Home » ජපානයේ ප්‍රථම ථේරවාදී ශ්‍රී ලාංකික වන ලංකා ජී විහාරය

ජපානයේ ප්‍රථම ථේරවාදී ශ්‍රී ලාංකික වන ලංකා ජී විහාරය

බෞද්ධ විහාරයට වසර 40යි

by Mahesh Lakehouse
May 25, 2024 12:30 am 0 comment

(වසර 1941 ට පෙර ජපානයේ පැවතියේ මහායාන බුදුදහමයි. 1984 මැයි 26 වෙනිදා ජපානයේ ප්‍රථම ථේරවාදී ශ්‍රී ලාංකික බෞද්ධ විහාරය වන ලංකා ජී විහාරය බානගල උපතිස්ස නා හිමියන්ගේ ආරාධනයෙන් එවක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. විහාරස්ථානය පිහිටුවා මේ වන විට වසර 40 සම්පූර්ණ වෙයි. එම විහාරය ඉදිකිරීමට පුරෝගාමී වූ බානගල උපතිස්ස නා හිමියන් සමඟ කළ සාකච්ඡාවක් ඇසුරින් මේ ලිපිය සැකසුණි)

1976 අවුරුද්දෙ ජපානයට මට එන්න මුලින්ම අවස්ථාව ලැබුණා. ජපානයේ ළදරු අධ්‍යාපනය ඒ කාලෙත් ඉතා දියුණුයි. මම ජපානයට එනකොට මට අවුරුදු විසි හයයි. මම ළදරු අධ්‍යාපනය හදාරමින් ඉන්න කාලේ හිතුණා ලංකාවේ නම පවතින දෙයක් ජපානයේ කරන්න ඕන කියලා.

මමත් අවුරුදු දොළහ ඉඳලා ධර්මපාල පරපුරේ කෙනෙක් හැටියට එතුමාගේ ජීවිතය, දර්ශනය, බලාපොරොත්තු පිළිබඳ ඉතාම ගැඹුරින් හදාරලා තිබුණා. ධර්මපාලතුමා කිහිප වතාවක්ම ජපානයට ඇවිල්ලා තිබුණා. ධර්මපාලතුමා ගිය යුරෝපය ඇතුළු බොහෝ රටවල්වල මහාබෝධි සමාගම ස්ථාපිත කළා, බෞද්ධ ආගමික වැඩ කටයුතු ආරම්භ කළා. නමුත් ජපානයේ ඒ වැඩ කටයුත්ත කරගන්න බැරි වුණා.

ධර්මපාලතුමාට ලොකු සිහිනයක් තියෙන්න ඇති ජපානයේත් ථේරවාදී බුදු දහම ස්ථාපිත කරන්න බෞද්ධ විහාරයක් පිහිටුවන්න. මට හැම තිස්සෙම හිතුණේ ධර්මපාලතුමාගේ ඒ සිහිනය මම කොහොම හරි සැබෑ කරන්න ඕනේ කියලා. එහෙම හිතලා එතුමාට ගෞරවයක් ලංකාවට අභිමානයක් ඇති කරන, කවදාවත් අහෝසි නොවන සිහිවටනයක් ජපානයේ ඇති කරන්න ඕනේ කියලා මම අධිෂ්ඨානයක් ගත්තා.

මම අධ්‍යාපනය ලබන කාලයේ නතර වෙලා හිටියේ මට ජපානයට එන්න සියලු මාර්ග විවර කර දුන් ජපානයේ මගේ අම්මා වුණ යොෂිඩා මැතිනියගේ නිවසේ. නමුත් භික්ෂුවක් හැටියට මට අවශ්‍ය වුණා වෙනම ජීවත් වෙන්න. යොෂිඩා මැතිනිය එය පිළිගත්තා, ඒකට මට උදව් කරන්න එකඟ වුණා. ඒ අනුව මම Kitakoiwa Edogawa – ku වල කුඩා නිවසක් කුලියට ගත්තා. ජපානයේ ශ්‍රී ලංකා විහාරයක් බෞද්ධ මධ්‍යස්ථානයක් ගොඩනැඟීම පිළිබඳව ඒ කාලේ හිටිය ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහත්තයාව දැනුම්වත් කර තිබුණා.

මේ කාලේ අධ්‍යයන කටයුතුවලට ඇවිල්ලා හිටිය ආචාර්ය වල්පොල රාහුල හාමුදුරුවෝ නතර වෙලා හිටියේ මගෙත් එක්ක. මං උන් වහන්සේට මගේ අදහස කිව්වා. ජපානයේ ශ්‍රී ලංකා බෞද්ධ මධ්‍යස්ථානයක් පිහිටුවන්න අවශ්‍යයි කියලා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහත්තයාට දැනුම් දෙන්න ඕනේ කියලා. මොකද ජේ.ආර්. ජයවර්ධන මහත්තයා සහ ජපානය අතර විශාල බැඳීමක් තියෙනවා. ඒ වගේම ජේ.ආර්. ජයවර්ධන මහත්තයාට ජපානයේ විශාල පිළිගැනීමක්, ගෞරවයක් තියෙනවා.

ඒ අනුව වල්පොල රාහුල හාමුදුරුවෝ ජයවර්ධන ජනාධිපතිතුමාට කතා කරලා කිව්වා,”අපේ බානගල පොඩි හාමුදුරුවෝ ජපානේ පන්සලක් හදනවා, ඔබතුමා ඇවිල්ල ඒක විවෘත කරන්න ඕනේ” කියලා. ජනාධිපතිතුමා ඒ ආරාධනාව පිළිගත්තා .

ඒ අනුව 1984 මැයි 26 වෙනි දින ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ ජපාන චාරිකාව අතරවාරයේ දී ජපානයේ ප්‍රථම ථෙරවාදී හා ලංකාවට සම්බන්ධ ප්‍රථම විහාරය නිල වශයෙන් විවෘත කළා.

යොෂිඩා මැතිනිය සහ ශෝකන් ජි විහාරයේ විහාරාධිපති ඔකුමාරා හිමි ඒ පිළිබඳ සාකච්ඡා කර ටෝකියෝ නුවර තිබූ Ikegami Honmon – Ji විහාරයේ ශාලාව අපට ඒ වෙනුවෙන් ලබා දුන්නා. එම විහාරාධිපති නායක හාමුදුරුවොත් ඉතාම සතුටට පත්වුණා; ලංකාවේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන එම විහාරයට එන එක ගැන.

ලාංකිකයෙක් වෙනුවෙන් ජපානයේ ස්මාරක කීපයක්ම ඉදිකර තිබෙන්නේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා වෙනුවෙන් විතරයි. ඒ කාලේ ජපාන ජාතිකයන් ලංකාවේ අය ගැන හා ලංකාවේ බුදු දහම ගැන ඒ තරම් දැඩි උනන්දුවක් දැක්වුවේ නැහැ. නමුත් ජේ.ආර්. ජයවර්ධන ගැන ඔවුන් බොහෝ දෙනෙක් දන්නවා.

නමුත් මට අවශ්‍ය වුණා අපේම විහාරයක් මේ ජපානයේ හදන්න. මොකද මෙතන හිටියේ මම කුලියට. ජපානයේ පන්සලක් හදනවා නෙමෙයි ගෙයක් ගන්නවා කියන එකත් ලේසි පහසු දෙයක් නෙමෙයි. මේ වැඩේට අවශ්‍ය මුදල හිතා ගන්නවත් බැහැ. ජපානේ ඉඩම් හරි ගණන්. අනික මම ජපානේ කිසිම මුදල් උපයන මාධ්‍යයක යෙදිලා හිටිය කෙනෙක් නෙමේ. නමුත් හිත ඇත්නම් මොනවද කරන්න බැරි කියලා හිතලා, මම මගෙත් එක්ක සමීපව ඉන්න ජපන් ජාතිකයන් හැමෝම එක්කම ඒ ගැන හැම තිස්සෙම කතා කළා. මෙහෙම ඉන්න කොට දවසක් (1989) ජපන් ජාතික “නකසතෝ කෝජි” මහතා කිව්වා මොකක් හරි කරන්න පටන් ගන්න ඕනේ කියලා, එයා මට යෙන් මිලියනයක් දුන්නා. එය ලැබුණහම මට මහා සතුටක් දැනුණා. ඊට පහුවෙනිදා මේ සිද්ධිය යොෂිඩා මැතිනියට කිව්වා. එතුමියත් මට යෙන් මිලියනයක් දුන්නා. ඊට පහුවෙනිදා මම ඒ සිද්ධිය “අයිකාවා මිට්සුවෝ” මහතාට කිව්වා. එතුමත් යෙන් මිලියනයක් දුන්නා. ඊට පසු මම තවත් කෙනෙකුට කිව්වා ඒ සතුට බෙදා ගන්නයි. එතකොට එයත් මට යෙන් මිලියනයක් දුන්නා. මේ විදිහට මට හිතවත් ජපන් ජාතිකයන් දහදොළොස් දෙනෙක් මට මුදල් පරිත්‍යාග කළා. නමුත් ඒ මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ ඒ කාලේ හැටියටත් ඉඩමක් ගන්නවත් තාවකාලික විහාරයක් ගොඩ නගන්නවත්. ඉතින් මම ඒ ඉඩමක් හොයමින් හිටියේ. එතකොට නරිටා ගුවන් තොටුපොළ ඉදිකරන්න පටන් අරන් තිබුණේ. ඉතින් මම ටෝකියෝවල ඉඳන් දුරින් පිහිටි ගම්බද ප්‍රදේශවලට ඇවිල්ලා හෙව්වා බැලුවා, මට හිතුණා ඒ වගේ පළාත්වල ඉඩම් ටිකක් මිල අඩු ඇති කියලා. ඒ වෙලාවේ තමයි මේ ටෝකියෝවල ඉඳලා කිලෝමීටර් 80ක් දුරින් පිහිටි කතෝරි නගරාසන්නයේ සවරා කියන පළාතේ කොගයිෂිමා කියන මේ ඉඩම ගැන මට දැනගන්න ලැබිලා ඇවිල්ලා බැලුවේ. නමුත් මේ ඉඩම ගන්න අවශ්‍ය තරම් මුදල් මගේ අතේ තිබුණේ නැහැ. ඉතින් මේ ඉඩම හිමි ජපන් ජාතික මහත්තයා එක්ක මං කතා කරන කොට එයා මං ගැන පැහැදිලා හෝ මං ගැන අනුකම්පාවෙන් හෝ එයා කිව්වා “මේ ඉඩම ගන්න ඔයාගේ අතේ තියෙන මුදල මදි, නමුත් කමක් නැහැ. අතේ තියෙන මුදල දීලා මේ මුළු ඉඩම ඔයා ගන්න, පස්සේ මට ඉතුරු සල්ලි මුදල් ලැබෙන විදිහට තියෙන වෙලාවක දෙන්න ” කියලා. ඒ විදිහට තමයි මේ භූමිය ලැබුණේ. භූමිය ලැබුණට මෙතන මොකුත් ගොඩනැඟිල්ලක් ඉන්න හිටින්න තැනක් තිබුණේ නැහැ. පස්සේ තාවකාලික ගොඩනැඟිල්ලක් හැදුවා. පසුව ස්ථිර ගොඩනැඟිල්ලක් හදාගත්ත.

මේ විදිහට අපි ආරම්භ කළ මේ ලංකා ජී විහාරය අද භෞතික දියුණුවක් වගේම ආධ්‍යාත්මික දියුණුවක් වෙලා තියනවා.

මෙම විහාරයේ තියෙන ඓතිහාසික විශේෂත්වය මේ විහාරය තමයි ජපානයේ ආරම්භ කළ ප්‍රථම ථෙරවාදී බෞද්ධ සිද්ධස්ථානය වීම. ජපානයේ යම් ආගමික ස්ථානයක් ස්ථාපිත කරනකොට ඒකට “ෂූකෝ හෝජින්” ලබාගත යුතුයි. එය නීතියක්. විදේශීය කෙනෙකුට ඒක ලබාගැනීම අතිශයින්ම අමාරුයි. ජපන් රජය සවාරා ලංකා ජී විහාරයට ඒ ගෞරවනීය පිළිගැනීම ලබා දී තිබෙනවා. අපිට ජපානයේ ඕනෑම තැනක මේ විහාරයේ අනුබද්ධ ශාඛා පිහිටුවන්න අවසර තියෙනවා. ඒක ශ්‍රී ලාංකික අපි ලැබූ විශාල ගෞරවනීය ජයග්‍රහණයක්.

ඒ වගේම ලාංකික අපිට ආඩම්බර වෙන්න පුළුවන් තවත් ප්‍රධාන කාරණයක් තමයි, අපිට වඩා ආර්ථික වශයෙන් ශක්තිමත් ථේරවාදී බුදු දහම ප්‍රචලිත රටවල් තිබුණත් ජපානයේ පළමු ථේරවාදී බෞද්ධ සිද්ධස්ථානය ඉදි කරන්න හැකියාව ලැබුණේ ශ්‍රී ලාංකික අපිටයි.

අනිත් සුවිශේෂත්වය තමයි මම දන්න තරමට ජපානයේ ඉඩමක් සින්නක්කර පළමු වරට මිලදී ගත් පළමු ලාංකිකයා මම.

අද මෙම විහාරය ථේරවාදී සම්ප්‍රදායේ චෛත්‍යයක්, අලංකාර බුදුපිළිම වහන්සේ නමක් සහිත බුදු මැදුරක්, ඝණ්ටාර කුලුණ, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් වැනි විහාරයකට අනිවාර්ය ත්‍රිවිධ චෛත්‍යයෙන් අනූන අත්‍යවශ්‍ය අංගවලින් සපිරුණු පූර්ණ පුදබිමක්. ඒ වගේම අපිට පුළුවන් වුණා අනගාරික ධර්මපාල තුමන්ගේ ප්‍රතිමාවක් මේ විහාර භූමියේ ස්ථාපිත කරන්න.

විහාර ගෙයි වැඩ සිටින බුදුපිළිම වහන්සේ අපට පූජා කළේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා. ඒ වගේම විහාර මළුවේ වැඩ සිටින බුදු පිළිම වහන්සේ අපිට පරිත්‍යාග කළේ කැපිටල් මහරාජා ව්‍යාපාර සමූහයේ සභාපති රාජා මහේන්ද්‍රන් මහතා. ඒ වගේම අලංකාර චෛත්‍යය ඉදිකර දුන්නේ ශ්‍රී ලාංකික තරුණයෙක් වන ජගත් රාමනායක මහතා.

ඒ වගේම මේ විහාරයේ වැඩ වාසය කරන අපේ භික්ෂූන් වහන්සේලා ඉතාම කැපවීමෙන් කටයුතු කරමින් පැමිණෙන දායක දායිකාවන්ගේ ආගමික කටයුතු ඉෂ්ට සිද්ධ කරලා දෙනවා. ඒ තුළින් තමයි මේ විහාරය අද වෙනකොට මේ තරම් දියුණුවකට පත්වෙලා තියෙන්නේ. මේ විහාරයට එන්නේ බෞද්ධයන් විතරක් නෙමෙයි. ක්‍රිස්තියානි අයත් එනවා. මම දැකලා තියෙනවා මුස්ලිම් අය පවා එනවා. චෛත්‍ය විවෘත කරන දවසේ පළමු මල් කළඹ චෛත්‍යරාජයන් වහන්සේට පූජා කළේ මුස්ලිම් ජාතිකයෙක්. මොකද ජපානේ සිටින හැම ලාංකිකයෙක්ම හිතන්නේ ලාංකිකයෙක් විදිහට මිසක් ආගමික පසුබිමක් එක්ක නෙමෙයි.

මේ වන විට තවත් ථේරවාදී විහාර කිහිපයක්ම ජපානයේ ඉදිකර තිබෙනවා. ඒ හැම විහාරයකටම එම කටයුතු කරගෙන යන්න හැකියාව ලැබුණේ ලංකා ජී විහාරය ලබාගත් ගෞරවය මතයි. ලංකා ජී විහාරය පන්සලක් පමණක්ම නෙවෙයි. මෙය බෞද්ධ මධ්‍යස්ථානයක්, අධ්‍යාපන කේන්ද්‍රයක්, ඒ වගේම අධ්‍යාපනයට, විවිධ අධ්‍යයන කටයුතුවලට ජපානයට එන අයගේ ගෙදර බවට අද පත්වෙලා තියෙන්නෙ මේ ලංකා ජී විහාරයයි. ඒ නිසා ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්වයේ සැබෑ පාලම මේ විහාරයයි.ඒ වගේම මෙම විහාරය නිසා දැන හඳුනාගත් බුදු දහම හදාරන්න ආසාවෙන් සිටින සිය ගණන් ජපන් ජාතිකයෝ ලංකාවේ සංචාරයට එන්න පටන් ගත්තා. ඒ අය ලංකාවේ වෙහෙර විහාරවලට, ළදරු අධ්‍යාපනයට, සමාජ සේවා කටයුතුවලට විශාල වශයෙන් ආධාර උපකාර කළා. ඇත්තටම අපි ඒ කළේ මහා තානාපති සේවයක්. අපි කළ ඒ තානාපති සේවය අද ජපානයේ ඉන්න ශ්‍රී ලාංකික තරුණ තරුණියෝ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉටු කරනවා කියන එක කියන්න ඕනේ. මොකද ඒ කාලෙ ලංකාව කිව්වහම ජපන් ජාතිකයන් සිතියමේ හොයනවා කොහෙද මේ රට තියෙන්නේ කියලා. අද ජපන් ජාතිකයෝ බොහෝ දෙනෙක් ලාංකික තරුණ තරුණියන්ගේ ඇසුර නිසා ලංකාව ගැන බොහෝ දේ දැන හඳුනා ගෙන තියෙනවා. ඒ ගෞරවය මේ ලංකා ජී පන්සලට හිමිවෙන්න ඕන මොකද, ලංකාවෙන් ජපානයට ආ බොහෝ දෙනෙක්ට මුල් කාලයේ නැගිටින්න අත හිත දුන්නේ මේ පන්සල. ඉන්න හිටින්න, කන්න බොන්න දුන්නා විතරක් නෙමෙයි ඔවුන්ට ඉදිරියට යන්න අවශ්‍ය බොහෝ දේ ළඟාකර දුන්නේ මේ විහාරස්ථානය. ඒ වෙනුවෙන් සාක්ෂි දරන්න ඕනෑ තරම් අය ජපානයේත් ලංකාවෙත් අද ඉන්නවා.

උපුල් ජනක ජයසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division