මේ දිනවල පතිත වෙමින් තිබෙන මහ වර්ෂාව එන්නේ දැඩි නියඟයකින් පසුය. උෂ්ණාධික කාලයක් අවසන් කරමින් ඇද හැලෙන මේ ධාරාණිපාත වර්ෂාව නිසා මුළු පරිසර පද්ධතියේ මෙන්ම මිනිස් ශරීර අභ්‍යන්තරයේ ද යම් වෙනස්කම් ඇති වේ.
වර්ෂාව සමඟ නැවත පොළොවට පතිත වන වායුගෝලයේ ඇති විවිධ අංශු මිනිස් ශරීරයට හිතකර මෙන්ම අහිතකර ද විය හැකිය. එම ක්ෂුද්‍ර අංශු මතුපිට පොළොවේ ජල සාන්ද්‍රණය ද වෙනස් කළ හැකිය.
මේ තත්ත්වය තුළ ආහාර පාන සම්බන්ධව අප අවධාරනයකින් කල්පනා කළ යුතු වන්නේ ශරීරයේ ප්‍රතිශක්තීකරණය වැඩි කරගැනීමටය. එනම් ත්‍රිදෝෂ සමව තබා ගැනීම සඳහාය. වැසි සමඟ විවිධ රෝග පැතිරීම ඇරඹේ. සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, උණ, හතිය, වැනි රෝග ද, වාත රෝග ද, පාචනය අතීසාර වැනි ආමාශගත රෝග ඇති වීමේ අවදානම ද වැඩිය.
මෙම රෝගවලින් වැළකෙන්නේ කෙසේ ද?
පළමු දේ ප්‍රායෝගික පැවැත්මය. මේ අනෝරා වැස්සට නිරාවරණය වීම අවම කරගත යුතුය. එමෙන්ම ශරීරය නිරන්තරයෙන් උණුසුම්ව තබා ගත යුතුය. උණුසුම් පාන වර්ග වැඩියෙන් භාවිත කිරීම හා ශීත බීම වර්ග පානයෙන් වැළැකී සිටීම වැදගත්ය. එයින් සෙම රෝගවලින් වැළකීමටත් වාතය නිසා ඇතිවන ස්නායු ආබාධවලින් තොරව ශරීර ක්‍රියාකාරිත්වය නිසි පරිදි පවත්වා ගැනීමටත් හැකි වෙයි.
ආහාර රටාව
ආහාරයෙන් පරෙස්සම් විය යුතුය. මේ කාලයේ දී වාතය වඩන කෑම හෝ අධික සීතල වඩවන කෑම අගුණය. ඒ බව අපේ පැරැන්නෝ දැන සිටියහ. මෙවැනි ශීත කාලවලදී මුගුණුවැන්න, ගොටුකොළ, කොහිල අල, හාතාවාරිය වැනි කැඳ, මුං කැඳ, සව් කැඳ බීමෙන් වැළකී සිටීම සෙම සහ වාතය වැඩිවිය විය හැකි බවට වූ දැනුමක් පෙර අප සතුව තිබිණි. ආයුර්වේද උපදෙස්වලට අනුව සීතල පලා වර්ග, වම්බටු, පිපිඤ්ඤා පුහුල් වැනි ශීත වැඩි කරන කෑම වැසි සමයේ දී අඩු කළ යුතුය. මෙම ආහාරවර්ග වලින් වාතය මෙන්ම සෙම වැඩිවීමේ සම්භාවිතාව ද වැඩිය. සෙම වඩන අළුකෙසෙල් වැසි කාලයට සුදුසු නැත. එළවළු පිසීමේ දී තුනපහ වැඩි වශයෙන්ද හැකි ආහාරවලට වැඩි වශයෙන් ඉඟුරු එක්කර ගැනීමද වැදගත් උපායකි.
වැහි කාලයේ දී අපේ ආහාර රටාව තුළ මුං, කව්පි, කඩල වැනි ධාන්‍ය වර්ග උදේ ආහාරයට ගත්තේ නැත. හේතුව බඩ පුරවා දැමීම ය.
මේ වකාවානුවේ දී ශරීර උෂ්ණත්වය ඉහළව තබා ගැනීමට බත්, අලවර්ග, මස්වර්ග, බඩඉරිඟු, කුරහන්, වැනි බර ආහාර ගැනීම සුදුසුය. මුරුංගා කතුරු මුරුංගා ආහාරයට එක්කරගැනීම කළ යුතුය. මෝර මාළු, මඩු මාළු වැනි ශීතල මාළු වර්ග හැර කෙළවල්ලා, බලයා, හුරුල්ලා වැනි ඕනෑම මාළු වර්ගයක් ආහාරයට එක් කරගත හැකිය. අම්ලපිත්තය ඇති අයට හුරුල්ලා සහ බල මාළු අධිකව ගැනීම සුදුසු නැත. වැසි කාලයේදී පොළොස් ආහාරයට ගත හැකි මුත් කොස්ඇට සහ කොස් ආහාරයට ගැනීමෙන් බඩ පුරවා දැමිය හැකිය. වැසි සමයේ අපේ පැරැන්නන් මී කිරි කන්නට ගියේ නැත. ඉරමුසු, එළකිරි බොන්නට ගියේ නැත. එළකිරි බිව්වත් කිරි උතුරුවා ගන්නේ ඉඟුරු, කරාබුනැටි සහ ගැටතුඹ මුල් එක්කරය.
රණවරා, බෙලිමල්, පසුකාලයේ දී පැමිණි තේ පානය ප්‍රමුඛ විය. පාන වර්ග සමඟ ඉඟුරු මිශ්‍ර කර ගැනීමෙන් ශරීරය උණුසුම් කිරීම, සෙම මෙන්ම ත්‍රිදෝෂ පාලනය ද සිදු කෙරේ.
කෙසේ වෙතත් තමන්ට සුදුසු ආහාර පිළිබඳ අත්දැකීම්වලින් තහවුරු කරගත් සරල දැනුමක් සෑම පුද්ගලයකුම සතු වීම වැදගත්ය.
අප කන කොළ පලාවර්ග භාවිතයේ දී ඉතාම සැලකිලිමත් විය යුතු වන්නේ දෙගොඩතලා යන වතුරෙන් යට වන විෂබීජවලින් ගහන පලා වර්ග අතීසාරය, පාචනය, සෙංගමාලය වැනි රෝග ප්‍රචලිත කරන මාධ්‍යයන් විය හැකි බැවිනි. වැසි සමයේ දී බිම වැවෙන පලා කොළ ආහාරයට ගැනීම අවම කළ යුතුය. එවැනි පලා වර්ග ගන්නවා නම් විශ්වාස තැනකින් ගෙන ඉතා හොඳින් පිරිසිදු කරගැනීම අනිවාර්යයය. කතුරුමුරුංගා, තෙබු වැනි උසින් වැවෙන පලා වර්ග මේ කාලයේ දී ආහාරයට එක් කර ගැනීම සුදුසුය.
අප බොහෝ විට වීදි අාහාරවලට රුචිය. විෂබීජ බෙහෙවින්ම පැතිරී යන මේ වකවානුවේ වීදි ආහාර ගැනීමෙන් වැළකී සිටීම යහපත්ය. මේ කාලයේ දී හොඳින් පිරිසිදු කළ ජලය හෝ උණු කර නිවාගත් ජලය පානය කිරීම වටින්නේය.
අත් බෙහෙත්
වාත රෝග සහ එම වේදනාවෙන් පෙළෙන අයට ඉඟුරු සුදු ලූනු සහ හීන් අරත්තවලට බෙලිමුල් බැබිල මුල් එක් කර තම්බා දීමෙන් රෝග වේදනාව පාලනය කරගත හැකිය.
මේ කාලයේදී හවසට දෙහි කොළ, යකි නාරන් කොළ, ආඩතෝඩ කොළ වර්ගවලින් එකක් හෝ දෙක තුනක් එකට තැම්බූ වතුරෙන් හොඳට දුම් ඇල්ලීම කළ හැකිය.
මඩ සහ අප ජලය සහිත පොළොවේ පය ගසා යන අය රාත්‍රී කාලයේ දී උණු වතුරෙන් පා සෝදා අමු කහ සහ කපුරු පෙති දමා රත් කළ පොල් තෙල් යටිපතුලේ ගැල්වීමෙන් දියමිටියන් කෑම වැනි ආසාදනවලින් වැළැකි සිටිය හැකිය.
මේ වකවානුවේ සෙම් කෝපවීම් නිසා ඇති වන හිසේ කැක්කුමට ඉහත කී පැඟිරි දුම් ඇල්ලිය හැකිය.
සියඹලා කොළ, රතුලූනු සහ හීන් උඳුපියලිය කොටා පොට්ටනි බැඳ නළල තැවීම සිදු කිරීමට හැකිය. මෙම කාලයේදී දිනකට වරක් හෝ ඉඟුරු කොත්තමල්ලි, වෙනිවැල්ගැට තම්බා බීමට හුරු විය යුතුව ඇත.