Home » රකින්නත් හැකි නසන්නත් හැකි කුසගින්න

රකින්නත් හැකි නසන්නත් හැකි කුසගින්න

by Mahesh Lakehouse
May 25, 2024 12:30 am 0 comment

යුර්වේදය අනුව ශරීර බලය, දේහ බලය, ශරීර වර්ණය, ස්වභාවය, ඕජස තේජස, ආයු බලය, ශ්වස්ථභාව ආදී සියල්ල ලබා දීමට මූලිකවන ශක්ති ප්‍රභවයක් මනුෂ්‍ය ශරීරය තුළ නිරතුරුවම ක්‍රියාත්මක වේ.

ආයුර්වේදයේ එම ශක්ති ප්‍රභවය විස්තර කරන්නේ අග්නි ශක්තිය ලෙසය. අග්නි ශක්තියෙන් මනුෂ්‍ය ශරීරය තුළ උපතේ සිට මරණය තෙක් එක්තරා දහන ක්‍රියාවලියක් සිදු කරයි. ශරීරය තුළ නිරන්තර උණුසුමක් ඇතිවන්නේ මේ රාග ක්‍රියාවලිය හෙවත් දහන ක්‍රියාවලියෙනි. මේ අග්නි ශක්ති ප්‍රභවය විනාශ වූ විට දහන ක්‍රියාවලියත් විනාශ වේ. ඉන් අනතුරුව ශරීරයේ උණුසුම නැති වී යයි. ශීතල වේ. ආයුර්වේදය අනුව අග්නි ශක්තිය විනාශ වූ පසු මිනිසා මිය යන්නේය.

අග්නි ශක්තිය හොඳින් ක්‍රියාත්මක වනතාක් පුද්ගලයා වර්ණ නැණ බල ලබමින් දීර්ඝායුෂ විඳිමින් ශ්වස්ථව ජීවත් වේ. අග්නි ශක්තිය විකෘති වුවහොත්, පුද්ගලයා විවිධ වූ රෝගාබාධවලට ගොදුරු වේ. ආයුර්වේදයේ දෙන වැදගත්ම උපදේශය නම් කායිකව හා මානසිකව නිරෝගීව සිටීමට අග්නි ශක්තිය හොඳින් කළමනාකරණය කරගත යුතු බවය.

ආයුර්වේදයේ සර්වාංග රෝග වෙදකම හඳුන්වන්නේ කාය චිකිත්සාව නමිනි. සමස්ත කාය චිකිත්සා පද්ධතිය කුමක් ද යන්න පිළිබඳ පෙන්වා දෙමින් විග්‍රහ කරන්නේ ශරීරයේ අභ්‍යන්තර අග්නියට කරන ප්‍රතිකාරය කාය චිකිත්සාව ලෙසය. මෙයින් පෙනෙන්නේ නීරෝගිව ශ්වස්ථව දීර්ඝායුෂ ලැබ ජීවත් වීමට මෙන්ම වැලඳුණු රෝග සුව කිරීමට ද අග්නියට මොනතරම් ප්‍රමුඛතාවක් ආයුර්වේදයේ දී ඇති ද යන්නය.

අග්නි ශක්තිය

අග්නි ශක්තියේ ප්‍රභේද 13කි. ජඨරාග්නිය (කුසගින්න), සප්ත ධාතූන් පෝෂණය කිරීමට අදාළ වන්නා වූ අග්නි ප්‍රභේද 07, ශරීරය බිහි වී ඇති පඨවි, අාපෝ, තේජෝ, වායෝ, ආකාස යන පංච මහා භූත ශක්තිය පෝෂණය කිරීමට අදාළ වන භූත අග්නි 05 මෙම අග්නි ප්‍රභේද 13ට ඇතුළත් වේ.

ආයුර්වේදයට අනුව මේ අග්නි 13 අතරින් වඩා වැදගත් අග්නිය වන්නේ ජඨරාග්නිය හෙවත් කුසගින්නය. ජඨරාග්නිය යහපත් ආකාරයෙන් පවතිනාතාක් අනෙක් අග්නි ප්‍රභේද යහපත් ආකරයෙන් පවතින්නේය. කුසගින්න යම් ආකාරයකට විකෘති වුවහොත් අනෙක් අග්නි 12 ද විකෘති වී පුද්ගලයා රෝගී වන්නේය. එබැවින් ආයුර්වේදයේ උපදෙස් දෙන්නේ ජඨරාග්නිය හෙවත් කුසගින්න නිවරැදිව කළමනාකරණය කරගත යුතු බවය. ස්වකීය ආහාර චර්යා නිසි පරිදි හැඩගස්වා ගත යුතු බවය. ජඨරාග්නිය හොඳ තත්ත්වයෙන් පවතින අවස්ථාව සම අග්නිය ලෙස හඳුන්වයි.

කුසගින්න විකෘති වන අවස්ථා තුනකි. මන්දාග්නිය. එනම් කුසගින්න දුබල වීමය. විෂම අග්නිය නම් කුගින්න විධිමත් නොවීමය. උදේ ආහාරය ගත් විට දිවා ආහාරය සඳහා කුසගිනි එන්නේ නැත. දිවා ආහාරයෙන් පසු රාත්‍රි වනවිට කුසගිනි දැනෙන්නේ නැත. මෙවැනි තත්ත්ව විෂමාග්නියයි. තුන්වන අවස්ථාව ශීෂ්නාග්නිය යි. එනම් අධික බඩගින්නය. මේ අවස්ථා තුනම රෝග කාරක ය. ජඨරාග්නිය සම තත්ත්වයේ තබා ගත යුතුම බව ආයුර්වේදය පෙන්වා දෙන්නේ එබැවිනි. නිවැරදි ආහාර චර්යාව කුසගින්න සම තත්ත්වයේ පවත්වා ගැනීමට ආයුර්වේදය පෙන්වා දෙයි.

සමබල ආහාරය

ආයුර්වේදය මෙම සමතුලිත ආහාරය යන සංකල්පයෙන් ඔබ්බට ගොස් අත්‍යාවශ්‍ය ආහාර චර්යා රාශියක් පෙන්වා දෙයි. සමතුලිත ආහාරයක් ගත් පමණින් නීරෝගි බව ආරක්ෂා වන්නේ නැත. සමතුලිත ආහාරයක් යනු රස හයෙන් පෝෂිත ආහාරයක් ලෙස ආයුර්වේදයේ වේ. රස හය යනු අපේ දිවට දැනෙන රස හය ය.

දරුවෙක් උපදින විට දරුවාගේ දිව හඳුනන්නේ මවු කිරේ රස පමණි. ඒ නිසා කුඩා කල සිට මවුපියන් විසින් දරුවකුගේ දිව මේ රස හයටම හුරු කළ යුතුය. එසේ නොවුණහොත් ඔවුහු වැඩිහිටි වියට පැමිණෙන විට සමහර ආහාර වර්ග ප්‍රතික්ෂේප කරති. එවිට පෝෂණ ඌණතා ඇති වේ. ඉන් ඇතිවන දුබලතා ශාරීරික හෝ මානසික දුබලතා විය හැකිය.

ආහාර චර්යාව

ආහාර චර්යාව පිළිබඳ ආයුර්වේදයේ වැදගත් උපදෙස් රැසක් ලබා දී ඇත. ඒ අනුව සමබල ආහාර වේලක් ලබාදීමේ පරමාර්ථය පෝෂණය පමණක් නොව අග්නි ශක්තිය සම තත්ත්වයේ පවත්වා ගැනීමේ වැදගත්ම ප්‍රවේශයයි. පැරැණි ගෙවල්වල දරුවන්ට ලුණු කැඳ ඉඳහිට හෝ ලබා දීමේ පුරුද්දක් තිබිණි. ඉඳහිට හෝ තැම්බුම් හොද්දක් හැදිණි. අග්නි ශක්තිය වැඩි කරගැනීමට මෙම ආහාර වෙනස්කම් ඉතාම වැදගත් විය.

බුද්ධ දේශනයේ පවා යහපත් සෞඛ්‍යයක් පවත්වා ගැනීම සඳහා ආයුර්වේදයේ සඳහන් වන කරුණු පෙන්වා දෙයි. අංගුත්තර නිකායේ පංචක නිපාතයෙහි මනුෂ්‍යයාට දීර්ඝායුෂ විඳීමට වැදගත් වන කරුණු 05ක් ගෙන හැර දක්වයි. එයින් තුනක්ම බුදුන්වහන්සේ දේශනා කරන්නේ ආහාර චර්යා ගැනය. බුද්ධ දේශනාවට අනුව හැම පුද්ගලයෙක්ම තම ආහාර වේලේ ප්‍රමාණය දැනගෙන ආහාර භෝජනය කළ යුතුය. ඒ කරුණ ආයුර්වේදයේ ද එලෙසින්ම පැනේ. එක් ආහාර වේලක් රැගෙන දිරවා නැවත බඩගිනි දැනෙන තෙක් ආහාර නොගන්නා ලෙස බුදුහු උපදෙස් දෙති. ආයුර්වේද ඍෂිවරුන්ගේ නියම ද එයය. ආයුර්වේදයේ එය අධ්‍යෂණ ලෙස හඳුන්වයි.

ආහාර ජිර්ණ ක්‍රියාවලිය වඩා සංකීර්ණ ක්‍රියාවලියකි. ආහාර ජීර්ණ පද්ධතිය, ස්නායු පද්ධතිය, හෝමෝන, එන්සයිම යන මේ සියලු දේවල සංකීර්ණ ප්‍රතික්‍රියා මඟින් ආහාර ජීරණය සිදු වේ. එවිට අප මුඛයෙන් ආමාශගත කරන ආහාර වේලක් දිරවා එහි පෝෂණ පදාර්ථ උරාගෙන මළ කොටස පහළට තල්ලු කර බඩවැල් වෙත ගමන් කරවූ පසු එම ජීර්ණ ක්‍රියාවලිය අවසන් වී තව ආහාර වේලක් ගැනීමට ශරීරය සූදානම් නම් ඒ සඳහා අපට සංඥාවක් ලබා දෙයි. එම සංඥාව නම් කුසගින්නය.

එම සංඥාව ලැබීමට පෙර, ගත් ආහාර වේල දිරවමින් සිටිද්දී තව ආහාර වේලක් ලබා ගැනීම නිසා සිදුවන්නේ ස්වභාවික ආහාර ජීරණ ක්‍රියාවලිය විකෘති වීමය. එම ආහාරය හොඳින් දිරවීමට ලක් වන්නේ නැත. එය පැසීම, පල්වීම යන අර්ථයෙන් විදග්ධ වීම ලෙස හඳුන්වයි. එවැනි ආහාරයකින් ශරීරයට උරා ගන්නේ විදග්ධ වූ පල් වූ ආහාර සාරය ය. මෙය ආයුර්වේදයේ හඳුන්වන්නේ ආමය ලෙසය. මෙම ආමය ශරීරයේ පුරා සෛලවල, පටකවල රැඳෙමින් ශරීරය තුළ සෑහෙන කාලයක් පවතී. එසේ එකතු වන ආමය හේතුවෙන් විවිධාකාර රෝග ආබාධ ඇති වේ. එය ඉතාම භායනක තත්ත්වයක් බව ආයුර්වේදය පෙන්වා දෙයි. වැදගත් ආහාර චර්යාවක අවශ්‍යතාව ආයුර්වේදය අවධාරණය කරන්නේ එබැවිනි.

දෙවැන්න තමන් ගන්නා ආහාරයේ ප්‍රමාණය ය. ආහාර මාත්‍රාව ද විවිධ සාධක මත වෙනස් වේ. වයස, රැකියාව, ශ්‍රමය වැය වන ප්‍රමාණය, තමන් ගන්නා ආහාර වේලේ සංයුතිය, ආහාර වේල ගන්නා අවස්ථාව වැනි සාධක ඒ අතර ප්‍රබලය. දළ වශයෙන් ආයුර්වේදය දෙන උපදේශය වන්නේ එක් ආහාර වේලක් ආමාශගත කිරීමේදී ධාරිතාවෙන් හතරෙන් එකක් හිස්ව තබා ගත යුතු බවය. විශේෂයෙන්ම රාත්‍රි අාහාරය සරල විය යුතුය.

නොගැළපෙන ආහාර හෙවත් සංයෝග විරුද්ධ, කාල විරුද්ධ, මාත්‍රා විරුද්ධ, දේශ විරුද්ධ ආහාර භෝජනය ආයුර්වේදයේ දී අනුමත කරන්නේ නැත. සංයෝග විරුද්ධ ආහාර යනු එකවර එකට නොගතයුතු ආහාරය. උදාහරණයක් ලෙස මස්, මාළු, බිත්තර වැනි මාංශමය ආහාරයක් ගතහොත්, ඒ මතට මුදවපු කිරි හෝ කිරි නිෂ්පාදන ගැනීම නුසුදුසුය. ඒවා සංයෝග විරුද්ධය. ගොඩ දිය මස් එකවර එකට ආහාරයට නොගත යුතුය. මස් සහ මාළු එක්වර කෑම සංයෝග විරුද්ධය. ඒ මොහොතේදී රෝගී නොවුණත් ඒ්වා ශරීරයේ එක් වී යම් මොහොතක රෝගාබාධ ඇති කරයි. එළගිතෙල් සහ මී පැණි සම ප්‍රමාණයෙන් කළවම් කිරීම සංයෝග විරුද්ධය. එවැනි සංයෝග විරුද්ධ ආහාර ගණනාවක් ආයුර්වේදයේ පෙන්වා දී තිබේ.

සංස්කරණ විරුද්ධ ආහාර වේ. ෆ්‍රයිඩ් රයිස් කොත්තු වැනි ආහාර සකස් කිරීමේ දීම ආයුර්වේදය අනුව සංස්කරණ විරෝධී ද්‍රව්‍ය කළවම් වී තිබේ. සමාජයේ බෝ නොවන රෝග මෙපමණම වැඩි වී ඇත්තේත් මෙවැනි ආහාර පුරුදු හේතුවෙනි.

මේ රටේ සම්ප්‍රදාය අනුව බලමාළු කෙළවල්ලන් වැනි මාළු ගොරකා සුදු ලූනු අඹරා දමා ඇඹුල් තියල් කර සකස් කිරීම සිදු කරයි. සෞඛ්‍යයට හිතකර ක්‍රමය එයය. නමුත් බලමාලු කෙලවල්ලන් කිරට හැදීම සංස්කරණ විරුද්ධ ය. ඉස්සන් උයනවිට මුරුංගා කොළ දැමීම නියම ක්‍රමය ය. මේ ආහාරවල ඇති අසාත්මිකතා නැති කිරීම අහිතකර කොලෙස්ට්‍රොල් මට්ටම් පාලනය කිරීම ඉස්සන් සහ කකුළුවන් පිසිනවිට මුරුංගා කොළ භාවිතයේ අර්ථය ය.

මේ රටේ දේශීය සූපක්‍රමවල රටට ආවේණික ආහාර සංස්කරණ ක්‍රම තිබිණි.

ආයු­ර්වේද විශේ­ෂඥ වෛද්‍ය ඩී.ඩබ්.ජේ. සේනා­රත්න

ආයු­ර්වේද විශේ­ෂඥ වෛද්‍ය ඩී.ඩබ්.ජේ.
සේනා­රත්න

කාල විරුද්ධ ආහාර යනු පවතින දේශගුණ කාලගුණ තත්ත්ව මත තෝරා ගතයුතු ආහාරයන්ය. වම්බටු, පිපිඤ්ඤා වැනි එළවළු ශීත කාලයට ගතහොත්, පසුගිය ගිනියම් කාලයේ බල මාලු කෙලවල්ලන් දෙල් වැනි ආහාර ගතහොත් එම ආහාර කාල විරුද්ධය. උදේ දිවා රාත්‍රී ආහාර සම්බන්ධ දැනුමක් තිබිය යුතුය. රාත්‍රී ආහාරයට ගත යුත්තේ සැහැල්ලු ආහාරයකි. අපේ පැරැන්නෝ හවස 6න් පසු තෙල් වළඳක් ලිපේ තිබ්බේ නැත. ඒ පුළුටු හොඳ නැති බව කියමිනි. රාත්‍රියට තෙල් සහිත බර ආහාර හැදුණේ නැත. මෙම කාල විරුද්ධ ආහාර සෙම පිත වාතය කෝප කර ලෙඩ රෝග වැඩි කරයි.

දේශ විරුද්ධ ආහාර යනු ප්‍රාදේශීය දේශගුණ තත්ත්වයන්ට නොගැළපෙන ආහාර ගැනීමය. ඝර්ම කලාපික ප්‍රදේශවල අය ගිනියම් අධික ආහාර ගැනීමත් ශීත දේශගුණයක් සහිත කලාපවල ජීවත් වන අය ශීතාධික ආහාර ගැනීමත් දේශ විරුද්ධ ආහාර ගැනීම්ය.

ජන්ම සහස්මි ආහාර නම් තවත් ආහාර විභේදනයක් තිබේ. එනම් ජන්මයෙන්ම අපට ගැළපෙන ආහාරය. ආසියාතික රටවල අපට ජානමය වශයෙන් අපේ ජීරණ පද්ධතිය හැඩ ගැසී ඇත්තේ බත් වැනි දළ අහාර දිරවීමටය. යුරෝපීයන්ට එය තිරිගුවලින් තැනූ පාන්ය. අපේ අග්නි බලය රැක ගැනීමට අප වසර දහස් ගණනක් හුරුවී ඇති ජන්ම සහස්මී ආහාර වෙත යොමු විය යුතුය. එම නිවැරදි ක්‍රමවලට ආහාර තෝරා ගැනීම, පිසීම, නිසි ආහාර චර්යාවකින් යුතුව ශික්ෂණය වීම තුළින් අපට අග්නි බලය තුලිත කරගෙන දීර්ඝායුෂ ලැබ ස්වස්ථතාව සහිතව නීරෝගි ජීවිතයක් ගත කළ හැකිය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division