Home » ජන්මියාට සුබ පල ගෙන දෙන දීප්ත යෝගයෙන් ලැබෙන ප්‍රතිඵල

ජන්මියාට සුබ පල ගෙන දෙන දීප්ත යෝගයෙන් ලැබෙන ප්‍රතිඵල

by Mahesh Lakehouse
May 25, 2024 12:30 am 0 comment

– දීප්ත යෝගය අදාළ ග්‍රහයාගේ නමින් හඳුන්වයි
– මෙම යෝගය උදාකළ හැක්කේ කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි යන ග්‍රහයන් පස්දෙනාට පමණයි
– බුධ දීප්ත යෝගය ඇති අය අනාගතයේ අධ්‍යාපනයෙන් ඉහළට

කේන්දරයක සියලුම ග්‍රහයන් රාහු සහ කේතු දෙදෙනාට මැදිව පිහිටීමෙන් උදාවන්නේ කාල සර්ප යෝගයයි. කාල සර්ප යෝගය කේන්දරයක පිහිටීම එතරම් සුබදායී නොවන බව ජ්‍යොතිෂය පිළිබඳව සුළු හෝ දැනීමක් ඇති අයකු පවා දන්නා කරුණකි. රාහු සහ කේතු අක්ෂයෙන් එක් පැත්තක අනෙක් සියලුම ග්‍රහයන් සිටියදී එක් ග්‍රහයෙකු පමණක් අනෙක්පස සිටීමෙන් උදාවන්නේ දීප්ත යෝගයයි. මෙය ජන්මියාට ඉතා සුබ පල දෙන යෝගයකි. නෛසර්ගික පාපීන් වුවද දීප්ත යෝගයක් උදා කළ විට ඉහළ සුබ පල ලබා දීමට සමත් වේ.

මෙම දීප්ත යෝග අදාළ ග්‍රහයාගේ නමින්ම හඳුන්වනු ලබන අතර එම ග්‍රහයා උච්ච, ස්වක්ෂේත්‍ර, මිත්‍ර බලයෙන් සුබ ස්ථානයක සිටී නම් විශේෂයෙන්ම එම දසා කාලයේදී ජන්මියාට ඉතා ඉහළ සුබපල ලබා දෙයි. මෙම යෝග උදාකළ හැක්කේ කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි යන ග්‍රහයන් පස්දෙනාට පමණි.

කුජ දීප්ත යෝගය

උච්ච, ස්වක්ෂේත්‍ර හෝ මිත්‍ර බලයෙන් යුතුව රාහු, කේතු අක්ෂයෙන් මිදී සුබ ස්ථානයක කුජ තනිව පිහිටා ඇත්නම්, කුජගෙන් ලැබෙන සුබ පල එම දශා කාලයේදී ජන්මියාට උපරිම අයුරින් ලැබෙයි. එඩිතර බව, නිර්භීත බව, ඉදිරිපත් වීමේ ශක්තිය, අන් අයට යටත් වීමට අකැමැත්ත ඇති මොවුන් තම මතයටම කටයුතු කරයි. උසස් තත්ත්වයකට පත්වීමට ඇති කැමැත්ත නිසාම වෙහෙස මහන්සි වී කටයුතු කරයි. ඒ නිසාම තම දියුණුව උදා කර ගනී. මෙම යෝගය 10 වැන්නේ පිහිටා ඇත්නම් තමන් උපන් ප්‍රදේශයට හෝ නායකයෙක් වීමට වාසනාව තිබේ.

බුධ දීප්ත යෝගය

මෙම යෝගය ඇති අය කුඩා කල ඉගෙනීමට දුර්වල වුවද, පසුව අධ්‍යාපනයේ ඉහළටම යාමට සමත් වෙයි. මෙවැනි අය සමාජය ඇසුරෙන්ද පරිණත දැනුමක් ලබා ගනී.

බුධ 9 වැන්නේ හෝ 11 වැන්නේ බලවත්ව සිටියදී මෙම දීප්ත යෝගය උදා වී ඇත්නම් ඉතා සුබදායක වේ. පියාට හොඳින් සලකයි. දිවි පෙවෙත ධාර්මික වේ. ධනු ලග්න හිමියෙකුගේ බුධ 10 වැන්නේ දීප්ත වී ඇත්නම් එය ඉතා වාසනාවන්ත පිහිටීමකි. උසස් අධ්‍යාපනයක් ලබයි. රජයෙන් පවා ගෞරව හිමි වේ.

ගුරු දීප්ත යෝගය

ගුරු දීප්ත යෝගය බොහෝවිට දෝෂ භංග යෝගයක් ද වෙයි. මෙම යෝගය ජන්මියාට දීර්ඝායුෂ ලබා දේ. කේන්ද්‍රස්ථානයක හෝ ත්‍රිකෝණස්ථානයක දීප්ත වී ඇත්නම් ජන්මියා ඉතා උසස් තත්ත්වයකට පත් වේ.

සාධාරණ, ගුණගරුක, දැහැමි අයෙකු වෙයි. ගුරු 4වැන්නේ බලවත්ව පිහිටා ඇත්නම් නිවාස, දේපළ උරුම වේ. 7වැන්නේ නම් වාසනාවන්ත විවාහයක් උරුම වේ. දීප්තයට අදාළ භාවය අනුව සුබ පල හිමි වෙයි.

ශනි දීප්ත යෝගය

ශනි බලවත්ව මෙම යෝගය උදාවී ඇත්නම් තම වෙහෙස මහන්සියෙන් විශාල දියුණුවක් ළඟා කර ගනී. ගොවිතැන් වෙළහෙළදාම් ආදියෙන් දියුණු වේ.

ශනි ලග්නයේ නම් මනා පෞරුෂයක් සහිත ධනවත් ප්‍රසිද්ධ පුද්ගලයකු වේ.

ශනි 4වැන්නේ නම් පෞරාණික ගොඩනැඟිලි හිමි වෙයි. මෙම යෝගය පිහිටා ඇති අය දැඩි ආත්මාර්ථකාමී පුද්ගලයන් වන බැවින් කෙසේ හෝ ධනය උපයා ගනී. ශනි සිටින රාශිය අනුව සුබ පල වෙනස් වෙයි. විශේෂයෙන් 9 වැන්න, 10 වැන්න, 11 වැන්න සුබදායක ස්ථාන වේ.

කිවි දීප්ත යෝගය

සිකුරු සුබදායක ලෙස පිහිටා මෙම යෝගය උදා වී ඇත්නම් සිකුරුගෙන් ලැබිය යුතු සියලු සුබ පල ජන්මියාට නොඅඩුව ලැබේ.

කුඩා කල අගහිඟකම් පැවැතියද පසු කාලයේ ඉහළ සැප සම්පත් උරුම වේ.

සිකුරු 5වැන්නේ නම් ඉතා ප්‍රියමනාප අයකු සමඟ ප්‍රේම සම්බන්ධයකින් ඉක්මනින් විවාහ වේ. පින්වත්, වාසනාවන්ත දරුවන් ලැබේ. 4 වැන්නේ නම් අලංකාර නිවසක් හිමි වේ. 10 වැන්නේ නම් සුදුසු රැකියාවක් පහසුවෙන් ලැබේ.

ජ්‍යෝතිර්වේදී වාස්තු විද්‍යාවේදී විදුහල්පති දැරණියගල කපිල ඉන්ද්‍රික ගුණදාස

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division