– බ්‍රහ්ම පාදය අවහිරවීම ඉතා අසුබයි
– අලුතෙන් එකතු කරන කොටස් නිසා වාස්තු දෝෂ ඇතිවීමේ අවදානම වැඩියි
– කඩ කඩා හදන ගෙවල්
නිවසට ගෙවදීමෙන් පසුව එහි සුවසේ වාසය කිරීමට හැකිවේ නම් ඔබේ උත්සාහයේ සහ කැපවීමේ ප්‍රතිඵලය ලැබී ඇත. නමුත් මේ වන විට සමහර නිවාස හිමියන් තමා ජීවත් වන නිවෙසේදී විවිධ දුක් කරදරවලට මුහුණ පා සිටින බැව් වාස්තු පරීක්ෂාවන්හිදී අනාවරණය වී තිබේ.
සමහර නිවාස හිමියන් තම නිවසට කිසිම ආදරයක් ගෞරවයක් නොදක්වයි. මේ ගේ හැදුවාට පස්සේ තමයි. සේරම වැරදුනේ. අපි කුලී ගෙවල්වල ඉන්න කාලේ හරි අපුරුවට හිටියා. දැන් අතේ සතේ නෑ. මේක කාටවත් විකුණන්නවත් බෑ. එකත් අපේ මහා අවාසනාවක්. මෙවැනි මැසිවිලි නගන පිරිස් එමටයි.
කරුණු සොයා යාමේදී එම තත්ත්වය උදාවීම වාස්තුවේ වැරැද්දක් නොව හැදු ගෙට අලුතින් කාමර එක්කරද්දී නිවෙසේ සැලැසුම වෙනස්වී බ්‍රහ්ම පාදය ද ඇහිරෙන තැනට පත්වී ඇති බැව් දැන ගන්නට ලැබේ. අලුතින් එක්කළ කොටස නිසා නිවසේ මුළු වර්ගීකරණයම සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත. ඇතැම් විට පෙට්ටි හැඩයක්ද ගෙන තිබේ. සමහර නිවාස පොරෝ හැඩය (L) ගෙන ඇත. පසු කලෙක නිවාස සැලසුම වෙනස් කරන විට ඒවා නිවාස දෝෂ බවට හැරේ. මේ හේතුව නිසාම ඇතැම් නිවාස හිමියන් මනසින් අතරමංවී විවිධ ඉසව් සොයා යන බව නම් පැහැදිලිය.
සමහර විට ඇස්වහ කටවහ දෝෂ නැත්නම් අනවිණ හදි හූනියම් දෝෂ ගැන විශ්වාස කර විවිධ තැන්වලට ගොස් විශාල මුදල් වැය කර අන්තිමේදී අතේ සතේ නැතිවන තරමටම දුප්පතුන් වන අවස්ථාද ඇත.
නියමිත වාස්තු සැලසුමකට නිවෙස සාදා කල්යන විට දරුවන් වැඩිවී ඒ අයට නිදහසේ කාමර සෑදීමට අලුතින් කොටස් නිවසට එකතු කිරීමට ගොස් අමාරුවේ වැටෙන අයද මට හමුවී ඇත. සිතෙන සිතෙන හැටියට ගෙවල්වලට අළුතින් කොටස් එකතු කරන්නට යෑමේන් මුලින් තිබුණ ඉතාම යහපත් ධනාත්මක නිවාස වර්ගීකරණය සම්පූර්ණයෙන්ම වෙනස් වේ. සමහර නිවාස බාගෙට සාදාගෙන සම්පූර්ණ කරගත නොහැකිව මානසිකව ඇද වැටී සිටින අයද මට හමුවී ඇත.
මනස ඇදවැටෙන විට රෝගී වීම වැළැක්විය නොහැක. සමහර අය තමන්ගේ නිවාස ඇතුළත වෙනස් කිරීමට ගොස් නිවස ඇතුළත දොරටු වෙනස් කර ආරුක්කු තබා ඇති අයුරු දක්නට ඇත.
අගනුවර විදේශීය ව්‍යාපාරීක ගොඩනැඟිලිවල ඇති බාහිර වා කවුලු ආරුක්කු අද නිවාස ඇතුළත බහුලව දක්නට ඇත.
හොඳ නරක ඔබම තීරණය කරන්න.
‘ආගමික වාස්තුව’ ගෙවල් තුළට ගැනීමේදී වඩාත් කල්පනාකාරී විය යුතු වේ. තනි කණුව සහිත මඩොල් කුරුපා තබා කැණිමඩල සහිත වහල ගැසූ නිවාසයක්ද මේ අතර තිබේ. නිවසක වාස්තු දෝෂ ඇත්නම් එය අත්දැකීම් ඇති දක්ෂ වාස්තු විද්‍යා වේදියෙකු ලවා පිරික්සා බලා ගෙය කඩා බිඳ නොදමා විශාල වැයක් යන අන්දමින් තොරව විසදා ගත යුතුවේ. කඩ කඩා හදපු ගෙය වෙනස් කරන්නට යෑමෙන් වන්නේ කායිකව හා මානසිකව අන්තයට ඇද වැටීමකි.
වාස්තු විද්‍යාවට සම්බන්ධිත ඉපැරණි වාස්තු කෙම් ක්‍රම තිබේ. දැන් ඒවා අභාවයට ගොස් ඇත.
නිවසක් ඉදි කිරීමට භූමිය සකස් කළ යුත්තේද ඉපැරණි කෙම් ක්‍රමයට අනුකූලවය. අද වන විට ඒවා හණමිටි යැයි ඉවත්කර තිබේ. නමුත් ඒවායේ බලශක්තිය කිසිවෙකුට විනාශ කළ නොහැක.