පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු මූල්‍ය පනත් හා රටේ ආර්ථිකය ගමන් කළ යුතු මඟ පිළිබඳව සිළුමිණට අද අදහස් දක්වන්නේ ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති හා කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන විසිනි
ජනාධිපතිවරණයක් තවත් මාස කිහිපයකින් පවත්වන බවට ප්‍රකාශයට පත් වෙලා තිබියදී ඇයි මේ හදිසියේම මූල්‍ය පනත් 3ක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්න හදන්නේ.
කිසිම හදිස්සියක් නෑ. අපට අන්තර්ජාතික සහයෝගිතාව නැතිව රටක් ගෙනියන්න බැහැ.
ජාතියක් වශයෙන් රටක් වශයෙන් අපි අන්තර්ජාතික එකඟතාවලට එකඟ වුණේ නැත්නම් අපට රට ගෙනියන්න බැහැ.
අපේ රටෙන් ආනයනය කරන ආදායම වගේ දෙගුණයකටත් වඩා අපට වියදම් වෙනවා ආනයන කටයුතු වෙනුවෙන්. ඉන්ධන, ගෑස්, ඖෂධ, යන්ත්‍ර සූත්‍ර, ආහාර පාන විශේෂයෙන්ම පරිප්පු වැනි අත්‍යවශ්‍ය ආහාර වෙනුවෙන් අප අනිවාර්යෙන්ම ආනයනික කටයුතු කළ යුතු වෙනවා.
ඒ සඳහා ණයවර ලිපි විවෘත කළ යුතුයි. ඒ ජාත්‍යන්තර එකඟතා අනුව අප කටයුතු කළ යුතුයි. රටක් ආර්ථික වශයෙන් ස්ථාවර කිරීම වෙනුවෙන් තමයි මේ පනත් ඉදිරිපත් කර තිබෙන්නේ. රටක් ආර්ථික වශයෙන් ස්ථාවර නොවුණොත් අපේ ණයවර ලිපි කිසිදු රටක බැංකුවක්, මූල්‍ය ආයතනයක් පිළිගන්නේ නැහැ. ඒ වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය විනය තමයි මේ පනත් හරහා ඇති කෙරෙන්නේ.
මේ පනත් හරහා ඔබ සිතනා ආර්ථික ස්ථායිතාව රැකේවිද?
මේ පනත්වලින් බලාපොරොත්තු වන්නේ ජනතාවගේ එකඟතාව පාර්ලිමේන්තුව හරහා ලෝකයට ගෙනයාමටයි. ඒ පනත් සම්මත වීමෙන් අපට අන්තර්ජාතික පිළිගැනීමක් ඇති කළ හැකියි.
පනත් පාර්ලිමේන්තුවේ සම්මත නොවුණොත් මොකද වෙන්නේ?
ඒ පනත්වලට එකඟ නොවුණු අය පෞද්ගලිකවත් සාමූහිකවත් රටේ ආර්ථික පරිහානියට වගකිව යුත්තන් වෙයි.
අපි පනත් ගැන කෙටි විස්තරයක් කළොත්….
රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත, ආර්ථික පරිවර්තන පනත හා ණය කළමනාකරණ පනත යන පනත් තුන තමයි මෙහිදී අප ඉදිරිපත් කර ඇත්තේ. එයින් ඉතාම වැදගත් පනත වන්නේ ආර්ථික පරිවර්තන පනතයි. වසර 2048 වනතුරු ලංකාවේ ආර්ථිකයේ ගමන් මාර්ග, ඒ සඳහා උපායමාර්ගික සැලසුම් තමයි ඒ පනත හරහා සම්මත වන්නේ.
එහිදී විශේෂයෙන්ම 2032 වසර වන විට නොපියවා ඇති රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 95%ට අඩු විය යුතුයි. එසේම රටේ දළ මූල්‍ය අවශ්‍යතාව අවුරුද්කට දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 13% ඉක්මවා යා නොහැකියි. එසේම විදේශ ණය සේවාකරණය 4.5% ඉක්මවා නොයා යුතුයි. එමෙන්ම ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟය 1% හෝ ඊට අඩුවෙන් පවත්වා ගෙන යා යුතුයි. පොලී අනුපාතය තනි ඉලක්කමකට ගෙන ආ යුතුයි. එසේම සේවා නියුක්තිය 5% හෝ ඊට අඩු විය යුතුයි.
තරගකාරී අපනයන කෘෂිකාර්මික රටාවක් ඇති කළ යුතුයි. ආර්ථික වර්ධන වේගය 5% හෝ ඊට වැඩි මට්ටමට පවත්වා ගෙන යා යුතුයි. එසේම අය වැය හිඟය දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 5%ට වඩා අඛණ්ඩව පවත්වා ගෙන යා යුතුයි. ඒ හරහා අපට අවශ්‍ය ලෙසින් විය පැහැදම් කරන්න බැහැ.
එලෙසින්ම පාර්ලිමේන්තුව හරහා මූල්‍ය විනයක් ඇති කළ යුතුයි. එහිදී රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත යටතේ රජයේ වියදම් ව්‍යාපෘති ආදිය සම්බන්ධයෙන් වන මූල්‍ය විනය ගැන සම්මතය ක්‍රියාත්මක කෙරෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ණය සම්බන්ධයෙන් කටයුතු කිරීම ණය කළමනාකරණ පනත හරහා සිදු වෙනවා.
නමුත් විපක්ෂයේ ඇතැම් අය කියන්නේ රට බංකොලොත් කිරීමට වගකිව යුත්තන්ම යළිත් ආණ්ඩු පාලනය ඉල්ලන බවයි.
නිදහසින් පසු රට මේ තරමට බංකොලොත් වුණු ප්‍රථම වතාව මෙයයි.
විශේෂයෙන් ලංකාව වගේ කුඩා ආර්ථිකයක් තියෙන රටකට අන්තර්ජාතික සහයෝගිතාව නැතුව ආණ්ඩු කරන්න බැහැ. මේ රටට තනියෙන් නැඟී සිටීමට ආර්ථික ව්‍යුහයක් රට තුළ නැහැ. දශක ගණනාවක් මුළුල්ලේ රාජ්‍ය අයවැයේ ජංගම ගිණුමේ රටට ඔරොත්තු නොදෙන හිඟයක් තියෙනවා.
රටේ ආදායමෙන් රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි – අස්වැසුම වැනි සහනාධාර ගෙවීම් හා රාජ්‍ය ණය පොලී ගෙවූ විට ආණ්ඩුවට වෙනත් කිසිම වියදමක් දැරීමට හැකියාවක් නැහැ. මේක තමයි දේශපාලනඥයන් පිළි නොගන්නා ආර්ථික ඇත්ත.
එම නිසා එක්සත් ජාතික පක්ෂ රජයක් හෝ පොදු පෙරමුණ හෝ වෙනත් කුමන පක්ෂයක් බලයේ හිටියත් මේ අය වැය හිඟය තියෙනවා.
ඇයි මේ තරමට රට බංකොලොත් වෙන විදිහට අප කටයුතු කළේ. රටේ මේ දක්වා සිටි පාලකයන් නේද මේ වෙනුවෙන් වගකිව යුත්තේ.
මේ රට බංකොලොත් වුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා වැට් බද්ද අඩු කළ නිසාවත් කොවිඩ් වසංගතය නිසාවත් නෙමෙයි.
අන්තර්ජාතික සංවිධාන, මූල්‍ය විශාරදයන්, ආර්ථික විශේෂඥයන් පවා පිළිගන්න දෙයක් තමයි දශක ගණනාවක් තිස්සේ රාජ්‍ය අය වැයේ ජංගම ගිණුමේ ඔරොත්තු නොදෙන හිඟයක් පවත්වාගෙන යාමත් අන්තර්ජාතික ගෙවුම් තුලාවේ ජංගම ගිණුමේ හිඟයක් පවත්වා ගෙන යාමත් නිසා එය රටකට ඔරොත්තු නොදෙන අය වැය පරතරයකින් හා ගෙවුම් ශේෂයක් පවත්වා ගෙන යාම නිසා තමයි මේ තත්ත්වය ඇති වුණේ කියලා.
ඒ නිසා තමයි මේ බංකොලොත් බව ඇතිවුණේ කියලා.
රටක් එක්වරම එසේ බංකොලොත් වන්නේ නැහැ. ඒ බව ආර්ථික විශාරදයන්ට මූල්‍ය විශේෂඥයන්ට අවබෝධ විය යුතුයි. ඔබත් ආර්ථික විශේෂඥයෙක්?
මීට පෙර රටේ ආර්ථික පරිහානියක් ඇවිත් රට බංකොලොත් වන තත්ත්වයට පත්වෙමින් තිබුණා 2001 අවුරුද්දෙදි. ආර්ථිකයේ වර්ධනය ඍණ 1.4ක් දක්වා අඩු වුණා. පොලී අනුපාතය ‘කරටි කැඩෙන්න‘ ඉහළ ගියා. උද්ධමනය වැඩි වුණා. විනිමය අනුපාතය ඉහළ ගියා. ඒ දවස්වලත් ගෑස් ඉන්ධන හිඟයක් ආවා. පරිපූරක ඇස්තමේන්තු හදලත් ආර්ථිකය පවත්වා ගැනීම අසීරු වුණා. ඒ නිසා අපි ඒ ආණ්ඩුවෙන් ඉවත් වෙලා එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් පිහිටෙව්වා. මම නියෝජ්‍ය මුදල් ඇමැති හා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ කැබිනට් ඇමැති ධුරය දැරුවෙ. විදේශ කටයුතු ඇමැති ලෙස මහාචාර්ය ජී.එල්. පීරිස් සහ කෘෂිකර්ම ඇමැති ලෙස එස්.බී. දිසානායකත් කටයුතු කළා.
ඒ ආර්ථික පරිහානියෙන් රට මුදාගන්න තමයි එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා 2003 අංක 3 දරන රාජ්‍ය මුල්‍ය කළමනාකරණ වගකීම් පනත සභාගත කළේ. ඒ පනතේ ප්‍රධාන කරුණු 3ක් නීතියක් බවට පත් කළා.
අවුරුද්දක් යනකොට රටේ ආර්ථිකය ධනාත්මක වුණා. රුපියල අධි ප්‍රමාණ වුණා.
ඒ පනත අනුව 2006 වසර සිට 2013 වන විට ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 65%ට අඩු විය යුතු බවට සම්මත කර තිබුණා. එලෙසම 2006 අය වැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 5%ක් ලෙස පවත්වා ඉන් පසුව දිගින් දිගටම එය රජයන් පවත්වා ගෙන යා යුතු බව කියැවුණා. එසේම රජය විදේශ ණය හෝ වෙනත් ණය වෙනුවෙන් ඇප වෙන්න පුළුවන් දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5%ක් දක්වා පමණයි යන්න එහි දැක්වුණා. ඒ නීතිය ඒ ලෙසින්ම ඉෂ්ට කළා නම් ක්‍රියාත්මක වුණා නම් රට බංකොලොත් වෙන්නෙ නෑ. ඒක තමයි සහතික ඇත්ත.
අය වැය පරතරය 5%ට වඩා අඩු වුණා නම් ණය ගැනීමේ අවශ්‍යතාව අඩු වෙනවා. නොපියවූ ණය 65%ක් දක්වා අඩු නම් මේ වගේ ණය ගෙවීම් අඩු වන්නේ නැහැ.
ලෝක ආධාර සමුළු කැඳවා ශ්‍රී ලංකාව යළි නඟා සිටුවීමට ඇමෙරිකානු ඩොලර් බිලියන 4ක් පොම්ප කිරීමට ජාත්‍යන්තර සහයෝගිතා එකඟතාවක් ඇතිව තිබුණා. අද කාලයේ වටිනාකම අනුව ඒ මුදල බිලියන 20ක් 25ක් වගේ.
රටේ අවාසනාවට ඒ ආණ්ඩුවට 2004 යළිත් බලයෙන් ඉවත් වන්නට සිදු වුණා. පසුව ආ රජය මේ පනත වෙනස් කළ නිසා රට බංකොලොත් වීම ඉක්මන් වුණා.
ඒ වුණාට විපක්ෂයේ ඇතැම් අය කියන්නේ ඔවුන් බලයට ආවහම ජාත්‍යන්තර ගිවිසුම් සංශෝධනය කරන කතාවක්නෙ.
ඉහත පනත් අනුව කවුරුන් බලයේ හිටියත් ඒ මූල්‍ය විනය නීතිවලින් එකඟව කටයුතු කළ යුතුයි. ඒ පනත් හරහා පොදු ජාතික එකඟතාවක් සම්මත විය යුතුයි. එහෙම නොවුණොත් අපට ණය ආධාර ලැබෙන්නේ නැහැ.
ඇයි අපි තවත් ණය වෙන්නෙ, මේ තියෙන ණය ගත්තද මදිද? දේශීය ආර්ථිකයක් කරා නොයන්නේ ඇයි? මේ යන විදිහට යළිත් අනාගතයේ ආර්ථික අර්බුදයක් ඇති වී රට යළිත් කඩා වැටීමකට ලක් වීමට හැකියි නේද?
එසේ නොවන්නට වත්මන් ජනාධිපතිවරයා වග බලා ගන්නවා. 2022 වසරේ බංකොලොත් වුණු රට භාර ගන්න කිසිවකු ඉදිරිපත් නොවුණු අවස්ථාවේදී එතුමා අගමැති ධුරය භාරගෙන රට ගොඩ ගත්තා.
ඊට පෙරත් එතුමා 2001 වසරේදිත් රට ගොඩ ගත් බව අපි ඉහතදී කිව්වා. රට බංකොලොත් වන බව දැනගෙන පනතකින් රට ගොඩ ගත්ත එකම නායකයා තමයි රනිල් වික්‍රමසිංහ කියන්නෙ.
ඔබතුමා කොහොමද රට ගොඩගත්ත එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා කියල කියන්නෙ..
එක් එක් රාජ්‍ය නායකයන් විවිධ අරමුණු ඔස්සේ රට ගොඩගෙන තියෙනවා. උදාහරණයක් ලෙස නිදහසින් පසුව දීර්ඝ කාලයක් අනුගමනය කරපු ආවෘත ආර්ථිකය විවෘත ආර්ථිකයක් බවට පත් කළේ ජේ. ආර්. ජයවර්ධන මහතා, අවුරුදු 30ක් තිබුණු යුද්ධය නවතා සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ජාතීන්ට එකට එක්ව සිටීමට රටක් ඇති කළේ මහින්ද රාජපක්ෂ මහතා. ඒ වගේම තමයි ආර්ථික කළමනාකරණය ඇති කර රට ගොඩ ගත් එකම නායකයා ඔහුයි.
කොහොම නමුත් විපක්ෂයේ ඇතැම් අය රැස්වීම්වල කියනවනේ තමන් බලයට ආවහම ගිවිසුම් වෙනස් කරනව කියලා.
ඒක පට්ටපල් බොරුවක්. එක්කො එයාල දන්නෙ නෑ ආණ්ඩුව මේ ගිවිසුම්වලට ඇතුළත් වෙලා ඉන්න බව. නැත්නම් හිතනවා ඇති අලුත් ජනවරමක් ලැබුණහම ජාත්‍යන්තර සංවිධාන මේ ගිවිසුම් වෙනස් කරයි කියලා. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නෙ අපට පමණක් සම්බන්ධ ආයතන නෙමෙයි. ඒ ආයතන එක එක්කෙනාගෙ මූණ බලලා, ආණ්ඩු මාරු වුණාට ගිවිසුම් වෙනස් කරන ආයතන නෙමෙයි. මේ කතා හරියට තෙල් බේත් කාරයන්ගෙ කතා වගෙයි.
තෙල් බේත්කාරයො කොහොමද මේකට සම්බන්ධ වෙන්නෙ?
ඉස්සර කොළඹ ඇතුළු මහ රෝහල් ගාව ගස් යට බේත් තෙල් කුප්පි තියාගෙන තෙල් බේත් අලෙවි කරන කට්ටිය හිටියා. දැනුත් ඉන්න තැන් තියෙනවා. රෝගීන් බලන්න එය අය වෙලාව එනකල් ඉන්නකොට අර කට්ටිය පුරාජේරු කියල ඒ බේත්තෙල් විකුණනවා. ඒ තෙල් බේත් දෙන්නෙ කිසිම ආකාරයක විධිමත් රෝග විනිශ්චයකින් තොරවයි. ඒත් රෝහලේ ඉන්න වෛද්‍යවරයා නිදි මරාගෙන ඉගෙන ගෙන විධිමත් ආකාරයට රෝගියාට ප්‍රතිකාර කරන කෙනෙක්. මේ දෙන්නගෙ වෙනස වගේ තමයි ඔය ඇතැමුන්ගෙ කතාවල්.
ඔබ කියන්නේ ජනතාවට සහන දෙන්න වෙනත් පක්ෂයක් බලයට ආවොත් හැකියාවක් ඇත්තෙම නෑ කියලද?
අපටත් පුළුවන් කියන්න අපි බලයට ආවහම රුපියල් 50,000කින් රාජ්‍ය සේවක වැටුප් වැඩි කරනවා. විශ්‍රාමිකයන්ට රුපියල් 25,000කින් විශ්‍රාම වැටුප වැඩි කරනවා, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 25%ක පොලී ප්‍රතිශතයක් දෙනවා. පාසල් සිසුන්ට වේල් තුනටම ආහාර දෙනවා මේ වගේ කතා කියන්න පුළුවන්.
එහෙම කරන්න කොහෙන්ද සල්ලි තියෙන්නෙ. කවුරු හරි කියනව නම් එහෙම සහන දෙනව කියල එයාල පෙන්වන්න ඕන කොහෙන්ද සල්ලි හොයල දෙන්නෙ කියලා. දෙන්න කොහෙන් හරි සොයා ගන්න එපෑයැ. ඒ කියන්නෙ වැට් බද්ද 30%ක් 40%ක් විතර කරලද සහන දෙන්නෙ. මේවට කියන්නෙ මොන්ටිසෝරි කතන්දර කියලා. සජිත් ප්‍රේමදාස මහතා නැත්නම් අනුර කුමාර මහතා හෝ මේ සංඛ්‍යා ලේඛන අනුගමනය කරන්නෙ නැත්නම් කියන්න ඕන එයාල කරන විකල්ප ක්‍රියාමාර්ග මොනවද කියලා. එහෙම කතාවක් එයාල කියන්නෙ නැහැනෙ.
නමුත් මේ වන විටත් රට බංකොලොත් වෙලා ණය ආපසු ගෙවීම් පවා කරන්නේ නැහැ. ඒ වෙනුවෙන් තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු අන්තර්ජාතික සහායෙන් අප රට ගොඩගැනීමේ ක්රමෝපායන් ආරම්භ කර ඇත්තේ.
නමුත් අපේ රටේ විදේශ ණය ගෙවීමට ඇති ප්‍රමාණය අතිවිශාලයි.
ඔව්, කුමන ආණ්ඩුවක් හිටියත් රටේ සංවර්ධන කටයුතු කළ යුතුයි. සෑම වසරකම රටේ මංමාවත් ඉදි කළා, ගංගා වැව් අමුණු ඉදි කළා. මහවැලි ගඟ උතුරට හැරවීම හෝ, ගිංගඟ යෝජනා ක්‍රමය හෝ ඉගිනිමිටිය හෝ මොරගහකන්ද හෝ මහා පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී අපට අනිවාර්යෙන්ම ජාත්‍යන්තර සහාය ලබා ගත යුතු වෙනවා. නැඟෙනහිර නවෝදය, උතුරු වසන්තය මේ සියල්ලම විදේශ ආධාර සහිතව කළ ව්‍යාපෘති. අපට කුඩා ආර්ථිකයක් ඇති රටක් ලෙස අපට තනිවම කටයුතු කරන්න බැහැ.
අද වන විට රටම ණයකරුවන් වෙලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා අනුව අපට කොතරම් කාලයක් යයි ද ගොඩ යන්න.
වර්තමානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධව අපි ඇති කරගෙන තියෙන ගිවිසුම අනුව ණය ගෙවීම ආරම්භ කිරීමෙන් පසු පළමු අවුරුදු 5 -6 ඇතුළත ගෙවෙන්නේ මේ වන විට ගෙවීමට නොහැකිව ඇති ණය මුදලෙන් 37%ක් පමණයි. අවුරුදු 6 සිට තවත් අවුරුදු 20 දක්වා ගෙවීමට සිදු වන්නේ ණයවලින් 51%ක් පමණයි. ඉතිරි ණය මුදල වන 12%ක මුදල ගෙවීම සිදු වෙන්නේ වසර 20කින් පසුවයි.
ඒ අනුව වසර 2048 වන විට කවුරුන් ජනාධිපති ධුරය හෙබවුවත් කවුරුන් ආණ්ඩු කළත් මේ එකඟතාවන්ගෙන් දශමයක් හෝ වෙනස් කළ නොහැකියි. එසේ වෙනස් කළහොත් අපට රටක් වශයෙන් ඉදිරියට යන්න බැහැ. ඒවා වෙනස් කරන්න ගියොත් රට පවතින්නේ සති දෙකක් පමණයි.
විස්තීරණ ණය පහසුකම් ලැබීමෙන් වුණත් අපේ ගැටලු සියල්ල විසඳා ගන්නට බැහැනෙ.
විස්තීර්ණ ණය ගිවිසුමකට අනුව 2027 වන තෙක් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පවත්වා ගෙන යා යුතු දළ සැලැස්ම විස්තීර්ණ ණය ගිවිසුමේ දක්වා තියෙනවා. ඒ අනුව 2027 වන විටත් ඒ වර්ෂයට අදාළ විදේශ මූල්‍ය සම්පත් හිඟය අෙමරිකානු ඩොලර් 3911ක් වන බවට පුරෝකතනය කර තියෙන්නෙ.
ඒ විදේශ මූල්‍ය සම්පත් පරතරය පියවීමට ජාත්‍යන්තරය විසින් විදේශීය මූල්‍ය සම්පූර්ණ කිරීමට එකඟ වී තිබෙනවා. විස්තීර්ණ ණය ගිවිසුම යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 329ක් ලැබෙනවා. ඒ වගේම 2027 අය වැය සැකසීමට මූල්‍ය අරමුදල ඩොලර් මිලියන 600ක් ලබා දෙනවා. එසේම ලෝක බැංකුව අමෙරිකානු ඩොලර් මිලියන 600ක් හා ආසියානු සංවර්ධන බැංකුව විසින් ඩොලර් මිලියන 300ක් ලබා දීමට එකඟ වෙලා තියෙන්නෙ.
ණය සහන වශයෙන් ඩොලර් මිලියන 1482ක් ඇස්තමේන්තු කර තියෙනවා. ඒත් 2027 වර්ෂයට අදාළව අමෙරිකානු ඩොලර් මිලියන 1500ක හිඟයක් තවදුරටත් තියෙනවා.
ඒ සඳහා තමයි ශ්‍රී ලංකාවට අවසර ලැබෙන්නේ ජාත්‍යන්තර වෙළෙපොළේ ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කොට ඩොලර් බිලියන 1.5ක් ලබාගැනීමට. නමුත් ඒ වන විට ශ්‍රී ලංකවේ ජාත්‍යන්තර සංචිතය අෙමරිකන් ඩොලර් බිලියන 14ක් දක්වා වැඩි වී තිබිය යුතුයි.
මේ යන විදිහට අඩු ආදායම්ලාභීන්ට අතමිට සරු වීම හීනයක් වෙයි වගේ?
රටේ මුදල් අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහයන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිස ගෙන ඇති පරිදි 2027 වසරෙන් පසු නිෂ්පාදන, ආනයන, අපනයන සිල්ලර තොග වෙළඳාම් සියල්ල වැට් බද්දට යටත් කොට 2027 සිට වැට් බදු අනුපාතය 12%ක් දක්වා අඩු කිරීම කටයුතු කිරීමට සැලසුම් කර තියෙනවා.
එසේ 2027දී වැට් බද්ද 12%ට අඩු වන විට වැට් බද්දෙන් නිදහස් කෙරෙන භාණ්ඩ ලැයිස්තුවක් ද අනුමැතියට යොමු කර තියෙනවා. ඒ අතර සහල්, තිරිඟු පිටි, සීනි, පොල්, මාලු, එළවළු, පලතුරු, ඉංග්‍රිසි – සිංහල යුනානි බෙහෙත් වර්ග, පොත්පත්, දේශීයව නිපදවන අල, ලූනු, මිරිස්, කහ, උඳු යනාදී ජන ජීවිතයට අත්‍යවශ්‍ය වන භාණ්ඩ සියල්ල වැට් බද්දෙනුත් නිදහස් වේවි.
සේයාරූ – නිශ්ශංක විජේරත්න
තාරක වික්‍රමසේකර