1931 අංක 11 සහ 1938 අංක 59 දරන ආඥා පනත් මඟින් ද, 1973 අංක 44 සහ 1975 අංක 25 දරන නීති මඟින් ද, 1983 අංක 41 සහ 1988 අංක 61 දරන පනත් මඟින් සංශෝධිත 1922 අංක 01 දරණ මහා භාරකාර ආඥා පනත මඟින් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් මහා භාරකාර ධුරය ස්වාධීන තනතුරකි. මහා භාරකාර දෙපාර්තමේන්තුව මෙන්ම මහා භාරකාරවරයා ද අතිශය විශ්වසනීය තනතුරක් ලෙස සැලකේ. එම නිසාම බොහෝ අය තම අන්තිම කැමැත්ත අනුව රජයට පවරනු ලබන දේපළ පැවරෙන්නේ මහා භාරකාර දෙපාර්තමේන්තුවටය. කිසිදු බලපෑමක් නැති ස්වාධීන රාජ්‍ය ආයතනයක් වන මහා භාරකාර දෙපාර්තමේන්තුව වෙත සමස්ත රට වැසියා තුළම තිබෙන්නේ අතිමහත් විශ්වාසයකි. මහා භාරකාරතුමාගේ සිට එහි සේවය කරනු ලබන පහළම සේවකයා දක්වා එම විශ්වාසය සහ ගෞරවය රැකීමට ඔවුහු බැඳී සිටින අතර එම සියලු දෙනා අපක්ෂපාතීව සේවය කිරීමට ද බැඳී සිටිති.
මහා භාරකාර ධුරය සඳහා පත්වනු ලබන්නේ අධිකරණ විනිශ්චයකාරවරයකු හෝ සමාන සුදුසුකම් ඇති නිලධාරියකු වන අතර ඔහු සමාජය පිළිගත් ස්වාධීන පුද්ගලයකු බව රටේ පිළිගැනීමයි. දශක ගණනාවක සිට පැවැත එන මෙම මහා සම්ප්‍රදාය කිසිදු අවස්ථාවක කඩ නොවූ අතර, පත්වන පුද්ගලයා මහා භාරකාරවරයා ලෙස ඉටු කරනු ලබන කාර්ය භාරය අවිවාදයෙන්ම මධ්‍යස්ථ සහ විශ්වසනීය එකකි. අවුරුදු අනූවකට වැඩි ඉතිහාසයක් තුළ මෙම දෙපාර්තමේන්තුව අත්පත් කර ගෙන තිබෙන කීර්තිය අතිමහත්ය. එවැනි කීර්තියක් අත්පත් කරගෙන තිබෙන දෙපාර්තමේන්තුවක් මඟින් අපකීර්තිමත් කටයුත්තක් කිසිදා ඉටු නොවුණද වරින් වර එයට පැමිණෙන සේවකයන් එහි කීර්තිය සහ විශ්වාසය කඩ කළ අවස්ථා තිබේ.
බොහෝ අවස්ථාවල මහා භාරකාර දෙපාර්තමේන්තුව වෙත පැවරෙන දේපළ විවිධ පුද්ගලයන් වෙත භාර කරනු ලබයි. ඒ සඳහා එක් වන ඇතැම් පිරිස් විවිධ මාර්ග සහ බලහත්කාරී ක්‍රම මඟින් මහා භාරකාර දෙපාර්තමේන්තුව සතු දේපළ බලහත්කාරයෙන් භුක්ති විඳිති. නැතිනම් ඒවා තම සන්තකයට අත්පත් කර ගැනීමට සැලසුම්සහගතව කටයුතු කරති. එවැනි පිරිස් හඳුනාගෙන ඔවුනට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම මෙන්ම නීතිමය ක්‍රියාමාර්ග මඟින් මහා භාරකාර දෙපාර්මේන්තුව මඟින් නැවත පවරා ගැනීමට හැකියාව ලැබී තිබේ.
පසුගිය කාලයේදී සිදුවූ එවැනි සිදුවීම් අතර විශ්වාස කිරීමට පවා නොහැකි සිදුවීමක් සිදුව තිබේ. එනම්, මහා භාරකාර දෙපාර්තමේන්තුවේ සේවයේ නියැළෙමින් සිටි සහ ඉන් පෙරද රාජ්‍ය සේවයේ සිටි සහ අදත් රාජ්‍ය සේවයේ මුදල් සම්බන්ධ අංශයක සේවය කරනු ලබන සේවිකාවක මහා භාරකාර දෙපාර්තමේන්තුව සතුව තිබූ දේපළක් අනිසි ලෙස පරිහරණය කිරීම පමණක් නොව කූට ලේඛන මඟින් තමන් සතු කර ගැනීමේ උත්සාහයක ද නියැළී සිටියි. ඇය මහා භාරකාර දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන්නේ වෙනස්ම ආකාරයකටය. මීට පෙර ඇය රාජකාරි කටයුතු කරන ලද්දේ රජයේ වෙනත් දෙපාර්තමේන්තුවකය. ඇය මහා භාරකාර දෙපාර්තමේන්තුවට පැමිණෙන්නේ 2008 වර්ෂයෙන් පසුවය. 2008 වර්ෂය යනු මහා භාරකාර දෙපාර්තමේන්තුව තුළ තිබෙන ප්‍රධානම ධුරය වන මහා භාරකාර ධූරයේ වෙනස් වීමක් සිදු වූ වසරකි. 2008 මහා භාරකාර ධුරය දැරු මහා භාරකාරවරයා ඉවත් වීම සමඟ දෙපාර්තමේන්තුවේ නව මහා භාරකාර ධුරය සඳහා සේවයට නැවත එක්වන්නේ කලක් ජනමාධ්‍යවල සහ සමාජයේ අතිමහත් කතාබහට ලක්වූ විවාද සම්පන්න පුද්ගලයෙකි. ඔහු මහා භාරකාර දෙපාර්තමේන්තුවේ මහා භාරකාරවරයා ලෙස ක්‍රියාකරමින් සිටියදී ඇති වූ විවිධ හේතු නිසා සේවයෙන් ඉවත්ව ගිය අයකු වූ අතර ඔහු නැවතත් මහා භාරකාරවරයා ලෙස වැඩ භාර ගන්නේ 2008 වර්ෂයේදීය. ඔහු සමඟ දෙපාර්තමේන්තුවේ සේවයට පැමිණි ඇතැමුන් විවිධ චෝදනාවලට ලක් වූ පිරිස් වූ අතර, එසේ පැමිණි එක් කාන්තාවක් මහා භාරකාරවරයාගේ පුද්ගලික සහකාරවරිය බවට පත් වූවාය.
නව භාරකාරවරයාගේ රෝගී තත්ත්වය මත ඔහුට තිබූ අපහසුතාවලින් ප්‍රයෝජනයට ගත් පුද්ගලික සහකාර ලෙස පැමිණි කාන්තාව මහා භාරකාරවරයාගේ බලය පවා අනිසි ලෙස තමන් වෙත පවරා ගනිමින් කටයුතු කළ බව එකල සිටි දෙපාර්මේන්තුවේ සිටින සේවකයෝ සඳහන් කරති. එසේම ඇය සිය පරිහරණය සඳහා මහා භාරකාර දෙපාර්තමේන්තුව සන්තකයේ ඇති දේපළ තමන් වෙත හරවා ගැනීමටත් කටයුතු කර ඇති බවට කරුණු තහවුරු වන්නේ මහා භාරකාර දෙපාර්මේන්තුව සතුව ඇති නුගේගොඩ හයිලෙවල් පාර අංක 151 /B දරන නිවෙසේ පදිංචිව සිට නැසීගිය ශ්‍රීමා ඉන්ද්‍රානි ද සොයිසා හෙවත් ඉන්ද්‍රා සොයිසා මහත්මියෙගේ අන්තිම කැමැත්ත අනුව ලැබුණු එම පර්වස් විස්සක ඉඩම සහ නිවෙස කිසිදු අවසරයකින් හෝ නීතිමය බලපත්‍රයකින් තොරව සතු කරගැනීමට කටයුතු කිරීමෙනි.
එම කාන්තාව අවුරුදු දහයකට වඩා වැඩි කාලයක සිට එම දේපළ තම භුක්තියට පවරා ගෙන ඇති අතර, සාමාන්‍ය කුලී පදනම යටතේ මසකට රුපියල් පනස් දහසකට වැඩි මිලකට ලබා දිය හැකි මෙවැනි නිවෙසක් කිසිදු කුලියක් හෝ නොදී භුක්ති විඳින්නේ ඇයට ලැබෙන බාහිර බලවතකුගේ ශක්තිය නිසාද යන්න ගැටලුවකි.
මෙම ඉඩම ධර්ම විජය පදනමට පිරිනැමීම සඳහා මහා භාරකාර දෙපාර්තමේන්තුවට පවරා තිබෙන එකකි. තම අයිතිය පෙන්වා දෙමින් කටයුතු කරන මෙම කාන්තාව මේ කූට ලේඛන සකස් කර ගෙන ඇත්තේ 2008 වර්ෂයෙන් පසු පැමිණි මහා භාරකාරවරයා ද නොමඟ යවමිනි.
එම කාලය තුළ කිසිදු සිටි මහා භාරකාරවරයාගේ දුර්වල පාලනය තුළ ඔහු විසින් ගෙන්වා ගත් ඉහත කාන්තාව සහ සෙසු අය ආයතනය නිල නොවන ආකාරයට පාලනය කළ බව අප සිදු කළ විමර්ශනවලින් තහවුරු කර ගැනීමට හැකියාව ලැබුණි. 2008 වර්ෂයේදී ඇරඹුණු මෙම තත්ත්වය 2015 වර්ෂයේදී නව මහා භාරකාරවරියක පත්වන තුරු අඛණ්ඩව පැවැතී ඇත.
නුගේගොඩ හයිලෙවල් පාරේ නැසීගිය සොයිසා මහත්මියට අයත් දේපළ භුක්ති විඳින මෙම කාන්තාවට එරෙහිව නීතිමය පියවර ගැනීම ආරම්භ වී ඇත්තේ 2015 වර්ෂයෙන් පසුව වන අතර, මහා භාරකාර දෙපාර්මේන්තුව මෙම කාන්තාවගෙන් ඇය බලහත්කාරයෙන් සහ කූට ලෙස භුක්ති විඳින දේපළ නැවත පවරා දෙන ලෙස ඉල්ලා සිටියද ඇය එම ඉල්ලීමට කිසිදු සැලකිල්ලක් දක්වා නොමැත.
මෙම සේවිකාව මහා භාරකාර දෙපාර්මේන්තුව සතු දේපළ පමණක් නොව මහා භාරකාර දෙපාර්තමේන්තුව විසින් අඩු ආදායම්ලාභීන්ගේ ඉගෙනුම ලබන දරුවන් වෙත ලබා දෙන සුබසාධන දීමනා ද විවිධ කූට ක්‍රම භාවිතයෙන් ලබා ගත් බවටද චෝදනා තිබේ. වවුචර මාර්ගයෙන් ලබා ගත් මෙම එක් වවුචරයක වටිනාකම රුපියල් අසූ දහස හෝ ඊට වඩා වැඩි වටිනාකමකින් යුතු ඒවා බව සඳහන්ය.
2008 සහ 2015 අතර සිදු වූ බොහෝ වංචා දූෂණවලට මෙම කාන්තාව සහ ඇය සමඟ සේවයට එක් වූ එවකට සිටි මහා භාරකාරවරයාගේ හිතවතුන් යැයි කියන පුද්ගලයෝ ද සිටිති. එවක සිටි මහා භාරකාරවරයාගේ දුර්වල පාලනය තුළ මෙම කණ්ඩායම සිතු සිතූ ආකාරයට කටයුතු කරගෙන ගොස් තිබේ.
නැසීගිය සොයිසා මහත්මියට අයත් නුගේගොඩ මෙම දේපළෙහි වටිනාකම සාමාන්‍ය තක්සේරු කිරීම්වලට අනුව රුපියල් මිලියන සියයකට අධික වන අතර, නුගේගොඩ වැනි වෙළෙඳ වටිනාකම ඉහළ ප්‍රදේශයක මෙවැනි ඉඩමක් තක්සේරු මිලටත් වඩා වැඩි මුදලකට ලබා දීමට හැකියාව ඇත.
මහා භාරකාර දෙපාර්තමේන්තුව සතු දේපළ වංචනික සහ කූට ලෙස භුක්ති විඳීම් පිළිබඳ සිදුවීම් සහ නඩු රාශියක් තිබුණද එම සිදුවීම් සහ අප දක්වන ලද මෙම සිදුවීම අතර ඇති වෙනස්කමක් දක්නට තිබේ. එනම්, එම සිදුවීම්වලට සම්බන්ධ කූට භුක්ති විඳීම් සිදු කර තිබෙන්නේ පිටස්තර පුද්ගලයන් පිරිසක් අතින් වීමය. එහෙත් අප ඉහත සඳහන් කළ කූට ලියකියවිලි සාදා ගැනීම සහ වංචනික භුක්ති විඳීම සිදු කර තිබෙන්නේ මහා භාරකාර දෙපාර්තමේන්තුවේ වසර හතකට කිට්ටු කාලයක් සේවය කළ සහ අදත් රාජ්‍ය සේවයේ නියැළෙමින් සිටින රජයේ සේවිකාවක් විසින් වීමය. එනිසා මේ වැරැදි ක්‍රියාව පිළිබඳ සොයා බලා කටයුතු කිරීම බලධාරීන්ගේ ප්‍රමුඛ වගකීමකි.
ප්‍රසන්න වෙල්ගම