Home » ඉන්දියාවට ප්‍රහාරයක් එල්ල කරන්න ලංකාවෙන් ගිය ISIS නාට්ටාමිලා

ඉන්දියාවට ප්‍රහාරයක් එල්ල කරන්න ලංකාවෙන් ගිය ISIS නාට්ටාමිලා

by Mahesh Lakehouse
May 25, 2024 12:30 am 0 comment

ත්‍රස්ත ක්‍රියාවක් සිදු කිරීමේ සූදානමින් ඉන්දියාවට ඇතුළු වී සිටියදී ඉන්දියානු ගුජරාටි ත්‍රස්ත මර්දන ඒකකය (ATS) විසින් අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවටගත් අයි.එස්.අයි.එස්. සාමාජිකයන් බව කියන ශ්‍රී ලංකිකයන් සිව් දෙනා සම්බන්ධයෙන් ඉන්දියානු ආරක්ෂක අංශ විසින් සිදු කරන විමර්ශනයන්ට සමගාමීව මෙරට ආරක්ෂක අංශයත් මේ වන විට විමර්ශන ආරම්භ කර හමාරය. ඒ ගුජරාටි ත්‍රස්ත මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගත් මෙම ශ්‍රී ලාංකිකයන්ගේ මෙරට කොන් සොයා ගැනීම සඳහාය. ඒ මෙරට ජාතික ආරක්ෂාව කෙරෙහි ද විශේෂ සැලකිල්ලක් දක්වමිනි.

මේ සම්බන්ධයෙන් දේශීය වශයෙන් විමර්ශන සිදු වන්නේ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මඟිනි. පොලිස් අධිකාරිවරු දෙදෙනෙකුගේ පූර්ණ අධීක්ෂණය ඇතිව ඉතා රහසිගතව මෙම විමර්ශනය සිදු වන්නේ ඉන්දියානු ගුජරාටි ත්‍රස්ත මර්දන ඒකකය හා සම්බන්ධ වෙමිනි. ඊට රාජ්‍ය බුද්ධි සේවය ඇතුළු මෙරට බුද්ධි අංශවලින්ද ලැබෙන්නේ සක්‍රිය දායකත්වයකි.

මෙතෙක් දේශීය වශයෙන් සිදු කර ඇති විමර්ශනවලින් පෙනී ගොස් ඇති ආකාරයට අනුව ඉන්දියාවට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් ඉන්දියාවට ඇතුළු වී සිටියදී අත්අඩංගුවට ගත් අයි.එස්.අයි.එස්. සාමාජිකයන් සිව් දෙනාම අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට තදින්ම ඇබ්බැහි වූවෝය. අන්තවාදී ආගමික කරුණු මුල් කරගෙන එක දෙවියෙක් වෙනුවෙන් සටන් කරන අයි.එස්.අයි.එස්. වැනි ත්‍රස්තවාදීන් සිය ප්‍රහාර සඳහා මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් යොදාගත් බව මෙයට පෙර කිසිදු අවස්ථාවකදී අනාවරණය වන්නේ නැත. එසේම මේ සිව් දෙනාම අන්තවාදී ලෙස සිය ආගම ඇදහීමක් සිදු කර ඇති බවට පවා මෙතෙක් කිසිදු සාධකයක් සොයා ගැනීමට ද දේශීය විමර්ශකයන්ට හැකියාවක් ලැබී නැත. එසේම මේ සිව් දෙනාම අසාර්ථක විවාහයන් කිහිපයක්ම කරගත්තවුන්ය.

ඉන්දියානු වාර්තා සඳහන් කරන ආකාරයට මේ සිව් දෙනා මෙහෙයවා ඇත්තේ අබූ නැමැති පකිස්තානු ජාතික අයි.එස්.අයි.එස්. ප්‍රධානියෙකි. අයි.එස්.අයි.එස්. බව කියන මෙම ශ්‍රී ලාංකිකයන් සිව් දෙනා ඉන්දියාවට ප්‍රහාරයක් එල්ල කිරීමට දිරිමත් කරමින් මෙහෙයවා ඇතැයි පැවසෙන්නේ අබු විසිනි. ශ්‍රී ලංකාවේ සිට මෙම සිව් දෙනාට ඉන්දියාවට ඇතුළු වීමට අවශ්‍ය පහසුකම් සපයා දුන්නේ යැයි කියැවෙන්නේද පකිස්ථානයේ සිට මේ අය මෙහෙය වූ බව කියන අබු විසිනි. මේ බව පවසන්නේ ගුරාරාට් පොලිස් ප්‍රධානී විකාශ් සහේ විසිනි.

මෙම සිව් දෙනාගෙන් තිදෙනෙක්ම කොළඹ නගරයේ පදිංචිකරුවන්ය. සිව් වැන්නා මීගමුවේ පදිංචි මොහොමඩ් නුෂ්රාත්ය. 1991 වසරේ ජනවාරි 08 වැනිදා උපන් ඔහු මීගමුව පෙරියමුල්ල රහහුමනාබාද් හි පදිංචිව සිටියෙකි. අත්අඩංගුවට පත්වන විට ඔහු අත තිබී ඇත්තේ එන්. 907060 අංකය දරන විදෙස් ගමන් බලපත්‍රයයි. විමර්ශනවලින් හෙළිවී ඇති පරිදි ඔහු 40 වතාවක් පමණ ඉන්දියාවට ආගිය අයෙකි. ඒ ගැන ඉන්දියාවෙන් මෙන්ම දේශීය වශයෙන් කෙරෙන විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ ඔහු වැඩි වශයෙන් මෙසේ ඉන්දියාවට ගොස් ඇත්තේ රන් සහ අයිස් ජාවාරම සඳහා බවය. ඒ හැරුණු කොට ඔහු විදේශයන්ගෙන් ජංගම දුරකතන හොර පාරෙන් මෙරටට රැගෙන විත් අලෙවි කිරීමේ ව්‍යාපාරයකද නිරතව සිට ඇත.

නුෂ්රාත්ගේ පියා ජුවලරියක හිමිකරුවෙකි. එම ජුවලරිය ඇත්තේ මීගමුවේය. දේශීය වශයෙන් සිදු කරනු ලබන විමර්ශනවලදී පෙනී ගොස් ඇත්තේ නුෂ්රාත්ගේ පියා කාතන්කුඩියේ සිට මීගමුවට සංක්‍රමණය වී ඇති බවය. ඒ ව්‍යාපාරික කටයුතු සඳහාය. අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින්නෙක් බව කියන නුෂ්රාත් පසුගිය වසරේදී අයිස් සමඟ පොලීසියට ද හසුවී ඇත. ඒ සම්බන්ධයෙන් වූ නඩුවක් අධිකරණයේ තවමත් විභාග වෙමින් ඇත. ඔහු කොළඹ හා මීගමුව අතර අයිස් මත්ද්‍රව්‍ය බෙදා හැර ඇති අයෙක් ලෙස ද හඳුනා ගෙන ඇත.

දේශීය වශයෙන් සිදු කරනු ලබන විමර්ශනවලින් හෙළිවී ඇති ආකාරයට අනුව නුෂ්රාත් ද විවාහ දෙක තුනක්ම කරගෙන සිටින්නෙකි. එම විවාහයන්ගෙන් දරුවන් හතර පස් දෙනෙක් ද නුෂ්රාත්ට සිටින බව සඳහන්ය. එක් බිරියක් දරුවන් සමඟ පදිංචිව සිටින්නේ යැයි කියැවෙන්නේ කොටිකාවත්තේය.

ඉන්දියාවට ප්‍රහාරයක් එල්ල කිරීමට මෙරට සිට ගිය සිව් දෙනාගේ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස හඳුනාගෙන ඇත්තේ නුෂ්රාත්වය. දේශීය වශයෙන් සිදු කරන විමර්ශනයන්ට අදාළව නුෂ්රාත්ගේ සමීපතම යෙක්ද මේ වන විට සිටින්නේ අත්අඩංගුවේය. දීර්ඝ ලෙස කෙ‍ෙරන ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු බොහෝ දේවල් හෙළිකර ඇති බව සඳහන් වූවත් ඒ හැම දෙයක්ම විමර්ශන මට්ටමේ ඇති බැවින් ඒ තොරතුරු තවමත් ඇත්තේ රහසිගතවය. ඒ, එම විමර්ශනය ඉන්දියාව හා ඒකාබද්ධ විමර්ශනයක් ලෙස පවතින බැවිනි.

නුෂ්රාත්ගේ පවුලේ සාමාජිකයන්ගෙන් පොලීසිය මේ ගැන කළ ප්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා ඇත්තේ නුෂ්රාත්ගේ අයි.එස්.අයි.එස්. සම්බන්ධයක් ගැන තමන් කිසිවක් නොදන්නා බවය. ඔවුන් පවසා ඇත්තේ නුෂ්රාත් ඉන්දියාවට ගියේ මිතුරන් සමඟ සංචාරයක් සඳහා යන බව පවසමින් බවය.

ඉන්දියාවට ප්‍රහාරයක් එල්ල කරන්නට ගොස් ගුජරාටි ත්‍රස්ත විමර්ශන ඒකකයේ අත්අඩංගුවට පත්ව සිටින සිව් දෙනා අතර මෙරට පාතාලයේ ප්‍රබලයකු මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවකු වූ පොට්ට නවුෆර්ගේ පුතා ද සිටින බව සඳහන්ය. මොහොමඩ් නෆ්රාන් නවුෆර් නැමැති ඔහු ගැන දේශීය වශයෙන් සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ පොට්ට නවුෆර්ගේ පුතා යැයි කීවද ඒ පොට්ට නවුෆර්ගේ නීත්‍යනනුකූල බිරියගේ පුතකු නොව ඔහුගේ හොර අඹුවන් අතර සිටි එක් අඹුවකගේ පුතකු බවය. ගුජරාට් පොලිස් ප්‍රධානී විකාශ් සහේ ඉන්දියානු මාධ්‍ය වෙත සඳහන් කර ඇති ආකාරයට නෆ්රාන් 38 වතාවක් ඉන්දියාවට ආගිය අයෙකි. කොළඹ 12 එම්.ජේ.එම්. ලතීෆ් මාවතේ පදිංචිකරුවකු වන නෆ්රාන් ඉන්දියාවට ඇතුළු වී ඇත්තේ එන්. 10787889 අංකය දරන විදෙස් ගමන් බලපත්‍රයෙනි. 1997 වසරේ ජූලි 12 වැනිදා උපන් නෆ්රාන් ද අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින්නෙක් බවට දේශීය වශයෙන් කෙරෙන විමර්ශනවලින් අනාවරණය වී ඇත. විවාහයන් කිහිපයක්ම කරගෙන සිටින ඔහුටද දරුවන් දෙතුන් දෙනෙක් සිටින බව සඳහන්ය. කලක් විදෙස්ගතව ද සිට ඇති නෆ්රාන් ඉන්දියාව හා ලංකාව අතර සිදු වන නීති විරෝධි ජාවාරම්වලටද සම්බන්ධව සිටියකු බව පෙනී ගොස් ඇත. ඔහු පෙනී සිට ඇත්තේ ව්‍යාපාරිකයකු ලෙසිනි. ඉන්දියාවට පහර දෙන්නට ගිය කණ්ඩායමේ දෙවැනියා ලෙස හඳුනා ගෙන සිටින්නේ ඔහුය.

නුෂ්රාත් සහ නෆ්රාන් හැරුණු කොට සෙසු දෙදෙනා ඉන්දියාවට පය තබා ඇත්තේ පළමු වතාවටය. විශේෂත්වයක් වන්නේ ඒ දෙදෙනාම නාට්ටාමිලා වන වන බැවිනි. ඒ අතර සිටින එක් අයෙක් නාට්ටාමි රැකියාවට අමතරව ත්‍රිරෝද රථයක් කුලියට ධාවනය කර ඇත්තේ අමතර ආදායමක් උපයා ගන්නටය. ඔහු මොහොඩ් රස්ඩීන් අබ්දුල් රසීම් ය. ඔරුගොඩවත්ත නවගම්පුර දෙවැනි අදියරයේ තට්ටු නිවාස සංකීර්ණයේ පදිංචිකරුවකු වන රස්ඩීන් 1980 වසරේ සැත්තැම්බර් 05 වැනිදා උපන්නෙකි. ඉන්දියාවට ඔහු ඇතුළු වන්නේ එන්. 6708541 අංකය දරන විදෙස්ගමන් බලපත්‍රය අතැතිවය. අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ද තදින්ම ඇබ්බැහි වී සිටින රස්ඩීන් අවස්ථා කිහිපයකදීම මත්ද්‍රව්‍ය සමඟ පොලීසියටද හසුවී ඇත. ඒ සම්බන්ධයෙන් අධිකරණයේ ඔහුට එරෙහිව නඩු දෙක තුනක්ම තවමත් විභාග වෙමින් ඇති බව කියැවේ. රස්ඩීන් ද අසාර්ථක විවාහයන් දෙකක් ඇති අයකු වන අතර එම විවාහයන්ගෙන් දරුවෝ දෙතුන් දෙනකු සිටිති. ඉන්දියාවට ගිය මේ ගමන හැරුණු කොට රස්ඩීන් වෙනත් රටකට ගිය බවක් මෙතෙක් අනාවරණය වී නැත. ඒ අනුව ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකයට ඔහු හසුවන්නේ සිය මංගල විදෙස් ගමනේදීය.

ඉන්දියාවට ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමින් ගොස් සිය මංගල විදෙස් ගමනේදීම ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකයට හසුවී සිටින සිව් වැන්නා වන්නා ද නාට්ටාමියෙකි. ඔහු මොහොමඩ් ෆාරිස් මොහොමඩ් ෆාරුක් ය. මාලිගාවත්ත ජුම්මා මජ්ජීත් පාරේ පදිංචිකරුවකු වන ෆාරිස් 1987 වසරේ සැත්තැම්බර් 10 වැනිදා උපන් අයෙකි. ඉන්දියාවට ඔහු යන්නේ එන්. 8255452 අංකය දරන විදෙස්ගමන් බලපත්‍රය අතැතිවය. ෆාරුක් නාට්ටාමි රැකියාවේ නිරත වන්නේ පිටකොටුවේය. විවාහක බිරිය ඔහු අතහැර ගොස් ඇති අතර ඔහුට දාව උපන් දියණිය සමඟ බිරිය පදිංචිව සිටින්නේ යැයි කියැවෙන්නේ වැල්ලම්පිටිය ප්‍රදේශයේය. ෆාරුක්ගේ මවුපියන් මීට සිව් වසරකට පෙර මියගොස් ඇති බව පැවසෙන අතර ඒ හැරුණු කොට ඔහුගේ ඥාතියකු සොයා ගන්නට නැත.

දේශීය වශයෙන් ෆාරුක් සම්බන්ධයෙන් කෙරුණු විමර්ශනයේදී හෙළිවූ තොරතුරු මත ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් ඔහු සමඟ ඉතා සමීපව ඇසුරු කර ඇති අයකු ලෙස හඳුනා ගෙන සිටින්නේ අබ්දුල් හමීඩ් අමීර් නැමැත්තෙකි. මාලිගාවත්තේ ජුම්මා මස්ජිත් පාරේ පදිංචිකරුවකු වන ඔහු විමර්ශන කටයුතු සඳහා සිය භාරයට ගැනීමට ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පියවර ගෙන තිබිණි. එසේ වුවද සිකුරාදා සවස් වන තුරුම ඔහුගෙන් මේ සම්බන්ධ වැදගත් තොරතුරක් අනාවරණය වී නොතිබිණි. ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පසුගිය 21 වැනිදා ෆාරිස් පදිංචිව සිටි නිවෙසත් ඔහුගේ මිතුරා අමීර්ගේ නිවෙසත් දැඩි පරීක්ෂාවකට ලක් කරනු ලබන්නේ පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ සහාය ද ඇතිවය. එම නිවෙස්වල අස්සක් මුල්ලක් නෑර සෝදිසි කළද සැකයට තුඩු දුන් කිසිවක් හමුවූ බවක් වාර්තා නොවූ අතර, අමීර්ගේ නිවෙසින් කුරාණයක් සමඟ ලියැවිලි කිහිපයක් පමණක් හමුවී තිබිණි. එම විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ මේ කණ්ඩායම මෙහෙය වූ දේශීය නියෝජිතයා වන්නේ අමීර් බවය. මේ වන විට අමීර් ත්‍රස්ත මර්දන හා විමර්ශන අංශය විසින් රඳවා ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින අතර වැදගත් තොරතුරු රැසක් හෙළිවෙමින් ඇති බවද සඳහන්ය.

අමීර් විසින් හෙළි කළ තොරතුරුවලට අනුව මේ වන විට ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය දැඩි වෙහෙසක් ගනිමින් සිටින්නේ බොරැල්ල වනාතමුල්ලේ ඩම්ප් වත්තේ ගැවසෙන පුද්ගලයකු සොයාය. ඔහු දෙමටගොඩ වේළුවන පාරේ ද ගැවසෙන අයෙකි. අමීර්ගේ රහස් ගොන්නක්ම ඇතැයි පැවසෙන්නේ මේ පුද්ගලයා සතුවය. මේ වන විට සැඟවී සිටින ඔහු දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු බව ද සඳහන්ය. ඒ කොල්ලකෑම් සහ ගිනි අවි සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙනි. මේ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබෙන්නේ නම් ඒ ඔස්සේ බොහෝ තොරතුරු හෙළිකර ගැනීමට හැකිවනු ඇතැයි දේශීය විමර්ශකයෝ විශ්වාස කරති.

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් නිවෙස් පරීක්ෂා කරනු ලැබුවේ ෆාරුක්ගේ සහ ඔහුගේ සමීපතයන්ගේ පමණක් නොව සෙසු තිදෙනාගේම නිවෙස් ද දැඩිව පරීක්ෂාවට ලක්කර තිබුණේ විශේෂ කාර්ය බළකායේ සහාය ඇතිවය. එම නිවෙස්වලින්ද සැකයට තුඩු දෙන කිසිවක් හමුවූ බවක් මෙතෙක් අනාවරණය වන්නේ නැත.

ගුජරාට් පොලිස් අධ්‍යක්ෂ විකාෂ් සහේ එරට මාධ්‍ය හමුවේ සඳහන් කර ඇති ආකාරයට මේ සිව් දෙනා මෙහෙයවා ඇත්තේ අයි.එස්.අයි.එස්. පකිස්තානු නායකයකු වන අබු නම් අයෙකු විසිනි. සමාජ මාධ්‍ය තුළින් ඔහු හා මොවුන් සම්බන්ධ වී ඇතැයි කියැවෙන්නේ පසුගිය පෙබරවාරියේදීය. ඉන්දියාවේදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් සකස් වන්නේ අබුගේ උපදෙස් මතය. ඒ සඳහා සූදානමින් නුස්රාත්, ෆාරිස්, නෆ්රාන් සහ රස්ඩීන් මෙරටින් පිටත්ව ඉන්දියාව බලා ගොස් ඇත්තේ පසුගිය 19 වෙනිදාය. ඒ ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් ගුවන් යානයකිනි. සංචාරකයන් ලෙස ඉන්දියාවට ඇතුළු වීමට අවශ්‍ය පහසුකම් මෙන්ම වියහියදම් ද සපයා ඇතැයි කියැවෙන්නේ අබූය. ඒ ගැන ඇත්තේ තවමත් විමර්ශන මට්ටමේය.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලින් චෙන්නායි බලා පිටත්ව යන ඔවුන් අහමදාබාද් වෙත එන්නේ චෙන්නායි හරහාය. අබූගේ උපදෙස් මත ඔවුන් සිව් දෙනා අහමදාබාද් බලා පැමිණෙන්නේ යැයි පැවසෙන්නේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට යැයි ගුජරාට් පොලිස් ප්‍රධානී විකාෂ් සහේ මේ වන විටත් එරට මාධ්‍ය වෙත සඳහන් කර හමාරය. “ඉන්දියාවට ප්‍රහාරයක් එල්ල කිරීමට මේ අය දිරිමත්කර තිබෙන්නේ අබූ නැමැති අයයි. ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 04ක් ඒ වෙනුවෙන් මේ අයට ලැබිලා තියෙනවා” යැයිද සහෝ එරට මාධ්‍ය හමුවේ පවසා ඇත.

අහමදාබාද් පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ගුජරාට් ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් මොවුන් සිව් දෙනා කොටුකර ගන්නේද කල්තියා ලද බුද්ධි තොරතුරකට අනුවය. මෙම අත්අඩංගුවට ගැනීම ඉන්දියාවේ මෙන්ම ලෝකයේම දැඩි අවධානයකට ලක් වන්නේ අයි.පී.එල්. තරගාවලියට සහභාගි වන කණ්ඩායම් තුනක් එදා ගුවන්තොටුපොළට පැමිණීමට නියමිතව තිබූ බැවිනි. එහෙත් පැහැදිලිවම ඉලක්කය කුමක් දැයි පකිස්තානයේ සිට අබූ හෝ ඉන්දියාවේ සිට මේ සිව් දෙනා මෙහෙය වීමට භාරව සිටි අය ඒ වන විටත් ලබා දී තිබී නැත. ගුජරාට් පොලිස් ප්‍රධානී විකාෂ් සහේ පවසන පරිදි ඉන්දියාවට පැමිණි සිව් දෙනාගේ ඉලක්කය වන්නට ඇත්තේ කිතුනුවන්, යුදෙව්වන් හෝ භාරතීය ජනතා පක්ෂය හා ආර්.එස්.එස්. සංවිධානයේ නායකයන් ඉලක්කර ප්‍රහාරයක් එල්ල කිරීමටය.

පාස්කු ඉරිදා මෙරට දේවස්ථාන හා හෝටල් ඉලක්කර ගනිමින් 2019 වසරේ අප්‍රේල් 19 වැනිදා සහරාන් විසින් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේද මේ ආකාරයට බුද්ධි තොරතුරක් ඉන්දියාවෙන් මෙරටට ලැබී තිබියදීය. එම බුද්ධි තොරතුර සම්බන්ධයෙන් එවකට සිටි මෙරට ආරක්ෂක බලධාරීන් වැඩි උනන්දුවක් නොගත්තද ඉන්දියාව ඔවුන්ට ලද බුද්ධි තොරතුර ගැන දැඩි අවධානයකින් සිටීම හේතුවෙන් ප්‍රහාරයකට පෙර ලංකාවෙන් ඉන්දියාවට ගිය මේ සිව් දෙනා අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී ඇත. ඒ, මැයි 12 වැනිදා අහමදාබාද් ගුවන්තොටුපොළට බෝම්බ තර්ජනයක් පවා එල්ලවී තිබූ පසුබිමක් තුළදීය.     

එදා 2019 වසරේදී සහරාන් මෙරට දේවස්ථාන සහ හෝටල් ඉලක්කරගෙන ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ඉන්දියානු ආරක්ෂක අංශ ඉන්දියාව තුළ සිදු කළ දැවැන්ත මෙහෙයුමකින් අනතුරුව සහරාන්ට සම්බන්ධකම් පැවැත්වූ සහ අයි.එස්. අයි.එස්. සම්බන්ධකම් ඇති පිරිසක් අත්අඩංගුවට ගනු ලැබුවේ බුරුතු පිටිනි. ඒ කාල වකවානුවේ ඉන්දියානු මහ මැතිවරණය පැවති අතර, මෙවරත් ඉන්දියාව තුළ අයි.එස්. අයි.එස්. භීතියක් ඇති වන්නේත් ඉන්දියාවට ප්‍රහාරයක් එල්ල කිරීමට ආවේ යැයි කියන ශ්‍රී ලාංකිකයන් සිව් දෙනා අත්අඩංගුවට ගන්නේත් ඉන්දියාවේ මහ මැතිවරණයක් පැවැත්වෙමින් තිබෙන කාල වකවානුවකදීම වීම විශේෂත්වයකි.

ගුජරාට් පොලිස් ප්‍රධානී විකාෂ් එරට මාධ්‍ය වෙත සඳහන් කර ඇති පරිදි අහමදාබාද් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් ජාතික තවුහිත් ජමාත් (NTJ) සමඟ සම්බන්ධකම් පැවති අය බවය. ඒ බව හෙළිවී ඇත්තේ අත්අඩංගුවටගත් සිව් දෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේය. සහරාන් නායකත්වය ලබා දුන්නේ ජාතික තවුහිත් ජමාත් සංවිධානය වෙතය. පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළේ එම සංවිධානයේ සාමාජිකයන්ය. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව අන්තවාදී සංවිධාන තුනක් 2019 වසරේ මැයි 04 වැනිදා මෙරට තහනම් සංවිධාන ලෙස නම් කරනු ලැබුවේ 2123/2 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මඟිනි. ඒ අතර ජාතික තවුහිත් ජමාත් (NTJ) යන සංවිධානය ද තිබිණි. ජාතික තවුහිත් ජමාත් සංවිධානයට ගෑවුණු බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගත්තද මේ අය ගැන ඉන්දියාව කියන තුරු කිසිදු තොරතුරක් මෙරට ආරක්ෂක අංශ වෙත හෝ බුද්ධි අංශ වෙත ලැබී තිබුණේ නැත.

ගුජරාට් පොලිස් ප්‍රධානී විකාෂ් පවසා ඇති ආකාරයට අනුව ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් සිව් දෙනා අත වූ ජංගම දුරකතන විශ්ලේෂණය කිරීමෙන් හා කළ ප්‍රශ්න කිරීම් හමුවේ අහමදාබාද් නගරයට ආසන්න නානාචිඩෝලා ප්‍රදේශයේ සඟවා තිබී ආයුධ කිහිපයක් ද සොයාගෙන ඇත. ඒ පකිස්තානයේ නිෂ්පාදිත පිස්තෝල 03ක් හා පතොරම් කිහිපයකි. මේ සිව් දෙනා ඉන්දියාවට ගියේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් සඳහා යැයි කියන්නට තරම් සාධක හෝ සාක්ෂි කිසිවක් මෙතෙක් හෙළිවී නැතත් ගිනි අවි හමුවීමෙන් පෙනී යන්නේ වෙඩි තැබීමක් වැනි අපරාධයකට ඔවුන් යොමු කිරීමට සූදානමක් තිබී ඇති බවය. ඉලක්කය පැහැදිලිව අනාවරණය වී නැතත් ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය සහ මෙරට ත්‍රස්ත මර්දන හා විමර්ශන අංශය මේ වන විට දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින්නේ එම ඉලක්කය පැහැදිලිවම හඳුනා ගෙන ඊට සම්බන්ධ ජාලය ගැන තොරතුරු හෙළිකර ගැනීමටය.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division