Home » ඔන්ලයින් ණය දෙන මුවාවෙන් කෝටි ගණන් වංචා කළ ජාවාරමා ඇල්ලුවේ මෙහෙමයි

ඔන්ලයින් ණය දෙන මුවාවෙන් කෝටි ගණන් වංචා කළ ජාවාරමා ඇල්ලුවේ මෙහෙමයි

by thanushika
May 25, 2024 12:30 am 0 comment

ජීවන වියදම ඉහළ යාමත් සමඟ වැඩි ආදායම් අපේක්ෂාවෙන් කුමන හෝ දෙයක් කිරීමට ඇතැමුන් පෙළඹී සිටින්නේ පවතින ආර්ථික අර්බුදය සමඟ තම දරු පවුල් රැකගැනීමේ අරමුණෙන් යුතුවය. එම තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් කූට ජාවාරම්කරුවන් ජනතාව රවටා මුදල් ඉපයීමට පටන්ගෙන ඇත්තේ ජනතාවගේ අසරණකම් ප්‍රයෝජනයට ගනිමිනි. මාර්ගගත ගනුදෙනු ඉන් ප්‍රමුඛස්ථානයක් ගෙන ඇත.

එලෙස වංචාකාරී අයුරින් මාර්ගගත ණය ලබාදීමේ ක්‍රමයක් මඟින් ජනතාව රවටා රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචාකර සැඟව සිටියදී අල්ලාගන්නා ලද පුද්ගලයකු පිළිබඳ තොරතුරක් පසුගියදා වාර්තා වුණේ තිහගොඩ පොලිසියෙනි. ඒ වෙනත් ජාවාරමක තතු සොයා ගිය තිහගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සේනක ගමගේ ඇතුළු පොලිස් කණ්ඩායමක් සිදු කරමින් තිබූ විමර්ශනයක අතුරු ප්‍රතිඵලයක් ලෙසය. පොලිස් විමර්ශන අනුව එම සිද්ධිය පෙළගැසෙන්නේ මෙසේය.

සංචාරක හෝටලයකින් රුපියල් හැත්තෑහතර ලක්ෂයක් වටිනා මෝටර් රථ දෙකක් සහ මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් පවරන ලද නඩුවකට අදාළව විවෘත වරෙන්තුකරුවකු සොයා තිහගොඩ පොලිසිය විමර්ශනයක් ආරම්භකර තිබුණේ යුක්තිය මෙහෙයුමට සමගාමීව අපරාධකරුවන් නීතියේ රෑහැනට හසුකර ගැනීමේ මෙහෙයුම් යටතේය.

ඒ අතර පසුගිය දිනක තිහගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සේනක ගමගේට ලද පෞද්ගලික තොරතුරකින් කියැවුණේ උසාවිය මඟහරිමින් සිටින සැකකරුවකු තම ලිපිනය, පුරවැසි හැඳුනුම්පත් අංකය සහ පදිංචිය වෙනස් කරමින් වෙනත් ප්‍රදේශයක ජීවත්වන බවය. එම ප්‍රදේශයේද රහසිගතව සැරිසරනා මෙම පුද්ගලයා කුමන හෝ කූට ව්‍යාපාරයක නිරත වෙමින් සිටින බවද එම තොරතුරේ සඳහන් විය.

තමාට ලද තොරතුර පිළිබඳ පොලිස් පරීක්ෂක සේනක ගමගේ විසින් මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහට දැනුම් දී අවශ්‍ය උපදෙස් ලබා ගත්තේ සැකකරු පොලිස් දැලට කොටු කරගැනීමේ මෙහෙයුමක් දියත් කිරීම සඳහාය.

“ගමගේ, ඔයා පළමුවෙන්ම කරන්න ඕනේ ඔය ඇකියුස්ගේ ටෙලිෆෝන් නම්බර් එකක් හොයාගන්න එක. ඊට පස්සේ ඒකෙ විශ්ලේෂණ වාර්තා අරගන්න. ඔය මිනිස්සු හරිම කපටියි. හැම දෙයක්ම හොඳ කල්පනාවෙන් කරන්න”

තම උසස් නිලධාරියා වූ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහ ලබා දුන් එම උපදෙස් අනුව ක්‍රියාත්මක වූ පොලිස් පරීක්ෂක සේනක ගමගේ උප පොලිස් පරීක්ෂක ඉදිරිවීර, සැරයන් 68866 ගයාන්, කොස්තාපල් 40761 චාමර යන නිලධාරීන් යොදවා සැකකරුගේ දුරකතන අංක සොයා ඊට අදාළ දුරකතන සමාගම් මඟින් දුරකතන විශ්ලේෂණ වාර්තා ලබා ගැනීමට කටයුතු කළ අතර එම තොරතුරු ඔස්සේ අනාවරණය කරගත්තේ සැකකරු බොරලැස්ගමුව ප්‍රදේශයේ සිටිනා බවටයි.

එම තොරතුර ඔස්සේ වහා තම පොලිස් කණ්ඩායම සමඟ පසුගිය අප්‍රේල් මස 21 දින බොරලැස්ගමුව ප්‍රදේශයට ගිය පොලිස් පරීක්ෂක සේනක ගමගේ වෙස්වළාගෙන කරන ලද විමර්ශනයේදී අනාවරණය කරගත්තේ සැකකරු කුලී නිවසක ජීවත්වන අතර මෝටර් රථයක් ද භාවිත කරමින් ගමන්බිමන්වල නිරත වන බවයි.

තොරතුරු සියල්ල එසේ තහවුරු කරගත් පොලිස් කණ්ඩායම සැකකරුගේ නිවස වට කර ඔහු අත්අඩංගුවට ගෙන සිදු කළ පරීක්ෂාවේදී දුරකතන 07ක්, සිම්පත් 36ක් සහ ටැබ් එකක් සොයාගන්නා ලදි. වැඩිදුරටත් සිදුකළ පරීක්ෂණයේදී අනාවරණය වූයේ සැකකරු භාවිත කරමින් සිටි මෝටර් රථයද මසකට රුපියල් එක්ලක්ෂ අසූදහසක කුලී පදනම මත ලබාගත් එකක් බවයි.

කිසිම ආයතනයක රැකියාවක් නොකරමින් මෙවන් මුදලක් වියදම් කරමින් සහ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන මේ පුද්ගලයා සිය ජීවනෝපාය මාර්ගය ලෙස කරන්නේ කුමක්දැයි යන්න පොලිසිය සිදුකළ වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වූයේ ඔහු මාර්ගගත ක්‍රම ඔස්සේ ජනතාවට පහසු ගෙවීම් සහ අඩු පොලී අනුපාතිකයන් යටතේ ණය ලබාදීමට වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවට පවසමින් ජනතාවගෙන් මුදල් සූක්ෂ්ම ලෙස වංචා කරමින් සිටින පුද්ගලයකු බවයි.

මුහුණුපොත සහ වට්ස්ඇප් හරහා දැන්වීම් සහ දුරකතන අංක ප්‍රචාරය කරමින් එම දුරකතන අංක ඔස්සේ සම්බන්ධ වන පුද්ගලයින් ලවා මාර්ගගත ක්‍රමයට පෝරමයක් පුරවාගෙන ඔහු ලබා දෙන බැංකු ගිණුම් අංකයකට සෑම අයැදුම්කරුවෙකුගෙන්ම රුපියල් තුන්දහස් පන්සීයයත් පහළොස් දහසත් අතර මුදලක් බැර කරවාගෙන ගනුදෙනුකරුවන් සහ සම්බන්ධ වූ දුරකතන අංකය විසන්ධි කර දමා ඇත. පසුව බැංකුවට බැර කර මුදල් ලබාගෙන තම කටයුතු කරගැනීම ඔහු දිගින් දිගටම ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය අනාවරණය කර ගත්තේය. මේ ආකාරයෙන් රටපුරා විශාල පිරිසක් රවටා කෝටි ගණනක මුදල් වංචාකර ඇති බව ද පොලිසිය සොයා ගන්නේ ඉන් අනතුරුවය.

මෙම පුද්ගලයා විසින් ජනතාව රවටමින් සිදුකර ඇති මෙම මුදල් වංචාව පිළිබඳ පොලිස් ස්ථාන රැසකටම ජනතාවගෙන් පැමිණිලි ලැබී තිබූ බවද හෙළි විය. අත්අඩංගුවට ගත් සැකකරු තිහගොඩ පොලිස් ස්ථානයට රැගෙන එන අතරතුර රුපියල් තිස්දහසක මුදලක් විටින් විට ඔහුගේ ගිණුමට බැර වන අයුරු පොලිසියට නිරීක්ෂණය වී ඇත. ඉමදූව, පිටිගල සහ මහියංගනය යන ප්‍රදේශවල පදිංචි බවට සැකකරු ව්‍යාජ ලිපිනයන් භාවිත කර ඇති බවටද තොරතුරු අනාවරණය විය. පොලිසියට රැගෙනවිත් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකර සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ජයසිරි පේදුරුආරච්චි - ගන්දර සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division