Home » නිපුණතා අංක 9 හිමි යුවතියන්ට අංක 01 හිමි ‍පෙම්වතෙකු හොඳින්ම ගැළපෙනවා

නිපුණතා අංක 9 හිමි යුවතියන්ට අංක 01 හිමි ‍පෙම්වතෙකු හොඳින්ම ගැළපෙනවා

මෙවර නිපුණතා අංක 9 ට අංක 1 - 2 - 3 - 4 - 5 හිමි අයගේ ගැළපීම

by Mahesh Lakehouse
May 25, 2024 12:30 am 0 comment

මේ ලිපි පෙළින් ඔබව දැනුවත් කරන්නේ අංක විද්‍යානුකූලව ඔබගේ නිපුණතා අංකයට අනුව හොඳ සබඳතාවක් සඳහා වඩාත් ගැළපෙන සහකරුවා, සහකාරිය හෝ හවුල්කරුවා සම්බන්ධව හඳුනාගන්නා ආකාරය පිළිබඳවය.

ඔබේ සහ ඔබ ගැළපීම බලන අයගේ නිපුණතා අංකය සොයාගන්නා ආකාරය නොදන්නා අයගේ දැනගැනීම සඳහා සැකෙවින් දක්වමි. මේ සඳහා ඔබගේ උපන් අවුරුද්ද, මාසය සහ දිනයට අදාළ සියලු අංක තනි අංකයක් වන ලෙස එකට එකතු කළ යුතුය. උදාහරණ ලෙස 1992-11-23 දින උපන් අයෙකුගේ නිපුණතා අංකය සොයමු. 1+9+9+2+1+1+2+3 = 28, 2+8 = 10, 1+0 = 1. මේ අනුව උදාහරණයෙන් පෙන්වන අයගේ නිපුණතා අංකය 1 වෙයි.

මේ ආකාරයට ඔබගේ සහ ඔබ ගැළපීම බලන අයගේද නිපුණතා අංක සකස් කරගන්න. ඔබගේ අංකයට එම අංක කෙතරම් දුරට ගැළපෙනවාද යන්න හඳුනා ගැනීමට පුළුවනි.

ඒ අනුව මෙවර ඒ ඒ අංකවලට නිපුණතා අංක 9 අයගේ ගැළපීම කෙසේද යන්න බලමු.

නිපුණතා අංක 9 ට නිපුණතා අංක 1 අයගේ ගැළපීම

මෙම අංක දෙක අතර ගැළපීම ඉතා යහපත් සබඳතාවයක් ලෙස හඳුන්වන්න පුළුවන්. අංක එක පිරිමියාට අංක නවය ස්ත්‍රිය මනා ලෙස ගැළපෙන්නේ අංක එක පිරිමියා තුළ තිබෙන අඩුපාඩුවලට ගැළපෙන ගුණාංග අංක නවය තුළින් පරිපූර්ණය වීම නිසයි. අංක එක තුළ තිබෙන ඒකාධිකාරී තමා ප්‍රමුඛයා වීමේ ස්වභාවයට අංක නවය තුළ තිබෙන මානව හිතෛෂීභාවය සහ අනුකම්පාව මනා ලෙස සංකලනය වෙයි. අංක එකට හොඳ සහයෝගයක් අංක නවය තුළින් ලබාදෙයි. පිරිමියා අංක නවය වී ස්ත්‍රිය අංක එක වී අංක මාරු වී යෙදුණත් ගැටලුවක් ඇති නොකරයි.

දෙදෙනා අතර මත ගැටුම් වාද විවාද ඇති කරන අවස්ථාවක් වන්නේ අංක එක පුද්ගලයා තමා මූලික කොට සිතීමත් අංක නවය පුද්ගලයා අන් අය හෙවත් සමාජය මූලික කොට සිතීමත් නිසාය. මෙවැනි අවස්ථාවල දෙදෙනාම එකඟතාවකට පැමිණීමට කටයුතු කළ යුතු අතර සහයෝගයෙන් සමගිය පවත්වා ගැනීම තුළ ඉදිරි ජීවිතය සතුටින් ගෙවීමේ හැකියාව පවතී.

නිපුණතා අංක 9 ට නිපුණතා අංක 2 අයගේ ගැළපීම

යම් විවාහ සහකරුවන් දෙදෙනකුගේ හෝ හවුල්කරුවන් දෙදෙනෙකුගේ සබඳතාවය අංක 9 සහ අංක 2 ට වැටේ නම් එය ඉතා හොඳ සම්බන්ධතාවක් ලෙස සඳහන් කළ හැකියි. මෙම දෙදෙනා අතර හොඳ සුසංයෝගයක් පවතී. දෙදෙනා අතර හොඳ සහයෝගිතාවයක් පවතින අතර සතුටින් සමගියෙන් බොහෝ කලක් සබඳතාවය පවත්වාගෙන යන්නට හැකියාව ලැබෙයි. සමාන ගති ලක්ෂණ අංක දෙක තුළම පවතී. දෙදෙනා තුළම අධ්‍යාත්මික නැඹුරුතාවක් ඇත. යහපත් සිතුවිලි සහිතව ආගමට දහමට නැඹුරුව කටයුතු කරයි. හොඳ කායික මානසික සම්බන්ධතාවක් පවත්වාගෙන යන්නට හැකියාව ලැබෙන අතර සාර්ථක දිවි පෙවෙතක් උරුම කර ගැනීමට හැකියාව ලැබෙයි.

අංක දෙකට හිමි අවිශ්වාසී බයාදු සැක සහිත මානසික ස්වභාවය හොඳින් තේරුම් ගෙන අවබෝධයෙන් කටයුතු කිරීමට අංක නවය කෙනා සමත් වෙයි. මෙහිදී අංක නවය පිරිමියාවී අංක දෙක ස්ත්‍රිය වීම වඩාත්ම යහපත් වෙයි. අංක දෙක පිරිමියා වී ස්ත්‍රිය අංක නවය වීමද ගැටලුවක් නැත. නමුත් අංක දෙක හිමි ස්ත්‍රිය පිරිමියා පිළිබඳ සැකමුසු හැඟීම් ඇතිකර ගැනීමට ඉඩ තිබේ. කෙසේ වෙතත් මෙම අංක හිමියන් එකිනෙකාට උදව් කර ගනිමින් සහයෝගිතාවයෙන් යහපත් දිවි පෙවෙතක් දිගු කාලීනව ගත කිරීමට සමත්වෙයි.

නිපුණතා අංක 9 ට නිපුණතා අංක 3 අයගේ ගැළපීම

කිසියම් දෙදෙනකු මෙවැනි අංක දෙකක් සහිතව එකතුවීම තුළ ඉතා යහපත් සම්බන්ධතාවක් ගොඩනැගෙන අතර දීර්ඝ කාලයක් සතුටින් ජීවිතය ගත කිරීමේ හැකියාව ඇති කරයි.

මෙම සම්බන්ධතාවය වඩාත්ම යහපත් වන්නේ පිරිමියා අංක තුන වී ස්ත්‍රිය අංක නවය වීම තුළයි කායික මානසික අාධ්‍යාත්මික බාහිර වශයෙන් දෙදෙනාගේ මනා සම්බන්ධතාවයක් ඇති කරයි.

ප්‍රියමනාප ගති පැවතුම් ඇති බුද්ධිමත් කල්පනාකාරී එකිනෙකා කෙරෙහි ගෞරව දක්වන ස්වභාවය සහ අධික බලාපොරොත්තු නොමැති, ක්‍රියාශීලි ඉක්මන් තීරණ ගැනීමෙන් යුක්ත ගති පැවතුම් දෙදෙනාටම පවතින නිසා සම්බන්ධතාවය ශක්තිමත්ව පවත්වා ගත හැකිය. නමුත් මෙහිදී අංක නවය පිරිමියා වී අංක තුන ස්ත්‍රිය වීම තුළ මේ තත්ත්වය යම් මට්ටමකින් වෙනස් විය හැකිය. අංක තුන හිමි ස්ත්‍රිය අංක නවය හිමි පිරිමියා විසින් යම් ආකාරයක පීඩාවකට ලක් වීමේ හැකියාව පවතී. මෙහිදී අංක තුන හිමි ස්ත්‍රිය මේ තත්ත්වය තේරුම් ගෙන අවබෝධයෙන් කටයුතු කිරීම මගින් දෙදෙනාට සාර්ථක ජීවිතයක් ගෙවීමේ හැකියාව ඇති කරයි.

නිපුණතා අංක 9 ට නිපුණතා අංක 4 අයගේ ගැළපීම

මෙවැනි නිපුණතා අංක දෙකක් හිමි දෙදෙනකුගේ එකතුවීමද යහපත් ආකාරයෙන් සම්බන්ධතාවය කාලයක් පවත්වාගෙන යෑමේ හැකියාව ඇති කරන බව ප්‍රකාශ කළ හැකිය. දෙදෙනාගේම සමාන සිතුවිලි සහ ගති ලක්ෂණයන් පවතී. දෙදෙනාම ඉවසීමෙන් කටයුතු කරන අයවෙයි. එකිනෙකාගේ හැඟීම් සහ සිතුවිලි හොඳින් තේරුම් ගැනීමේ හැකියාව මේ දෙදෙනාට ඇත.

අංක හතර හිමියා තුළ පවතින්නාවූ සාර්ථකත්වය වෙනුවෙන් පිළිවෙළකට ක්‍රමානුකූලව මහන්සි වී කැපවීමෙන් ක්‍රියා කිරීමේ ගුණයත් නිවැරදි මනා මූල්‍ය කළමනාකරණයත් අංක නවය පුද්ගලයා වඩාත් අගය කරයි. එමෙන්ම අංක නවය පුද්ගලයා සතුව පවතින සමාජශීලී මානව හිතවාදී ගුණය ආගම ධර්මය කෙරෙහි නැඹුරු යහපත් ගුණාංගයන්ට මෙන්ම අලුත් අදහස් වලට අංක හතර හිමි පුද්ගලයා වඩාත් ප්‍රිය කරයි.

මේ ආකාරයෙන් සාමූහික ගමනක් යාමට මේ දෙදෙනාට හැකියාව ඇතිකරයි. නමුත් දෙදෙනා අතර ප්‍රතිවිරුද්ධ අදහස් ඇතිවීම සහ මත භේදයන් ඇතිවීමේ හැකියාවද යම් යම් අවස්ථාවල ඇති කරයි. අංක නවය හිමි පුද්ගලයා සතුව පවතින ඉක්මන් වේගවත් සිතුවිලි සහ ක්‍රියාශීලී ගතිය අංක හතර හිමි පුද්ගලයාගේ ක්‍රමානුකූල විධිමත්භාවය සමඟ ගැටීම් ඇති කළ හැකිය.

නමුත් දෙදෙනාටම අවබෝධයෙන් යුක්තව කටයුතු කිරීමේ හැකියාව පවතින නිසා සහ සාමකාමී බව අගය කිරීම නිසා ප්‍රශ්න ඇතිවුවද ඒවා නිරාකරණය කරගෙන ඉදිරියට සම්බන්ධතාවය සාර්ථකව පවත්වාගෙන යාමේ හැකියාව ඇතිකරයි.

නිපුණතා අංක 9 ට නිපුණතා අංක 5 අයගේ ගැළපීම.

මෙවැනි දෙදෙනකුගේ එකතුවීම ද යහපත් හොඳ සබඳතාවක් විදියට පෙන්වා දෙන්න පුළුවන්. අංක පහ පිරිමියා තුළ තිබෙන ඉදිරිපත්වීම සහ සමාව දීමත් තීක්ෂණ නුවණකින් කටයුතු කිරීමත් ආදී ගුණාංගයන් සමඟ අංක නවය ස්ත්‍රිය තුළ තිබෙන නම්‍යශීලීභාවය සහ ප්‍රියමනාප භාවයත් බුද්ධිමත්ව තේරුම් ගැනීමේ හැකියාවත් ආදී ගුණාංගයන් එකතු වූ කල යහපත් ශක්තිමත් සබඳතාවක් ගොඩනැගෙයි.

මෙම අංක මාරුවී යෙදුනද එනම් පිරිමියා අංක 9 වී ස්ත්‍රිය අංක පහ වුවද එතරම් ගැටලුවක් නැත. නමුත් අංක පහ ස්ත්‍රිය බොහෝවිට තම ආධිපත්‍යය පැතිරවීමට උත්සාහ ගන්නා ස්වභාවයක් ඇතිකරයි. එවැනි අවස්ථාවක අංක නවය පුරුෂයා අවබෝධයෙන් කටයුතු කිරීම තුළ ගැටලු අවම කර ගැනීමට හැකියාව ලැබේ.

අංක පහ පිරිමියා බොහෝ විට ආත්මීය ගති ලක්ෂණ ඇති කරන අතර අංක නවය අාධ්‍යාත්මික ගති ස්වභාවයන්ගෙන් යුක්ත කරයි. මෙවැනි ප්‍රතිවිරුද්ධ නොගැලපීම් මත යම් ආකාරයක සමගියට බාධා ඇතිවීම සිද්ධ විය හැකිය. ඔබ මෙවැනි සබඳතාවක් තිබෙන කෙනෙක් නම් මේ තත්ත්වයන් හොඳින් අවබෝධ කරගෙන කටයුතු කිරීමෙන් සබඳතාවය ශක්තිමත්ව පවත්වාගෙන යාමට හැකියාව ලැබේ.

නිපුණතා අංක නවයට නිපුණතා අංක 6, 7, 8, 9 අයගේ ගැළපීම් ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ඒ.ජේ. දීපාලෝක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division