මෙරට තිබූ ආර්ථික අර්බුදය දැන් කාටත් අමතකය. රනිල් වික්‍රමසිංහයන් ජනපති ධුරයට පත් වීමට පෙර වෙසක් බලන්න තබා දානයක් දීමට ගෑස් සිලින්ඩරයක් වත් නොවූයේ බත් පිසින්නටය. ඒත් මෙවර වෙසක් උත්සවය නිරීක්ෂණයේදී අපට පෙනී ගියේ වෙන කවදාටත් වඩා සැදැහැවත් පිරිසක් උද්‍යෝගයෙන් කොළඹට ඇදී ආ බවය.
වෙසක් දින වෙසක් බලන්නට අප මුලින්ම එක් වූයේ ලේක්හවුසියේ අමාදහර වෙසක් වැඩසටහනටය. එය සංවිධානය කොට තිබුණේ ලේක්හවුස් බෞද්ධ සංගමය හා පාලන අධිකාරිය විසිනි. අමාදහර සඳහා වෙසක් කලාපයේ බැති ගී සරණිය හා අයිස්ක්‍රීම් දන්සලට විශාල පිරිසක් සහභාගි විය. එහිදී ලේක්හවුස් සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් විසින් අයිස්ක්‍රීම් දන්සල විවෘත කරන ලදි. බැති ගී සරණියට ලේක්හවුස් සේවකයින් නම දෙනකු සහභාගී වූයේ ජාතික ඇඳුමෙන් සැරසීගෙනය. රන්වන් පැහැ ඔසරිවලින් සැරසී බැති ගී ගායනා කළ සේවිකාවන් ගණන දහයකි. එයින් දෙදෙනකු අප සිළුමිණ කර්තෘ මණ්ඩලයේ නාමලී සහ දිනුක්ෂි වීමද විශේෂත්වයකි. එඩ්වඩ්, චරිතා යුවළ සහ සුප්‍රියා ද බැති ගී සරණියට පසුව එක්වුණි.
ලේක්හවුසියෙන් ඩී.ආර්. විජයවර්ධන මාවත ඔස්සේ ගාමිණි හෝල් දෙසට ගමන් කරන විට දකුණු පස මුලින්ම හමු වූයේ ද අයිස්ක්‍රීම් දන්සලකි. එම දන්සලේ පෝලිමේ කොන සොයාගත නොහැකි තරම්ය. ඇතමුන් අත්දෙකට අයිස්ක්‍රීම් කෝන් 2 බැගින් ජයග්‍රාහි ලෙස අරගෙන ගියේ අයිස්ක්‍රීම් කෝන් 1ක් පමණක් ගත්තේ නම් දන්සල සංවිධායකයින් තරහ වේයැයි සිතූ නිසා විය යුතුය.
ඊට ටිකක් එහායින් හමුවූයේ සීනිසම්බල් පාන් දන්සලකි. එහි පෝලිම ‘සීනෝර්’ අවන්හලත් පසුකොට තිබුණි. ගාමිණී හෝල් හන්දිය පසුකොට අප පිවිසියේ මරදානේ මරිය කඩේ තොරණයට. එහි දැවැන්ත තොරණක් මෙන්ම දන්සලක් ද සංවිධානය කොට තිබුණි. තොරණ දැකපු ගමන් මතකයට ආවේ මරදානට සුප්‍රසිද්ධ ‘චොප්පේ අයියාය’. මරදානේ විසූ එම්.ඩී. ධර්මදාස රාජපක්ෂ චොප්පේ අයියා මැතිතුමාගේ පුත් කිත්සිරි රාජපක්ෂ ගේ අනුග්‍රහයෙන් මණිකාර කුලුපග තිස්ස චරිත කතාව යනුවෙන් තොරණ යට තීරුව චිත්‍රණය කොට තිබුණි. තොරණ විවෘත කරන්නට නියමිතව තිබුනේ ජනාධිපතිවරයා විසිනි. එතැනින් අප කොස්ගස් හන්දිය තොරණට යන විටත් එය විවෘත කොට තිබුණේ නැත. එයින් පසු අප ගියේ පෑලියගොඩ නවලෝක තොරණටය. තොරණ සමීපයට යන්නටවත් බැරි තරම් රසිකයන්ය. තොරණ රසිකයන් වත්තල දෙසට යන පාරම ආක්‍රමණය කොට තිබුණි.
පෑලියගොඩ තොරණ වැඳ පුදාගත් අප ඊළඟට ගියේ පෑලියගොඩ මාළු මාර්කට් එකේ තොරණටය. ඒ තොරණේ විදුලි බුබුළුවලින් චිත්‍රණය කොට තිබුණේම මාළුන්ගේ රූපය.
“සොඳුර මගේ අතින් මසුරන් පොදිය මුහුදට වැටුණි” තොරණේ කතා පුවත විරුඳුවත් සමඟ කියාගෙන යයි. ඉන්පසු මාළු අල්ලන යුවළකගේ බිරිය මහා හඬින් කතා කරයි. “ස්වාමීනි අද දින අපේ දැලට හසුවූ දැවැන්ත මාළුවකුගේ ළය පැලූ විට මේ මසුරන් පොදිය හමුවිය.” හ! හ! හ!!! ප්‍රීතියි ප්‍රීතියි සැමියා කියයි. එය නම් මාළු මාකට් එක ඉලක්ක කොට ‘මජ්ජද්වාර ජාතකය‘ තෝරා ගත් ජාතක කතාවක් අනුව සැකසූ තොරණක් විය.
මාළු මාකට් තොරණින් පසු පිවිසියේ සුප්‍රකට තොටලඟ තොරණටය. ඒ අවට දැවැන්ත සෙනඟක් විය. එය සංවිධානය කොට තිබුණේ තොටලඟ වෛශාඛ්‍ය සමිතිය විසිනි. එහි චිත්‍රණය කොට තිබුණේ වන්නමිත්තා සිටුකුමරියගේ කතාවයි. තොටලඟ තොරණේ විශේෂත්වය වූයේ තොරණ ගැන කවි කොළයක් මුද්‍රණය කෙට තිබීමයි.
“කවි කොළයක් ගන්න පුළුවන්ද” මම සංවිධායක මණ්ඩලයෙන් ඇසුවෙමි. “තොරණේ කතාව CD එක ගත්තම තමයි කවි කොළේ දෙන්නේ!” ඒවා විකිණීමට සිටි හුරුබුහුටි දැරිවියෝ අපට පැවසුවේ ‘මුහුණුපොත’ දඹරැගිල්ලෙන් උඩට යවමින් තම කාර්යයට බාධා පුමුණුවන තවත් ආලවක යක්ෂයකු දෙස බලන්නාක් මෙනි.
ගස්වැල් පවා මුදු මහලට සැරසීම
දැක දැක ලොවේ ඇතිවනු දැයි වැනසීම
බුදුවනු බැරිද ලොව කෙනකුට නොනැසීම
ඔබ හැමටම පතමි රසසුව සැනසීම
රබන් හඬෙන් කියනු ඇසිණි. කවිය නම් හොඳට අසා පුරුදු එකකි. එය විමලරත්න කුමාර ගමගේ ගේ විය යුතුය. තොටලඟ ඇතුළු තොරණ දන්සල් ඇති බොහෝ තැන්වල ගොඩගසා තිබුණේ චීනෙන් ගෙනා බල්බ් පත්තුවෙන පිස්තෝලය. ඊටත් වඩා නලා විකිණී ගියේ බලාගෙන සිටියදීය. තොටලඟින් අප ගමන් ආරම්භ කළේ කොස්ගස් හන්දිය කරාය. එහි යන විට තොරණ ඉදිරිපිට තිබුණු අඩි හයක් පමණ උස කුකුළා පහන් තුනක් දැල්වෙමින් තිබුණි. ඒ ආරාධිතයන් විසින් පහන් තිරය බැගින්ය. තොරණ අසල සිට ස්ටේස් පාරට යන ගමන් තලත්තෑනි පුද්ගලයකු සමඟ කතාවට එක්වූයෙමි.
“තොරණක් ගැහුවාම සමහර සංවිධායකයන් පළාතේ ඉන්න බිස්නස්කාරයින්ට පහන පත්තු කරන්න ආරාධනා කරනවා. එතකොට මුදලාලිලා විස්සක් තිහක් වුණත් පහන පත්තු කරල ඇන්විලොප් එකක් සංවිධායකයගේ අතමිට මොලෝලා යනවා.
කොස්ගස් හන්දිය එක්සත් වෙළෙඳුන්ගේ සංගමය තොරණ ඉදිකර තිබූ අතර ‘මහාකාන්ත ජාතකය‘ ඊට පාදක වී තිබුණි. කොස්ගස් හන්දිය තොරණ ඈතින් බැලූ අපට අපූරු දසුනක් දැකගත හැකි විය. එහි මුදුනට හරියටම විසිතුරු බල්බ්වලින් සැරසුන නෙළුම් කුලුන බද්දව තොරණක් මෙන් දිස්වීම අපූරු දසුනක් විය. ඈත සිට විදේශිකයින් එය රූගත කළේ කළුවර අහසේ කොස්ගස්හන්දිය තොරනේ උඩුකොටස නෙළුම් කුලුනේ කොටසක් ලෙස දර්ශනීයව පෙනීයාම නිසාය.
කොස්ගස් හන්දියෙන් පසු ස්ටේස් පාර හරහා බේස්ලයින් පාරට පිවිස දෙමටගොඩ දෙසට හැරුනෙමු. පාර පුරා වෙසක් බැතිමතුන්ය. තම පෙම්වතිය මෝටර් බයිසිකලයේ පිටුපස නංවාගෙන තරගයට බයිසිකල් පදින තරුණ උපාසක මහත්මයින්ය. ඩිමෝ බට්ටා ලොරි පිටුපස පුටු තබා ගෙන දුරබැහැර සිට වෙසක් බලන්නට කොළඹ ආ බැතිමතුන්ය. අප ඊළඟට එක්වූයේ දෙමටගොඩ හන්දියේ තොරණටය. එය සංවිධානය කොට තිබුණේ දෙමටගොඩ එක්සත් වෙළෙඳුන්ගේ වෛශඛ්‍යදාන සමිතිය විසින් 47 වැනි වාරයටය. තොරණට පාදක වී තිබුණේ ‘මනිචෝර‘ ජාතකයයි. මෙතෙක් අප දුටු හන්දියක තිබූ තොරණක් නිසා වාහන ගමනාගමනයට කිසිදු බාධාවක් නොවූ එකම තොරණ වූයේ දෙමටගොඩ තොරණයි. එය ගොඩනඟා තිබුණේ හිස් බිමකය. ජනතාවට සිතූසේ තොරණ රසවිඳිමට ඒ නිසා හැකියාව ලැබුණි.
දෙමටගොඩ තොරණ බලා ඉනික්බිති වැලිකඩ බන්ධනාගාරය අසලට එද්දී පැවතියේ දිගු පෝලිමකි. එය බත් දන්සලක් සංවිධානය කොට තිබුනේ බන්ධනාගාරයේ ද සහායෝගය ඇතිවය. එතැන අප ගිය වාහනය තදබදය නිසා මදක් නතර විය. “ජනාධිපතිතුමා අද වෙසක් පෝයට 15 දෙනෙක් නිදහස් කළා.”
බන්ධනාගාරය ඉදිරිපිටින් ආනන්ද රාජකරුණා මාවතෙන් පුංචි බොරැල්ලට පැමිණියෙමු. ඒ අතරතුර අයිස්ක්‍රීම් දන්සල්, බෙලිවතුර දන්සල් කීපයකි. ඉන්පසු මරදාන ආනන්ද විද්‍යාලේ වෙසක් සැමරුම් කෙසේ නම් මඟහැර යන්නද? බදාදා එය විවෘත කර තිබුණේ ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසිනි. ප්‍රථම වතාවට එදින ආනන්ද වෙසක් පෙරහර වීථි සංචාරය කරන ලදි. ආනන්දයේ මේ වෙසක් කලාපයට ‘මහාහංස‘ ජාතකය නිරූපිත තොරණ, දර්ශනීය වෙසක් කූඩු මෙන්ම බැති ගී ද දක්නට ලැබුණි. ඔය කෝකටත් වඩා කවුරුත් පොර කෑවේ දන්සල වන්දනා කොට පින් පමුණුවා ගැනීමටය.
ආනන්දය පසුකොට මාලිගාකන්ද පාරට ප්‍රතිවිරුද්ධ පාරෙන් මරදාන තොරණට පැමිණියෙමු. මෙවර එය විවෘත කොට තිබුණි. ඒ මහා තොරණ රාජයා බලන්නට වඩා සෙනඟක් සිටියේ දන්සල් රාජයා වැඳපුදා ගන්නටය. තොරණ ඉදිරිපිට අශෝක විද්‍යාලයේ කුඩා සිසුන් ඉදිරිපත් කරන බැති ගී ප්‍රසංගයක් ද විය.
මරදාන තොරණ ඉදිරිපිට විවෘත කුටියක කවියකු හා කිවිඳියක විරිඳු කියමින් සිටියහ. මේ යුගයේ තරුණියක කවි කීම අදහාගත නොහැකි කරුණක් විය. දන්සලට හිස දමා බැලුවෙමි. එහි තරගයට බුදින ජනකැලකි. එයට ඇතුළුවන දොරටුව වසා නිලධාරින් රොත්තකි. එහි ඇතුළේ එකම ගාලගෝට්ටියකි. දන්සලේ පෝලිම මරදාන පොලිසියත් පසුකොට ගිහින්ය. ඒ පිරිස තවමත් කුසගින්නේය. කිවිඳිය කවි කියන්නට පටන් ගත්තාය.
පිරිසක් සිටින විට කුසගින්නේ කොනක
නන් පුදපඬුරු ගෙන තබමින් පුද සුනක
සැදැහෙන් පිරී යහගුණ වගා වක ලෙසිණි.
එහි බුදුරදුන් නැත ඇත්තේ වෙන තැනක
මරදානේ තොරණින් අප ආවේ ඩීන්ස් පාර දිගේ පුරහල දෙසටය. පුරහල ඉදිරිපිට. එය ප්‍රජා වෙසක් කලාපයයි. එය කොළඹ නගර සභාව සහ රූපවාහිනී සංස්ථාව සංවිධානය කොට තිබුණි. එහි වෙසක් කූඩු, විරිඳු හා දන්සල් ද දැකගත හැකිවිය. භක්ති ගීත කියන්නට ගොඩනඟා තිබුණේ දැවැන්ත වේදිකාවකි. එහි නිවේදන කටයුතු අසාගෙන සිටින විට ඇහුණේ ජනප්‍රිය රූපවාහිනි නිවේදකයකුගේ හඬකි. ඒ නිවේදක සුරවීර විය යුතුය.
කොළඹ නගර සභා භූමියෙන් පසු හයිඩ්පාක් කෝනර් හරහා අප පිවිසියේ ගංගාරාම ප්‍රදේශයටය. කොළඹ ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති කාර්යාලය සහ අගමැති කාර්යාලය එක්ව සංවිධානය කළ බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍ය විවෘත කරන ලද්දේ ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් විසිනි.
එයින් පසු අප පිවිසියේ බොරැල්ල හන්දියේ සිට තුංමුල්ල හන්දිය තෙක් සංවිධානය වූ බෞද්ධාලෝක වෙසක් කලාපයටය. එය සංවිධානය කොට තිබුණේ සමස්ත ලංකා බෞද්ධමහා සම්මේලනය විසිනි. එහි අප යනවිටත් ඇතැම් කූඩු නිමවෙමින් පැවතුණි. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව අසලින් යනවිට එය වෙසක් සැණකෙලියක් මෙන් දිස්විය. බෞද්ධාලෝක මාවත යන නමට හරියන්නට බෞද්ධයා ආලෝකමත් කොට තිබුණේ ඒ වීදියයි.
සිරිසා නමාමි නමින් පවත්වන ලද සිරිස වෙසක් කලාපය ටිකක් ඩිජිටල් පැත්තට බරවී තිබූ බව නොකියා බැරිය. එහි වූ ධාතු ප්‍රදර්ශනයට බොහෝ දෙනා එක්වූයේ බුද්ධාලම්භන ප්‍රීතියෙනි. එහි බෝධිසත්ව රූප බොහෝ දෙනාගේ සිත්ගත් අංගයක් විය.
සිරසා නමාමින් සිටි අපට පත්තර මිතුරකු කිව්වේ බොරැල්ලට එන්න කියාය. “පත්තර කොම්පැනියකින් දෙන එකම මාළුපාන් දන්සලට එන්න” ඔහු අපගෙන් ඉල්ලීය. අන්තිමට එතැනට යන්නට මට සිදු වූයේ තනිවමය. එය මොණරා පුවත්පත සංවිධානය කරන ලද්දකි. පැවතියේ බොරැල්ල ‘පුංචි තියටර්’ එක ඉදිරිපිටදීය. එය විවෘත කරන ලද්දේ ලයිකා මෝබයිල් බ්‍රිතාන්‍ය සමාගමේ අධ්‍යක්ෂ විජේසිංහ පුෂ්පකුමාර විසිනි.
වෙසක් දිනයේ අප වැඳපුදා ගත් දන්සල්වලින් වැඩිම දන්සල් ප්‍රමාණයක් වූයේ අයිස්ක්‍රීම් දන්සල්ය. ඊට අමතරව කඩල, පාන්, සීනිසම්බල් පාන්, මඤ්ඤොක්කා දන්සල් ද වැඳපුදා ගන්නට අප අමතක කළේ නැත. යූනියන් පෙදෙසේ තිබුණේ ප්ලේනටි දන්සලකි. එම දන්සල්වල නැවත භාවිතයට නොගන්නා ප්ලාස්ටික් කප් ඒ සඳහා භාවිත කොට තිබුණි. ටිකක් රාත්‍රී ජාමය වනවිට කොළඹ නගර සභාවේ කුණු ලොරියක් වෙනම යොදවා තිබුණේ එම ‘කප්’ හා මහජනතාව මහමඟ දමා ගිය බත් දන්සල්වල ලන්ච් ෂීට් එකතු කිරීමටය.
මෙවර දැවැන්තම වෙසක් දන්සල දක්නට ලැබුණේ නිදහස් චතුරශ්‍රයේය. එහි පෝලිම එක් කොනක් කුරුඳුවත්ත පොලිසිය තෙක් දිගුවිය. සංවිධානය කොට තිබුණේ ‘දෙරණ’ මාධ්‍ය ජාලය විසිනි. නිදහස් චතුරස්‍ර භූමිය වටා නවත්වා තිබුණේ කෝටි ගණන්වල වාහනය. ඒවායේ ජැන්ඩියට හැඳ පැලඳගත් අය පෝලිමට එක්වූයේ පසුදින හෝ දන්සල් බතක් කා ෆන් එකක් ගන්නා අටියෙන් විය යුතුය. මෙරට ඉහළම තරුපහේ හෝටල්වල කෝකියන් විසින් ආහාර පිසින මෙම දන්සල අඛණ්ඩව පැය 24ක් පැවැත්වීමට කටයුතු යොදා තිබුණි. සමහරු සෙනඟ අඩු වනතුරු නිදහස් චතුරශ්‍ර ශාලාවේ වැස්සෙන් බේරෙන්නට කල්ගත කරනු පෙනුණි. ඔවුන්ගේ එකම අරමුණ වූයේ මේ ආත්මයේ කෙසේ හෝ මේ දන්සල වැඳ පුදා ගැනීම විය යුතුය.
කොණ්ඩා කපන දන්සල්, භූමිතෙල් දන්සල් අතර අපට කණ්ණාඩි දන්සලක් දැකගත හැකිවූයේ විද්‍යා මාවතේ – අක්ෂිදාන සංගම් මූලස්ථානයේදීය. එම මූලස්ථානයේ පැවැත්වෙන දන්සල ආරම්භ වූයේ සවස 7ටය. එය රාත්‍රී 12 තෙක් පැවැත්වීමට නියමිතව තිබුණි. ඉඳිආප්ප, බත් සහ පාන් එම දන්සලට අයත් විය. එම දන්සලට සහභාගි වූ බැතිමතුන්ට තම ශරීර කොටස් දන්දෙන දන්සලකට ද සහභාගි වීමේ දුර්ලභ භාග්‍යය හිමිවිය. සවස 6 සිට රාත්‍රී 12 දක්වාය. ඒ තම සිරුරේ ඇස් සහ සිරුරු කොටස් දන්දීමේ පොරොන්දු පත්‍ර අත්සන් කිරීමටය. ඇස් පරික්ෂා කොට ඇස් කණ්ණාඩි බෙදා දීමේ දන්සල පැවැත්වීමට නියමිත තිබුනේ 25 වැනි සෙනසුරාදා රාත්‍රී 7 සිටය. අප එතැනින් පිටව ආවේ අක්ෂිදාන සංගමයේ නිර්මාතෘ හඩ්සන් සිල්වාට පින් අනුමෝදන් කරමිනි.
මේ අතර ඛනිජතෙල් බෙදා හරින ආයතන කියන්නේ මෙවර වෙසක් සමය තුළ ඉන්ධන අලෙවිය අධික ලෙස ඉහළ ගොස් ඇති බවය. ඒ කියන්නේ මේ රටේ මෙවර නව උදාවක් ඇතිවී ඇති බව නොවේද? වෙසක් නැරඹීමට මෙතරම් පිරිසක් කොළඹට ඇදී ආ වසරක් මෑත යුගයේ තිබුණේ නැත. කොරෝනා යුගය, අරගල යුගය පසුකොට ආර්ථික අර්බුදයෙන් හෙම්බත්ව පීඩිතව සිටි ජනතාව මෙවර වෙසක් උලෙළත් සමඟ බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව වෙසක් බලන්නට කොළොම්පුරය පුරා කරක් ගැසූ බව නම් නොකියා බැරිය.
ඡායාරූප – රංජිත් අසංක
වජිර ලියනගේ