවය. ඒ අනුව අදාළ ව්‍යාපාරිකයා කතරගමට ගෙන්වා ගැනීමට පාරිභෝගික අධිකාරිය සැලසුමක් සකස් කෙරුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ කූට ව්‍යාපාරිකයා අටපිරිකර 150ක ප්‍රමාණයක්ද රැගෙන කතරගමට පැමිණියේය. ව්‍යාපාරිකයා සමඟ තවත් පුද්ගලයන් දෙදෙනකු පැමිණ සිටියේය. එහිදි වෑන් රථය අසලට ගිය පාරිභෝග නිලධාරියෙකු අටපිරිකරක් පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පැවසූ විට අදාළ ව්‍යාපාරිකයා ඊට විරෝධය පා ඇත්තේ “මේවා හාමුදුරුවන් භාවිත කරන ගරු භාණ්ඩ. එහෙම කාටවත් මේවා ගලවලා බලන්න දෙන්න බෑ“ යැයි පුරසාරම් දොඩවමිනි. එහිදී එම නිලධාරියා තමන් පාරිභෝක කටයුතු පිළිබඳ අධිකාරියේ බව පැවසීමත් සමඟ අදාළ කූට ව්‍යාපාරිකයා තුෂ්නිම්භූත විය. වැඩි වේලාවක් යන්නටත් මත්තෙන් එම ස්ථානයට කතරගම පොලිස් නිලධාරීන් සහ පාරිභෝගික අධිකාරියේ සෙසු නිලධාරීන් කණ්ඩායමක් පැමිණියේ මේ ගැන විමර්ශනය සඳහාය. අටපිරිකර රැගෙන පැමිණි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමත් සමඟ කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමියන් ඇතුළු මහා සංඝරත්නයද එම ස්ථානයට වැඩම කරන ලදි. ජාවාරම්කරුවන් සැදැහැවතුන් සඳහා අලෙවි කිරීමට ගෙනැවිත් තිබූ අටපිරිකර එම ස්ථානයේදීම විවෘත කිරීමට පාරිභෝගික අධිකාරීයේ නිලධාරීන් සහ මහාසංඝරත්නය විසින් කටයුතු කරන ලදි. එහිදී රැස්ව සිටි සියලු දෙනාගේ ඇස්වලට කඳුළක්ද එක්වූයේ මේ තරම් ගෞරවයෙන් පූජා කරන අටපිරිකරට මෙම කූට ව්‍යාපාරිකයා මුදල් ඉපැයීමේ අරමුණෙන් සිදුකර තිබූ අපරාධය දැකීම නිසාය.
වසර 05කට වැඩි කාලයක් තිස්සේ කරගෙන ආ මෙම කූට ජාවාරම වැරදුණ බව දැනගත් ව්‍යාපාරිකයා මහසඟරුවන ඉදිරියේ තමන් මෙතෙක් සිදු කරන ලද කූට ජාවාරම පිළිබඳව තොරතුරු පැවසුවේය. ඔහු වෙනත් ප්‍රදේශයකින් මෙම සිවුරු කෑලි සහ පාත්‍රා ආදිය තොග වශයෙන් ලබාගෙන බණ්ඩාරගම අටළුගම, ජයකොඩිකන්ද ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට ඒවා රැගෙන ගොස් ඔහුට උවමනා ලෙස අටපිරිකර සකස් කර තිබේ. “ප්‍රමිතියෙන් අටපිරිකරක් හැදුවම එය රුපියල් පන්හය දහසකටවත් දෙන්න ඕනේ. ඉතින් එහෙම ගණනකට මිනිස්සුන්ට අටපිරිකරක් ගන්න බැරි නිසා මම හැමෝටම මේක රුපියල් 2500 ක් 3500 ක් වගේ ගණනකට දී ගන්න පුළුවන් විදියට හදලා මාකට් එකට දානවා. මම කරන්නේ ව්‍යාපාරයක්. මම මේ අටපිරිකර කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නෑ. මේකට මොනවා දමන්න ඕනිද නැද්ද කියලා මම දන්නේ නෑ. මට ඒක වැඩක් නෑ. ඒ නිසා මම මට හිතෙන විදියට අටපිරිකර හදලා කඩේට දමනවා“ යැයි ඔහු නිලධාරීන් ඉදිරියේ පැවසුවේ සියලු දෙනාම විස්මයට පත් කරවමිනි.
මෙම ව්‍යපාරිකයා රැනෙවිත් තිබූ අටපිරිකර විවෘත කිරීමේදී දැකගත හැකි වූයේ පරණ සිවුරු කෑලි, ඉරී ගිය අඳන සහ නානකඩ කෑලි, කාඩ්බෝඩ්, තැලී පොඩිවී භාවිතයට ගැනීමට තියා අතින්වත් ඇල්ලිය නොහැකි යකඩ පාත්‍ර ආදිය යොදා ඒවා පිටතට නොපෙනෙන පරිදි කොළවලින් ඔතා අටපිරිකර ලෙස සකස් කර තිබූ ආකාරයයි.
ඒ අනුව බොදු ජනතාව රවටමින් මෙම කූට ව්‍යාපාරය කලක සිට කරගෙන ගිය බණ්ඩාරගම, අටළුගම, ජයකොඩිකන්ද ප්‍රදේශයේ පදිංචි 42 හැවිදිරි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනිණි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීයේ වැටලීම් සහ විමර්ශන අධ්යක්ෂ සංජය ඉරසිංහගේ උපදෙස් පරිදි මොනරාගල දිස්ත්‍රික් ලේකම් පසන් එස්. බී. රත්නායකගේ නියෝගයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීයේ මොනරාගල දිස්ත්‍රික් ප්‍රධානී දිනූෂ ලක්මාල්, විමර්ශන නිලධාරීන් වන ආර්.එම්.එන්.එම්.ගුණරත්න, ඒ.සී.එම්.භාෂිත්, එම්.එෆ්.එම්.රේෂාන් නිලධාරීන් හා තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්නගේ උපදෙස් මත කතරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බැසිල් කුමාරගේ මෙහෙයවීමෙන් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එක්ව වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කැරිණි.
නුවන් ජයසේකර - සූරියවැව විශේෂ